UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසහනකාරී මනෝභාවයන්ගෙන් නිදහස් වන්නේ කෙසේද?

අසහනකාරී මනෝභාවයන්ගෙන් නිදහස් වන්නේ කෙසේද?

සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා තුළ මාන්නය පවතී. පෘථග්ජන සිතක සාමාන්‍ය ස්වභාවය එය වුවද මෙම සංසාර සාගරයෙන් එතෙර වීමට නම් මාන්නය මුලිනුදුරා දැමිය යුතුමය. විවිධාකාරයෙන් මනසට පැමිණෙන්නාවූ අකුසල සිතිවිලි ඉවත් කර ගැනීමට වෙර වීර්යය ගත යුතු අතර ඒ සඳහා කැපවන පුද්ගලයන්ට ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය තුළදීම අරහත් තත්වයට පත්වීමට එය උපකාරි වනු ඇත. අපගේ සිතට පැමිණෙන විවිධාකාර වූ මාන්නයන් පිළිබඳව අවබෝධයක් අප තුළ ගොඩනගා ගත යුතුයි.

මාන්නය

ඒ අනුව ඔහුට හෝ ඇයට ලැබෙන දේ තුළ ඔහු හෝ ඇය මාන්නයෙන් උදම් නොවුණහොත් ඒ තුළ පමණක් වටිනාකම රැඳී පවතියි. ඔබ ගැලවිය යුත්තේ එතැනයි. එසේ නැතිව ලැබෙන නිල රථය මෙය යැයි ප්‍රකාශ කරන විට හා එය ලැබුණ විට තමා ලබානොගෙන එය පරිහරණය නොකර සිටීම නොවේ. අයිති නිල රථය මේ යැයි ප්‍රකාශ කළ විට එය ලබාගත යුතුයි. එය ලබාගත යුත්තේ තමාගේ තනතුරට පමණක් මිස තමාගේ මනසට නොවන බව තමා අවධාරණය කරගත යුතුයි. මා දැන් මෙවැනි රථයක් පරහරණය කරමින් මේ තරම් ආරක්ෂිත නිලධාරින් පිරිවරාගෙන යනු ලැබේ. ඇතැම් විට ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරන විට මට මේ තරමට මිනිසුන් සාධු නාද පවත්වනු ලැබේ. ඔබ වහන්සේගේ බණ තරම් වෙනත් බණක් නැහැ. ඔබ වහන්සේ ගේ බණ තමයි නිවැරැදිම බණ. ඒවාගේ බණක් වෙන කොහෙවත් නැහැ. ඔබ වහන්සේගේ බණ නැත්නම් අප රූපවාහිනි නාලිකාව බලන්නේ නැහැ ආදී වශයෙන් මිනිසුන් ප්‍රකාශ කරවිට අප මතක තබාගත යුතු ප්‍රධානම කරුණ නම්, සියලුම හාමුදුරුවන් වහන්සේලා දේශනා කරනු ලබන්නේ ධර්මයම බව,සෑම ස්වාමීන් වහන්සේ නමක්ම රූපවාහිනී නාලිකා තුළින් බණ දේශනා කළත්, නොකළත් උන්වහන්සේලාත් ධර්ම දේශකයාණන් වහන්සේලා බව ඔබ දැනගත යුතුයි. ලංකාව තුළ බොහෝ ප්‍රසිද්ධියක් ලබා සිටි අය නොදැන සිටිය කාරණාව වූයේ, බොහෝ මල්මාලා පැළඳගත්තාම තමා දන්ගෙඩියට රැගෙන යාමට සූදානම් වන අවස්ථාව තුළ බව අතීතයේ මරණය කරා රැගෙන යනු ලැබුවේත් මල්මාලා පළඳවගෙනයි.

ඔබ දැන ගතයුතු ප්‍රධානම කරුණ නම්, දංගෙඩියට රැගෙන යාමට සූදානම් වන අය වැඩිපුරම මල්මාලවලින් වැසීයන බව, මේ මිනිස් ජීවිතය පුදුම සහගත දෙයක් නිසාම අප නිතරම ප්‍රවේසම් විය යුතුයි. නන්දා මාලනියන්ගේ ගීතයක සඳහන් වන්නේත්.

ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණ
සිනාසුනත් එය වරදක් වේ.

මෙම තත්වය දැනගෙන ක්‍රියාකළ යුතුයි. අපට ලැබෙන තනතුරු, තත්වයන්, වටිනාකම් අප උසුලා දරාගත යුත්තේ. එය වටහා ගෙනයි.

