UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු සිත් පුබුදන වස්සාවාස සමය

බොදු සිත් පුබුදන වස්සාවාස සමය

මෙම ලිපියේ මුල් කොටස බිනර පුර පසළොස්වක පත්‍රයේ පළවිය.

දායක දායිකාවෝ ඉමහත් ඇප කැප වීමකින් හා උද්‍යෝගයකින් තදනුගත පුණ්‍යක්‍රියාවන්හි යෙදෙමින් ඇතැම්විට භික්ෂූන්වහන්සේගේ ඇසුර හා අනුශාසනා ආදිය ලබමින් ඇතැම් සැදැහැවත් උවසු, උවැසියෝ තමා ද අෂ්ටාංග උපෝෂථ වැනි උසස් සීලයන් එම තෙමස මුළුල්ලේ ම සමාදන්වෙමින් පිනට දහමට ඇප, කැප වී කටයුතු කළ අයුරු පෙළපොත් ආදියෙහි මෙන් ම අටුවා ආදියෙ ද සඳහන් ව ඇත.

වස්කාල තුළ බුදුරදුන් ජීවමාන සමයේ සිට ම මෙම වස්සාවාස පිළිවෙත ගිහිපැවිදි බොදු ජනයාගේ ආශ්චර්යමත් කාලපරිච්ඡේදයක් ලෙස භාරත සමාජය තුළ ක්‍රියාත්මක වූ අතර අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කර බුදුදහම ගෙන ආ යුගයේ සිටම මෙම ලක්දිව මුළුල්ලේ ම එම වස්සාවාස පිළිවෙත මෙරට රාජරාජ මහාමාත්‍යාදීන්ගේ සිට ඈත පිටිසර ගම්මානයන්හි පොදු ජනතාව අතර ඉමහත් ජනපි‍්‍රයත්වයකින් හා ඇප කැපවීමකින් හා ශ්‍රද්ධාභක්තියෙන් යුතුව ක්‍රියාත්මක කළ අයුරු අපගේ වංශකතා අටුවා ආදී පොත පතෙහි සවිස්තරව දක්වා ඇත.

වස්සාවාසය සඳහා ශ්‍රද්ධාවත් ගිහිජනතාවට මෙලෙස තම ආරාමයන්හි වස් ආරාධනා වෙන් වැඩ සිටින භික්ෂූන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින් ඔවුන්ගේ සසරගමන සුඛිත මුදිත කර ගැනීමෙහිලා ඉවහල් වන දසපුණ්‍යක්‍රියානුගත කුසල් දහම් පුරණයෙහි නියැළී ගත කළ හැකිවාක් මෙන්ම තම සසර ගමන කෙටිකර ගැනීම සඳහා අවශ්‍ය නිර්වාණගාමිණී පිළිවෙත හා සම්බන්ධ අවවාද අනුශාසනා හා මග පෙන්වීම් ද නිරන්තර ලබාගත හැකි වෙයි.

ඉහත සඳහන් කළ පරිදි කිසියම් දායකදායිකා ආරාධකයන්ගේ ආරාධනයක් ලැබ වස් එළඹ සිටින භික්ෂුව හෝ භික්ෂූන් මෙසේ තම දායක දායිකාවන්ගේ ඉහ ලෝක – පරලෝක යන උභය අර්ථ සාධනයෙහි සැදී පැහැදී කටයුතු කිරීම වන අතර එවන් භික්ෂුවක සතු ප්‍රධානතම අනෙක් යුතුකම වන්නේ වස්සාන සමයෙහි පමණක් සිදුකළ හැකි අටමහා කුසල් අතරට ගැනෙන ප්‍රධානතම පින්කම වන්නා වූ කඨින චීවර පූජාවක් සඳහා අවශ්‍ය පසුබිම සකසා දීමයි.

ඒ සඳහා උන්වහන්සේ සතු කාර්ය භාරය නම් ඇසළ පුන්පෝ දින උපෝසථ කර්මය කොට එම අවපෑළවිය පෙරවස් සමාදන්ව වස්සාන සමය තුළ වස්සාවාසික උපසපන් භික්ෂුවක විසින් ආරක්ෂා කළයුතු විනය ප්‍රඥප්තීන්ට අනුගත වෙමින් ඉහත සඳහන් කළ සත්තාහකර්ණී සතිකරණී ආදී ක්‍රම විධීන්ට අනුව වප් පුන්පෝ දින දක්වා අඛණ්ඩව තම වස් ආරක්ෂා කර ගැනීමයි.

