UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ඤාණය හා බුද්ධ ශ්‍රාවකයා

බුද්ධ ඤාණය හා බුද්ධ ශ්‍රාවකයා

සමාජගත පුද්ගලයන්ගේ ස්වභාවය පනස් ආකාරයකට වර්ගීකරණයකොට වෙන් වෙන් ව දැන ගැනීමට, දැක ගැනීමට සමර්ථ වූ වෙනත් කිසිවෙකුටත් සාධාරණ නොවූ තථාගතයන් වහන්සේට පමණක් ඇති සාධාරණ ඤාණයකටයි. ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය කියා කියන්නේ.

මෙම ලිපියෙහි මුල් කොටස බිනර පුර පෝදා සැප්තැම්බර් 27 දා පත්‍රයේ පළ විය

මේ අසාධාරණ ඤාණය ඇති නිසා උන්වහන්සේට මේ මිනිසුන් අල්පරජස්ක ද? මහාරජස්ක ද? කියා බලන්නට පුළුවන්, දකින්නට පුළුවන්, දැනගන්නට පුළුවන් . “අප්පරජ්ඣෙ මහාරජ්ඣෙ සතේත පස්සති” කියා සඳහන් කළේ ඒ නිසා ය. රජස් කියන්නේ කෙලෙස්වලටයි. අල්ප රජසක කියන්නේ කෙලෙස් අඩු මහා රජස්ක කියන්නේ කෙලෙස් වැඩි, රජස් යන වචනයේ මතුපිට තේරුම දුර්වලයි. දූවිල්ලෙන් වන්නේ කිලිටිවීමයි. අපවිත්‍රවීමයි. දූවිල්ලෙන් අපිරිසුදු වන්නා වාගේ ම කෙලෙස්වලිනුත් අප අපිරිසුදු වෙනවා. එම තේරුමෙන් කෙලෙස්වලටත් රජස් නම යොදනවා. අපවිත්‍ර කාය කර්ම, වාක්කර්ම, මනෝකර්ම කෙරෙන්නේ කෙලෙස් නිසා ලෝභ, දෝස, මෝහ යන අපවිත්‍ර කර්මවල කෙලෙස් මුල් තිබෙන බව මෙයින් පැහැදිලි වෙනවා.

බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණයෙන් කෙලෙස් හෙවත් රජස් අඩු වැඩි තත්ත්වයන් හරියට ම නියමාකාරයෙන් ම දන්නවා. මෙතැන ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කිසියම් ප්‍රමාණයකට හෝ තිබෙන තැනැත්තා අල්ප රජස්කයි. කෙලෙස් අඩුයි. කුණු අඩුයි, අපිරිසුදුකම එමටයි. කෙලෙස් කසට කුණු වැඩි අපිරිසුදු පුද්ගලයා හරියට ම දැනීම, දැන ගැනීමට අසාධාරණ බුද්ධ ඤාණයට පුළුවනි.

ඊළඟට මේ ඤාණ බලයෙන් උන්වහන්සේට මේ මිනිසුන් ඉන්ද්‍රියයන් තියුණු වූ අය ද? මෘදු වූ අය ද කියා දැන ගන්නට දකින්නට පුළුවනි. ‘තික්බින්ද්‍රියේ මුදින්ද්‍රියේ සතේත පස්සති’කියා සඳහන් කළේ එයයි. මේ සතුන්ගේ ශ්‍රද්ධාව, වීර්යය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව තියුණු ද? දියුණු ද, නිරෝධගාමිණී පටිපදාව පිරීමට සැසදේ ද කියාත් එම ප්‍රතිපදාවට සැසඳෙන ගැළපෙන තරමට නැති ලිහිල් මොට්ට ඉන්ද්‍රීය ඇත්තෝ ද කියාත් දැනගන්නේ එයිනි. මෙතැන ශ්‍රද්ධාව, වීර්යය, සමාධිය, ප්‍රඥාව ඇති මිනිසා තික්ඛීන්ද්‍රීයයි. එනම් තියුණු දියුණු ඉඳුරන් ඇති තැනැත්තාය. අශ්‍රද්ධාව, තුසිතකම, සිහිමුළාව, නොතැන්පත්කම, දුෂ්ප්‍රඥා බව ඇත්තා මුද්‍ර ඉන්ද්‍රීයයාය. එනම් ලිහිල් මොට වූ ලාමක ඉඳුරන් ඇති තැනැත්තායි.

