UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයෙහි සැතපීම

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයෙහි සැතපීම

තථාගත ශරීරය පිදීම පිණිස කාලය මිඩංගු නොකළ යුතු යැයිද ක්ෂත්‍රිය, බ්‍රාහ්මණාදීන් බුද්ධ ශරීරය පුදතියිද, වදාළ සේක. ශ්‍රී සම්බුද්ධ ශරීරය කෙරෙහි ඔවුන් විසින් කෙසේ පිළිපැදිය යුතු දැයිද ආනන්ද හාමුදුරුවෝ විචාළ විට චක්‍රවර්ති රජුගේ ශරීරය කෙරෙහි පිළිපැදිය යුතු ලෙස යැයි වදාරා එහි ක්‍රමය ප්‍රකාශ කළ සේක. ඉන් පසු බුද්ධ ශරීරයට සත්කාර කිරීමෙන් මහත් පින් ලැබෙන බවද, බුදු, පසේ බුදු, මහ රහත්, සක්විති රජ යන සතර දෙනා ස්තුපාර්හ පුද්ගලයන් බවද වදාළ සේක. මේ කරුණු ගැන සලකා බලන ආනන්ද හාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේ එදිනම පිරිනිවන් පාන සේකැයි වැටැහුණේය. එහෙයින් හටගත් බලවත් ශෝක ඇත්තේ ඉන් ඉවත්ව ගොස් මණ්ඩල මාලයෙහි දොරබා කෙලවරැ අගුල් කණුවද එල්බගෙන. “අහෝ මම් තවම රහත් වීමට කළ යුතු දෑ අවසන් නො කෙළෙමී. මට දයායෙන් අවවාදානුශාසනා කරන භාග්‍යවතුන් වහන්සේ අද පිරිනිවන් පානා සේක. අනේ හෙට සිට මුහුණ සේදීමට කාට වතුර දෙන්නෙම්ද? කාගේ පා සෝදන්නෙම්ද? කාගේ සේනාසනය අරපරිස්සම්කොට තබන්නෙම් ද? කාගේ පාත්‍ර සිවුරු ගෙන ඇවිදින්නෙම්ද? යන ආදීන් විලාප කියා හඩමින් සිටියහ. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි,ආනන්ද කොයි දැයි විචාළ සේක. ස්වාමීනි, මණ්ඩල මාලයෙහි අගුල් කණුයෙහි එල්බගෙන හඬන්නේ යැයි භික්ෂූහු කීහ. එවිට බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් කැඳවා ගෙන එන්නට නියම කළ සේක. ආනන්ද තෙරණුවෝ ද භික්ෂූන් විසින් දන්වන ලද්දෝ ආහ. අවුත් වැඳ පසෙක උන්හ.

භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා ආනන්දයිනි, නොහඬන්න. ශෝක නොකරන්න. හැම පි‍්‍රය මනාප දැයින් වෙන්වීම කලින් ම මා කීවා නොවේද? හැදුණු දෑ කැඩෙන බිඳෙන සුලුය. එසේ කලැ එය පලුදු නොවේවායි සිතා ඒ පෙරැළීම් වළකාගන්නට කිසිවකුටත් නොහැක්ක.ආනන්දයිනි, තොප බොහෝ කල් හිත කැමැතිව හමුයෙහිත් නො හමුයෙහිත් එක හිතින්ම මෛත්‍රී සහගත අප්‍රමාණ කාය වාග් මනඞ කර්මයෙන් තථාගතයනට උවටන් කොළෝය. ආනන්දයෙනි, තොප පෙරද බොහෝ පින් කළ කෙනෙකි. එ බැවින් පමා නොවවු. නොබෝ කලෙකින්ම තෙපි රහත් බව ලබන්නහු යැයි වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂුනට ආමන්ත්‍රණය කොට ආනන්ද තෙරුන්ගේ ගුණ රාශිය ප්‍රකාශ කළ සේක.

