UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර ගමන සුවපත් කරන ධර්මානුකූල සංවර්ධනය

සසර ගමන සුවපත් කරන ධර්මානුකූල සංවර්ධනය

ඔබ දන්නවා ධර්මය සිතේ දරා ගත්විට ලැබෙන සැනසීම. අප කවුරුත්් පිරිසුදු වීම පිණිස ස්නානය කරනවා. බාහිරෙන් ඇඟපත සෝදනවා. සුවඳ විලවුන් ගල්වනවා. ඒ වුනත් බාහිරින් පිරිසුදු වුණාට අභ්‍යන්තරය පිරිසුදු කර ගන්නට එළියෙන් නෑම පොහොසත් වන්නේ නැහැ. දහම් සිතිවිති සිතකින් විමසීම තථාගත දේශනා පරියාප්ත තුළ විමසා බැලීම ඇතුලාන්තය පාරිශුද්ධභාවයට පත් කරන්නට හේතුවෙනවා. ඒනිසා දහම් සිතිවිලි සිතට අරගෙන ඒවා ජීවිතයට බද්ධකර ගන්නවානම් එය වටිනවා.

අප අද පේ‍්‍රත වස්තු පාලි "මත්තා පේ‍්‍රත වස්තුව" මුල්කරගෙන දහම් කරුණු සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ එක්තරා කුලපුත්‍රයෙක් සිටියා. මේ පවුලේ පෙලපත බලවත්, වංසක්කාරයි. මේ පරම්පරාවේ සිටිය බොහෝ අය මියගියා. ඒ පවුලේ අන්තිමට ඉතිරිවුණේ අම්මයි, පුතයි. පුතාගේ නිසි කළ විවාහයක් කර ගැනීමට අම්මා කියා සිටියා. මේ පුතා ගුණසම්පන්නයි. පුද්ගලයා පිරිසුදු කරන්නේ, පුද්ගලයාගේ වටිනාකමක් තිබෙන්නේ කොහෙද? ඔබට සිතෙයි තට්ටු දෙක තුනක නිවාසයක් තිබෙනවානම්, යානවාහන තිබෙනවානම්, ඔහු බලවත් කියා හිතයි. ටිකක් උස මහතට රූපය තිබෙන කෙනෙක් දුටුවත් කියයි ඔහුට ලොකු ශක්තියක් බලයක් තිබෙනවා කියා. නමුත් පුද්ගලයෙකුගේ වටිනාකම බලවත්භාවය මනින්නේ පාරිශුද්ධත්වය මනින්නේ එහෙම නොවේ. කෙනෙකුගේ සිත හොඳ දෙයකට යොමු කරලා සිත තුළ හොඳ සිතිවිලි වර්ධනය කරලා ඇති කරගත්ත දේ තුළිනුයි. එයට සංසාරයේ පින් කරලා තිබෙන්න ඕන. ඒ නිසා සාංසාරිකව වගේම මේ භවයේදීත් කරගන්නා කර්ම විසින් අප ඉහළට පහළට දෝලනය කරනවා. කර්මය මත ක්‍රියාව මත පුද්ගලයා ඉහළ පහළ යනවා. ඒ වගේම බොහෝම ඉහළ යන්නේ පිරිසුදු කර්ම මත. ඒ වගේම ඉගෙන ගත් දේ අතරත් වටිනාමදේ සද්ධර්මය ඉගෙනීමයි.

අප මොනදේ ඉගෙන ගත්තත් ඒක සීමාසහිත වටිනාකමක් තිබෙන්නේ. නමුත් ලෝකය පිළිබඳව මරණින් මතු ස්වභාවය, ආදි මේ පිළිබඳව බෞද්ධ දර්ශනය හැදෑරීම බොහෝම අකාලික වටිනාකමක්. අදට පමණක් නොවේ අතීතයට පමණක් නොවේ මුළු මහත් සංසාරයටම ඒ හැදෑරීම වටිනවා. සදහම් අධ්‍යාපනය හරහා අපට බලවත් කෙනෙක් පුණ්‍යවන්ත නිවුන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ධාර්මික පැවැත්ම ජීවිතයට හුරුකර ගන්නා උත්සාහය මත ප්‍රබලතාවය ලබනවා. ඒ වගේම සීලය මත හැදුනුකම මත, ගුණවන්තභාවය මත උත්තමභාවය ලබනවා. ග්‍රෝතයෙන් කුලයෙන්, වංශයෙන්, පරම්පරාවෙන් පුද්ගලයා උතුම්භාවයට පත්වෙන්නේ නැහැ. ඒ නිසා මේ මත්තා පේ‍්‍රත වස්තුව තුළත් එක් පැත්තකින් ගුණවත්භාවය අනෙක් පැත්තෙන් නුගුණ අධර්මවාදී ස්වභාවයත් කැපී පෙනෙනවා.

