UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 9 :  සිදුහත් උපතයි ලුම්බිනි පුදබිමයි

බුදුපිළිමයේ උපත - 9 : 

සිදුහත් උපතයි ලුම්බිනි පුදබිමයි

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසූමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

සිදුහත් කුමරු උපන් ලුම්බිනි පුදබිම සියැසින් දැක බලා ගනිමින් වන්දනාමාන කිරීම දඹදිව වන්දනාවේ යෙදෙන සියලු සැදැහවතුන්ගේ මූලික අපේක්ෂාවකි. එසේ වන්දනාමාන කිරීමේ දී අසිරිමත් සිදුහත් සිරිත ගැන දැන ගැනීම මෙන්ම එම ඓතිහාසික සිද්ධස්ථාන ගැන පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳව දැනුම්වත්ව සිටීම බොදුනුවන්ගේ සිත් තවතවත් පහදවන්නට හේතු වනු නිසැකය. එබැවින් සිදුහත් උපත සිදු වූ එම ලුම්බිනි පුදබිම පිළිබඳව නැවත අවධානය යොමු කරමු.

දෙව්දහ පුර සහ කපිලවස්තු රාජධානිය යන ප්‍රදේශ දෙක අතර පිහිටා තිබුණු එම මහා සල් උයන ඒ ප්‍රදේශ දෙකේ ජනතාවගේ විනෝද උයනක් ලෙසින් පැවතුණු බව බෞද්ධ පාලි සහ සංස්කෘත ග්‍රන්ථවල සඳහන්වන කරුණකි. මෙහිදී බෞද්ධ පාලි සහ සංස්කෘත ග්‍රන්ථ යනුවෙන් සඳහන් කළ කරුණද පැහැදිලි කළ යුතුව ඇත.

ථෙරවාදී බෞද්ධ ග්‍රන්ථ ලියැවී ඇත්තේ පාලි භාෂාවෙනි. ඉන්පසුව ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේ සිට ඇති වූ මහායාන බුදුසමය ලියැවී ඇත්තේ සංස්කෘත භාෂාවෙනි. මේ පිළිබඳ මීට වඩා දීර්ඝ විස්තරයක් කිරීම අනවශ්‍යය.

මෙම ග්‍රන්ථවල සඳහන් වන අන්දමට ක්‍රිස්තු පූර්ව 249 වනතුරුම මෙම ලුම්බිනි ග්‍රාමය (ගම) ජනතාව අතර ඉතාමත් ප්‍රකට විනෝද උයනක් ලෙසින් පැවතුණි. එහෙත් අසෝක රජතුමා විසින් මෙම විනෝද උයනේ පිහිටුවන ලද ශිලා ටැඹෙහි ශාක්‍ය මුනි බුදුරජාණන් වහන්සේ උපන්නේ මේ භූමියේ බව සඳහන් කිරීමෙන් පසුව ඒ ශිලා ටැඹ එදා සිටම පැවතෙන්නට ඇත. ඒ ශිලා ටැඹ පිහිටුවන ලද්දේ බුද්ධකාලයට වසර කිහිපයකට පමණ පසු බව පැහැදිලිය. මේ නිසා 2011 සිට 2013 තෙක් මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් විසින් මෙම භූමියෙහි කරන ලද පුරාවිද්‍යා කැණීමට හේතු වූ ඉතා පැහැදිලි පුරාවිද්‍යා හා ඓතිහාසික සාක්ෂිය වන්නේ මෙම අසෝක ශිලා ස්තම්භයයි.

එය ඉතා ඈතට පෙනෙන ලෙසින් තිබුණු බව ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ දී පුරාණ ජම් බුද්වීපයට පැමිණි (ක්‍රි.ව. 411 දී ලංකාවට ද පැමිණි) ෆාහියන් නම් වූ චීන භික්ෂූන් වහන්සේගේ වාර්තාවලද ඊට වසර දෙසියකට පමණ පසු ලුම්බිනි පුදබිමට පැමිණි තවත් භික්ෂූන් වහන්සේ නමක් වූ හියුංෂාං හිමියන්ද කරන ලද විස්තර අනුව පුරාවිද්‍යාඥයන් විසින් සොයාගන්නා ලද මේ පුදබිමෙහි මීට ඉහතදී 1933 සහ 1977 – 78 යන කාලවලදී ද පුරාවිද්‍යා කැණීම් සිදුකර ඇතත් මහාමායා දේවියගේ මව්කුසින් සිදුහත් කුමරු උපන් ස්ථානය නිශ්චිතවම හඳුනා ගැනීමට මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින්ට හැකි වූයේ බුද්ධ කාලයේ සිටම තිබූ මෙම මහාමායා දේවි විහාරය නිසාය. මහාමායා දේවි විහාරය කැණීමට පෙරද මෙම පුදබිමෙහි නිශ්චිත ලෙසම සිදුහත් කුමරු උපත ලද ස්ථානය හඳුනාගෙන තිබුණි. ඒ ස්ථානය තිබුණේ මහා මායාදේවි විහාරයේ ය. ඒ ස්ථානයේ පිහිටුවන ලද ශිලාමය වූ ඵලකයක් (ශිලා කැබැල්ලක්) හමු වී ඇත. ඒ ශිලා කැබැල්ල පිහිටුවා තිබුණේ නිශ්චිත ලෙසම සිදුහත් කුමරු උපත ලද ස්ථානය හැඳින්වීමටය. මෙම පුරාවිද්‍යාඥයින් හඳුන්වනු ලබන්නේ Marker Stone (මාකර් ස්ටෝන්) යන නාමයෙනි. මෙම පුරාවිද්‍යා කැණීම් සිදුවූයේ 2011 – 2013 කාලයේදීය. එය ආරක්ෂා කිරීම සඳහා විශේෂිත වූ ආරක්ෂක ආවරණයක් ද යොදා ඇත. එය වීදුරු ඵලකයක් ලී රාමුවක් සහිතව පිහිටුවා තිබේ.

මෙම ආවරණය වෙඩි නොවදින අන්දමේ ආරක්ෂක ඵලකයකින් එසේ ආරක්ෂා කර ඇති බවද විශේෂයෙන් සඳහන් කළයුතුව ඇත.

(Lumbini – A heben of sacred refuge by basanta bidari page 272 (2007)

මේ අනුව සිදුහත් කුමරු උපත ලද භූමිය හඳුනා ගැනීමට ලුම්බිනි ග්‍රාමය ක්‍රි. පූර්ව 249 දී එහි පිහිටුවන ලද ශිලා අසෝකශිලා ස්තම්භය උපකාරී වූවක් මෙන්ම සිදුහත් කුමරු උපන්ස්ථානය නිශ්චිතවම හඳුනාගැනීමට 2011 – 2013 පුරාවිද්‍යාඥයින්ට ඉහත සඳහන් මහාමායාදේවි විහාරයේ ඇතුළත යට තිබුණු එම ශිලා ඵලකය ද උපකාරී වූ බව මෙහිදී සඳහන් කළයුතුව ඇත.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 8 : සිදුහත් උපත සිදුවූ ලුම්බිනි පුදබිම

 

 නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 08 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.34 ට ලබයි. 9 වනදා බදාදා පූර්ව භාග 07.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 08 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 15 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]