එසේ ම මේ ඤාණයෙන් යුත් බුදුරජාණන් වහන්සේ මේ මිනිසුන් හොඳ ස්වභාව ඇති අය ද නරක ස්වභාව ඇති අය ද කියා දැන ගැනීමටත් සමර්ථ වෙනවා. ‘ස්වාකාරේ දුවාකාරේ සත්තා පස්සති’ කියා සඳහන් කළේ එයයි. සු + ආකාර = ස්වාකාර කියන්නේ හොඳ ආකාරයයි. යහපත් ස්වරූපයයි. දු + ආකාර = ද්වාකාර කියන්නේ නරක ආකාරයයි. අයහපත් ස්වරූපයයි. මිනිසෙකුගේ ආකාරය හොඳ වන්නේ ස්වරූපය යහපත් වන්නේ ඔහුගේ ක්‍රියාකලාපය ඔහුටත් අනුන්ටත් දෙගොල්ලන්ට ම හිතවත්, ඵලවත් වන තරම අනුවයි. එමෙන් ම මිනිසාගේ ආකාරය නරක්වන්නේ ස්වරූපය අයහපත් වන්නේ ඔහුගේ ක්‍රියාකලාපය ඔහුටත් අනුන්ටත් අහිතවත් අපලදායක වන තරමටයි. හොඳ ආහාර ඇති යහපත් ස්වරූපය ඇති මිනිසාගේ ක්‍රියාකලාපයට ශ්‍රද්ධාව, වීර්යය ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව නායකත්වය දෙයි. පුරෝගාමී වෙයි. ආධිපත්‍යය දරයි. නරක ආකාර ඇති අයහපත් ස්වරූප ඇති මිනිසාගේ ක්‍රියාකලාපයට නායකත්වය දෙන්නේ පුරෝගාමිවන්නේ ආධිපත්‍යය දරන්නේ අශ්‍රද්ධාව, කුසීතතාව, සිහිමුළාව, වික්ෂිප්තභාවය හා දුෂ්ප්‍රාඥතාවයයි.

එමෙන් ම තථාගතයන් වහන්සේ මේ නුවණින් මේ පුද්ගලයා පහසුවෙන් කරුණු වටහා දිය හැකි අයෙකි. මේ පුද්ගලයා පහසුවෙන් කරුණු වටහා දිය නොහැකි අයෙකි. කියා දැන ගන්නවා, දකිනවා, ‘සුවිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ සත්තේ පජානාති’ යන කියමනෙහි තේරුම එයයි. පහසුවෙන් කරුණු තේරුම් ගැනීමට, වටහා ගැනීමට, අවබෝධ කර ගැනීමටත්, තේරුම් ගැන්වීමටත්, වටහා දීමට, අවබෝධ කරවීමටත් ශ්‍රද්ධාව, ස්මෘතිය, වීර්යය, සමාධිය, ප්‍රඥාව යන ධර්මවල නායකත්වයෙන්, පුරෝගාමීත්වයෙන්, ආධිපත්‍යයෙන් ක්‍රියාකරන්නකු විය යුතුය. අශ්‍රද්ධාව, මුළාසිහිය, කුසීතබව, වික්ෂිප්තබව, මෝඩකම, නායකත්වයෙහි තබාගෙන පුරෝගාමී කොට ගෙන අධිපතිකොටගෙන ක්‍රියාකරන්නෙකුට හොඳ නරක වටහා දීම එසේ මෙසේ පහසු වැඩක් නොවෙයි.

මේ හැර බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රීයපරෝපරියත්ති ඤාණ බලයෙන් පරලොව වරදෙහි බිය දකින සුළු සමහර මිනිසුන්, පරලොව වරදෙහි බිය නොදකින සුළු සමහර මිනිසුන් දැක ගැනීමට දැන ගැනීමට සමත් වෙනවා. ‘අප්පේකච්චේ පරලොක වජ්ජ භය දස්කචිනෝ, සත්තේ පස්සති’ යන්නෙන් එය පැහැදිලි වෙයි. මෙහි ලෝක යන්නට ඇතුළත් වන්නේ ස්කන්ධ ලෝක, ධාතු ලෝක, ආයතන ලෝක, ආදියයි. එනම් සසරයි. ස්කන්ධ, ධාතු ආයතන යන්නෙහි නොසිඳ පැවැත්ම සංසාරය බව විසුද්ධ මාර්ගය වැනි ධර්ම ග්‍රන්ථවල පැහැදිලිකොට තිබෙනවා. එම නිසා ලොවට බිය වීම නම් සසර බිය ඇතිකොට ගැනීමයි. වජ්ජ කියන්නේ වරදවලටයි. මෙහි සියලුම කෙලෙස්, සියලුම දුශ්චරිත, සියලුම අභිසංස්කාර, සියලුම භවගාමී කර්ම වජ්ජ යන පදයෙන් හැඟෙනවා. මේ හැම වරදකමත් සසරටත් බිය වීම නිසා බිය දන්නා සුළු බවයි. සකල විධ පීඩනවලට මුල සසරත් අපේ වරදවලුත් නිසා එය බියකරු තැනක් බව නුවණින් දැකිය යුතුය. නමුත් අප අතර සමහරු නුවණින් විමසා එසේ බිය යන නමුත් සසරට හෝ වරදට බියක් නොදක්වන අය ද අපමණ බව ඉතා ප්‍රකටයි. එසේ බිය වන්නා වූත්, බිය නොවන්නා වූත්, සත්ත්වයන් ඉන්ද්‍රීයපරෝපරියත්ති ඤාණය ඇති තථාගතයන් වහන්සේට නොරහසකි. ඔවුන් වෙන් වෙන් ව දැන ගැනීමට දැකීමත් උන්වහන්සේට ඉතා පහසුය. ශ්‍රද්ධා, වීර්යය, ස්මෘතිය, සමාධිය ඇති පුද්ගලයා සසරත්, වරදත් පිළිබඳ බිය දන්නා සුළු කෙනෙකි. අශ්‍රද්ධාව, කුසීත බව, සිහිමුළාව, වික්ෂිප්ත බව, මෝඩකම, අධිපති කොට ගත්, පුරෝගාමී කොටගත්, නායකත්වයට ගත්, මිනිසාට සසර බියකුත් වරදෙහි බියකුත් ඇති නොවෙයි. යථාභූත දැකීමේ ඕනෑකමක් තිබෙනවා නම් නිවී සැනසීමක් අපේක්ෂා කරනවා නම් හැබවින් ම ඔවුන්ට ලෝකයත් වරදත් පිළිබඳ තියුණු අන්දමින් දැඩි ඇසුරින් භය සංඥාව පෙරදැරි විය යුතුය. හරියට තමන් කඩුව අමෝරා ගත් වධකයෙකු ළඟ සිටින්නාක් මෙන් බිය විය යුතුයි. එසේ නොවන විට ඔවුන්ගේ තත්ත්වය හරියට ම ‘මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය’ කීවාට වඩා කිසිම වෙනසක් නැත්තේය.

