UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 60

අසිරිමත් බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා සිහිපත් කරමින් දඹදිව බුද්ධ භූමි වන්දනාවට සම්බන්ධ ස්ථාන ගැනද සඳහන් කරමින් මෙතෙක් වන්දනා කළෙමු. අසිරිමත් බුදු සිරිතේ අවසාන සමය පිළිබඳ ද සිහියට නඟා ගනිමු. මෙය විටක හද සසල කරන කථාවකි. පුරා වසර හතළිස් පහක් දෙව් මිනිසුන් වෙත සැප පිණිස හා සුව පිණිසම වැඩ සිටි භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ පරිනිර්වාණය සඳහා වැඩම කරන ගමන ආරම්භ කරන ලදී. අපි දැන් කුසිනාරාව දැක බලාගන්නට යමු. පරිනිර්වාණ මංචකය තෙක් උන්වහන්සේ වැඩම කළ ගමන පියවරෙන් පියවර වැඩම කළ ගමනකි. එබැවින් එම ගමන ගැන තොරතුරු ස්වල්පයක් හෝ ඔබ දැන සිටීමද ප්‍රයෝජනවත් විය හැකි ය.

භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ වෙසෙන සමයේ දිනක් අජාසත් රජු සිය මහා මාත්‍යයන් දෙදෙනාගෙන් කෙනකු වූ වස්සකාර බමුණා කැඳවා (අනෙක් මහාමාත්‍යවරයාගේ නම සුනිධය) ඔහු බුදුරදුන් බැහැදැකීමට යවයි. එසේ යවන්නේ ලිච්ඡවීන් සමඟ තමා යුද ප්‍රකාශ කරන බව බුදුරදුන්ට දැන්වීමටය. පණිවිඩය රැගෙන වස්සකාර බමුණා යන විට බුදුරදුන් විවේක සුවයෙන් පසුවන මොහොතයි. ආනන්ද හිමියෝ විජිනි පතකින් පවන් සලමින් බුදුරදුන් අසල ම සිටිති. වස්සකාර බමුණා බුදුරදුන් පා නමැඳ සුවදුක් විචාරා තමා ආ කරුණ බුදුරදුන්ට සැළකැර සිටී. බුදුරදුන් අනඳ මහතෙරුන් අමතා මෙසේ විමසති. ආනන්දය, මා විසල් පුර (විසාලා මහනුවර) සාරන්ද වෙහෙර වැඩ වෙසෙද්දී, වජ්ජීන්ට සප්ත අපරිහානිය ධර්මය දෙසුවා. ඔබට මතක ද? ඔවුහු යම්තාක් කල් එම ධර්මයෙහි හැසිරෙත් නම් ඔවුන්ගේ වැඩීමක් මිස පිරිහීමක් සිදු නොවන්නේ ය. ආනන්දයෙනි, වජ්ජිහු තවමත් එම ධර්මය රකිත් ද කියා? අනඳ හිමියෝ කරුණු විමසා බලා එසේ ය. ස්වාමීනි, ඔවුහු එම ධර්මය මනාව රකිත් යැයි පැවසූහ.

වස්සකාර බමුණු අමාත්‍ය තෙමේ අජාසත් රජු හමු වී බුදුරදුන් වදාළ කරුණු රජුට පැහැදිලි කළේ ය. වජ්ජින් ජය ගත හැක්කේ ඔවුන් හා යුද්ධ කිරීමෙන් නොවන බව අජාසත් රජු තේරුම් ගත්තේ ය.

අප භාග්‍යවතුන් වහන්සේ රජගහත්, නාලන්දාවත් අතර පිහිටි අම්බලට්ඨිකා ග්‍රාමයට වැඩම කළ මොහොතයි. උන්වහන්සේ අම්බලට්ඨිකා ග්‍රාමයේදී දැන් තමන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය එළඹ ඇති බව සිහි නුවණින් මෙනෙහි කළ සේක.භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කැර මෙසේ වදාරති. දැන් මට පිරිනිවනට ආසන්න කාලය එළඹ ඇත. ශීලය නම් මෙසේය. සමාධිය නම් මෙසේ ය. ප්‍රඥාව නම් මෙසේ ය. එය මනාව සිහි කටයුතු ය. ශීලයෙහි සිත පිහිටුවා වැඩු විදර්ශනාවේ ප්‍රඥාවේ මහත් ඵල ඇත. විදර්ශනා ප්‍රඥාවේ පිහිටා වැඩු සිතේ කාමාශ්‍රව භවාශ්‍රව දෘෂ්ටාශ්‍රව අවිද්‍යාශ්‍රව මේ කිසිවක් නොමැත. එවන් සිත පැහැපත්ය. පිරිසුදුය. ඉතා පිවිතුරුය. ඉතා සැහැල්ලුය.

සැදැහැවතුනි, අප භාග්‍යවතුන් වහන්සේගේ මේ වදන් නිතර නිතර සිහිපත් කරන්න. අප අවට ලෝකයෙන් එන ආශ්‍රවයන්ගෙන් බැඳීම්වලින් සිත මුදා පිරිසුදු කරගන්න. එවිට ඔබ සිත සැහැල්ලු වන බව දැනෙනු ඇත. මෙය මෙනෙහි කරන සිතිවිල්ල පවා සුවදායකය.