පෙර කී කුල පුත්‍රයා විවාහයක් කරගත්තා. ඇය මත්තායි. මේ මත්තා නිතරම කේන්තියෙන් ඊර්ෂ්‍යාවෙන් සිටියේ. සැරපරුෂයි. නින්දට ලැදියි. පිරිසුදුකම ඇත්තේම නැහැ. මේ මත්තාට දරුවන් සිටියේ නැහැ. කාලයක් යනවිට පරම්පරාව ඉදිරියට ගෙනයාමේ ප්‍රශ්නයක් මේ පවුලේ සාමාජිකයන්ට පැන නැඟුණු නිසා මත්තා කියා සිටියා. හිමියනි ඔබ වෙන විවාහයක් කරගන්න කියා. ඇගේ බලකිරීමට විවාහයක් කර ගත්තා. ඇය නමින් තිස්සා. තිස්සා මත්තාට වඩා රූපයෙන් ලස්සනයි. සීල, සමාධි, ප්‍රඥා පුරුදු කරනවා. කාරුණිකයි. ප්‍රසන්නයි. අන් අයට පිහිට වෙන්න කැමැතියි. ඇයට දරුගැබක් පිහිටියා. ඒ නිසාම නිවසේ විශේෂ ස්ථානයක් ඇයට හිමිවුණා. එවිට මත්තාගේ ඊර්ෂ්‍යාව දිනෙන් දින වැඩුණා. දවසක් ඇය අඳින අඳින වස්ත්‍ර සියල්ලම හොරකම් කළා. නිතරම තිස්සාට කරදර බාධක කළා. මත්තා ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, කේන්තියෙන් ජීවත්වෙලා හදිසියේම දිනක් මියගියා. මියගොස් ටික දිනකින් පදිංචිව සිටි නිවසටම ආවා.

දවසක් තිස්සා ඉදිරියේ අමුතු කෙනෙක් පෙනී සිටියා. මහා දූවිලි පිරිණු කොණ්ඩයක්. හිසකේ ඇඹරී ගොස් තිබුණා. එක ඇසක් යකෙකුගේ වගේ. අනෙක් ඇස යටට ගිලිලා. ඇට සැකිල්ලක් වගේ කෙට්ටුයි. බොහෝම දුක්ඛිතව ඇය කතා කළා. තිස්සා අහනවා ඔබ දුටුවාම කණගාටුවක් වගේම බියක් හිතෙනවා. ඔබ කවුද? ඇයි මාව මතක නැද්ද? මේ ගෙදර සිටිය අනෙක් බිරිඳ මත්තා මමයි නැගණියනි, මේ මත්තා වන මම මැරිලා පේ‍්‍රතියක් වූ ආකාරයයි කියන්නේ. තිස්සාට කරුණාවක් ඇතිවුණා. අනේ මත්තාට මෙහෙම වුණේ ඇයි? ඔබගේ ශරීරය කෙට්ටුවෙලා දුර්වර්ණ වෙලා. නහර ඉදිමිලා දුක්බරව මෙසේ ඉන්නේ ඇයි? නැගණියනි, මම ඒ කාලයේ ඔබට වෛර කළා. ඊර්ෂ්‍යාවෙන් සිටියේ. සැරපරුෂවයි සිටියේ. මම ඔබට වෙනස්කම් කළා කියා ප්‍රකාශ කළා. සිත පහළට නපුරට වැටුණාම අප වැටෙන්නේ හෙළකටයි. තිස්සා කියනවා මත්තා ඔබගේ ශරීරයෙන් හරිම දුර්ගන්ධයක් එනවා. එහෙම වුණේ කොහොමද? නැගණියනි, ඔබ දිය නා පිරිසුදුව සිටින විට මම ඔබගේ ඇඟට කුණු ගෙනත් දැම්මා මතකයි නේද? අතුගානවිට ඔබේ ඇඟටයි මම කුණු අතුගෑවේ. ඒ වගේම ඔබගේ සුවඳ ආලේපන සියල්ලම මම වැසිකිලි වලට දැම්මා. තිස්සා අහනවා ඇයි ඔබ ගේ හමේ පොතු හැලෙන්නේ, නිතරම කසන්නේ? තිස්සා අපි දෙන්නා දවසක් නාන්න ගියා. අපේ ස්වාමියා ඔබට සෙනෙහස පානා විට මට ඊර්ෂ්‍යා හිතුනා. මම ඔබලා නිදන ඇඳේ කහඹිලියා ගෑවා. ඔබලා දෙදෙනා සතියක් විතර දුක් විඳීමින් කසමින් සිටියා. ඒ සිද්ධිය සිහිපත් වනවිටම හමේ පොතු ගැලවෙන්න තරම් කැසිල්ලක් හට ගන්නවා. තිස්සා නැවත අසනවා ඔබ නිර්වස්ත්‍රවයි සිටින්නේ? ඇයි ඔබට වස්ත්‍ර නැත්තේ? තිස්සා ඔබ අඳින ඇඳුම් සියල්ලම දවසක් මම හොරකම් කළා. ඒවා ගිනිතිබ්බා. එහි ප්‍රතිඵලයක් ලෙස අද මම නිර්වස්ත්‍රයි.

