UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා - චීන බොදු සබඳතා නංවන යෝජනා රැසක්

ශ්‍රී ලංකා - චීන බොදු සබඳතා නංවන යෝජනා රැසක්

චීනයේ ශැන්හයි නුවර පසුගියදා පැවති 4 වන ලෝක බෞද්ධ සමුළුවට සහභාගී වූ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නා හිමියන් ප්‍රධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නාහිමි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක දවුල්දෙන ඤාණිස්සර මහානාහිමියන් ඇතුළු මහා සංඝරත්නය හා අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහභාගී වූ ශ්‍රී ලාංකික ගිහි දූත පිරිස හා චීනයේ බෞද්ධ සංගමයේ සභාපති අතිපූජ්‍ය Zhengci ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන චීන රජයේ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව හා චීනය අතර, බුදුදහම දියුණු කිරීමේ නව වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා පැවති සාකච්ඡාවේ ප්‍රතිඵල සාර්ථක වූ බව අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා අවධාරණය කරයි.

4වන ලෝක බෞද්ධ සමුළුව චීනයේ ශැන්හයි නුවර රටවල් 93 ක සහභාගීත්වයෙන් පැවති අතර එම සමුළුව නියෝජනය කිරීම සඳහා ලෝකයේ ඉහළ පෙළේ බෞද්ධ ආගමික නායකයින් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික දූත පිරිසක් සහභාගී වූහ. බෞද්ධ සංස්කෘතියේ හා බුදුදහමේ සාරධර්මවලට අනුව වර්තමාන ලෝකය පෙළගැස්වීම එම සමුළුවේ තේමාව වී තිබුණි. සාමය, සහයෝගීතාවය හා බුදුදහම, බෞද්ධ අධ්‍යාපනය හා ආධ්‍යාත්මික ගුණ වගාව, ලෝක තරුණ බෞද්ධයින්ගේ වගකීම, රටවල් අතර අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කිරීම, පුද්ගල චරිත සංවර්ධනය හා මානසික සමබරතාවයට බුදු දහම තුළින් ලැබෙන අනුබලය, බෞද්ධ සන්නිවේදනය හා ජනමාධ්‍යයේ වගකීම යන මාතෘකා යටතේ මෙවර 4 වන ලෝක බෞද්ධ මහා සමුළුවේදී සැසිවාර හා සාකච්ඡා පැවැත් වූ බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාව හා චීනය අතර බෞද්ධ සබඳතා වර්ධනය කරගැනීම අරමුණු කර ගනිමින් පැවති එම ද්වීපාර්ශවික සාකච්ඡාවේදී අතිපූජ්‍ය මහා නාහිමිවරුන් ප්‍රධාන ශ්‍රී ලාංකික බෞද්ධ දූත පිරිස අවධාරණය කර කියා සිටියේ, වසර 2500 කට වඩා පැරණි බෞද්ධ සංස්කෘතික උරුමයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ක්‍රි.පූ. යුගයේ සිට චීනයේ පාහියන් භික්ෂූන් වහන්සේගේ ලංකාගමනය කේන්ද්‍රකර ගනිමින් දෙරට අතර ඇති වූ බෞද්ධ සබඳතාවය පිළිබඳ අගය කරමින් ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව හා චීනය අතර පැවති බෞද්ධ පුනර්ජීවනය සිහිකරමින් පැරණි බෞද්ධ සබඳතා වඩාත් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කිරීමට දෙරටේ බෞද්ධ නායකයන් මෙම සාකච්ඡාවේදී එකඟ වූහ.

විශේෂයෙන් මෙහිදී ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වැඩි දුර අධ්‍යාපනය හැදෑරීම සඳහා චීනයේ වැඩි ඉඩකඩක් ලබාදීම, ථේරවාදී බුදු දහම හා පාලි සංස්කෘතික විෂයන් හැදෑරීම සඳහා චීනයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ශ්‍රී ලංකාවේදී විශේෂ අවස්ථාවක් ලබාදීමට මෙහිදී දෙරටේ බෞද්ධ නායකයින් එකඟ වූ අතර, විශේෂයෙන් ශි‍්‍ර ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ද චීන රජයේ ආධාර යටතේ දහම් පාසල් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම හා ඊට අවශ්‍ය පහසුකම් සලසාදීමට විශේෂ අවධානයක් යොමු කළ බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශය අවධාරණය කරයි.

