UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 62

මහණෙනි, කරුණාවෙන් ඔබ හැම දෙනාට කියමි. සියලු සංස්කාරයෝ නැසෙන ස්වභාව ඇත්තෝය. එළැඹ සිටි සිහි ඇතිව ගුණ දම් වඩව්. ළඟ දී තථාගතයන්ගේ පිරිනිවීම වන්නේය. මෙයින් තුන් මසක් ගිය තැන තථාගත තෙම පිරිනිවෙන්නේ යැයි වදාළ සේක.

විසල්පුර වැඩම කිරීම

චාපාල චෛත්‍යයේදී මරුගේ ආයාචනය භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ පෙරවරු කාලයෙහි විසල්පුරයට වැඩම කර එහි පිඬු පිණිස හැසිර සවස් වේලෙහි චාපාල චෛත්‍යය වෙත එළඹුණ සේක. එහි එළඹ පනවන ලද අසුනෙහි වැඩහුන් සේක.

එහිදී ආනන්ද තෙරුන් අමතා සතර සෘද්ධිපාද වැඩුවකු විසින් කැමැති නම් කල්පයක් හෝ එයට වැඩිකලක් ජීවත්ව සිටිය හැකි බව තෙවරක් ම බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළහ. එසේ දේශනා කළත් බිහිසුණු දෙයක් (වසවත් මරු මවා පෑ දර්ශනයෙකි) අනඳ හිමියන්ට පෙනුණෙන් සිත කැළඹුණෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ අදහස ගැන යමක් සිතා ගැනීමට නොහැකි විය. අනඳ තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඳ සමුගෙන ගොස් රුකක් මුල වැඩ හුන්හ.

අනඳ තෙරුන් නික්ම ගිය නොබෝ වෙලාවකින් වසවත් මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළැඹ පසෙක සිට පරිනිර්වාණයට කාලය බව දැන්වීය. භාග්‍යවතුන් වහන්සේද මරහු අමතා එතැන් පටන් තුන් මසක් ගත වූ තැන පිරිනිවන් පානා බවද වදාළ සේක.

ස්වල්ප වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ මේ ඉදිරියට ඇති තුන් මස පමණක් සමවත් සමවදනෙමි. ඉන් එහා එය නොකරමි යි ඉටා ගත් සේක. ඒ වේලෙහි මහත් භූමි චලනයක් ඇතිවිය. අහස් ගිඟුරුම් ද විය.

ඒ දැක අනඳ තෙරණුවෝ භූමි චලනයට කරුණු විචාළහ. ධාතු කැළඹීමෙන්ද, මහා පිනැත්තන්ගේ සෘද්ධි බලයෙන්ද, මහා බෝතුන්ගේ පිළිසිඳ ගැනීම, බිහිවීම, බුදුරදුන් දම්සක් පැවැත්වීම, බුදුරජකු ආයු සංස්කාරය හැරීම, පිරිනිවීම යන සකරුණින් දැයි මෙකී කරුණු අටින් භූමිකම්පා වන බව වදාළ සේක. අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාර හළ සේකැයි සිතා ශෝක භරිත වුවෝ, කල්පයක් වැඩ සිටින්නැයි අයැදූහ. මේ ආයාචනය කටයුතුව තිබුණේ ආයුසංස්කාරය හරින්නට පළමුයැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එසේ වදාරා තව තුන් මසෙකින් පිරිනිවන් පාන බව දැන් වූ සේක.

කුටාගාර ශාලාවට වැඩීම

අනතුරුව බුදුරජාණන් වහන්සේ මහා වනයෙහි කුටාගාර ශාලාවට වැඩි සේක. වැඩ විසාලා පුර හාත්පස සිටින සියලු භික්ෂුන් උපස්ථාන ශාලාවට රැස්කරවන්නට ආනන්ද තෙරුන්ට නියම කළ සේක. භික්ෂුන් රැස් වූ පසු භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩමකළ සේක. එහිදී ඔවුුනට සතර සතිපට්ඨාන බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ග යන මේ තමන් වහන්සේම දැන වදාළ බෝධිපාක්ෂික ධර්ම මනාව ඉගෙන පුරුදු පුහුණු කටයුතු බව විශේෂයෙන් වදාළහ. මහණෙනි, කරුණාවෙන් ඔබ හැම දෙනාට කියමි. සියලු සංස්කාරයෝ නැසෙන ස්වභාව ඇත්තෝය. එළැඹ සිටි සිහි ඇතිව ගුණ දම් වඩව්. ළඟ දී තථාගතයන්ගේ පිරිනිවීම වන්නේය. මෙයින් තුන් මසක් ගිය තැන තථාගත තෙම පිරිනිවෙන්නේ යැයි වදාළ සේක.

