UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විමාන වත්ථු ප්‍රකරණයෙන් ...... දෙව්ලොව ගිය ඇත්තෝ පැන් බිඳක් දන් දී දිව සැපත් ලද්දී

විමාන වත්ථු ප්‍රකරණයෙන් ......

දෙව්ලොව ගිය ඇත්තෝ පැන් බිඳක් දන් දී දිව සැපත් ලද්දී

භාග්‍යවතුන් වහන්සේ සැවැන්නුවර වැඩවසන සමයේ එක්තරා ඈත පළාතක ගම්මානයෙන් ඔබ්බෙහි එක් සේනාසනයක භික්ෂූන් වහන්සේ දොළොස් නමක් වැඩ විසූහ. උන් වහන්සේ බොහෝ කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේගේ රූපකාය නොදැකීම හේතුවෙන් දොම්නසට පත්ව සිටියහ.

“සැවැත්නුවරට ගොස් බුදුපියාණන් වහන්සේ දැක බලා සිත් සනහා ගනුම්හ” යි උන්වහන්සේ කතිකා කොට ගත්හ.

ඒ අනුව තම තමන්ගේ පාත්‍ර සිවුරු සහිතව ගමනට නික්මුණු දොළොස් නම සැවැත්නුවර දක්වා වූ දීර්ඝ මාර්ගයට පිවිස රණහංස සමූහයක් මෙන් නෙත්කලු විලාසයෙන් පා නඟන්නට වූහ. එහෙත් එය වනාහි ගිම්හාන ඍතුවෙහි පළමු වැනි මාසය විය. ගමන් මඟ අතරතුරෙහි නිරුදක කාන්තාරයකට පිවිසි උන්වහන්සේ පැන් නොමැතිව මහත් පීඩාවට පත් වූහ. එබැවින් පැන් පොදක් ලබත හැකි යයි සිතූ එක්තරා දිසාවකට හැරී ගමන් කොට මහත් වෙහෙසට පත්ව විඩා හරිමින් සිටියහ.

ඒ ආසන්නයෙහි නියං සමයෙහි ද පැන් ඇති එක්තරා ළිදක් තිබිණ. ඒ ළිඳට පැන් පිණිස පැමිණ එක්තරා කාන්තාවක නුදුරෙහි වැඩ සිටි භික්ෂූන් වහන්සේ දැක “මේ ආර්යයන් වහන්සේලාට පැන් අවශ්‍යව තිබේ” යැයි නුවණින් වටහා ගත්තාය. එබැවින් පිපාසාවෙන් සිටි උන්වහන්සේ දොළොස් නම කෙරෙහි කරුණා සිත් උපදවාගෙන වහ වහා පැන් කළයද රැගෙන භික්ෂූන් වහන්සේ කරා පැමිණියාය.

“ස්වාමීනි, ඔබ හැම දෙනා වහන්සේ ම මා කෙරෙහි අනුකම්පා කොට මේ පැන් පිළිගෙන වදාළ මැනැවැ”යි ඈ ආරාධනය කළාය.

එවිට ඒ භික්ෂුන් හැම දෙනා වහන්සේ පෙරහන්කඩගෙන පැන් පෙරා පාත්‍රයට පැන් පිළිගෙන සිත් සේ පානය කොට පිපාසා සංසිඳුවා ගත්හ. විඩා නිවා ගත්හ. අත්පා දෝවනය කොට සිසිල් කර ගනිමින් ගිමන් සමනය කොට ගත්හ. ඉක්බිති ඒ උපාසිකාවට උදක දානයේ අනුසස් පළ කරමින් පින් අනුමෝදනා කළහ.

පැන් පූජා කළ එකී කාන්තාව තමන් කළා වූ ඒ කුසල කර්මය ගැන නැවත නැවතත් මෙනෙහි කරමින් පී‍්‍රති ප්‍රමෝදයට පත් වූවාය. එසේ දවස් ගත කළ ඈ කලකට පසු මිය පරලොව යාමෙන් තව්තිසා දිව්‍යලෝකයෙහි උත්පත්තිය ලැබුවාය. ඒ දිව්‍ය වෘක්ෂයන්ගෙන් ශෝභමානව පහළ වු සුවිශාල දිව්‍ය විමානයක් ද සමගිනි. එකී විමානය පිරිවරා ගත්තා වු සිසිල් ජලයෙන් සපිරි ගංගාවක්ද පහළ විණි. ඒ ගංගාව දෙපස මුතු රාශියක් සේ වු රිදීමය වැලිතලාවෙන් යුක්ත විණි. එසේ රිදී පොටක් බඳු වැලිතලාවෙන්ද රිදී පවුරක් වැනි වූ ගංඉවුරෙන්ද යුක්තව මැණික් කඳක් සෙයින් පිරිසුදු සිසිල් ජල ධාරාවක් ඒ ගංගාවේ ගලා ගියේය. ගංගාව දෙපස ගං තීරයේ දිව්‍යමය සුගන්ධයෙන් ගැවැසීගත් පුෂ්පයෙන් ශෝභිත වනෝද්‍යානයක් විය. එයට මාණික්‍යමය ප්‍රාකාරයෙන් හා දොරටුවෙන් සමන්විත විණි. සත්රුවන්වලින් සැදී බබළන්නා වූ පියගැට පෙළ සහිත මනෝරම්‍ය පොකුණක් ද එහි වූයේය. ඒ පොකුණෙහි රතු නිල් ආදි නොයෙක් ජලජ පුෂ්ප පිපී තිබිණ.

