UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලක්දිව බෞද්ධ කලා ශිල්ප 06 දාගැබ් පුරාණය

පුරාණ ලක්දිව බෞද්ධ කලා ශිල්ප 06

දාගැබ් පුරාණය

බුදුරජාණන් වහන්සේලා, පසේබුදුරජාණන් වහන්සේලා හා චක්‍රවර්ති රජවරුන්ට අයත් ධාතුන් වහන්සේලා සහ භෂ්මාවශේෂ තැන්පත් කර ස්තූප හෙවත් දාගැබ් නිර්මාණය කළ බව සඳහන් වන්නේ ගෞරව කිරීම පිණිස හා පුද පූජා පිණිසය.

දාගැබක් සෑම විහාරස්ථානයකම දැකිය හැකියි. පුරාණ කාලයේදී විහාරස්ථානයක් සාදන ලද්දේ ඒ ප්‍රදේශයේ උසම ස්ථානයක ය. ලංකාවේ ඓතිහාසික හා පුරා විද්‍යාත්මකව සඳහන් කළ හැකි ප්‍රථම දාගැබ සාදන ලද්දේ (මහින්දාගමනයට පසුව) දේවානම් පියතිස්ස රජතුමා විසිනි. ඒ ස්තූපය ථූපාරාමය යන නාමයෙන් ප්‍රකටය. එම දාගැබ අනුරාධපුරයේ ඉහළම ස්ථානයක සාදා ඇති බව ජේතවනාරාම දාගැබ සංරක්ෂණය කරන කාලයේදී ඒ දාගැබ මුදුන ආසන්නයට ගිය අවස්ථාවලදී පැහැදිලි වූ කරුණකි. ථූපාරාමය ගොඩනගන ලද ආකාරය ඉතා දීර්ඝ ලෙසින් මහාවංසයේ පළමුවන කොටසේ විස්තර කර ඇත. ඒ ථූපාරාමයට පෙර ලංකාවේ ඉදිකරන ලද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ (ධරමාන කාලයේ) ලංකාවේ ඉදිකළ දාගැබ් දෙකක් ගැනද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ඒවා නම් මහියංගණ දාගැබ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති ගිරිහඬු වෙහෙර (තිරියාය) ය.

ස්තූපය ගැන ලංකාවේ ප්‍රථම ලාංකික පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් THE STUPA IN CEYLON  (ලංකාවේ ස්තූපය) නමින් ලියන ලද ග්‍රන්ථයට එතුමාට ආචාර්ය උපාධිය ලැබුණ බව ( ඕලන්දයේ ලෙයිඩින් විශ්ව විද්‍යාලය) ඉතා ප්‍රකටය.

දාගැබ යන සිංහල වචනය සෑදී ඇත්තේ සංස්කෘත භාෂාවේ ධාතු සහ ගර්භ යන වචන දෙක එක්වීමෙනි. ස්තූපය, ථූප, තුඹ, කුභ චෛත්‍යය සහ වෙහෙර යන නාමයන් මේ සඳහා යෙදේ. ස්ථූප යනුවෙන් ලිවීම වැරැදිය. එය ස්තූප යනුවෙන් ලිවිය යුතුය. අද සමහර පොත්පත්වල පවා මෙම වැරැදි ලෙසින් ලිවීම වැරැදි බව සඳහන් කිරීම ඉතා වැදගත්ය. ස්තූපයක ඉතා වැදගත්ම අංගය වන්නේ ධාතු නිදන් කළ ගර්භය හෙවත් ගැබය. මේ නිසා ඒ විශේෂ අංගය සලකා මුල් ස්මාරකයම දාගැබ වන නමින් ව්‍යවහාරයේ පවති. මේ අනුව බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ හෝ පාරිභෝගික ධාතුන් වහන්සේලා නිදන් කළ ස්මාරකය ස්තූප යන නාමයෙන් හැඳින්වේ.

