UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙමටව ශ්‍රී නන්දසාර නා හිමි

දෙමටව ශ්‍රී නන්දසාර නා හිමි

අනුරාධපුර විජයපුර සිරිවිජය විදර්ශනා පරිවේණාධිපති හා භාවනා මධ්‍යස්ථානාධිපති, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ රජරට පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක ධුරන්දරව වැඩ විසූ ශාසන සෝභන සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල ධීරානන්දාභිධාන, ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති


රාජකීය පණ්ඩිත තම්මැන්නාවේ සුමනසිරි හිමි

අනුරාධපුර විජයපුර සිරිවිජය විදර්ශනා පරිවේණාධිපති හා භාවනා මධ්‍යස්ථානාධිපති, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ රජරට පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරන්දරව වැඩ විසූ ශාසන සෝභන සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල ධීරානන්දාභිධාන, ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති දෙමටව ශ්‍රී නන්දසාර නායක ස්වාමීන් වහන්සේ අපවත් වී මාර්තු 05 වනදාට තෙමසක් සපිරේ.

වයඹ පළාතේ, කුරුණෑගල දිසාවේ අංගමු කෝරළේ ,පඬුවස්නුවර දෙමටව ග්‍රාමයේ ශ්‍රද්ධා සම්පන්න මව්පිය දෙපළක් වූ කුරුප්පු ආරච්චිලාගේ වෙළුන් සිංඤෝ, ජයසිංහ මුදියන්සේලාගේ කිරිමැණිකේ යන දම්පතීන්ට දාව 1956 ජුනි 05 වෙනිදා පවුලේ සිව්වැනියා ලෙස මෙලොව එළිය දුටුවේය.

කුරුප්පු ආරච්චිගේ චිත්‍රානන්ද නමින් හැඳින්වූ එම කුමරුවා මූලික අධ්‍යාපනය සඳහා පියනැගුවේ දෙමටව මහා විද්‍යාලයටය. ඒ අතර රත්මුලුකන්ද රජමහා විහාරස්ථ දහම් පාසලට ඇතුලත්ව දහම් පාසල් අධ්‍යාපනයද ලබාගත්හ.

එම කුමරුවා ආගමික කටයුතුවලට දක්වන උනන්දුව කෙරෙහි පැහැදුන වේරකේ සුමංගල නාහිමිපාණෝ එම පින්වත් දරුවා තව තවත් සසුන කෙරෙහි යොමු කරවූහ. දිනක් මව්පියන් සමඟ දන් පින්කම් සඳහා අනුරාධපුර මිහිඳු ආරණ්‍ය සේනාසනයට පැමිණි චිත්‍රානන්ද තම ළපටි සිත තුළ නලියමින් තිබූ පැවිදිවීමේ අදහස මව්පියන්ට සැල කළේය. සසුන් ලැදි මව්පිය දෙපළ ඊට අනුමැතිය දුන්හ. ඒ අනුව මව්පිය දෙපළගේ ආශිර්වාද මධ්‍යයේ වයසින් 12 වැනි විය සපිරෙද්දී එනම් 1968.09.02 වෙනි දින ස්‍යාමෝපාලි වනවාස නිකායේ ප්‍රථම අනුනායක වේරකේ සිරි සුමංගලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින්, අනුරාධපුර මිහිඳු ආරණ්‍ය සේනාසනයේදී ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළුවිය. දෙමටව නන්දසාර නමින් සසුන්ගතවූ මේ පොඩිහාමුදුරුවන් වහන්සේ සුමංගල අනුනාහිමියන්ගේ අවසාන ශිෂ්‍ය රත්නයද විය.

වියළි කලාපයේ කටුක, දුෂ්කර පරිසරයක වෙසෙමින්,අරණ්‍යයක වත පිළිවෙතට හුරු වෙමින්, ගුරු හිමිපාණන්ගේ පාසෙවණේ හිඳිමින් හෙරණ බණ දහම් වන පොත්කළ උන්වහන්සේ පසුව අනුරාධපුර සිරිසඟබෝ භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානයට ඇතුළුවී ආචාර්ය මණ්ඩලයේ ප්‍රසාදය දිනාගෙන අධ්‍යාපන කටයුතුවල නිරතවූහ. මේ අතරතුර අනුරාධපුර ශ්‍රී පුෂ්පදාන සමිතිය, අනුරාධපුර බෞද්ධ මණ්ඩලය ආදි ස්ථානවල ධර්ම දේශනා පැවැත්වීමෙන් ධර්ම දේශකත්වය තවතවත් ඔපවත් කරගත්හ.