එපමණක් නොව ඒ විසිතුරුදෑ අතුරෙහි සත්රුවනින් සැදි නෞකාවක්ද පහළ විනි.ඒ විශේෂත්වය හේතු කොටගෙන ඒ දිව්‍යාංගනාවගේ විමානය “නාවුක විමානය” නම් වූයේය. දිව්‍යාංගනාව සිය මන්දිරයෙන් නික්ම නෞකාවෙහි නැඟීමෙන්ද සුන්දර කර පුෂ්කරණියෙහි ජල ක්‍රීඩාවහෙි යෙදෙමින්ද තම දිව්‍ය ලීලාවෙන් බබළමින් දිව්‍ය සම්පත්ති භුක්ති විඳිමින් කල් ගෙවන්නට වූවාය. මෙසේ වූ එක් දවසක මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව චාරිකාවෙහි යෙදි සිටියදී නාවුක විමානය සහිත වූ මේ ඉසුරුමත් පී‍්‍රතිමත් දෙවඟන දුටු සේක.මේ සම්පත් ලැබීමට ඇය විසින් කරන ලද්දා වු පූර්ව කුසල කර්ම විමසනු වස් උන්වහන්සේ ඇය අමතා කථා කළහ.

“එම්බා දෙව්දුවණියනි, තොප නැඟ සිටින මේ ස්වර්ණමය නෞකාව රක්ත ස්වර්ණද විචිත්‍ර චිත්‍ර කර්මයෙන් ශෝභිත බිත්තියෙන්ද සත්රුවනින් බබළන වහලයෙන්ද යුක්ත වන්නේය. රතු සුදු උපුල් ආදි වූ මලින් සපිරි මේ පොකුණ ජල ක්‍රීඩාවට ගෝචරය. සුගන්ධවත් මේ පුෂ්පයන් නෙළමින් ජල ක්‍රීඩා රිසියෙන් හිඳිනා තොපගේ මේ මනා ඡවි වර්ණයෙන් හෙබි රූපශි‍්‍ර සම්පත්තියක් උද්‍යාන විමාන ආදී මේ පරිභෝග සම්පත්තියත් තොප විසින් කරන ලද කුමන කුසල කර්මයක් හේතුකොට කී ලද්දීද?”

“ස්වාමීනි, මම පූර්ව ආත්මයෙහි මේ බුද්ධෝත්පාද කාලයෙහිම මනුෂ්‍ය ලෝකයෙහි ස්ත්‍රියකම ඉපිද හිඳිද්දී විඩාවෙන්ද පිපාසයෙන්ද ක්ලාන්ත වී හුන් භික්ෂූන් වහන්සේ පිරිසක් දැක අනලස්ව පහන් සිත් ඇති කොටගෙන පැන් පමණක්ම පූජා කළෙමි. මේ සම්පත්තීන් ලැබුයේ ඒ කුසලානුභාවයෙනි. යම් අයෙක් පිපාසයෙන් පීඩිත කෙනෙකුන්හට පහන් සිතින් බීමට පැන් බිඳක් පිරිනමා උපකාරි වූයේ වී නම් මෙසේ මා ලැබුවා වැනි මනහර පුෂ්කරණින් සහිත වු ජල සම්පත්තීන් ද සුන්දර විමාන සහිත සැප සම්පත්තීන්ද එයින්ම ලබන්නේය. මේ විමානය වට කොටගත් නිරන්තර නිර්මල ජල ප්‍රවාහයෙන් යුක්ත වු ගංගාවකි. ඒ දෙපස රජතමය වැලිතලාවකි. ගංතෙර දෙපස භූමිභාගයෙහි හැමදා මලින් ඵලින් ගැවසීගත් වෘක්ෂ ලතාවෙන් ශෝභමාන වනෝද්‍යානයකි. මෙසේ මම මේ දිව්‍ය සම්පත් භුක්ති විඳින්නෙම් වෙමි” යැයි ප්‍රකාශ කළ ඒ දිව්‍යාංගනාව යළිදු මෙසේ පැවසුවාය.

“ස්වාමීනි, ජලයෙහි මුදල් අගයක් නැත්තේය. නිරන්තරව එය මුහුදට ගලා යන්නේය. එබඳු වු ජලයෙන් ස්වල්පයක් පූජා කළ පිනින්ම මෙතරම් වූ දිව්‍ය සම්පත් ලැබ ඒ ඵෙශ්වර්ය මහිමයෙන් හාත්පස බබළවමින් හිඳින්නෙම් වෙමි”


පසුගිය සතියෙන් - විමාන වත්ථු ප්‍රකරණයෙන් ...... දෙව්ලොව ගිය ඇත්තෝ දෙව් සැප පැතූ උවැසිය

 

    ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 19 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.39 ට ලබයි. 19 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 11.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය නොවැම්බර් 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]