සෙයිය මානය

මම උසස් පුද්ගලයෙක්ය. අනෙකා පහත් පුද්ගලයෙක්ය. යන මනෝභාවය “සෙයිය මානය” වේ. අත්තුක්කංසන පරවම්භන යනුවෙන් එයම තවත් අවස්ථාවක ධර්මය තුළ විග්‍රහකර ඇත. මම උසස්ය, අනෙකා පහත්ය, මගේ දේ උසස්ය,අනෙකුගේ දේ පහත්ය.මගේ අය උසස්ය. අනෙකුත් අයගේ අය පහත්ය. මේ ආකාරයෙන් ගත් විට ද්‍රව්‍ය පිළිබඳව පුද්ගලයන්, දැනුම සංකල්ප, පරිසරය ආදිය පිළිබඳව භෞතික උපකරණ හා මෙවලම් යන මෙම සියලුම දේ සම්බන්ධව මම උසස්ය.අනෙක් අය පහත්ය. සිතමින් සාපේක්ෂව තමන්ව උලුප්පවා ගැනීම, හෝ තමන්ම මතුකරමින් තමන්ම සිතීම බුදුදහමේ අභිධර්ම විවරණයක් තුළ සෙයිය මානය ලෙස පැහැදිලි කර ඇත. එම තත්වය බාහිර පිරිසකගේ පෙළඹවීම මත හෝ තමන් විසින්ම තමන් පොළඹවා ගැනීම මතත් සෙයිය මානය පැමිණිය හැකියි. මම දැන් පශ්චාත් උපාධියකුත් ලබල තිබෙනවා. මට දැන් ඉහළ තත්වයක් තිබෙනවා වගේම මට වාහන විශාල පමාණයකුත් තිබෙනවා. ඕනෑතරම් ඉඩකඩම් වුණත් ලැබිල තියෙනවා. බැංකුවලත් මුදල් තැන්පත් කරල තිබෙනවා. ඒ නිසාම මට ඉහළින් පියාඹායාමට කපුටෙක්වත් නැත. යනුවෙන් සෙයිය මානය පැමිණිය හැකිය. මම උසස් පුද්ගලයෙක්ය. අනකෙªත් සියලුම පුද්ගලයන් මට වඩා පහත්ය. යනුවෙන් එම මානය තුළ සිදුවනුයේ ඔහු හෝ ඇය අනෙකෙකු විනාශ කරනවාට වඩා තමා විනාශ කරගැනීමයි. ඇතැම් මිනිසුන් ඉහළ තත්වයකට මානයෙන් උදම් වන විට පැමිණි විට අනෙක් අය විනාශ කරනවාට වඩා වැඩි වේගයෙන් තමා විනාශය කරා යොමුවේ. ඔහු හෝ ඇය එතනින් එහාට අනෙකෙකුට අහුන්කන්දීමට සූදානම් නොවේ. අනෙකෙකු සමඟ සාකච්ඡා කිරීමට සූදානම් නැත. තමාගේ මනෝභාවයන් බොහෝ දුරට ඉහළට යාම නිසාම තමාට බොහෝ කරුණු කාරණා වැටහෙන බවත් අනෙකුත් පිරිසට එය නොතේරෙන බවත්ය. එතකින් එහා දුරට ගමන් කරන විට ගිහියකු ප්‍රකාශ කරන කාරණාවත් හෝ ඇතැම් විට පැවිද්දකු දේශනා කරනු ලබන කාරණාවක් හෝ බුද්ධිමතකු ඤාණවන්තයකු, වැඩිහිටියකු පැහැදිලි කරන කාරණාවක් හෝ ඇහුන්කන් දීමට ඔබේ මනස සූදානම් නොවේ. පුහුමාන්නයට යන මානසිකත්වයට ඔහු හෝ ඇය පැමිණේ. එම පුහු මාන්නය තුළ ඔහු පුහු වෙලා යනවා පමණයි.

ඔහු හෝ ඇය එක කාලයක් කරා පැමිණෙන තුරු යම්කිසිවක් අත්පත් කරගෙන සිටියා විය හැකි වුවද එතකින් එහාට ඔහු කිසිම දෙයක් සම්පාදනය කරගන්නේ නැත.