උසස් අධ්‍යාපනය සඳහා 1975 දී අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ නන්දසාර පොඩිහාමුදුරුවෝ එහි පස් අවුරුදු පාඨමාලාව අවසන් කරමින් 1979 ‘ත්‍රිපිටකවේදී ‘ උපාධිය සමත්වූහ. අනතුරුව පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය මගින් පවත්වන ‘ශාස්ත්‍රපති’ උපාධියද අධ්‍යාපන සේවයට අදාළ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා උපාධියද ලබා ගනිමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කරගත්හ.

උගත මනා බණදහම් හදාරා විසිවයස් සපුරා සිටි නන්දසාර සාමණේරයන් වහන්සේ 1977 සැප්තැම්බර් 26 වෙනි දින අනුරාධපුර මිහිඳු ආරණ්‍ය සේනාසනස්ථ උපෝසථාගාරයේදී උපසම්පදාවට පත්වූහ.

1978 වර්ෂයේ වස්කාලය නන්දසාර නවක භික්ෂූන් වහන්සේගේ ප්‍රථම වස් විසීමයි. විජයපුර භාවනා මධ්‍යස්ථානයේ වස් විසීම කළ උන්වහන්සේ 1978 දි ත්‍රිපිටකවේදී උපාධිය ලබාගැනීමෙන් පසු විජයපුර භාවනා මධ්‍යස්ථානයේ කටයුතුවලට නිරතුරුවම සම්බන්ධ වූහ.

භාවනා මධ්‍යස්ථානයේ ධර්මශාලාව හා පහසුකම් සහිත කාමර කීපයක් නන්දසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉදිවිය. දරුවන් පිරිසක්ද සසුන්ගත කළහ.මේ වන විට උපාධිධරයෙක්ව සිටි නන්දසාර හිමියන්ගේ පරිවේණාධිපතිත්වයෙන් විජයපුර සිරි විජය විදර්ශනා පිරිවෙන 1981 දී ආරම්භ කෙරිණි. අපවත්වන තෙක්ම උන්වහන්සේ එම තනතුර හෙබවීය. මේ වන විට ප්‍රාචීන පණ්ඩිත උපාධිධරයින් විසිපහකට වැඩි ප්‍රමාණයක් බිහිකිරීමට උන්වහන්සේ සමත්වූහ.


බෝධින් වහන්සේ

ප්‍රදේශයේ හැදෙන වැඩෙන දූ දරුවන් යහපත් පුරවැසියන් බවට පත් කිරීමේ අභිලාසයෙන් 1986 නන්දසාර නා හිමියන් විසින් විජයපුර සිරිවිජය දහම් පාසල ආරම්භ කරන ලදී. ළදරු වියේදීම ළමයා ආගමික පරිසරයක හැදී වැඩීම බෙහෙවින් ඵලදායි බව සළකා 1992 වසරේදී විජයපුර සිරිවිජය පෙරපාසල ආරම්භ කළහ.

ප්‍රදේශයේ සමිති සමාගම්, ස්වේච්ඡා සංවිධාන රාශියකි. ඒ හැම එකකම වාගේ අනුශාසකත්වය දැරුවේ නන්දසාර නාහිමියන්ය. උන්වහන්සේගේ මෙම ශාසන සේවය දුටු රාජාංගනය ව්‍යාපාරයේ සැදැහැවතුන් පිරිසක් විසින් ඉදිකරන ලද විහාරස්ථානය සිරි විජය විදර්ශනා බෞද්ධ මධ්‍යස්ථානය නමින් නන්දසාර හිමියන්ට පූජා කරන ලදී. විජයපුර සිරි විජය විදර්ශන පිරිවෙනට හා භාවනා මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය ගොඩනැගිලි රාශියක් උන්වහන්සේගේ මඟපෙන්වීම හා අනුශාසකත්වය යටතේ ඉදිවිය. දානශාලාව, ශිෂ්‍ය නේවාසිකාගාර, සිරිසම්බුද්ධ විහාර මන්දිරය, බෝධිඝරය, දෙමහල් පිරිවෙන් ශාලාව, භාවනා මධ්‍යස්ථානය, භික්ෂු කුටි, චෛත්‍යය, දහම් පාසල් හා ළදරු පාසල් ගොඩනැගිල්ල ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

