UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ අපවත් වෙති

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ අපවත් වෙති

සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරයේ නායක කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ 2015-11-08 දින අලුයම අපවත් විය.

ශ්‍රී නාග විහාරය ආරංච් මාර්ග පැවසුවේ සිංගප්පුරුවේ මවුන්ත් එළිසබෙත් රෝහලේදී 2015-11-08 අලුයම 4.30 පමණ උන්වහන්සේ අපවත්වී ඇති බවයි.

උන්වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා එරට විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනෙකු කටයුතු කළ අතර ඊට අමතරව උන්වහන්සේගේ සහයට ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්ද යොමුකර තිබුණි.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසුගියදා ශ්‍රී ලංකාවේදී හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් සැත්කමකට භාජනය කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ තත්ත්වය බරපතල විය.

ඒ අනුව උන්වහන්සේව සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කළහ.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සදහා පසුගිය 03 වනදා රාත්‍රියේ සිංගප්පූරුවේ රෝහලක් වෙත ඇතුළත් කළහ.

උන්වහන්සේගේ දේහය කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බව තානාපති අංශ පවසයි.


සෝභිත හිමි ආදාහනය 12

කෝට්ටේ නාග විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා (2015-11-12) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේදී පැවැත් වීමට තීරණය කර තිබේ.

ආදාහන පූජෝසත්වය පැවැත්වෙන දිනය වන බ්‍රහස්පතින්දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.

අද උදෑසන කෝට්ටේ නාග විහාරස්ථානයේදී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපුජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණවලට එළඹ ඇත.

(2015-11-08 13.10)


සෝභිත නාහිමි ඉතිහාසයේ මං සලකුණක්

කිසිදු පක්ෂයකට ජාතියකට ආගමකට සීමා නොවූ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ ලක් ඉතිහාසයේ උත්තරීතර මං සලකුණක් ශේෂ කොට නික්ම ගිය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

සදාචාරසම්පන්න සමාජයක්, පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් නොනිම් සිහින යථාර්ථයක් කර ගැනීමට දශක ගණනාවක් අභීතව අවිහිංසාවාදී අරගලයක නිරත වූ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයකු දැයට අහිමි වී තිබේ. කිසිදු පක්ෂයකට ජාතියකට ආගමකට සීමා නොවූ ඒ යතීන්ද්‍රයාණන් වහන්සේ 'මාදුළුවාවේ සෝභිත' යන නාමය ලක් ඉතිහාසයේ උත්තරීතර මං ලකුණක්ව ශේෂ කොට නික්ම ගියහ.

කෝට්ටේ නාග විහාරයේ විහාරාධිපති සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ පරම පූජනීය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අභාවය රටටත් ජනතාවටත් පිරිමැසිය නොහෙන පාඩුවක් බව මහත් වූ සංවේගයෙන් ප්‍රකාශ කරමි.

1942 මැයි 29 වන දා පාදුක්ක මාදුළුවාවේ ගම් පියසේ උපත ලැබූ උන්වහන්සේ ළාබාල වියේදීම පැවිදි බිමට පිවිස විද්‍යාලංකාර විද්‍යෝදය විශ්වවිද්‍යාලවලින් තම අධ්‍යාපන කටයුතු සපුරා ගත්හ. සමාජ සාධාරණත්වය සඳහා වන ජනතා අරගලයට සරසවි බිම තිඹිරි ගෙය කොට ගත් උන්වහන්සේ ජීවිතයෙන් සමුගන්නා තෙක්ම බුදු සසුන කෙරෙහි පමණක් නොව සමස්ත දේශයත් ජනතාවත් කෙරෙහි වූ මහත් බැඳීමෙන් අඛණ්ඩව ජනතාව සමඟ අත්වැල් බැඳ කටයුතු කළහ.

පාලනයේ සිටින්නේ කුමන පක්ෂය වුවද ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත් වූ සෑම අවස්ථාවකදීම රට තුළ යහපත් වෙනසක් ඇති කිරීමට පරම පූජනීය සෝභිත ස්වාමීන් වහන්සේ නොබියව පෙරමුණ ගත්හ. එහිදී කිසිවකුට ගැති නොවූ උන්වහන්සේ කිසිදු පෞද්ගලික ලාබ අපේක්ෂාවකින් තොරව රටේ උන්නතිය උදෙසා ඇප කැප ව කටයුතු කළහ.

පසුගිය කාලයේ රට වෙලාගත් අත්තනෝමතික පාලනයට එරෙහි වන්නට බොහෝ දෙනා පසුබට වූ අවස්ථාවක 'සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය' ගොඩනගමින් යහපාලනය ‍සඳහා ගෙන ගිය අරගලයේ නායකත්වය ගෙන දිවි දෙවැනි කොට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළේ උන්වහන්සේය.

ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට සාහිත්‍ය, කලාව, පරිසරය, දහම් අධ්‍යාපනය මෙන්ම අමද්‍යප සටනේ ද කැපී පෙනුණ යුග මෙහෙවරක නිරත වූ හිමි නමකි. එමෙන්ම තුන් නිකායික මහා සංඝයා ජාතික අරමුණකට සමගි සම්පන්න කිරීමේ ජාතික මුද්‍රාව ලෙස ද උන්වහන්සේ හැඳින්විය හැකිය. නූතන භික්ෂූන් වහන්සේ විෂයෙහි පරම පූජනීය මාදුළුවාවේ සෝභිත හිමි පරමාදර්ශයක් බඳු සංඝයා වහන්සේ නමකි.

මගේ දේශපාලන ගමනට ද විටින් විට අවවාද අනුශාසනා ලබාදෙමින් උන්වහන්සේ ලබා දුන් ශක්තිය මේ අවස්ථවේ දී ඉමහත් කෘතවේදීත්වයෙන් සිහිපත් කරමි.

වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට වැඩම කිරීමට පෙර මා උන්වහන්සේ බැහැ දැකීමට ගිය අවස්ථාවේ දී අපේක්ෂිත සමාජ වෙනස උදෙසා යහපාලන රජයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මහාචාර්ය සරත් විජේසූරිය මහත්මා ද ඇතුළුව අප අතර දීර්ඝ සාකච්ඡාවක් ඇති විය. ඒ අනුව මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ අපේක්ෂා කළ සාධාරණ සමාජය ගොඩනැගීමේ වගකීම වත්මන් රජයේ ප්‍රමුඛ කාර්යභාරයක් විය යුතු බවද ඒ සඳහා සමස්ත ජනතාව පෙළගැසිය යුතු බවද අවධාරණය කරනු කැමැත්තෙමි.

මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේට උන්වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය අත් වේවායි ප්‍රාර්ථනය කරමි.


නාහිමි ශ්‍රී දේහයට බුහුමන් දැක්වීමට ජන ගඟක්

චමීර ඇල්ලදෙණිය

අයුක්තිය අසාධාරණය ඉදිරියේ ගිනියම් වූ යදමක් සේද යුක්තිය සාධාරණය ඉදිරියේ මෘදු මොළොක් හදැති ශාන්තුවරයෙකු සේද ක්‍රියා කළ ජාතියේ ජීවනාලිය ගොඩනැගීමට දශක හයක පැවිදි දිවිය කැප කළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ ශ්‍රී සෝභිත නාහිමිගේ නිසල දේහයට ගෞරව බුහුමන් දැක්මට දහස් සංඛ්‍යාත ජනතාව පැමිණෙමින් සිටිති.

පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් මෙන්ම පළාත් සභා, ප්‍රාදේශිය සභා දේශපාලනඥයින්ද සෝභිත හිමියන්ට අවසන් ගෞරව දැක්වීම

සඳහා පැමිණි අතර, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි කේ සිංහම් මහතාගේ පැමිණීමද සුවිශේෂි විය. දෙස් විදෙස් මහා සංඝරත්නය වැඩමකරමින් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම දැකගන්නට හැකි විය.

විවිධ ආයතන හා පිරිස් විසින් අවසන් ගෞරවය දැක්වීමට පැමිණෙන ජනතාවට විවිධ සංග්‍ර කටයුතු සිදු කළ අතර, විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව විසින් පානීය ජල බෝතල් ලබාදීමක්ද සිදු කළහ.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී හෙට (12) දින පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා භික්ෂූන් 5,000ක් හා ගිහි පිංවතුන් 5,000ක් සහභාගීවීමට නියමිත අතර, මීට අමතරව විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ද සහභාගීවීමට නියමිත බව සංවිධායක කමිටුව පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමි, ඉඩම් ඇමැති එම් කේ ඩී එස් ගුණවර්ධන, වරාය හා නාවික ඇමැති අර්ජුණ රණතුංග, උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා, විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා හා අනෝමා ෆොන්සේකා මහත්ම මහත්මිහුද අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (10) දිනයේදී සහභාගී වූහ. (දිනමිණ 2015-11-11)


බුදුසරණ පුවත්පතේ 2015 ක් වූ ජූලි 08 වනදා බදාදා පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ විසින් පළ කරන ලද ලිපියක් පහතින්

මගේ අම්මගෙ දේහය තිබ්බෙ අපේ පන්සලේ ධර්ම ශාලාවෙ - කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි


දේශපාලන සදාචාරය දිනවමු -සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති
මාදුළුවාවේ සෝභිත හිමි

( සිළුමිණ පුවත්පතේ 2015 අගෝස්තු මස 09 වැනිදා පළවූ ලිපියකි )


ආගමික සංකේත පාරවල්ගානේ ඕනෑ නෑ -කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි

( දිනමිණ  පුවත්පතේ 2015 අගෝස්තු මස 17 වැනිදා පළවූ ලිපියකි )


මැතිවරණය අවසන් වෙන තෙක්ම පක්ෂ පාට නොබලා නීති ක්‍රියාත්මක කරන්න- කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි

( දිනමිණ  පුවත්පතේ 2015 අගෝස්තු මස 17 වැනිදා පළවූ ලිපියකි )

 

    වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.20 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්ව භාග 6.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 11 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]