ගම්වල ජීවත්වන මිනිසුන් ඇතැම් පුද්ගලයන්ට ප්‍රකාශ කරනුයේ එයා පුහුමානයෙන් ජීවත්වන බවයි. ඔහු තුළ මොනවත්ම දෙයක් නැති වුවද, ඔහු තුළ තිබෙන බව සිතමින් ඔහු තුළ මානයක් ගොඩනගා ගනී. එය අයථාව මත පදනම් වූ මාන්නයයි. එනිසා අප ඔබට යෝජනා කරනුයේ ඔබට ඔබ පිළිබඳව එවැනි අභිමානයක් පැමිණිය හැකියි. කවුරුන් හෝ තමා විවේචනාත්මකව ප්‍රශ්න කරන්නේ නැති වූ විට දිගටම තමන් ප්‍රකාශ කරනු ලබන කරණු කාරණාව ඉතාමත්ම නිවැරැදි වශයෙන් අනෙකුත් පුද්ගලයන් පිළිගන්නාවිට අප නොදැනීම සුරංගනා ලෝකයක් කරා පියනඟයි. එම අවස්ථාවන් තුළ තමා තමාටම අවවාද කරගෙන එවැනි තත්වයකට යාමට මෙතෙක් මම සුදුසු නැති බව සිතා සිටිය ස්ථානයටම පැමිණ ඉතාම ප්‍රවේශම් විය යුතුයි. ඔබ එක් අවස්ථාවක් හෝ ප්‍රශ්න කිරීමකට ලක් වෙලා නැතිවුවහොත් ඔබ ඔබටම එක අවස්ථාවක රැවටිය හැකියි.

මම අසවල් පුද්ගලයාට සමානය. මම ඔවුන්ට සමානය . දැන් මම අඩුත් නැත. මම ඔවුන්ට වඩා වැඩිත් නැත. ඒ අයට ඇතුන් සිටී. අපට වටිනා වාහන තිබේ.

සදිසමානය

දැනුම පිළිබඳව හෝ වෙනත් යමක් පිළිබඳව අපගේ මනස සිඳියි. මානය නමැති මනෝභාවයට පැමිණීම සුදුසු නැත.ධර්ම කරුණක් වටහාගැනීම සඳහා යාමේදී තමා පශ්චාත් උපාධිය රැගෙන සිටියත් මට පෙර පශ්චාත් උපාධිය ලබා සිටි ගුරුවරයාට සමවන්නේ නැත. ඔවුන් එම කාලය තුළ මහාචාර්යවරයන් ලෙසම එම දැනුම ඇතුළත් තවදුරටත් හික්මී ඇති බැවින් ඔවුන්ට සම විය නොහැකියි. අප භෞතිකව යම් ස්ථාවරයකට පැමිණි පසු දැන් එම පුද්ගලයාත් මමත් අතර එතරම් වෙනසක් නැති බව සිතනු ලැබේ’. එම සදිසි මානය තුළින් සිදුවන්නේ උතුම් ගුරුවරුන්ට තවදුරටත් ඇහුන්කන්දීම නැවතීමය. පළමු වන කාරණයම වන්නේ ඇහුන්කන් දීම නැවැත්වීමයි. ඔබ එම පුද්ගලයාට සමාන බව සිතන විට මා කුමටද? ඔහුගෙන් අහන්න යන්නේ ඔහුටත් ආචාර්ය උපාධියක් තිබෙනවා වගේම මටත් ආචාර්ය උපාධියක් තිබෙනවා.

ආචාර්ය උපාධි ලබාදුන් අවස්ථාවල මිනිස්සුත් ආසාවට ලබාගත්තා වුණාට එය ලබාගැනීම නුසුදුසු වන්නේ එය ලබා ටික කාලයක් ආචාර්ය යනුවෙන් උත්සව ගණනාවක ප්‍රකාශ කරනවිට ඔහුගේ මනසට පැමිණෙන්නේ දැනුම හදාරා පශ්චාත් උපාධිය ලබාගත්තා වූ පුද්ගලයා ඔහුයි අතර එතරම් වෙනසක් නොමැත යන මානසිකත්වයට පැමිණීම යහපත් හෝ නිවැරැදි නොවේ. ඒ තුළින් ඔහු විනාශ වීම පටන් ගනී. තවකෙනෙකුට ඇහුම්කන්දීමට අකැමැතියි. යමක් ප්‍රකාශ කිරීමට කැමැති නැහැ. උපදේශයක් ලබාගැනීමට කැමැති නැහැ. මනස පිළිබඳව ඔබ ප්‍රවේසම් වන්නේ නොයෙකුත.් දෙනා ලබාදෙන බොහෝ දේ පිළිබඳව කල්පනා කාරීව භුක්ති විඳින්න. තමාට කවදාවත්ම සමවිය නොහැකි බව මතක තබාගත යුතු කාරණාවක් තමාගේ ගුරුවරයාට වඩා ඉහළින් සිටිය නොහැකි වනුයේ එම ගුරුවරයා එම දැනුම තුළ ලබාගත් ශික්ෂණය තුළයි. සදිස මානය ඔබව අනතුරකට ඇද දමයි. ඔබට ලබාගත යුතුව තිබු බොහෝ දෑ අහිමි කර දමයි. ඒ තුළින් ඔබ ප්‍රවේශම් විය යුතුයි.