අම්බලට්ඨිකා ගමේ ටික දිනක් වැඩ විසූ අප තථාගතයන් වහන්සේ එතැනින් නාලන්දා නුවර බලා පිටත්වීමට සිතූහ. භික්ෂු සංඝයා සමඟ නාලන්දාවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එහි ටික කාලයක් වැඩ වාසය කැර පාඨලී ග්‍රාමය බලා පිටත් වූහ. පාඨලී ග්‍රාමයේ දී අජාසත් රජුගේ ප්‍රධාන අමාත්‍යවරු දෙපොළ (සුනිධ හා වස්සකාර) රජු විසින් සූදානම් කරන ලද දානයට වැඩම කරන ලෙස භාග්‍යවතුන් වහන්සේට බුහුමන් පෙරටුව ආරාධනා කළහ. එම ආරාධනය පිළිගත් බුදුරදුන් භික්ෂු සංඝයා සමඟ එහි වැඩම කොට දන් වළඳා අනුමෝදනා බණ වදාළහ. ඉන් පසු බුදුරදුන් කෝටි ග්‍රාමයට වැඩම කර ටික දිනක් එහි වැඩ සිටියහ. ඉන් පසු ඥාතික නම් ගමට වැඩම කළහ. ඥාතික ගමෙන් උන්වහන්සේ වැඩම කරන්නේ විශාලා මහනුවරටයි. චාපාල චේතියේ ද, අම්බපාලිය පිදූ අඹ උයනෙහිද වැඩ සිටි සිටින උන්වහන්සේ එතැනින් නික්ම වී වැඩම කරන්නේ අන්තිමට වස් විසීම සඳහා නැවතුණු බේළුව නම් ගමටයි. අප තථාගතයන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකානම් රෝගය වැළඳෙන්නේ බේළුව ග්‍රාමයේදීය. උන් වහන්සේ සිත සමාධිගත කොට වීර්යයයෙන් එම රෝගය මැඬ පවත්වාගත් අයුරු හා සක්දෙවි පැමිණ බුදුරදුන්ට උපස්ථාන කරන ලදී. බේළුව ගමට වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා තමන් බේළුව ගමෙහි වස් එළැඹී සිටින අතර භික්ෂූන්ට තමන් කැමැති ස්ථානයක වස් විසීමට ආරාධනා කරන ලදී. උන්වහන්සේ බේළුව ගමෙහි අන්තිම වස් කාලය වැඩ සිටින ලදී. එහිදී තව දස මසෙකින් පිරිනිවන් පාන්නෙමි යි ඉටා ගත් සේක. මේ සමයෙහි භාග්‍යවතුන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගයෙක් ඇතිවීය.

එය දැන ගත් සක්දෙව් රජ රාත්‍රියෙහි එහි මිනිස් වෙසින් පැමිණ සිය අතින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළ කල්හි මේ කවුරුදැයි බුදුරජාණන් වහන්සේ විචාළ විට මම ශක්‍ර වෙමිය, සක්දෙව් කීය. කුමට ආයෙහි දැයි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක. බුදුපියාණන් වහන්ස, ගිලන් වූ ඔබ වහන්සේට උපස්ථානයට යැයි සක් දෙව් කීය. ශක්‍රය, මිනිස් ගඳ යොදුන් සියක පටන් ගෙලේ බැඳි කුණපයක් මෙන් දෙවියනට ඉසිලිය නොහේ. ඔබ යන්න. මට ගිලානෝපස්ථානයට භික්ෂුහු ඇතැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. වහන්ස, මම යොදුන් අසූසාර දහසක් තරම් ඉහළ සිට ඔබවහන්සේගේ සීල සුගන්ධය ආඝ්‍රහණය කොට ආයෙමි. මම ම උපස්ථාන කරන්නෙමි යැයි සක්දෙව් කීය. භාග්‍යවතුන් වහන්සේ වීර්යයෙන් ඒ රෝගය මැඬ පවත්වා තව දස මසක්ම එය මතු නොවන ලෙස සමාපත්ති බලයෙන් යටපත් කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ ගිලන් බැවින් නැඟී සිටි පසුම ශක්‍රයා නික්ම ගියේ ය. ශක්‍රයාගේ උපස්ථාන ගැන භික්ෂූන් අතර කතා ඇති වූ විට භාග්‍යවතුන් වහන්සේ ඒ මුල් කොට ගෙන සාහු දස්සන මරියානං ආදී ගාථා වදාළ සේක.

යට කී පරිදි ගිලන් බැවින් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම වෙහෙර අද්දර සෙවණෙහි පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. ආනන්ද තෙරණුවෝ ද එහි පැමිණ පසෙක හුන්හ. එසේ හිඳ භාග්‍යවතුන් වහන්සේගේ අසනීපය දැක්මෙන් තමන් තුළ බලවත් ශෝක ඇති වූ බවත් භාග්‍යවතුන් වහන්සේ පශ්චිමාවවාදය වදාරා මිස නැතහොත් පිරිනිවන් නො පාන සේක්යි. සිතීමෙන්ම අස්වැසිල්ලක් ඇති කැරැගත හැකි වූ බවත් කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ධර්මය කිසිත් සැඟවිල්ලක් නොකොට සියල්ලම එළිදරවු කොට වදාළ බව පවසා ආත්මය (තමාම ධර්මයම) පිහිටකොටගෙන විසිය යුතු බව විස්තර කොට වදාළ සේක.

තවත් කොටසක් වප් අමාවක පෝදා නොවැම්බර් 11වනදා පත්‍රයේ පළවේ.


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 59

 

    වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.20 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්ව භාග 6.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 11 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]