UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රජත ජයන්තිය සමරන බඹරැන්ද මාලියද්ද පුරාණ විහාරස්ථ සිරි උපතිස්ස දහම් පාසල

රජත ජයන්තිය සමරන බඹරැන්ද මාලියද්ද පුරාණ විහාරස්ථ සිරි උපතිස්ස දහම් පාසල

දහම් පාසල තරම් නූතන යුගයේ අභියෝග හමුවේ සමාජය තුළ ගලා යන වෙනත් සමාජ ආයතනයක් නැති තරම් ය. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, ශ්‍රීමත් හෙන්රි ස්ට්ල් ඕල්කට්තුමා, බිවැස්කී මැතිණිය වැනි ප්‍රගතිශිලින්ගේ නොමඳ කැපකිරීම හමුවේ ශ්‍රී ලංකාවේ දහම් පාසල ආරම්භ වේ.


බඹරැන්දේ උපතිස්ස නා හිමි

 


විල්පිට බුද්ධරක්ඛිත හිමි


 


විහාරාධිපති හා ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත කුඹුක්වැවේ හේමසිරි හිමි

මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර මැතිවරණ බල ප්‍රදේශයේ දික්වැල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් බඹරැන්ද, නැගෙනහිර මාලියද්ද ග්‍රාමයේ පිහිටි මාලියද්ද පුරාණ විහාරස්ථ සිරි උපතිස්ස දහම් පාසල පිහිටා ඇත. ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් 39 අතර වැඩිම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් සිටින දහම් පාසල මෙම දහම් පාසලයි. මෙහි දහම් අධ්‍යාපනය ලබන දරුවනට දහම් අධ්‍යාපනය ලබාදීමට සමත් දක්ෂ අත්දැකීම් බහුල ගුරුභවතුන් 26 දෙනෙකු සිටී. ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දීප්තිමත් දහම් පාසලක් වන මෙම දහම් පාසල මාණ්ඩලික තරගවලදී සෙසු දහම් පාසල්වලට අභියෝගයක් වෙමින් දැනුමෙන් හා බුද්ධියෙන් පෙරමුණ ගෙන සිටී.

ඉතා මනරම් කුඹුරු යායකින් හරි අඩක් පමණ වටවන මාලියද්ද පුරාණ මහා විහාරය මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇත. පෞරාණික අලංකාර බෝධිය අත්‍යලංකාර ස්තූපය මනරම් ධර්මශාලාව නුවර අවධියට නෑකම් කියන බිතුසිතුවමින් සමලංකෘත බුදුමැදුර ද ඇතුළු සියලු විහාරාංගවලින් සමන්විත මාලියද්ද පුරාණ විහාරය ආගමික, සාමාජික, ජාතික මෙහෙවරෙහි තෝතැන්නකි. විනීත ගතිගුණවලින්, සපිරි වර්තමාන විහාරාධිපතීන් වහන්සේ මෙම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය හොබවන අතර, සිරි උපතිස්ස දහම් පාසල 25 වැනි වියට පාතබන විට එහි ප්‍රධානාචාර්ය ධූරය හෙබවීම ආරම්භක ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ වීම දෛවෝපගත සිද්ධියකි.

ලංකාවේ විවිධ සමාජ ආයතන ආරම්භවන්නේ හතු පිපෙන්නාක් මෙනි. එහෙත් ඒවා අතරමගදී කඩා වැටෙන්නේ ඒවායේ අභිමතාර්ථය යහපත් නොවන නිසාය. එවැනි සමාජ ආයතනවලට කදිම ආදර්ශයකි. මාලියද්ද සිරි උපතිස්ස දහම් පාසල. මෙම දහම් පාසල ආරම්භ කරන විට එහි ළමයින් 145 ක් නමුත්, එය 25 වැනි වියට පත් වන විට ළමයින් සංඛ්‍යාව 700කි. එයින් මෙම දහම් පාසල පැමිණි ගමන් මාර්ගය කදිමට පෙනේ.

සිරි උපතිස්ස දහම් පාසල යන නම මෙයට තබන ලද්දේ මෙම දහම් පාසලේ මුල්ම ප්‍රධානාචාර්යධුරය හොබවන ලද නූතනයේ මෙම විහාරස්ථානයේ විහාරාධිපතිත්වය දරන විශ්‍රාමික පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති කුඹුක්වැවේ හේමසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ වීමත්, බඹරැන්දේ උපතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධූරයක් දරමින් එහි ප්‍රධාන විනය පාලක ධුරය දරන ලද මහායතිවරයාණන් වහන්සේ කෙනෙකු වීමත්, ප්‍රදේශයේ දැන උගත් යතිවරයාණන් වහන්සේ කෙනෙකු වීමත් නිසාම ය.