හීනමානය

අප බොහෝ දෙනකු තුළ පවතින මානසික තත්ත්වයක් ලෙස හීනමානය හැඳින්විය හැකියි. අප දීර්ඝ කාලයක් පුරාවට ඉතාම දුගී දුප්පත්කමින් පෙළුනු රටක දෙමව්පියන් සහ එම දෙමව්පියන්ගේ දරුවන්වීම ඒ මට්ටමේම සිටි ගුරුවරුන්ගේ ශිෂ්‍යයන් වීම සහ ඒ මට්ටමේමත් ආචාර්ය මහාචාර්ය පර්යේෂණ කරන අය වීම .හීනමානය කියන මානසික ව්‍යාධියෙන් ජාතිය ගැලවෙන්න බැරි තරම් බරපතළ ලෙස වැළඳෙන්න හේතුව මේ රට තුළ පැවැති අර්ථක්‍රමයයි. එම අර්ථ ක්‍රමය තුළ ගොඩනැගී තිබෙන සමාජ ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ බරපතළ හීනමානයකි. හීනමානය පැමිණෙන්නේම ලද දෙයින් සතුටුවීමේ ගුණය නැති විටයි. මම මට ලැබුණ දෙයින් තෘප්තිමත් වීම යන ගුණය දියුණු කරගත්තේ නැති නිසාවෙන් මා තුළ ගොඩනැගිය හැක්කේ මනෝභාවය හීනමානයයි. සෑම විටම එම පුද්ගලයා සිතීමට පෙළඹෙනුයේ තමා පහළ බවත් අනෙකා ඉහළ බවත්ය. ඒ පුද්ගලයන්ට තිබුණාට අපට නැහැ. මම කැතැයි එයා ලස්නයි. තමා පිළිබඳව ඉතාම පහළ මට්ටමක නිශේධනාත්මක ඇගයීමක් කරගැනීම හීනමානයේ ස්වභාවයයි. ඉතාමත්ම ප්‍රබලව නිශේධනාත්මක ඇගයීමක් තමා තමන්ටම කරගන්නා විට එම පුද්ගලයා තුළ කිසිදු සංවර්ධනයක් සිදුවන්නේ නැහැ. ඔහු තුළ ගොඩනැගෙනුයේ බරපතල ඊර්ෂ්‍යාවකි. දැඩි ලෙස හීනමානයෙන් පෙළෙන පුද්ගලයන් දැඩිලෙස අනෙකෙකුගේ දියුණුවට භයානක ආකාරයට තදින් ඊර්ෂ්‍යා කරනු ලබයි.අනෙකාගේ දියුණුව අගයකරන්න බැරි,අනෙකාගේ දියුණුවකදී සිත සතුටින් අත්පුඩි ගැසීමට බැරි මිනිසුන් වර්තමාන සමාජය තුළ බිහිවෙලා තියෙනවා. අනෙකුත් පුද්ගලයාගේ හොඳක් සතුටින් අගය කරන්න අකැමැති මිනිසුන් පිරිසක් බිහිවෙලා තිබෙනවා. හීනමානයෙන් පෙළෙන අසාර්ථක පුද්ගලයකුට සාර්ථක පුද්ගලයකු ගේ දේ අගය කිරීම අසීරු කරුණක්. ඔබ ඊට ප්‍රශංසා නොකරන්නේ ඇයිද? යනුවෙන් ප්‍රශ්න කළහොත් ඔහු ලබාදෙන පිළිතුරු වන්නේ එහෙම අගය කළොත් එයා තව උඩයයි. ඒ නිසා පස්සෙ වෙලාවක කියන්න පුළුවන්. දැන්ම කිව්වොත් එයාට අං එයි” ආදි වශයෙනි. සමහර විට කාලය ගතවීමත් සමඟ එම දක්ෂයා මියැදුනා විය හැකියි. එම අගය කිරීම කිසිදවසක ඔහු වෙනුවෙන් කිරීමට නොහැකි වියහැකියි. අවසානයේ පසුතැවිල්ලට පත්වේ.

