UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නා හිමි

දේශ දේශාන්තර පතළ කීර්තිධර අග්ගමහා පණ්ඩිත අම්බලන්ගොඩ පොල්වත්තේ බුද්ධදත්ත මහා නාහිමියන් අපවත් වී වසර 53 කි. වර්ෂ 1887 ජූලි 23 දින පොල්වත්තේ ඕබඩගේ ලුවිස් සිල්වා හා තුයියගම්හේවා සාංචිහාමි දම්පතීන් ලත් පුත් කුමරු වර්ෂ 1899 නොවැම්බර් 02 දා අම්බලන්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපති පෝරඹ ශ්‍රී ධම්මාධාර රාජගුරු නාහිමිපාණන් වෙතින් පැවිදි දිවිය ලදහ.

මූලික බණ දහම් වත් පිළිවෙත් ගුරු හිමි ඇසුරෙන් ලද බුද්ධදත්ත සාමණේරයෝ පසළොස් හැවිරිදි වියේදී බුරුමයට වැඩියහ. ඒ වන විට උන්වහන්සේ පාලි වරනැඟිල්ල, අභිධර්මත්ථ සංග්‍රහ, ධම්මපදය, ධාතු මංජුසා, බාලාවතාරය ආදී පොත් රැසක් කටපාඩම් ය. බුරුම භාෂාව ඉගෙන බුරුමයේ පැවති අභිධර්ම විභාගයෙන් ප්‍රමුඛස්ථානය ලැබීමම උන්වහන්සේගේ ඉගෙනුමෙහි සමත්කම් පෙන්වයි. පෙරළා ලක්දිව වැඩ යළි 1907 දී බුරුමයට වැඩ එම වර්ෂයේ ජනවාරි 23 දා බුරුමයේ මෝල්මේන් නුවර කොන්තන් විහාරය සුවණ්ණමනි විජ්ජොතරතන සීමා මන්දිරයේදී උපසම්පදාව ලදහ.

1908 බුරුම බසින් පොත් ගණනාවක් ලියූ උන්වහන්සේ 1911 දී අභිධර්ම මාතෘකා ස්වරූපය නම් ග්‍රන්ථය සිංහල භාෂාවෙන් කළේ ය. පාලි, සිංහල, සංස්කෘත, බුරුම, ඉංගී‍්‍රසි, රෝම ආදී භාෂා ගණනාවක් දත් උන්වහන්සේ ඒ සෑම භාෂාවකින්ම ග්‍රන්ථකරණයේ යෙදුණහ. ‘භාරතීය බෞද්ධාචාර්යයෝ’ ථෙරවාදී බෞද්ධාචාර්යෝ, අටුවා පරීක්ෂණ හා අටුවා කථාවස්තු ආදී ග්‍රන්ථ බුද්ධදත්ත හිමියන්ගේ පාණ්ඩිත්‍ය, බුද්ධිප්‍රභාව, බහුශ්‍රැත භාවය, ග්‍රන්ථ විශාරදත්වය, සමය සමයාන්තර ඥානය පිළිබඳව කදිම ග්‍රන්ථවේ. දුර්ලභ පාලි ධර්ම ග්‍රන්ථ සංශෝධනය කළහ. පාලි භාෂාවතරණය. එක, දෙක, තුන පාලි පාඨාවලි, පාලි සිංහල අකාරාදිය, පාලි වාක්‍ය රචනා ආදී පොත් තුළින් පාලි භාෂාව ඉගෙන ගන්නවුනට කළ මෙහෙය විශාලය. එංගලන්ත පාලි පොත් සමාගම විසින් උන්වහන්සේ අභිධර්මවතාරය, ‘රූපාරූප විභාගය’ ‘විනය විනිශ්චය’ ‘සම්දේහ විනෝදනී’ ආදී දුර්ලභ පොත් රාශියක් මුද්‍රණය කරන ලදී. විවිධ පුවත්පත් සඟරාවලට ලියූ ලිපි ලේඛන සංඛ්‍යාව මහත්ය.

1923 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ පාලි ආචාර්යවරයා වූ අතර 1935 දී ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයට පත්වූහ. බුරුමයේ පැවති හයවන ධර්ම සංගායනාවේ ග්‍රන්ථ ශෝධක මණ්ඩලයේ ප්‍රමුඛත්වය පැවරුණේ උන්වහන්සේටය. එම සංගායනාවේදී මහත් සේවාවක් සිදුකළ උන්වහන්සේ බුරුම රාජ්‍යයෙන් පිරිනැමෙන අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලද්දේය.

එංගලන්තය, ස්විට්සර්ලන්තය ආදී නොයෙක් යුරෝපා රාජ්‍යයන්හිද ආගමික කාර්යයන් ඉටු කළ බුද්ධදත්ත මාහිමියෝ ලංකා බෞද්ධ මණ්ඩලය, ත්‍රිපිටක පරිවර්තන, මණ්ඩලය, බෞද්ධ විශ්වකෝෂය සාහිත්‍ය උපදේශක මණ්ඩලය ආදිය මඟින් මහත් සේවාවක් කළහ.

