UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රුවන්වැලි මහ සෑ රදුන් වහන්සේ

රුවන්වැලි මහ සෑ රදුන් වහන්සේ

ස්වර්ණමාලී මහා චෛත්‍යය

චෛත්‍යයේ පැරැණි උතුරු දොරටුව සංරක්ෂණය කර ඇති අතර කොටසක් මෙසේ ඉතිරිකර ඇත්තේ අනාගත පරපුරට දැකබලා ගැනීම සඳහාය
මහාසෑයේ පැරැණි ඇත්පවුරේ නොනැසී ආරක්ෂා වී ඇති මෙම කොටස ජනතාවට දැකබලා ගැනීම සඳහා චෛත්‍යයේ බටහිර දොරටුව සමීපයේ ගරාදි වැටකින් වටකර ආරක්ෂා කර තිබෙන අයුරු

ස්වර්ණමාලී මහා චෛත්‍ය ඉදි කරවන ලද පුණ්‍ය භූමිය වටා ගොඩ නැගී ඇති ඉතිහාස තොරතුරු පුරාවිද්‍යාත්මක සාධක ධර්ම කරුණු ආදිය පිළිබවඳ අවබෝධය ලබමින් අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑ රදුන් වහන්සේ අපි වන්දනා කරමු.රුවන්වැලි මහා ස්තූපය ක්‍රි.පූ. 161 – 137 අතර රජකළ දුටුගැමුණු මහරජතුමාගේ නිර්මාණයක් බව ප්‍රකට ඓතිහාසික කරුණකි. රුවන්වැලි මහා සෑ භූමිය මේ මහා භද්‍රකල්පයේ පහළ වී වදාළ සතර බුදුවරයන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්ව තිබේ.

රුවන්වැලි මහා සෑය ඉදිකරන පුණ්‍යභූමිය පිළිබඳ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස මහ රජතුමාට කියූ බව ඓතිහාසික ග්‍රන්ථවල සඳහන්වේ. අනාගතයේ දී ඔබේ මුණුබුරෙක් ලෙස ඉපදී මෙම මහා ස්තූපය කරවනවා යනුවෙන් වදාළ බව ඉතිහාසයේ සඳහන් වේ.

රජු විසින් එම ස්ථානයේ ඒ බව සඳහන් කරමින් සෙල් ටැඹක් පිහිටුවා තිබේ. රුවන්වැලිසෑයට උතුරුපැත්තේ ගල් ප්‍රාකාරය අසල මෙම සෙල්ටැඹ දක්නට ඇත. අඩක් බිඳී ගිය සෙල් ටැඹෙහි දැනට පවත්නා කොටස අඩි 20 යි අඟල් 4 කින් යුක්තය. අටපට්ටම් හැඩැති සෙල්ටැඹෙහි විස්කම්භය අඩි 3 යි අඟල් 6 කි. එම නිර්මාණය අරභයා විවිධ උගතුන් විවිධ අදහස් දක්වා ඇත. ඉන් එක්මතයක් වන්නේ මෙය ඉන්ද්‍ර ඛීලය’ බවය.

ඉන්ද්‍ර ඛීලය තුළින් බුදුන්වහන්සේ සතු අටලෝදහම අබියස අකම්පිතව සිටීමේ අධ්‍යාත්මික ප්‍රාබල්‍යය නිරූපණය වෙයි. මෙය ඉන්දියාවේ ස්තුපයන් අසල පිහිටුවා තිබෙන ආගමික සංකේතයන්ට සමාන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි. රුවන්වැලිසෑය පිහිටුවන භූමියේ දේවානම්පියතිස්ස මහරජතුමා නංවා තිබූ සෙල්ටැඹ මෙය බව තහවුරු වී තිබේ. රුවන්වැලි මහාසෑයේ වැලි මළුවේ මළුවට පිටතින් වූ පුරාණ ගල් ප්‍රාකාරය කැණිම් මඟින් මතුකර තහවුරුකර ඇත. ගල් ප්‍රාකාරය සංරක්ෂණය කර ඇති අතර පැරණි ප්‍රාකාරයේ කොටසක් අනාගත පරම්පරාවට දැකබලා ගැනීම සඳහා ද සංරක්ෂණය කර ඉතිරිකර තිබීම වාසනාවකි.

ථූපාරාමයේ සිට උතුරු දෙසින් පැමිණෙන විට ප්‍රාකාරයේ සංරක්ෂණය නොකර ඉතිරිකර ඇති කොටස දැක ගත හැකිය. රුවන්වැලි මහාසෑයට ඇතුළුවීම සඳහා පුරාණයේ දොරටු සතරක් තිබී ඇත.
දේවානම්පියතිස්ස මහරජතුමා රුවන්වැලි සෑය පිහිටුවන භූමියේ නංවාතිබූ සෙල්ටැඹ
චෛත්‍යයේ නැගෙනහිර දොරටුව අසළ ඇති ශෛලමය බේසම

එයින් නැගෙනහිර, උතුරු සහ බටහිර දොරටු තවමත් දැකගතහැකිය. දකුණු දොරටුව නටබුන්ව ඇති අතර එහිකොටස් හඳුනාගත හැකිව පවතී. උතුරු දොරටුව (ථූපාරාමය දෙසට) හොඳින් ආරක්ෂාවී තිබේ. උතුරුදෙසින් පැමිණෙන විට මෙම දොරටුව දැකගත හැක.චෛත්‍යය වටා තිබූ පුරාණ ඇත්පවුර වෙනුවට අලුත් ඇත් පවුරක් වර්තමානයේ තනා ඇත. එහි ඉදිරියට බලා සිටින ඇත් රූප 338 ක් නෙළා තිබේ. මෙම ඇත්රූප 1940 දී නිර්මාණය කළ ඒවාය. එසේ වුවද පැරණි ඇත්පවුරේ කොටසක් ජනතාවට දැකබලා ගැනීම සඳහා බටහිර දොරටුව සමීපයේ සංරක්ෂණය කර ඇත. චෙත්‍යය මළුවේ පැවති බොරදම්සහිත පැරණි ස්මාරක කෙසේ තිබී ඇත්දැයි මෙම පැරණී ඇත්පවුර දැකබලා ගැනීමෙන් වටහා ගත හැකිය.

රුවන්වැලි මහා සෑයට ඇතුළුන නැගෙනහිර දොරටුව අසල ශෛලමය බේසමක් දැකගත හැකිය. මෙම බේසම පුරාණයේ චෛත්‍ය වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට මල්දෝවනය සඳහා නිර්මාණය කළ එකක් බව විශ්වාස කෙරේ.

 

 

 

 

 

 

 නවම් අවඅටවක පෝය

   නවම් අවඅටවක පෝය මාර්තු මස 01 වැනිදා අඟහරුවාදා අපර භාග 03.51 ට ලබයි. 02 වැනිදා, බදාදා අපරභාග 05.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 08 වැනිදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]