“හීනමානය” යනු විසකුරුම චෛතසිකයක් බව ඔබ මතක තබාගත යුතුයි. සෙයිය මානය සහ සදිසි මානය හීනමානය තරම්ම විසකුරු මානසිකත්වයක් නොවේ. සමහර ගම්වල ඇතැම් මිනිසුන් සත්ත්වයන් මරන්නේ නැහැ. ප්‍රාණඝාත අකුසලයක කිසිවිටක යෙදෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. කාමමිත්‍යචාරයෙහි යෙදෙන්නේ නැහැ. තමන්ගේ පවුල් ජීවිතය තුළ බොහෝ පීඩා තිබුණත් ඔවුන් කිසිදිනක කාමමිත්‍යාචාරය කරා යොමු නොවී සිටීමට වග බලා ගනී.අපේ පවුල්වල කවුරුවත් ඔයවගේ දේ කරල නැහැ. අපේ හත්මුතු පරම්පරාවක අයෙක් ප්‍රාණඝාතයක් කරල නැහැ. අපේ හත්මුතු පරම්පරාවක කෙනෙක් බඩගින්නේ මළත් හොරකමක් කරලා නැහැ. මෙවැනි ආකාරයෙන් ගොඩනැගෙන “සෙයිය මානය” ඇතැම් විට ඔවුන්ගේ කුසල පැත්ත වර්ධනය කරගැනීමට උපකාර විය හැකියි. පෘතග්ජන පුද්ගලයන් තමන්ගේ ජීවිත කාලය තුළ අකුසල් නොකර සිටීමට “සෙයිය මානය” හා සදිසිමානයත් ඇතැම් අවස්ථාවල දී යහපත් ආකාරයෙන් බලපානු ලබයි.ඇතැම් පුද්ගලයන් යම් කිසි සමාජ තලයකට පැමිණිවිට ඉස්සර කරපුවා දැන් කරන්න බැහැ යනුවෙන් ප්‍රකාශ කරනු ලබයි. සදිස මානය තුළ මිනිසකු එවැනි ආකාරයෙන් නිවැරැදි වුවද හීනමානය තුළ නිවැරැදි කරන්නට බැහැ. ඔහු තුළ පවතින හීනමානය ඒක වරදක් ආකාරයෙන් පෙනෙන්නේම නැහැ. එය එහි භයානක තත්ත්වයයි.

මෙම මනෝභාවයන් තුනෙන් බරපතළම මානය හීනමානයයි . මෙය භයානක මානසික රෝගයක්. එම රෝගයෙන් අප ගැලවිය යුතුමයි

ප්‍රධාන වශයෙන් බලපාන මාන තුනට අමතරව පවතින මානයන් ප්‍රධාන මාන තුන සමඟ එකට ගැට ගැසී පවතී. පර්යාය පද ආකාරයෙන් එය ධර්මය තුළ සඳහන් කර ඇත. අතිමාන්නය සහ සෙයියමානය සමාන වේ. එම මානයන් අතර සමාන බවක් දැකිය හැකියි.

මෙම මනෝභාවයන්ගෙන් දුරුවීම මහරහත් භාවයට පත්වීමම වෙයි. කෙසේ වෙතත් ඔබ තුළ පවතින මානයන් අවම කරගත යුතුයි. පෘතග්ජන පුද්ගලයන් වශයෙන් තවමත් අප ළග හීනමානය හෝ සදිස මානය හෝ සෙයිය මානය හෝ පවතිනවා නම්, එම පවතින මාන්නය තත්ත්වය අප විසින් පළමුවෙන්ම වටහාගත යුතුයි.