කීර්ති නම්බුනාම පසුපස නොගියමුත් ඒ සියල්ල ගලා ආයේ ය. ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් සම්මාන පණ්ඩිත උපාධිය ලද අතර විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙහි බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රථම මහාචාර්ය, එම විශ්වවිද්‍යාලයෙන්ම සාහිත්‍ය චක්‍රවර්තී (ච්. ඹ්ඪබබ) උපාධියෙන් පිදුහ. විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රසූරී (ර්‍ථඩ්ච්) උපාධිය උන්වහන්සේට පිරිනැමිණි. අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකායේ අනුනායක ධුරයට 1953 දී පත්ව 1957 දී මහා නායක ධුරයට ද පත්වූ උන්වහන්සේ නිකායේ සංවිධානය, ඉතිහාසය ආදී කරුණු ගැන කල්‍යාණිවංශ නිකාය එක, දෙක, තුන, කල්‍යාණි ශිලා ලිපි, කල්‍යාණි ශාසන වංශය, ආදී වැදගත් පොත් ගණනාවක් ලියූහ.

දහමට, සසුනට මහත්සේවාවක් කළ අගනා ශාස්ත්‍රීය කාර්යයේ යෙදුණ, කලෙකින් ලොව පහළ වන දුර්ලභ ගණයේ මහා ප්‍රාඥායෙකු වූ බුද්ධදත්ත මහානායක හාමුදුරුවෝ 1962 නොවැම්බර් 09 දා අපවත් වී වදාළේ හැත්තෑපස් වසරක ආයු ශ්‍රී වළඳමිනි.

උන්වහන්සේ පිළිබඳව, අග්ගාරාමය, බුද්ධදත්ත විද්‍යාලය, බුද්ධදත්ත මාවත, බුද්ධදත්ත ප්‍රතිමාව ආදියෙන් නිතර සනිටුහන්වේ. අපවත්වීමෙන් 53 වන ගුණානුස්මරණය මෙම නොවැම්බර් 09 දා පින්කම් අම්බලන්ගොඩ පොල්වත්තේ අග්ගාරාම විහාරස්ථානයේ දී තත් විහාරාධිපති නින්දානේ වජිරඤාණ මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කෙරිණි. අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මා හිමිපාණන් වහන්සේට නිවන්සුව පතමු.


දොළපිහිල්ලේ පඤ්ඤාරාම හිමි

මහනුවර අංකුඹුර උඩගම දේවානන්ද මහ විදුහලෙහි ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත දොළපිහිල්ලේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් පිරිනමන ලද ‘ගුරු ප්‍රතිභා ප්‍රභා’ ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූහ. පසුගිය මස 06 වැනි දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සව අවස්ථාවෙහි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් උන් වහන්සේ වෙත එම සම්මානය පිරිනමන ලදී. ජනාධිපති සම්මානයෙන් පුද ලද දොළපිහිල්ලේ පඤ්ඤාරාම හිමියෝ දොළපිහිල්ල මහා පබ්බතාරාම රාජ මහා විහාරාධිපති මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පණ්ඩිතාචාර්ය කහටගස්තැන්නේ ජිමෝරස නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයකි. උන්වහන්සේ උඩගම දේවානන්ද විදුහලෙහි ආචාර්යවරයෙකු වශයෙන් සිදු කරනු ලබන විශිෂ්ට සේවය වෙනුවෙන් මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ.


හප්පාවන රේවත හිමි

හබරාදූව හරුමල්ගොඩ බටහිර ඛෙත්තාරාම විහාරාධිකාරි, ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, හබරාදූව, ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි, කටුකුරුන්ද ධාර්මික මහා විද්‍යාලයේ විදුහල්පති, ශාස්ත්‍රවේදී හප්පාවන රේවත හිමියන් “සද්ධර්ම කීර්ති ශ්‍රී ජිනරතන” ගෞරව නාමය සහිතව ගාල්ල වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියට ශා්‍යාමෝපාලිවංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් පත් කර ඇත.

ඒ පිළිබද අක්තපත්‍ර ප්‍රදානය නොවැම්බර් 20දින කෝට්ටේ රාජ මහා විහාර මංගල උපෝෂථාගාරයේ දී සිදු කෙරිණි.

ගමේ ප්‍රභූ පවුලක එච්.එම්.චාලිස් අප්පුහාමි ඊ.එල්.පී. ඇලිස්නෝනා යන පින්වත් දම්පතීන්ට දාව 1962 ජනවාරි 29 දින පින්වත් කුමරෙක් උපත ලැබීය. දස දෙනෙකුගෙන් යුත් දූ දරුවන් අතර අටවැන්නා වූ මේ දරුවා සමරරත්න නමින් විය.

