UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ මූලාශ්‍රයාගත රෝග හා රෝග නිදාන

බෞද්ධ මූලාශ්‍රයාගත රෝග හා රෝග නිදාන

ආචාරවිද්‍යාව හා බැඳුණු දර්ශනයක් වන බුදුදහම මෙවැනි ප්‍රතිකාර ක්‍රම පිළිගැනීම සම්බන්ධයෙන් අපගේ දැක්ම විචාරශීලි විය යුතුය. රෝගය හා රෝගියා සම්බන්ධයෙන් බුදුන් වහන්සේ දක්වන ආකල්පය මෙයින් අනාවරණය වේ

ආයුර්වේදයේ අරමුණ යමෙකු තුළ පවතින ත්‍රිදෝෂ මල අපහරණය හා ධාතු සාම්‍යය අඛණ්ඩව පවත්වාගෙන යාමයි. ඒ අනුව වාත පිත්ත කඵ (සෙම්හ) දෝෂ බැහැර කිරීම ශරීරාභ්‍යන්තරයේ පවතින මල අපහරණය කිරීම සහ පඨවි, ආපො, තේජෝ, වායෝ යනාදී ධාතු සම තත්වයකින් පවත්වාගෙන යාමත් ස්වස්ථතාව හෙවත් ශාරීරික සෞඛ්‍යය සඳහා හේතු වේ. රෝගයක් වැලඳුණු කළ එම රෝගයට හේතුව විනිශ්චය කර ගැනීම වෛද්‍යවරයෙකුගේ මූලික වූ වුවමනාවකි. එසේ රෝග නිදානය හඳුනා නො ගැනීමෙන් පිළියම් කිරීම මහත් ව්‍යසනයකට හේතු වේ. එබැවින් රෝගයකට පිළියම් කිරීමේදී රෝග නිදානය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.

බෞද්ධ මූලාශ්‍රවලට අනුව වා, පිත්, සෙම් යන තුන බොහෝ රෝගයන්ගේ මූලික නිදානය වේ. ඊට අතිරේක අවශේෂ හේතු පහත විස්තර වේ. චරකාචාර්යවරයා දක්වන පරිදි රෝග නිදාන තුනකි. ඉන් පළමුවැන්න ආසාත්ම ඉන්ද්‍රයාර්ථ සංයෝග නමින් දැක්වේ. මෙයින් අදහස් වන්නේ ඉන්ද්‍රියන්ගේ අතියෝගය, ආයෝගය හා මිථ්‍යායෝගය යන තුනයි. එයින් ඉන්ද්‍රිය අතියෝගය යනු ඉන්ද්‍රියන් වුවමනාවට වඩා වෙහෙසවා ක්‍රියාකරවීමයි. අධික දීප්තිමත් හිරු රැස් ආදියට ඇස් නිරාවරණය කිරීම අධික ශබ්දවලට කන් විවර කිරීම ආදිය මීට නිදසුන්ය. මෙය වැරදි ක්‍රියාකාරකමකි. ආයෝගය යනු යෙදවීමයි. දරුවන් අඩ අඳුරේ පොත් පත් කියවීම නිදසුනකි. මිථ්‍යායෝගය යනු අධික ශීතල හෝ උණුසුම් ජලය බීම වැනි වැරදි ඉන්ද්‍රිය භාවිතයයි. මෙකී සියලු ආකාර වැරදි ඉරියව් පැවැත්ම ආසාත්ම ඉන්ද්‍රියාර්ථ සංයෝගය නමින් ආයුර්වේද ශාස්ත්‍රයේ සඳහන් වේ. ආයුර්වේදයේ දක්වන දෙවන රෝග නිදානය වන්නේ පරිණාම හෙවත් දේශගුණික බලපෑම් ය. තෙවැන්න ප්‍රඥාපරාධ හෙවත් දැන දැන සෞඛ්‍යයට අහිතකර පුරුදුවල යෙදීමයි. වැරදි ඉරියව්වක සිට පරිගණකයක් අධික වේලාවක් තුළ පාවිච්චි කිරීම මීට නිදසුනකි. මෙකී ත්‍රිවිධ කරුණු රෝග හටගැනීමට කාරණා වේ.