මගේ ළඟ එවැනි තත්ත්වයක් නැහැයි යනුවෙන් සිතාගෙන සිටින පුද්ගලයකුට නැතිකරගත හැකි දෙයක් නැහැ. විශාල මානයකින් සිටින අතැමුන් ප්‍රකාශ කරනුයේ මම නම් හරිම අනතිමානි . මම නම් බිඳුවක් ආඩම්බර නැහැ. මොනවට ආඩම්බර වෙන්නද? යනුවෙන් ප්‍රකාශ කරනු ලැබුවද ඔවුන් තුළ බරපතල ලෙස මාන්නය පවතී. එම මනෝභාවයන් බලවත්ව පැමිණෙන විට චෛතසිකය නිසා දැන් මගේ මනස අයහපත් පැත්තට යමින් තිබෙනවා. මානය සම්බන්ධව නිවැරැදි දැක්මක් තිබිය යුතුයි. අප තුළ පවතින මාන්නය කෙතරම් කියා නොදැන වෙනත් අයගේ මාන්නයන් පිළිබඳව ගණනය කළාට පලක් නොවේ. එනිසා අපට අපේ මාන්නයේ පවතින ස්වභාවය පිළිබඳව හොඳ සිහිනුවණකින් බුද්ධිමත්ව වටහා ගැනීම අත්‍යවශ්‍යයයි.

දෙවන කාරණාව වශයෙන් අනතිමානි තත්වයට පත්වීමට අප අපේ මනස බලහත්කාරයෙන් දැඩිව පුුරුදු පුහුණු කළ යුතුයි. මාන්නය වැනි මානසික තත්වයන් යහපත් ඒවා නොවන නිසාම යහපත් දේ පුරුදු පුහුණුූ කිරීම සඳහා වෙර වීරිය ගත යුතුයි. මහන්සියෙන් කැපවීම තුළින් අනතිමානි බව ඇතිකර ගත යුතුයි. මෙම සර්පයා නැගිටගෙන පැමිණෙන අවස්ථාවලදි ඔහු පාලනය කිරීම සඳහා අප විශාල වශයෙන් කැපවිය යුතුයි. වන්දනාමාන කිරීම,අනෙකුත් අයට ආචාර කිරීමට පුරුදුවීම, අනෙකුත් අය කතා කරන විට ඉතාම ඉවසිල්ලෙන් දරාගෙන අහගෙන සිට තමන් කතාව මැද්දට පනින්නේ නැතිව සිටීම නිතර නිතර යම් යම් දේවල නිසරු බව මෙනෙහි කිරීම තුළින් මාන්නය දුරුකර ගත හැකිය. රූපය නිසා, ජාතිය නිසා, කුලය නිසා, නිරෝගිකම නිසා, තරුණ බව නිසා මානය ඇතිවනවා නම් එම සැම විටම එහි අනිත්‍යතාව වටහාගෙන ඒ තුළින් මාන්නය දුරුකර යුතුය. තරුණ වයසට පැමිණෙන විට අප දැන් තරුණ නිසා අපට කළ නොහැකි දෙයක් නැත යනුවෙන් සිතිය හැකිය. හෙට දවසේ මට අංශභාග රෝගය වැළදුනහොත් මට මේ කයෙන් කළ හැකි දෙයක් නැත යනුවෙන් අනිත්‍යතාව මෙනෙහි කිරීමෙන් මාන්නය දුරු කළ හැකිය. අද මම හරිම ලස්සනට සිටියත් හෙට මගේ මුහුණට ඇසිඩ් වතුර හැලීමෙන් මුහුණ පිළිස්සී ගියහොත් මගේ මේ රූපය හෝ එම රූපය නිසා මට ලැබෙන එම තත්වය ලැබෙයිද? අපට මාන්නය ඇතිවන කාරණාව පිළිබඳව අනිත්‍යතාව මෙනෙහි කළ යුතුයි.

අප ජීවිතයේ එදිනෙදා කි‍්‍රයාකාරකම් තුළදී අපගේ හැසිරීම් තුළදී, අප සිතන විටත්, හැකි තරම් මහන්සිවෙලා සෙයිය මානය, සදිස මානය හීනමානය ඇතිවීමත් වළක්වා ගැනීමත් වර්ධනය වීම වළක්වාගැනීමත් තුළින් මෙම අත්භවය තුළදීම අසහනකාරි මනෝභාවයන්ගෙන් නිදහස් වන්නට ඔබ උත්සාහ කළ යුතුයි.

 

     ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය දෙසැම්බර් මස 03 වැනි දා පූර්වභාග 0.04 ට ලබයි. 04 වැනිදා සිකුරාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 03 වැනි දා බ්‍රහස්පතින්දාය

මීළඟ පෝය
දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]