හප්පාවන ශ්‍රී විජය විද්‍යාලයෙන් සහ ගා /බොනවිස්ටා මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ද ලැබූහ.

හරුමල්ගොඩ බටහිර ඛෙත්තාරාමාධිපතිව වැඩ විසූ මීපේ ජිනරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ ශාස්ත්‍රවේදී පණ්ඩිත, මීපේ, වජිර ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හප්පාවන රේවත යන ශාසනික නාමයෙන් 1976 වසරේදී පැවිදි දිවියට පත්වූහ.

පැවිදිවීමෙන් පසු හබරාදූව විද්‍යාරත්න පිරිවෙණෙන් මූලික අධ්‍යාපනය ද යටගල හෙට්ඨාවල මහ පිරිවෙණෙන් ද්විතීයීක අධ්‍යාපනය ද ගාල්ල විද්‍යාලෝක මහ පිරිවෙනේ උසස් අධ්‍යාපනය ද ලබා ගත්හ. අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුල්වී ශාස්ත්‍රවේදී උපාධියත් කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබා ගැනීමට සමත් විය.

පිලාන විද්‍යාර්ථෝදය මහා විද්‍යාලයෙන් ගුරු සේවයට පිවිසෙන රේවත හිමියෝ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක විදුහල්වල සේවය කළ අතර, අනතුරුව හබරාදූව කටුකුරුන්ද කාර්මික මහා විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත්විය. විදුහල්පති ධුරයට පත්වී කෙටි කාලයක් තුළ රජයේ මෙන්ම ප්‍රභූන්ගේ සහාය ලබාගෙන පාසලේ භෞතික සම්පත් සංවර්ධනය කළාක් මෙන්ම සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ද උසස් තලයකට පැමිණවූහ.

හබරාදුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරිවරයා ලෙස අඛණ්ඩව වසර 14කට අධික කාලයක් කටයුතු කරන රේවත නා හිමියෝ ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපතිවරයා ද වෙති.

දහම් පාසල් දියුණුව සඳහා අපමණ කැපවීමක් කරන නාහිමියන් සෑම වසරකම ශිෂ්‍යනායක තරගාවලියක් පවත්වා ත්‍යාග හා සහතික පිරිනැමීමට කටයුතු යොදා ඇත. එසේම අවුරුදු, උත්සව, වෙසක් පොසොන් වැඩසටහන් , මව්පිය උපහාර උත්සව ගුරු උපහාර උත්සව සංවිධානය කරමින් දහම් පාසල තුළ නව ප්‍රබෝධයක් ඇති කළ බව කිව යුතුමයි. එසේම හබරාදුව දහම් පාසල් ගුරුවරුන්ගේ සුභසාධනය සඳහා සඳහා ගුරු සුභසාධක සංගමයක් ආරම්භ කිරීමට ද පුරෝගාමි විය.

ප්‍රදේශයේ බෞද්ධ පුනරුදය උදෙසා මෙන්ම ශාසනික උන්නතිය සඳහා ද මුන්වහන්සේ මහා කැපවීමක් කරති. හබරාදූව තරුණ බෞද්ධ සංගමය ආරම්භ කොට එමගින් හබරාදූව වෙසක් කලාපයක් නිර්මාණය කිරිම, බෝධි පූජා ධර්ම දේශනා ,ශීල භාවනා වැඩසටහන් ආදිය පැවැත්වීම තුළින් ප්‍රදේශයේ විශාල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළ මුන්වහන්සේ සංඝ සාමගි‍්‍රය වැඩි දියුණුවන අන්දමින් හබරාදූව විහාරාධිපති විහාරාධිකාරි සංගමයක් ඇති කිරීමට ද පුරෝගාමි විය.

ප්‍රදේශයේ විවිධ ස්වේච්ඡා සමිතිවල අනුශාසකයින් වහන්සේ හැටියට ක්‍රියා කරන නා හිමියෝ කෙතරම් අවිවේකී වුවද දායකයන්ගේ අවමගුලට බණට පිරිතට වැඩම කිරීම පැහැර හැරියේ නැත.

අභිනව නා හිමිපාණන් පිළිගැනීමේ උත්සවය නොවැම්බර් 21වන දින ප.ව. 2.30 ට හරුමල්ගොඩ බටහිර ඛෙත්තාරාමයේදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය , කොටපිටියේ රාහුලාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සම්භාවනීය සහභාගිත්වයෙන් සිදුවිණී.

 

     ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය දෙසැම්බර් මස 03 වැනි දා පූර්වභාග 0.04 ට ලබයි. 04 වැනිදා සිකුරාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 03 වැනි දා බ්‍රහස්පතින්දාය

මීළඟ පෝය
දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]