රෝගාබාධ සම්බන්ධයෙන් නාමාවලි සහ නිදාන මූලික දැක්වීම බෞද්ධ මූලාශ්‍රවලද දක්නට ලැබේ. පිත්තසමුට්ඨානා ආබාධා, සෙම්හසමුට්ඨානා ආබාධා, වාතසමුට්ඨානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතුපරිණාමජා ආබාධා, විසමපරිහාරජා ආබාධා, ඔපක්කමිකා ආබාධා, කම්මවිපාකජා, ආබාධා, යනුවෙන් දැක්වීම නිදාන මූලික රෝග වර්ගීකරණයක් වේ. ලෝකයේ පැවති සහ අලුතින්ම ඇති වී තිබෙන රෝග සංඛ්‍යාව ගණනය කිරීම නිශ්චිත ක්‍රියාමාර්ගයක් නොවන බැවින් මෙසේ නිදාන මූලික වශයෙන් දැක්වීම සුදුසු ක්‍රමයකි. බටහිර වුවද ආයුර්වේද වුවද වෛද්‍යවරයෙකුට වඩා වැදගත් වන්නේ රෝගයේ නමට වඩා නිදානය හඳුනා ගැනීමයි. ඉහත දැක්වෙනුයේ බෞද්ධ මූලාශ්‍රය දක්වා ඇති රෝග නිදාන නැතහොත් රෝග හටගැනීමේ හේතුය.

රෝග පිළිබඳව සාකච්ඡා කිරීමේදී බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන තවත් ආබාධ ත්‍රිත්වයක් ගැන හඳුනා ගැනීම සුදුසුය. ඒවා ඉච්ඡා, අනසන, ජරා යනුවෙන් දක්වා ඇත. පුරාණ කාලයෙහි ලොව පැවතියේ මෙම රෝග තුන පමණකි. පසුව මෙය සතුන් මැරීම ආදිය හේතුවෙන් අක්ෂි රෝග කර්ණ රෝගාදි වශයෙන් රෝග අට අනූවක් (98) දක්වා වැඩි විය.

තයො රොගා පුරෙ ආසුං
ඉච්ඡා අනසනං ජරා
පසූනඤ්ච සමාරම්භා
අට්ඨානවුතිමාගමා

මීට වඩා පුළුල් රෝග නාමාවලියක් ගිරිමානන්ද සූත්‍රයේ හමුවේ. ඒ අනුව අක්ෂි රෝග (චක්ඛුරොගො) කර්ණ රෝග (සොතරොගො) නාශික රෝග (ඝානරොගො) ජිහ්වාරෝග (ජිව්හාරොගො) කායරෝග (කායරොගො) ශීර්ෂ රෝග (සීසරොගො) කණ්ණරොගො (කණ්ණරොගො) මුඛරෝග (මුඛරොගො) දන්ත රෝග,(දන්තරොගො) තොල් රෝග, (ඔට්ඨරොගො) කාස රෝගය (කාසො) ශ්වසනරෝග (සාසො) පීනසය (පීනාසො) උණරෝග (ජරො) බඩේ රුජා (කුච්ඡීරොගො) මූර්ඡාව (මූච්ඡා) අතීසාරය (පක්ඛන්දිකා) ප්‍රතිශ්‍යාව (සූලා) කොළරාව (විසූචිකා) කුෂ්ට (කුට්ඨා) ගෙඩි (ගණ්ඩො) පණුකැවිලි (කිලාසො) ක්ෂයරෝගය (සෙසො) අපස්මාරය (අපමාරො) සමරෝග (දද්දු) කැසිල්ල (කණ්ඩු) කොරපොතු (කච්ඡු) සොෙරෙයසීස් නම් චර්මරෝගය (රබසා) හොරි (විතච්ඡිකා) (ලොහිතං)(පිත්තං) දියවැඩියාව (මධුමෙහො) අර්ශස් (අංසා) පිළිකාව (පිළකා) භගන්දරා (භගන්දලා) යනාදී වශයෙන් රෝග රාශියකි.