චෛත්‍යය යන වචනයද භාවිතා වේ. එය සංස්කෘත භාෂාවෙන් චිත්චිති (කුස) යන්නෙන් බිඳී ආ වචනයකි. එසේ වුවද චෛත්‍යය යන්න (චේතිය) ස්තූපයට පමණක් නොව පූජනීය වෘක්ෂයකටද (රුක්ඛ චේතිය) හෝ ආරාමයකට (ආරාම චේතිය) හෝ භාවිතා වූ නාමයකි. අප රටේ සාමාන්‍ය ජනතාව ස්තූපය හඳුන්වන්නේ වෙහෙර යනුවෙනි. මේ පිළිබඳව විවරණයක් කරන මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙසේ සඳහන් කරයි.

මෙම වචන සෑදී ඇත්තේ ආරාම නැතහොත් පන්සල යන අර්ථවත් විහාර යන සංස්කෘත වචනයෙනි. ඒවා අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධය හේතු කොට ගෙන මෙය සිදුවී ඇත. ලංකාවේ කිසියම් ස්තූපයක් ආරාමයකින් වෙන්වී ඇත්තේ ඉතාමක් කලාතුරකිනි. THE STUPA IN CEYLON DR. SENARAT PARANAVITANA P. L (1946)

පූජ්‍ය තිරාණගම රතනසාර හිමියෝ විසින් ලියන ලද බෞද්ධ ස්තූප නම් වූ ග්‍රන්ථයෙහි ස්තූප සඳහා විවිධ රටවල භාවිතාවන නාමයන් මෙසේ සඳහන් කරති.

1. සංස්කෘත ස්තූප, චෛත්‍යය, ධාතු ගර්භ, විහාර
2. පාලි – ථූප - චෙතිය, ධාතු ගබ්භ
3. සිංහල – තුඹ (වෙහෙර) දාගැබ - සෑය
4. චීන – ඉන්දියා- බුරුම (මියන්මාර් පැගොඩා)
5. ජපන් - පැගොඩා - ටවර්
6. ඉන්දුනිසියාව - වන්දි - පුර
7. නේපාල – නාත්
8. කාම්බෝජය – ලාඕස් - වට්
9. ඊජිප්තුව - පිරමිඩ
10. මෙක්සිකෝ - පිරමිඩ
11. තායිලන්තය – වට්

බෞද්ධ ස්තූප -පූජ්‍ය තිරණාගම රතනසාර හිමි – පි. 5-6 (1966)

ස්තූපයන් හෝ චෛත්‍යයන් ගොඩනංවනු ලැබුවේ බෞද්ධයන් විසින් පමණක් නොවේ. ජෛනාගමිකයින් විසින් හා නොයෙක් යක්ෂයන් ඇදහු අය විසින්ද ස්තූප සෑදීම සිරිතක් කරගෙන තිබුණි. එමෙන්ම ස්තූප සෑදීම ප්‍රාග් බෞද්ධ (බෞද්ධ යුගයට පෙර) චාරිත්‍රයක් විය.

චක්‍රවර්ති මහරජවරුන්ද අනුස්මරණය සඳහා ස්තූප සෑදීම ගැන බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බව මහාපරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් වේ. මේ පිළිබඳ තතු පහදමින් මහාචාර්ය පරණවිතාන බුදුසමයේ පහලවීමට පෙර සිට තිබූ ආගම් විසින් ඇතැම් චෛත්‍යයන් ඉදිකරන ලද්දේ මෙම රජවරුන්ගේ මෘතදේහ තැන්පත් කොට විය හැකි යැයි ප්‍රකාශ කරයි.