ප්‍රධානාචාර්ය හිමියන් සහ ආචාර්ය මණ්ඩලය


ප්‍රධානාචාර්ය හිමියන් සහ ශිෂ්‍ය නායක මඬුල්ල

ඉරිදා උදේ මාලියද්ද පුරාණ විහාරයට පැමිණෙන සැමට කදිමට දැකිය හැකි සුපහන් දසුනක් වන්නේ සුදුවතින් සැරසුණු මල්බඳු දරු දැරිවියන්ය. දරුවන්ගෙන් වැසීයන පුදබිම කාගේත් සිත් ප්‍රබෝධමත් කරනු ඇත. ශීලාචාර ගතිගුණවලින් හෙබි සංයමය, හික්මීම, ගුණගරුක උතුම් මිනිස් ගතිගුණවලින් පිරිපුන් දරු දැරිවියන් නිසා ඉරිදා උදෑසන මෙම පින් බිම ශෝබාමත් විය.

මාණ්ඩලික තරගවලින් දිස්ත්‍රික් හා සමස්ත ලංකා තරගවලින් ජයලබන දරුවන් නිසා සෑමදාම සිරිඋපතිස්ස දහම් පාසලේ නාමය ඉදිරියෙන් තිබේ. සෑම වසර 02 කට වරක් පැවැත්වෙන දහම් පාසලේ නිවාසාන්තර තරගය සෑම කෙනෙකුගේම අවධානය යොමුවන මොහොතකි. ශීල, සමාධි, ප්‍රඥා යන නාමයන්වලින් වෙන්වන දරු දැරියන්ය. තම දක්ෂතාවන් මොනවට අර්ථවත් කරගනී. දහම් දැනුම, ගද්‍ය රචනා, කථික, චිත්‍ර, පද්‍ය, භක්ති ගීත ඇතුලු තරගවලින් සමන්විත මෙම නිවාසාන්තර තරගාවලියේ වැදගත්ම අවස්ථාව දක්නට ලැබෙන්නේ සඟරා තරගයයි. ඇතැම් විට නිවාසයේ ජය තීරණය වන්නේ එම සඟරාවේ ජය අනුවය. දරුවන්ගේ ශාස්ත්‍රිය ලිපි එකතුව තුළින් මෙම සඟරාව නිර්මාණය වේ.

වර්තමානයේත් ආරම්භක අවස්ථාවේත්, ප්‍රධානාචාර්ය ධුරය දැරූ ස්වාමීන් වහන්සේ වන ශාස්ත්‍රපති කුඹුක්වැවේ හේමසිරි ස්වාමීත් වහන්සේ පාසල් ගුරු සේවයේ කෘතහස්ත පරිනත රාජ්‍ය පරිපාලනඥයෙකි. එබැවින් උන්වහන්සේ පිරිස පාලනයට සහජයෙන්ම දක්ෂතා ලැබුවෙකි. නිරතුරුව උන්වහන්සේගේ අධීක්ෂණය දහම් පාසලට ලැබෙන අතර, පරිනත බවින් හා දැනුමින් සන්නද්ධ ගුරු මණ්ඩලයක් හිමි වීම මෙම දහම් පාසලේ දියුණුවට තවත් හේතුවකි.

දහම් පාසලට ගුරුභවතකු සොයා ගැනීම අපහසු කරුණකි. නිස්සරණාධ්‍යාශයෙන් අපමණ කැපකිරීමක් වන උතුම් කර්තව්‍යයට අතදීමට ධනය පසුපස යන සමාජයෙන් කෙනෙකු යොමු කර ගැනීම බෙහෙවින් දුෂ්කරය. එනමුත් සිරි උපතිස්ස දහම් පාසලට ගුරුභවතුන් 26 ක් සිටීම තුළ එම දහම් පාසලේ වටිනාකම මොනවට පැහැදිලි වේ. ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු ගුරු භවතුන් 10 ක් පමණ තම උතුම් සේවා කාලය වසර 15 ඉක්මවා සිටීම තුළ එය මොනවට පැහැදිලි වේ. දහම් පාසලේ බර දැරීමට ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ සුරයෙකි. ඒ බව කදිමට නිරූපණය වන්නේ දැඩි කැපවීමකින් යුතු වර්තමානයෙහි දක්නට ලැබෙන සිරි උපතිස්ස දහම් පාසලේ ආදි ශිෂ්‍ය සමිතිය බොහෝ බරපැනක් හා දැඩි කැපවීමක් දක්වන බැවිනි. දහම් පාසලෙන් විනීත ගතිගුණවලින් යුතු මිනිසුන් බිහි කිරීමේ අග්‍රගන්‍ය ඵලයක් වන ආදිශිෂ්‍ය සමිතිය ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ සමඟ එකට සිටිමින් සෑම සහයෝගයක්ම ලබා දේ.