උන්වහන්සේගේ ශාසනික සමාජ සේවාවන් අගයමින් අධිකරණ අමාත්‍යංශය විසින් “සමස්ත ලංකා සාමවිනිසුරු “පදවියක්ද උන්වහන්සේ වෙත පිරිනැමූහ. අනුරාධපුර දිස්ත්‍රික් පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරි සංගමයේ භාණ්ඩාගාරික ධුරය වසර ගණනාවක් හොබවමින් එහි අභිවෘද්ධිය සඳහා මහත් කැප වීමෙන් කටයුතු කළහ. කලුවිල කළුආරච්චියාගම සිරිවිජය බෞද්ධ මධ්‍යස්ථානය හා මාවතගම රණසිංහාරාමය යන විහාරස්ථානවල අනුශාසක වශයෙන් කටයුතු කරමින් එම බෞද්ධ සිද්ධස්ථාන වැඩිදියුණු කිරීම සඳහා උන්වහන්සේ මහත් කැපවීමකින් කටයුතු කර ඇත.

දෙමටව නන්දසාර හිමියන් කෙරෙහි ප්‍රසාදයට පත් ස්‍යාම වංශික කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව විසින් 2006 ජුනි මස 01 වෙනි දින අඹතලේ ගල්වාන පුරාණ විහාරස්ථානයේදි ‘ශාසන සෝභන සද්ධර්ම කීර්ති ශී‍්‍ර සුමංගල ධීරානන්දාභිධාන’ යන ගෞරව නාම සම්මුතිය සහිතව තත් සංඝ සභා යත්ත රජරට පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පිරිනැමූහ.

දෙමටව නන්දසාර නාහිමියන් අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ඇස් දෙක අනුරාධපුර මහරෝහලේදී අක්ෂිදාන සංගමය වෙත පරිත්‍යාග කිරීම විශේෂත්වයකි.

නන්දසාර නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අභිනව විහාරාධිපති ධූරයට පත්ව සිටින්නේ උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වන රාජකීය පණ්ඩිත තම්මැන්නාවේ සුමනසිරි හිමියන්ය. උන්වහන්සේ වෙත විශාල වගකීමක් පැටවී ඇතිමුත් ඒ සියල්ල සිනාමුසු මුහුණින් භාරගෙන ඉදිරි කටයුතු සාර්ථක අයුරින් කරගෙනයාමට පියවර තබා සිටීම ගැන දායක කාරකාදීන් උන්වහන්සේ වෙත සතුට පළකර සිටිති.

නන්දසාර නාහිමියන්ගේ අපවත්වීමෙන් තෙමසක් සම්පූර්ණවන මාර්තු 05 වෙනි දින රාත්‍රි විජයපුර සිරිවිජය විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේදී ධර්ම දේශනයක් පැවැත්වේ. පසුදින (06) දවල් එකසිය පනස්නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමෙන බව අභිනව විහාරාධිපති රාජකීය පණ්ඩිත තම්මැන්නාවේ සුමනසිරි හිමියෝ පැවසූහ. අපවත්වී වදාළ දෙමටව නන්දසාර හිමියන්ට නිවන් සුව පතමු.


2006 ජුනි 01 වෙනි දින අඹතලේ ගල්වාන පුරාණ විහාරයේදී දෙමටව නන්දසාර හිමියන් වෙත සංඝ නායක පදවිය පිරිනැමුණු අවස්ථාව


දෙමටව නන්දසාර නාහිමියන් ප්‍රමුඛ සිරි විජය විදර්ශනා පිරිවෙනේ එවක පැවිදි ආචාර්ය මණ්ඩලය
 


අපවත්වී වදාළ දෙමටව නන්දසාර නාහිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා
 


දෙමටව නන්දසාර නාහිමියන් අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ඇස් දෙක අනුරාධපුර මහරෝහලේදී අක්ෂිදාන සංගමය වෙත පරිත්‍යාග කිරීම


විහාරාංගයක්
 


නන්දසාර නා හිමියන්ගේ අනුශාසනා මත ඉදිවුන අභිනව විහාර මන්දිරය


අපවත් වී වදාළ දෙමටව නන්දසාර නා හිමියන්ගේ එකම අභිප්‍රාය වූයේ සැදැහැවතුන් වෙනුවෙන් භාවනා මධ්‍යස්ථානයක් ඉදිකිරීමය


දෙමටව නන්දසාර නා හිමියන් ආරම්භ කළ විජයපුර සිරිවිජය විදර්ශනා පිරිවෙන

 

 නවම් අවඅටවක පෝය

   නවම් අවඅටවක පෝය මාර්තු මස 01 වැනිදා අඟහරුවාදා අපර භාග 03.51 ට ලබයි. 02 වැනිදා, බදාදා අපරභාග 05.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 08 වැනිදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]