UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ඓතිහාසික බොදු සබඳතා වර්ධනයට පියවර

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ඓතිහාසික බොදු සබඳතා වර්ධනයට පියවර

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවතින ඓතිහාසික බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර ආගමික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙලක් අරඹන බව තෙදින නිල සංචාරයක් සඳහා මෙරට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Wissanukrea - Ngam මහතා අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නා හිමියන් හා මල්වතු පාර්ශයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව පැවසූ බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආරම්භ වී වසර 60ක් සපිරීම නිමිත්තෙන් තායිලන්තයේ බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා මෙරට සිට වැඩම කළ ඓතිහාසික මහියංගණය රජමහා විහාරයේ තැන්පත් කර තිබූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තායිලන්තයේ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාවට වැඩම කිරීමේ දී එම සර්වඥ ධාතූන් වහන්සේලාට සුවිශේෂී ගෞරවයක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Wissanukrea – Ngam මහතා හා තායිලන්ත දූත පිරිස විසින් එම සර්වඥ ධාතූන් වහන්සේලා මහනුවර අස්ගිරි විහාරයට භාරදීමෙන් අනතුරුව ඓතිහාසික ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර බෞද්ධ සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව තායිලන්ත නියෝජ්‍ය අග්‍රමාත්‍ය Wissanukrea - Ngam මහතා පැවසීය.

තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා නිර්මල ථේරවාදී බුදුදහම පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ ඇතුළු බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති විශේෂ බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට තායිලන්ත බෞද්ධ ජනතාවට අවස්ථාවක් ලබාදීම කෙරෙහි තායිලන්ත රජයේ විශේෂ අවධානයක් යොමු වී ඇති බව එහි දී පැවසීය.

එමෙන් ම පසුගියදා ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට තායිලන්ත ජනතාවට ලබාදුන් විශේෂ අවස්ථාව පිළිබඳව මෙහි දී විශේෂ ස්තූතියක් ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් ප්‍රධාන කොට ශ්‍රී ලංකාවාසී ජනතාවට පුද කරන බ ව මෙහි දී පැවසීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතීතයේ සිට තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර පවතින බෞද්ධ සබඳතා පදනම් කරගෙන දෙරටේ භික්ෂූන් වහන්සේලා අතර පවතින උපසම්පදා විනය කර්මයේ සිට බෞද්ධ වත්පිළිවෙත් පිළිබඳව දෙරටේ මහාසංඝයා වහන්සේලා අතර, සමීපතාවයක් ගොඩනගා ගැනීම, තායිලන්තයේ විහාර සම්ප්‍රදාය හා ශ්‍රී ලංකාවේ විහාර සම්ප්‍රදාය අතර මීට වඩා වැඩි සබඳතාවයක් ගොඩනගමින් දෙරටේ භික්ෂූන් වහන්සේලාගේ බෞද්ධ වන්දනා වැඩසටහන් හා බෞද්ධ අධ්‍යාපනික වැඩසටහන් පුළුල් කිරීම, බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ධර්ම ඤාණය හා ශාස්ත්‍රීය දැනුම පුළුල් කිරීම සඳහා හුවමාරු වැඩසටහන් දියත් කිරීම යන කරුණු කෙරෙහි තායිලන්ත රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව මෙහි දී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මෙහි දී අදහස් දැක් වූ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සමග මෙරටට පැමිණෙන ලෙස තමා කළ ආරාධනාව පිළිගැනීම පිළිබඳව තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Wissanukrea - Ngam මහතාට විශේෂ ස්තූතියක් පුද කළ අතර නිර්මල ථේරවාදී බුදු දහම අනුගමනය කරන රටක් වශයෙන් ශ්‍රී ලංකාව තායිලන්තය වැනි ප්‍රබල බෞද්ධ රටක් සමග ඉදිරියේ දී බෞද්ධ සංවර්ධන වැඩසටහන් රාශියක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවෙන බවත්, ලෝක බෞද්ධ උරුමය සුරක්ෂිත කිරීම සඳහා ලෝක බෞද්ධ ජනතාවට නව පණිවුඩයක් ගෙන යෑම සඳහා ලෝක බෞද්ධ සමුළුව වැනි දැවැන්ත ජාත්‍යන්තර බෞද්ධ වැඩසටහනක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ අපේක්ෂාව සාර්ථක කර ගැනීම සඳහා තායිලන්තයේ සහයෝගය අපේක්ෂා කරන බව මෙහි දී අවධාරණය කළේය.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නව රජයේ අපේක්ෂාව වී ඇත්තේ බුදු දහම අදහන රටවල් සමඟ සමීප සබඳතා වඩාත් ශක්තිමත් කරගනිමින් එම රටවල සහයෝගයෙන් ලෝක බෞද්ධ උරුමය ආරක්ෂා කර දීම සඳහා වැඩි කැපවීමක් ලබාදීම බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

මෙහි දී විශේෂ අනුශාසනාවක් අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නා හිමියන් විසින් සිදුකරන ලදී.

එම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය දයා ගමගේ, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති Poldaj Worachat මහතා, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ක්ෂෙනුකා සෙනෙවිරත්න, බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා ඇතුළු ශ්‍රී ලංකාව හා තායිලන්තයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

 

     ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය දෙසැම්බර් මස 03 වැනි දා පූර්වභාග 0.04 ට ලබයි. 04 වැනිදා සිකුරාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 03 වැනි දා බ්‍රහස්පතින්දාය

මීළඟ පෝය
දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]