සම්භාවනිය සඟ පරපුරක කීර්තිමත් පරපුරක් වන ශ්‍රී ධම්මදින්න සඟ පරපුරට අයත් කීර්තිමත් විහාරස්ථානයකි, මාලියද්ද පුරාණ විහාරය, සියලු විහාරාංගයන්ගෙන් සමන්විත මාලියද්ද පුරාණ විහාරය සිරි උපතිස්ස දහම් පාසලට හොබනා පින්බිමකි.

ජනහිතකාමී දැහැමි බෞද්ධ සමාජයක් ගොඩනැගීමට කැපවන පිවිතුරු මිනිසුන් සිටින සමාජයක මාලියද්ද සිරි උපතිස්ස දහම් පාසලට හිමිවන්නේ සුවිසල් කීර්තිමත් නාමයකි. රජත ජයන්තිය සමරන සිරිඋපතිස්ස දහම් පාසලට, ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේට, වර්තමාන ගුරුභවතුනට හා සියලු සිසු සිසුවියනට අපගේ සුභාශිංසන හිමි වේ. ජය හා සතුට අත්වේවා’යි පතමින් සුභාශිංසන එක්කරමි. චිරං ජයතු,

තෙරුවන් සරණයි,

දහම් පාසලේ වත්මන් ආචාර්ය මණ්ඩලය

පූජ්‍ය කුඹුක්වැවේ හේමසිරි හිමි, (ප්‍රධානාචාර්ය) ඊ.කේ.ඩබ්. දිසානායක, (අතිරේක ප්‍රධානාචාර්ය) එච්.වයි.ටී.ආර්. සම්පත්, එම්.කේ. පී. කරවිට, (උප ප්‍රධානාචාර්ය), එච්.කේ. දමිත, ඩී. මහින්ද, එච්.පී. ජයසේන, ඩබ්.පී. අමරාවතී (ප්‍රාථමික අංශ ප්‍රධානී) එම්. මුතුකුමාරණ, පී.ජී. දයා මල්ලිකා, එප්.එච්.අයි. පද්මලතා, කේ.ඒ. සමන්ති තුෂාරි, ජී.සී. තිලකලතා, ඒ. එදිරිමුණි, ආර්.එම්. නදීෂා චමරි, ඒ.කේ.එම්. පි‍්‍රයදර්ශනී, ඩබ්.ඒ. රොෂාන්ති චන්දිමා, සී.එන්, සමරවීර, ටී.එම්.කේ. තෙන්නකෝන්, වී.ජී. ගයනි හර්ෂා, ඩී.කේ. ඉන්ද්‍රා, එල්.ඩී.වන්නිආරච්චි, යු.ඩබ්. සමන්තා, එල්.සී. සමරවික්‍රම, යු.ඩබ්. අචිනි උදාරි, ඩී.රූබසිංහ මහත්ම මහත්මීහු වෙති.


මාලියද්ද පුරාණ විහාරයේ පෞරාණික විහාර මන්දිරයේ නුවර යුගයට අයත් සිතුවම්


 

සොම්නස් ගෙන දෙන්නකි දික්වැල්ල ප්‍රාදේශීය

දහම් පාසල් සේවාවෙහි විසි පස් වසර (රිදී සමරුව) තෘප්තියෙන් සැමරීමට ලැබීම කවරකුට වුව සොම්නස් ගෙන දෙන්නකි.

මාලියද්ද සිරි උපතිස්ස දහම් පාසල මේ භාග්‍ය හිමි කරගෙන සිටී. දික්වැල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් තිස්නවය (39) අතර මනා කළමනාකාරීත්වයක්, දැක්මක් හා වැඩ පිළිවෙළක් ඇති ප්‍රධානාචාර්යවරුනට, ගුරුවරුනට, දරුවනට හා මා පිය භාරකරුවනට, ආදර්ශයක්, ප්‍රයෝජනයක් හා දැනුමක් ලබාගත හැකි, තැනක් බවට මේ දහම් පාසල පත්කිරීමේ ගෞරවය මෙහි ප්‍රධානාචාර්ය හා විහාරාධිපති ශාස්ත්‍රපති කුඹුක්වැවේ හේමසිරි හිමිපාණන්ට හිමි වේ.