බුදුදහමෙහි මෙම රෝගවලින් බොහෝ විට දක්වා ඇත්තේ දුක්ඛ යන්න විස්තර කිරීමේදීය. රෝග සියල්ල කෙසේ වෙතත් අවම වශයෙන් ඉහත කී රෝග අටානුවවත් නාමමාත්‍රිකව හෝ සංග්‍රහ කළ තැනක් බෞද්ධ සාහිත්‍යයෙහි හමු නොවේ. එහෙත් සියලු රෝග ආවරණය වන පරිදි රෝග නිදාන දක්වමින් කරන ලද යම් යම් ප්‍රකාශන එහි දක්නා ලැබේ. විශේෂයෙන්ම බටහිර හෝ ආයුර්වේදයට හමුවන හා හමුනොවන ස්වභාවයේ රෝග විශේෂයක් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ පැනේ. පාපරෝග නමින් රෝග විශේෂයක් දක්වා තිබීම නිදසුනකි. අර්ශස්, භගන්දරා, පිත්, සෙම් රෝග හා කාස, සෝස යන රෝග මෙකී පාපරෝග ගණයට වැටේ. විනයට අනුව මෙම රෝගවලින් පෙලෙන්නන් පැවිදි කිරීම තහනම්ය. පඤ්චාබාධ නමින් දක්වා ඇති රෝග පහක් පිළිබඳවද පෙළෙහි සඳහන් වේ. කුෂ්ට, ගණ්ඩ, කිලාස, සොස, අපමාර යනු ඒ පහයි. කලෙක මගධ ජනපදයෙහි මෙම රෝග පහ උත්සන්න වූ බවත්, එය කෙතරම් ප්‍රබලව බලපෑවේද යත් එම රෝගයෙන් පෙළෙන්නන් පැවිදි කිරීම පවා බුදුන් වහන්සේ විසින් තහනම් කර ඇත. එම රෝග අතර වන කුෂ්ට රතු පැහැති හෝ කලු පැහැති වූ අතර ගණ්ඩ හෙවත් ගෙඩි විවිධාකාරයෙන් සිටින බව දක්වා ඇත. සාසපගණ්ඩ නම් වන ගඩු විශේෂය අබ ඇටයක් තරම් වන අතර සකල ශරීරයේ පැතිර පවතී. උණ්ණිගන්ඩ නම් තවත් ගඩු විශේෂයක් ගව තන පුඩු මෙන් මුළු සිරුරේ තැන තැන එල්බේ. කඩා කල කිරි පිලිකා නම් වන ගෙඩි තරුණ වියේ දී බර පිළකා (රළු ගෙඩි) බවට පත්වන බවත් විනයට්ඨකථාවේ දක්වා ඇත. පදුමකණ්ණිකා නම් තවත් ගඩු විශේෂයක් සිරුර පුරා ව්‍යාප්ත වන බවද මෙහි දැක්වේ. මෙම සියලු කුෂ්ට රෝගීන්ද පැවිදි කිරීම තහනම්ය. කිලාස යනු ද කුෂ්ට විශේෂයක් ම වේ. නමුත් මේවා බිඳී පිපිරී ඕජාව ගලන ඒවා නොවේ. වර්තමානයේ අප කබර නමින් හඳුන්වන රෝගයට සමාන රෝගයකි. සොස යනු ශ්වසන රෝගයක් වන අතර, අපමාර යනු අපස්මාරයයි. සිත හා අමනුෂ්‍ය බලපෑම යන හේතු දෙක නිසාම මෙම අපස්මාර රෝගය සැදිය හැකි අතර පූර්වවෛරී අමනුෂ්‍යයන් නිසා සිදුවන අපස්මාරය පිළියම් කිරීමට අපහසු ආබාධ තත්වයක් වේ.