ඉක්බිති ආනන්ද තෙරණුවෝ වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ දුර්ගම ස්ථානයක් වූ කුඩා නුවරදී නොම පිරිනිවන් පාන සේක්වා වම්හ, රජගහනුවර, සැවැත්නුවර, කොසඹෑනුවර, බරණැස් නුවර යන මෙකී නගරයෙක පිරිනිවන් පානා සේක්වා යි කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ එසේ පහත් කුඩා නුවරෙකැයි නොසිතිය යුතු බවත් පෙර එය මහා සුදර්ශන චක්‍රවර්ති රජුගේ වාසස්ථානයව වූ බවත් ප්‍රකාශ කිරීමෙන් මහා සුදර්ශන සූත්‍රාන්තය වදාළ සේක.

අප පිරිනිවන් මංචකය දැක බලාගැනීමට පෙර කුසිනාරාමයේ දීර්ඝ ඉතිහාසය ගැන යම් ප්‍රමාණයකින් දැනුවත් වෙමු. අද කුෂි නගර් යනුවෙන් හැඳින්වෙන කුසිනාරාව එකල මල්ල රජුන්ගේ රාජධානිය ලෙස පැවතිණි. බෝසතුන් කුස රජු ලෙස මේ නුවර උපන් නිසා කුසාවතී පුර යනුවෙන්ද හැදින්විණි. බෝසතුන් මහා සුද්සසන නමින්ද මෙනුවර උපන්නේය.

අට විසි බුදුවරුන් අතර එන ඵුස්ස බුදුරදුන්ගේ පරිනිර්වාණය සිදුවූයේ මෙනුවර එවක පිහිටි සෙතාරාම හෙවත් සොණිරාම යන විහාර භූමියේදීය. ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේ අමතා තථාගතයන් වහන්සේ, බරණැස, රජගහ, විශාලා වැනි මහා නගරයක පිරිනිවන්පෑ වදාළ මැනැවැයි ආයාචනය කළහ. එවිට අප භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාව සුළු නගරයක් සේ නොසිතන්න. මෙය උතුම් නුවරකි යනුවෙන් පවසා මහා සුදස්සන සූත්‍රය හා කුසිනාරාම සූත්‍රය දේශනා කොට වදාළේ මෙහිදීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ රෑ පශ්චිම යාමයෙහි පිරිනිවන් පානා බව මල්ල රජුහට ආනන්ද තෙරුන් අත දන්වා යැවු සේක. කුසිනාරා පුර සියලු මල්ල රජවරු ඒ පුවත් අසා ශෝක භරිතව භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් නමස්කාර කර සිටියහ.

ඒ සමයෙහි කුසිනාරාපුර විසූ “සුභද්‍ර” නම් පරිබ්‍රාජකයෙක්ද භාග්‍යවතුන් වහන්සේ එදා රෑ පශ්චිම යාමයෙහි පිරිනිවන් පාන බව අසා තමාගේ සැක දුරුකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දැකීමට තමා තුළ අදහසක් ඇති බව ආනන්ද තෙරණුවන්ට දැන්වීය. තෙරණුවෝ එය ප්‍රතික්ෂේප කළහ. මේ දෙදෙනාගේ කථා සංලාපය ඇසූ බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා සුභද්‍ර හට තමන්ගෙන් ප්‍රශ්න අසන්නට ඉඩ ඇති කළ සේක. සුභද්‍ර ප්‍රශ්න විචාරනුයේ “පූර්ණ කාශ්‍යපාදි තීර්ථකයෝ තමන් ප්‍රතිඥා කළ පරිදි දුකින් මිදීමට මාර්ගය දත්තෝද ඔවුන්ගේ ධර්මය නෛර්යාණිකද නැද්දැ”යි විචාළේය.

එවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ කරුණු අහක තිබේවා මම් නුඹට ධර්මය දෙසන්නෙමි. එය අසන්න සිත තබා ගන්නැයි වදාරා මෙසේ දම් දෙසූ සේක. “සුභද්‍රය” යම් සස්නෙක ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් එහි පළමු ශ්‍රමණයා (සෝවාන් පුද්ගලයා) නැත්තේය. දෙවෙනි ශ්‍රමණයා (සකෘදාගාමී පුද්ගලයා) ද නැත්තේය. තෙවෙනි ශ්‍රමණයා (අනාගාමී පුද්ගලයා) ද නැත්තේය. සිවු වන ශ්‍රමණයා (අර්හත් පුද්ගලයා) ද නැත්තේය. යම් සස්නෙක වනාහි අරි අටැඟි මඟ ඇත්තේ නම් එහි ම එකී සතර ශ්‍රමණයෝ ඇත්හ. සුභද්‍රය, මේ සස්නෙහි අරි අටැඟි මඟ ඇත්මය. ඒබැවින් මෙහි එහි සතර ශ්‍රමණයෝම ඇත්හ. සෝවාන් ආදී සතර ඵල පිණිස විදසුන් වඩන සිවු දෙනාද මාර්ගස්ථ සිවු දෙනා ද ඵලස්ථ සිවු දෙනා දැයි මෙකී දොළොස් ශ්‍රමණයන් නැති පාරවාදයෝ (අන්‍ය දෘෂ්ටිහු) හිස්ය. “සුභද්‍රය, මේ දොළොස් ආකාර භික්ෂූහු නිසි සේ වසත් නම් (සෝවාන් ආදීහු අන්‍යයනටද තමන් ලත් මාර්ග ඵලාදිය කියාදී තවත් මාර්ගස්ථ පුද්ගලයන් ඇති කරන්නට තැත් කරත් නම්) ලෝකය රහතුන්ගෙන් හිස්නොවන්නේය.

සුභද්‍රය, එකුන් තිස් වයස් ඇතිව සිටි මම් කිංසත්‍යගවේෂිව යම් දිනෙක පැවිදි වීම්ද, එදා පටන් අද තෙක් අතර කාලය අවුරුදු එකක් පමණක් වේ. මේ කාලයෙහි ආර්ය මාර්ගය ඵල ප්‍රාප්තිය පිණිස විදසුන් වැඩීම පමණකුත් කරන කිසිම පුද්ගලයෙක් මේ (ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති) සස්නෙන් පිටත් හි නොවීය. මතුත් නොවන්නේය. එහෙයින් ම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බාහිර වූ කිසිම ශාසනයෙක්හි ආර්ය මාර්ගයකට පැමිණි ශ්‍රමණයෙක් කිසිම කලෙකත් ඇති නොවේ. මෙය ඇසූ සුභද්‍ර තෙම පැවිද්දත්, උපසම්පදාවත් ඉල්ලූයේය. ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේගේ අවසර පරිදි සුභද්‍ර පැවිදි කළහ.බුදුරජාණන් වහන්සේ ඔහු උපසම්පදා කොට කර්මස්ථාන දුන් සේක. සුභද්‍ර භික්ෂු තෙම උයනේ පැත්තකට ගොස් කර්මස්ථාන වඩන්නේ නොබෝ වේලාවෙකින් සියලු කෙලෙස් නසා සිවු පිළිසිඹියා රහත් බව ලබා භාග්‍යවතුන් වහන්සේ වෙත වැඳ පසෙක ඉඳ ගත්තේය. මේතෙම භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයායි..

භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම වචනය

“මහණෙනි, කරුණාවෙන් අවවාද කරමි” සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. එබැවින් එළඹ සිටි සිහියෙන් සියලු පැවිදි කිස සම්පූර්ණ කරවු” යැයි මේ අන්තිම බුද්ධ වචනය වදාළ සේක.

බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය ඉල් අමාවක පොහෝදා දෙසැම්බර් 10 වනදා පත්‍රයේ


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 63 - බුදුරජාණන් වහන්සේ කුසිනාරා පුරයට වැඩම කිරීම

 

     ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය දෙසැම්බර් මස 03 වැනි දා පූර්වභාග 0.04 ට ලබයි. 04 වැනිදා සිකුරාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 03 වැනි දා බ්‍රහස්පතින්දාය

මීළඟ පෝය
දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]