ප්‍රජාපති ගෞතමී හා යශෝධරා දෙනම පිරිනිවන් පෑම

මේ සමයෙහිම ප්‍රජාපතී ගෞතමී මහා ස්ථවිරිද, එයින් පසුව යශෝධරා මහා ස්ථවිරි යන දෙනම ද අවුත් භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසර ගෙන පෙළහර පා දම් දෙසා පිරිනිවන් පෑහ.

භාණ්ඩ ග්‍රාමයට වැඩීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙන් පිටත්ව භාණ්ඩ ග්‍රාමයට වැඩි සේක. වැඩ එහිදී ආර්ය ශීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ත යන සතර ධර්ම පිළිබඳව අවබෝධයක් ඇතිකර දෙන ලදී. ඉන්පසුව එයින් පිටත්ව හස්ති ග්‍රාමය, ආමුග්‍රාමය, ජම්බුග්‍රාමය යන ගම් පසුකොට භෝග නගරයට වැඩ එහි ආනන්ද චෛත්‍යය ස්ථානයෙහි වැසු සේක. එහිදී භික්ෂුනට සතර මහා අපදේශයන් වදාළ සේක. ඉන් පසුව පාවා නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කරන ලදී.

පාවා නුවර

කුසිනාරාවට කිලෝමීටර 20 ක් පමණ දුරින් පිහිටි වර්තමානයේ සාජිල් නගර් නමින් හැඳින්වෙන නගරය පෙර පාවා නගරය වූ බව කියති. අප තථාගතයන් වහන්සේ චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ සෙවනෙහි වැඩ සිටි සේක. චුන්ද කර්මාර පුත්‍රයා බුදුන්වහන්සේ වැඩි බව අසා එහි ගොස් වැඳ පසෙක හුන්නේය. ඔහුට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. සතුටු වූ චුන්ද තෙම බුදුරජුන් ප්‍රමුඛ වූ සංඝයාට දානය පිළිගැන්වීමට ආරාධනා කළේය. බුදුරජාණන් වහන්සේ දානය අවසානයෙහි අනුමෝදනා දහම් වදාළා ඉන් නික්ම වැඩි සේක. සුජාතා, චුන්ද යන දෙදෙනා පිසූ භෝජනයන්ගේ සමඵල ඇති බව කෙසේද? යත් සුජාතා දුන් බොජුන් වළඳා භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලැබු සේක.චුන්ද දුන් බොජුන් වළඳා නිරුපදිශේෂ නිර්වාණ ධාතුයෙන් පිරිනිවි සේක. මෙසේ පිරිනිවන් පෑමේ සම බැවින්ද ඒ වැළැඳු භෝජනය සමඵල ඇත්තේය.

පෙර බේලුව ගමේදී ලෝහිත පක්ඛන්දිකා රෝගය හටගත් විට භාග්‍යවතුන් වහන්සේ එය දසමසක් නො නැගිටින ලෙස අදිටන් කොට සමාපත්ති බලයෙන් මැඩලු සේක. ඒ දස මස ගත වූ බැවින් සැඟවී තිබු රෝගය මතුවිය. ඒ මතුවූයේ චුන්දගේ දානය වැළඳීමෙන් පසුවය. එහෙත් චුන්දගේ සිනිඳු වූ බොජුන් වැළඳී හෙයින් රෝගය මුලදී මෙන් බලවත්ව නො නැඟේය. ඒ භෝජනය නො වැළඳු සේක්නම් එදින රෝගය බලවත්ව නැඟෙන්නේය. සමාපත්ති බලයෙන් එදිනත් එය මැඬ පැවැත්විය හැකි වුවත් බුද්ධ ශරීරය පවා රෝග පීඩාවනට ගොදුරු වන බවට සිය සිරුරම ආදර්ශ කොට පෙන්වා භවය කෙරෙහි සිය සවිමත් කලකිරවීමෙහි අදහසින් ටික වේලාවක් රෝගය එසේම තිබෙන්නට ඉඩ හැරී සේක.


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 61

 

    ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 19 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.39 ට ලබයි. 19 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 11.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය නොවැම්බර් 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]