වා , පිත්, සෙම් කෝපයෙන් හටගන්නා රෝග වාතරෝග පිත්තරෝග හා සෙම්හ රෝග යනුවෙන් දැක්වේ. මේවාට විවිධ විරේචන නශ්‍යකර්ම ආදිය පෙන්වා දී ඇත. සන්නිපාත රෝග යනු මෙම ත්‍රිදෝෂයන්ම බලවත්ව නැගුණු කල්හි ඇතිවන රෝගයි. මෙම රෝග නාමාවලියේ සමගාමීව දක්වා ඇති අනෙක් ආබාධය වන්නේ උතුපරිණාමජ ආබාධයි. දේශගුණික විපර්යාසයද හේතුවෙන් මෙකී රෝග හටගැනේ. විදේශයකට හෝ වෙනත් පළාතකට යන පුද්ගලයෙකුට අධික ශීතල අධික උෂ්ණ ආදි දේශගුණික වෙනස්කම්වලට මුහුණ දීමට සිදුවීමෙන් මෙකී ආබාධ තත්වයන් ඇතිවිය හැකිය. චරකසංහිතාවේ පරිණාම යනුවෙන් දක්වා ඇත්තේ මෙබඳු රෝග වේ. සූර්යා නිසා ඇතිවන රෝග හතරක් පිළිබඳව මිළින්දපඤ්හයේ සඳහන් වන බවද මෙහිලා සඳහන් කළ යුතුය. ඒවා 1.අබ්හ 2.මහික 3 මෙඝ 4.රාහු යනුවෙන් දක්වා ඇත. තවද ප්‍රඥාපරාධ යටතේ චරකසංහිතාවේ විස්තර කළ රෝග විශේෂය බෞද්ධ සාහිත්‍යය පාර්ශ්වයෙන් විසමපරිහාරජ ආබාධ ගණයට ඇතුළත් කළ හැකිය. විෂම ලෙස ඉරියව් පැවැත්වීමෙන් ඇතිවන කොන්දේ අමාරුව වැනි දණිස් අමාරුව වැනි ආබාධ මේ ගණයට අයත් වේ. අතිචිරට්ඨාන නිසජ්ජාදිනා විසමපරිහාරෙන ජාතා යනුවෙන් බොහෝ වේලාවක් සිටීම හිඳීම ආදි විෂම පැවැත්මෙන් හටගැනෙන ආබාධ ලෙස එම රෝගය සැදිය හැකි ආකාරය ටීකාවන්හි දක්වා ඇත. අධික බර ඉසිලීම අධික ලෙස බඩගින්නේ සිටීම ආදියෙන්ද මෙම රෝග තත්වය මතුවේ. වෙනත් අයගේ උපක්‍රම හේතුවෙන් ද කෙනෙකු ආබාධිත තත්වයට පත් විය හැකිය. එසේ ඇතිවන ආබාධ තත්වයන් ඕපක්කමික ආබාධ ලෙස නම් කෙරේ. මීට අමතරව පූර්ව කර්ම හේතුවෙන් විඳවන කර්මවිපාකජ ආබාධ විශේෂයක්ද වේ. ඉහත විස්තර කළ පිත්තසමුට්ඨාන ආබාධ, වාතසමුට්ඨානා, ආබාධ සෙම්හ සමුට්ඨාන ආබාධ, සන්නිපාත ආබාධ, උතුපරිණාමජ ආබාධ, විසමපරිහාරජ ආබාධ, ඕපක්කමික ආබාධ යන සප්ත ආබාධයන්ගෙන් ඇතිවන කායික වේදනාව ප්‍රතිකාර මගින් සමනය කළ හැකිය. එහෙත් කර්ම විපාකජ ආබාධ තත්වයන් එසේ බේත් හේත් මගින් සමනය කළ නොහැකිය. ඒවාට පිළියම් කිරීම අපහසු වන අතර අදාළ කර්මයට නිසි ආදීනව විඳීමෙන්ම ඒවායේ ව්‍යපශමනය බලාපොරොත්තු විය යුතුය. එසේම බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නො පිළිගැනෙන එහෙත් ආයුර්වේදයෙහි පිළිගැනෙන රෝග විශේෂයක් ගැනද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ඒවා නම් යක්ෂ, භූත, පේ‍්‍රත පිශාචාදීන්ගෙන් වන්නා වූ රෝග වේ. ආයුර්වේදයේ මෙබඳු රෝග ආධිදෛවික රෝග නමින් සුශ්‍රැත සංහිතාවේ හැඳින්වේ. මහාවග්ගපාළියේ සඳහන් වන පරිදි වරක් එක්තරා භික්ෂුවකට අමනුස්‍යාබාධයක් වැළඳුණි. ආචාර්ය උපාධ්‍යායවරුන්ට එම රෝගය සංසිඳවීමට නොහැකි විය. රෝගී භික්ෂුව ඌරන් මරන ස්ථානයකට ගොස් අමු මස් කා ලේ බීවේය. එයින් ඔහුගේ රෝගය සංසිඳුණි. එබඳු අවස්ථා සඳහා කරන ලද එම පිළියම් සඳහා බුදුරදුන්ගේ අනුමැතිය ලැබුණි. ආචාරවිද්‍යාව හා බැඳුණු දර්ශනයක් වන බුදුදහම මෙවැනි ප්‍රතිකාර ක්‍රම පිළිගැනීම සම්බන්ධයෙන් අපගේ දැක්ම විචාරශීලි විය යුතුය. රෝගය හා රෝගියා සම්බන්ධයෙන් බුදුන් වහන්සේ දක්වන ආකල්පය මෙයින් අනාවරණය වේ.

 

 නවම් අවඅටවක පෝය

   නවම් අවඅටවක පෝය මාර්තු මස 01 වැනිදා අඟහරුවාදා අපර භාග 03.51 ට ලබයි. 02 වැනිදා, බදාදා අපරභාග 05.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 08 වැනිදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]