බුදුරදුන් පනවා වදාළ කඨින චීවර පූජාව සඳහා අදාළ විනය ප්‍රඥප්තීන් අනුව තම පූජාව සිදු කළ හැක්කේ එවන් උපසපන් භික්ෂුවක් පෙරවස් සමාදන් ව අඛණ්ඩව එම වස ආරක්ෂා කරනු ලැබූ විහාරස්ථානයක් වැනි ස්ථානයකදී වන අතර එවන් කඨින චීවරයක් පිළිගත හැක්කේ ද එවන් භික්ෂුවකට පමණක් හෙයින් තමාට තෙමසක් සිව්පසයෙන් ඇප උපස්ථාන කළ සැදැහැතියන්ට එම කඨින චීවර පූජාව සිදුකර ගැනීමට අවශ්‍ය එම පසුබිම සකසාදීම ද එම භික්ෂූන් වහන්සේ සතු පරම යුතුකමක් හා වගකීමක් වෙයි.

මෙවන් අසිරිමත් සිරිත් විරිත් සමුදායකින් හෙබි වස්සාවාසය හා සම්බන්ධ ශාසනික චාරිත්‍රය මෙරට ආරම්භ වූයේ අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට බුදු දහම ගෙන ආ යුගයේ ම බව ද මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

උන්වහන්සේ ලක්දිවට වැඩම කරනු ලැබුවේ පොසොන් පුන් පෝ දිනෙක වූ අතර අනතුරු ව එළඹෙන ඇසළ පුන්පෝ දිනය වස් ආරම්භය වන හෙයින් ඒ පිළිබඳ ව දෙවනපෑතිස් රජුට දන්වා සිටීමෙන් අනතුරුව ඒ සඳහා මිහින්තලේ හෙවත් අඹතලාවේ පිහිටි හැට අටක් ලෙන් සකසා උන්වහන්සේ ඇතුළු පිරිසට වස් විසීම සඳහා පිළියෙල කර දුන් අයුරු අපගේ වංසකතා හා අටුවා ආදිය මනාව පෙන්වා දෙයි.

එතැන් සිට මෙරට රාජ්‍ය පාලකයා වූ රජු හා මැති ඇමැති පිරිස් ඉතා සැදැහැතින් හා උද්‍යෝගයකින් මෙම වස්සාවාස පුණ්‍යකර්මය හා අනතුරුව සිදු කෙරෙන කඨින චීවර පූජා මහා පුණ්‍යොත්සවය අති උත්කර්ෂවත් අන්දමින් හා ඉමහත් ශ්‍රද්ධා භක්තියකින් යුතුව සිදුකළ අයුරු අපගේ ඉතිහාසයෙහි සඳහන් වේ. අනුරපුර, පොළොන්නරු ආදී ඒ ඒ යුගයන්හි ඒ ඒ අගනුවර මහා විහාරය ආදී ප්‍රධාන විහාරස්ථානයන්හි රජුගේ ප්‍රධානත්වයෙන් එම වස් ආරාධනා හා කඨින චීවර පූජා ආදී පින්කම් අති උත්කර්ෂවත් අයුරින් සිදුකරනු ලැබූ අතර අනෙකුත් ප්‍රාදේශීය වෙහෙර විහාරයන්හි ඒ ඒ ප්‍රාදේශීය නායකයන් හා ගම් ප්‍රධානීන් ආදීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණි.

අපගේ ඇතැම් ශ්‍රද්ධාවත් රජ දරුවන් තම රාජ්‍ය කාලය තුළ සිදු කළ මෙම කඨින උත්සව හා කඨින චීවර පූජා මෙපමණ කැයි තම පින් පොත් ආදියෙහි සඳහන් කොට තබා තිබූ අයුරු අපගේ වංස කතාවන්හි සඳහන් වේ.

අනුරපුරයුගයේ සිටම අපගේ රාජ රාජ මහාමත්‍යාදීන්ගේ සිට ගම්බද පොදු ජනතාව මෙම වස්සාන සමය තුළ අෂ්ඨාංගාදී උපෝසථ ශීල සමාදන් වීම්, දන්වැට පැවැත්වීම් ආදී විවිධ වූත් විචිත්‍ර වූ පින්කම් ආදියෙහි යෙදෙමින් මහත් අසිරිමත් තෙමසක් ලෙස ගත කළහ.

එසේ සිදුකළ විවිධවූත් විචිත්‍රවූත් පින්කම් අතර අපගේ වංසකතා හා අටුවා ආදියෙහි උත්කර්ශවත් ආකාරයෙන් වර්ණා කරනු ලබන පින්කමකි. “අරියවංස” ධර්ම දේශනය. ඒ සඳහා අනුරපුර, රෝහණය ආදී රාජධානීන්හි භික්ෂු භික්ෂූණී, උපාසක හා උපාසිකා යන සිව්වණක් පිරිසම ඒ සඳහා සහභාගි වූ අයුරු එම විස්තරයන්හි දක්වා ඇත.

 

     ‍   බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා අපරභාග 2.38 ට ලබයි. 05 වැනිදා සඳුදා අපරභාග 2.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 12 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]