මෙහිදී අදහස් දැක් වූ චීන රජයේ බෞද්ධ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ථේරවාදී නිර්මල බුදුදහම පිළිබඳව ලෝක බෞද්ධ ජනතාවට විශේෂ මඟපෙන්වීමක් ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය ශ්‍රී ලංකාවේදී පවත්වන්නේ නම් එය සාර්ථක කර ගැනීම සඳහා චීන රජයේ බෞද්ධ නායකයන්ගේ අත්දැකීම් හා සහයෝගය ලබාදීම පිළිබඳ මෙහි දී කැමැත්ත පළ කළ අතර, බුදු දහම තුළින් චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍ර සබඳතා තවත් ශක්තිමත් කිරීමට දෙරටේ බෞද්ධ නායකයන්ගේ අන්‍යෝන්‍ය අවබෝධය මිත්‍රත්වය හා විශ්වාසය ඉතා වැදගත් වන බවත්, චීන රජයේ ආරාධනය පිළිගෙන 4 වන ලෝක බෞද්ධ සමුළුවට ශ්‍රී ලංකාවෙන් වැඩම කළ අතිපූජ්‍ය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා හා ඉහළ පෙළේ ශ්‍රී ලාංකික දූත පිරිස චීනයට පැමිණීම පිළිබඳව තම රට ඉතා ආඩම්බර වන බවත්, එයට චීන බෞද්ධ ජනතාවගේ ගෞරවය හා ස්තූතිය ශ්‍රී ලාංකික රජයටත් බෞද්ධ ජනතාවටත් පුද කරන බව අවධාරණය කළහ. එහිදී අදහස් දැක් වූ චීනයේ බෞද්ධ සංගමයේ සභාපති අතිපූජ්‍ය Zhengci නාහිමියෝ ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලාගේ රජය චීනය හා ශ්‍රී ලංකාව අතර පැවති ඓතිහාසික මිත්‍රත්වය අවබෝධ කරගනිමින්, චීන බෞද්ධ ජනතාවට වැඳපුදා ගැනීම සඳහා සර්වඥ ධාතුන් වහන්සේලා චීනයට පසුගියදා පරිත්‍යාග කිරීම පිළිබඳව ද උන්වහන්සේ මෙහිදී විශේෂ ස්තූතියක් පළ කළේ ය.

ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ආර්ථික, සමාජීය හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින බෞද්ධ සහයෝගීතාවය තීරණාත්මක සාධකයක් වන බැවින්, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දෙරට මෙම වැදගත්කම තේරුම්ගෙන බෞද්ධ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා චීන බෞද්ධ ජනතාවට බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ, ජය ශ්‍රී මහා බෝධිය, අටමස්ථාන හා ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති බෞද්ධ සිද්ධාස්ථාන දැක බලා ගැනීම, බෞද්ධ සංචාරක වැඩසටහන් දියුණු කිරීම තුළින් සිදු කළ හැකි බව මෙහිදී අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාව හා චීනය අතර පැවති මෙම සාකච්ඡාවට බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ඓතිහාසික සබඳතා දෙරට අතර සිදුකෙරෙන ආර්ථික හා සංස්කෘතික සබඳතා වඩාත් ශක්තිමත් වීමට බුදුදහම හොඳම සාධකයක් වන බැවින් චීන රජයේ මෙම පණිවුඩය ජනාධිපතිතුමාටත්, අග්‍රාමාත්‍යතුමාටත්, බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාටත්, විදේශ කටයුතු භාර අමාත්‍යතුමාටත් තමා නිල වශයෙන් දැනුවත් කර දෙරට අතර බෞද්ධ සබඳතා තර කර ගැනීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික සහයෝගය ලබාදෙන බව මෙහිදී අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවට චීනය ලබා දෙන සහයෝගය පිළිබඳව චීන රජයටත් චීන ආගමික කටයුතු අමාත්‍යංශයටත් මෙහිදී විශේෂ ස්තුතිය පුද කළේ ය.

එම අවස්ථාවට ශ්‍රී ලාංකික දූත පිරිස නියෝජනය කරමින් කැලණිය රජමහා විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, අභයගිරි විහාරාධිපති ආචාර්ය කල්ලන්චියේ රතනසිරි හිමි, ආචාර්ය නාගොඩ අමරවංශ හිමි, නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති තීනියාවේ පාලිත හිමි ඇතුළු බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වසන්ත ඒකනායක, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ශාස්ත්‍රපති හර්ෂ බී. අබේකෝන්, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ප්‍රණීත් අබේසුන්දර, උප සභාපති සෙන්පති සුදත් මඩුගල්ල, ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ සභාපති ආනන්ද ගුණතිලක, එහි ලේකම් අධිනීතිඥ සුමති ධර්මවර්ධන සහ බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ සුරනිමල සේනාරත්න යන මහත්වරු පිරිසක් ද එම සාකච්ඡාවට එක් වූ අතර, චීන රජය වෙනුවෙන් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ අධ්‍යක්ෂිකා Suehui මහත්මිය, චීන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් (සංස්කෘතික) Wang Yamei මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

    ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 19 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.39 ට ලබයි. 19 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 11.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය නොවැම්බර් 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]