උන්වහන්සේ දික්වැල්ල විජිත මැදි මහ විදුහලෙන් විශ්‍රාම ගෙන මාලියද්ද පුරාණ මහා විහාරාධිපතීන් වහන්සේ ලෙස ප්‍රදේශයේ දරුවන්ගේ ධර්ම ඥානය වැඩිදියුණු කිරීම හා ඔවුන් බෞද්ධ ප්‍රතිපත්තිවලට හුරු කරවීමේ අවංක උත්සාහයක නියැලෙන, විහාරස්ථ දායක දායිකාවන් ගේ ආගමික අවශ්‍යතා මැනැවින් සපුරන, භික්ෂු මහා සංඝයා සමඟ අතිශය හිතවත්ව කටයුතු කරන, සමාජ හා ජාතික කටයුතුවල ද නියැලෙන ක්‍රියාශීලි පි‍්‍රයශීලි හිමි නමකි.

සිරි උපතිස්ස දහම් පාසල අද මේ තැනට ගෙන ඒමට උන්වහන්සේට හැකි වූයේ කුඩා කල සිට දහම් පාසල් අධ්‍යාපනය කෙරෙහි දැක් වූ ළැදියාව, හා කැපවීම නිසා ය. පිරිවෙන් අධ්‍යාපනය ලබන කාලයේ දී ගාල්ලේ යටගල රජමහා විහාරය, උනවටුන බෝධිරාජ විහාරය හැඩි දෙමළ කන්ද හා යද්දෙහි මුල්ල යන ස්ථානවල පැවැති දහම් පාසල්වල සතියේ නිවාඩු දෙදින වරු හතරෙහි ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සැබැවින්ම ඇදැහිය යුතු, ගරු කළ යුතු, අතිශයින් ප්‍රශංසනීය ශාසනික කටයුත්තෙකි. උසස් අධ්‍යාපනය සඳහා අගනුවර නවාතැන් ගෙන සිටි දෙහිවල කවුඩාන මංගලාරාමය හා බත්තරමුල්ල හීනටිකුඹුර සුචරිතවර්ධන යන දහම් පාසල්වල සිදු කරන ලද සේවය ද අගය කළ යුතු ය.

පාසල් ගුරුවරයකුව සිටි අවධියේ අම්බලන්තොට මහා විද්‍යාලයේ ආරම්භ කරන ලද සිරි සරසවි දහම් පාසල අද වන විට ප්‍රදේශයට සුවිශාල සේවාවක් සිදු කරන කීර්තිමත් දහම් පාසලක් බවට පත් ව ඇත. දික්වැල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ තලහිටියාගොඩ පරාක්‍රම දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා වශයෙන් කටයුතු කොට සිය ගුරුදේවයන් වහන්සේ නමින් ආරම්භ කරන ලද සිරි උපතිස්ස දහම් පාසල අද උන්වහන්සේගේ අධ්‍යාපන සේවාවේ අග්‍රඵලය බවට පත්ව ඇත.

1991 මාර්තු 10 දින ආරම්භ කරන ලද මේ දහම් පාසලට වසර 25 ක් සපිරෙයි. මෙහි උගත් ඇත්තන් මේ වන විට දහස් ගණනෙකි. ඔවුන් අද විවිධ සමාජ සේවා හා රාජ්‍ය සේවාවන්හි ඉහළින් ජීවත්වනු දැකීම උන්වහන්සේට කිව නොහැකි තරම් සතුටකි.

2016 මාර්තු 10 වන දිනට යෙදෙන සිරි උපතිස්ස රිදී සමරුව වෙනුවෙන් 12/13 දෙදින ආගමික අධ්‍යාපනයට ගැළැපෙන පරිදි ආදර්ශවත් වැඩ සටහනක් සංවිධානය කිරීම වැදගත් ය.

මවුපිය උපහාර, ගැබිනි මාතා සද්කාර, වෛද්‍ය සායන, ගුරු උපහාර, බැතිගී ගායනා හා ත්‍යාග පිරිනැමීම වැනි ආගමික හා සමාජ සත්කාරක වැඩසටහන් මීට ඇතුළත් ය.

දික්වැල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ වැඩිම දරු පිරිසක් ඉගෙනීමේ යෙදෙන වැඩිම ගුරු පිරිසක් ඇති, සිසු නිපුණතා ඇගැයීම්වලින් හා ශ්‍රේණි විභාග සමතුන් ද සිටින, ආයතනික ගැටලු කිසිවක් නැති, ආදර්ශවත් මෙම දහම් පාසලේ රිදී සමරුවට අපගේ ආශිර්වාදය පළ කරමින් තවදුරටත් ප්‍රදේශයට හා රටට ඉහළ සේවාවන් සිදු කරන්නට ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ගුරු දරු දෙගුරු හැමට තෙරුවන් සරණ පතමි.

 

 නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 08 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.34 ට ලබයි. 9 වනදා බදාදා පූර්ව භාග 07.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 08 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 15 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]