(ලංකාවේ ස්තූප – ආචාර්ය සෙනරත් පරණවිතාන පි.2)

ඒ අනුව බුදුරජාණන් වහන්සේලා, පසේබුදුරජාණන් වහන්සේලා හා චක්‍රවර්ති රජවරුන්ට අයත් ධාතුන් වහන්සේලා සහ භෂ්මාවශේෂ තැන්පත් කර ස්තූප හෙවත් දාගැබ් නිර්මාණය කළ බව සඳහන් වන්නේ ගෞරව කිරීම පිණිස හා පුද පූජා පිණිසය. පුරාණ ජම්බුද්වීපය මෙම ස්තූප ඉදි කරන්නට පෙර සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ආදාහන පූජාවෙන් අනතුරුව ඉතිරි වූ සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රෝණ බමුණා විසින් එකල රජවරුන්ට බෙදා දුන් පසු ව ඒ රජවරුන් විසින් සර්වඥ ධාතූන්වහන්සේලා නිදන් කර ස්තූප නිර්මාණය කර ඇත. අසෝක රජතුමා (ක්‍රි. පූ 273 – 232) විසින් අසූහාර දහසක් සෑදු බව සඳහන් වේ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු නොයෙක් තන්හි විසිර පවත්නා ලෙසට කටයුතු සලස්වන්නේමැයි සිතාගත් අසෝක රජ තෙමේ සිව්රඟ සේනාව පිරිවරා නික්ම ගොස් අජාසත්ත රජතුමා විසින් “බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිදන්කොට කරවා තිබුණ ද්‍රෝණ නම් ස්තූපය උගුලුවාපිය”. මේ අයුරින් අසෝක රජතුමා පුරාණ ස්තූප බිඳවා ශාරීරික ධාතුන් වහන්සේලා ද්‍රෝණ සතක් රැස්කරවා ගත්තේය. මෙසේ නො බිඳුන ලද්දේ රාම ග්‍රාමයෙහි තිබු ස්තූපය පමණකි. ඒ නාගයන්ගේ ආයාචනය නිසාය. අසෝක රජතුමා රාම ග්‍රාමයේ තිබු සර්වඥ ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ තැන්පත් කරනු සඳහා වෙන්කොට තිබෙන බව ඔහුට කියා තිබුණ නිසායැයි ශ්‍රී ලාංකික පුරාවෘත්ත සඳහන් වෙයි. ඒ නිසා මහායාන මූලාශ්‍රවල රාමග්‍රාමය ගැන සඳහන් වන මේ පුවත ඉතා වැදගත්ය.

අසෝක රජතුමා මෙසේ රැස්කර ගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලා රන් , රිදී, පළිඟු හා වෛධූර්ය මාණික්‍යවලින් සාදන ලද කරඬු අසූ හතර දහසක් තැන්පත් කර එක් එක් කරඬුව නිදන් කොට එක්කෝටියක් ජනතාවට එක බැගින් ධර්මරාජික (දාගැබේ) අසූහතරදාහක් සාදවන සේ අණ කරවා නිලධාරින් අත ඒ නගර හා ගම් දනව් වෙත යැවීය. (ධර්මාශෝක සුවිනිශ්චිත ජීවන චරිතය – ආචාර්ය ඩබ්ලිව්. පී. ආනන්ද ගුරුගේ පි. 143 (2005) සහ සිදුහත් කුමරු උපන් ලුම්බිණියේ මායාදේවි විහාරය සිරිසමන් විජ්තුංග පි. 110 – 111 (2014)

ඉන්දියාවේ පසුකාලයේදී මේ ස්තූප ඉදිකළේ බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේලා ගේ ධාතු නිදන් කිරීමක් පමණක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ සාරානාථයේද දාගැබක් සාදා ඇත. ඒ ස්තූපය ස්මාරක ස්තූප ලෙස හැඳින්වේ.

ලබන සතියේ ලංකාවේ ප්‍රථම දාගැබ ඉදිකිරීම


පසුගිය සතියෙන් - පුරාණ ලක්දිව බෞද්ධ කලා ශිල්ප 05 - පද්ම - සංඛ මුරගල් සහ කොරවක්ගල්

 

    ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 19 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.39 ට ලබයි. 19 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 11.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය නොවැම්බර් 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]