මෙසේ සමාජගත පුද්ගලයන්ගේ ස්වභාවය පනස් ආකාරයකට වර්ගීකරණයකොට වෙන් වෙන් ව දැන ගැනීමට, දැක ගැනීමට සමර්ථ වූ වෙනත් කිසිවෙකුටත් සාධාරණ නොවූ තථාගතයන් වහන්සේට පමණක් ඇති සාධාරණ ඤාණයකටයි. ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය කියා කියන්නේ. පනස් ආකාරයකින් දන්නවා කීම තවදුරටත් පැහැදිලි කර ගත හොත් මෙසේයි. සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤා, යන ඒ පහයි. ඒවා ඇති ඒවා නැති පුද්ගල ජෝඩු පහයි. කෙලෙස් අඩු, කෙලෙස් වැඩි, තියුණු ඉන්ද්‍රීය ඇති, මෘදු, පහසුවෙන් වටහා දිය නොහැකි, ලෝකවද්‍යයෙහි බිය දන්නා සුළු ලෝකව්‍යයෙහි බිය නොදක්නා සුළු ඒ ජෝඩු පහයි. එනම් පුද්ගලයන් දහ දෙනයි. නිරෝධගාමිණී පටිපදාවට පුරෝගාමී බව, නායකත්වය, ආධිපත්‍යය, දෙන ඉන්ද්‍රීය ධර්ම පහ මේ දහ දෙනාට බලපා තිබෙන තරම හරියට ම දැන දැන පෙන්වා දීමට බුදුරජාණන් වහන්සේට ඇති සුවිශේෂ ඤාණය ඉන්ද්‍රීයපරෝපරියත්ති ඤාණයයි.

දැන් අවසාන වශයෙන් මිනිසා කෙලෙස් අඩු තියුණු ඉන්ද්‍රීය යුත් හොඳ ආකාර ඇති පහසුවෙන් කරුණු වටහා දිය හැකි ලොකවජ්ජදෙකෙහි බිය දන්නා සුළු කෙනෙකු බවට පත් කිරීමටත් කෙලෙස් භරිත මොට ඉඳුරන් ඇති, අයහපත් ආකාර ඇති, පහසුවෙන් කරුණු වටහා දිය නොහැකි, ලෝකවජ්ජ බිය නොදන්නා සුළු එකකු බවට පත් කිරීමටත් බලපාන නියාමකත්වය ගන්නා ආධිපත්‍යය දරන මේ ඉන්ද්‍රීය ධර්ම ගැනත් යන්තම් හෝ ඉඩගනිමින් ලබා ගැනීම ප්‍රයෝජනවත්ය. ඉන්ද්‍රීය යන්නෙහි අර්ථය අධිපති බව, ප්‍රමුඛ බව යයි මුලින් කියැවුණි. එසේ අධිපති බව කියැවෙන ඉන්ද්‍රීය පහක් මෙහි දී සලකා බැලුණි. මෙම ඉන්ද්‍රීය සත්තිස් බෝධිපාක්ෂික ධර්මවලත් ඇතුළත් වෙනවා. එහිදී එම ධර්ම පහම නැවත බල ධර්ම වශයෙනුත් දක්වා තිබෙනවා. මෙයින් අපට පැහැදිලි වන්නේ ඉන්ද්‍රීය ධර්ම නිර්වාණගාමී මාර්ගයට කෙතරම් වැදගත් වෙනවාද කියලයි. එම නිසා ඉතා කෙටියෙන් එම කරුණු පහ මෙසේ පැහැදිලි කළ හැකිය.

මෙම ලිපියේ ඉතිරි කොටස බිනර අමාවක ඔක්තෝබර් 12 වනදා පත්‍රයේ පළවේ.

 

     ‍   බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා අපරභාග 2.38 ට ලබයි. 05 වැනිදා සඳුදා අපරභාග 2.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 12 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]