තිස්සා අහනවා ඔබ වෙනුවෙන් මම මොකද කරන්න ඕන. ඔබ ගුණවතුන්ට දානයක් දී ඒ පින මට අනුමෝදන් කරන්න. තිස්සා එසේ කළා. එවිට මත්තා සුවපත්භාවයට පත්වුණා.

මෙයින් පැහැදිලියි අපත් කෙනෙකුගේ සැපත ඉවසන්නේ නැත්නම් දියුණුව ඉවසන්නේ නැත්නම් එය අපගේ අයහපත සඳහාම පවතිනවා. ධර්මයට පටහැනි දේ අප කළොත් එහි විපාක අපටම යි. ඒනිසා මේ ලෝකයේ තිබෙන විවිධ ඖෂධ තිබෙනවා. නමුත් ධර්මය තුළින් ලැබෙන ඖෂධය එයට සමාන කළ නොහැකියි. සසර සුවපත් කර ගන්න වෙන කිසිම ධර්මයක් නැහැ. ඒ් නිසා ඔබේ ජීවිතය ධර්මානුකූලව සංවර්ධනය කරගන්න. ඒ සඳහා හිත හොඳින් හදාගන්න . හිත හොඳින් හදාගන්න නම් මෙවැනි දහම් කරුණු, සූත්‍ර දේශනා ආදිය විමසා බලා සිතින් දරාගෙන ජීවිතයට පුරුදු පුහුණු කිරීම අතිශයින්ම වටිනවා.

ඒනිසා කෙනෙක් පිරිසුදුවන්නේ උත්තමභාවයට පත්වෙන්නේ ගෝත්‍රයෙන්, ධනයෙන්, බලයෙන් නොවේ. තමාගේ සිත තුළ සීල, සමාධි, ප්‍රඥා හරහා සිත බලවත් කර ගැනීම තුළින් පමණයි. එනිසා ඔබගේ සිත බලවත් කර ගන්න ජීවිතයේ වටිනාම අවස්ථාව උදාකර ගන්න ලැබුන මනුස්ස ජීවිතයෙන් හොඳ ප්‍රතිඵල අරගෙන මෙලොව පරලොව දෙලොව ජය ගනිමින් උතුම් නිර්වාණය පසක් කර ගන්නටත් උත්සාහ ගන්න.

නයනා නිල්මිණි

 

      ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 10 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 03.24 ට ලබයි. 11 වැනිදා සිකුරාදා අපරභාග 03.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් 18 වැනිදා සිකුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]