UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු වීරා මහරහත් තෙරණින් වහන්සේ

සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු

වීරා මහරහත් තෙරණින් වහන්සේ

කෙළවරක් නොපෙනෙන සසර ගමනක නිමග්නව වාසය කරන්නා වූ සසරගත සත්ත්වයා දුකින් මිදුනේ, භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ විසින් දේශිත උතුම් ශ්‍රී සදහම් ඔසුව පානය කොට අරි අටඟි මඟ නමැති මාර්ගයට පිළිපන් වූ නිසාවෙනි.

යමෙක් ලෝකයෙහි දුකසේ ඉක්ම විය යතු ලාමක වූ තෘෂ්ණාව මැඬලයි ද නෙළුම් පතකින් ගිලිහෙන දියබින්දු මෙන් ඔහු වෙතින් ශෝක ධර්මයෝ ගිලිහී යති.

‘යො චෙතං සහ ති ජම්මං
තණ්හං ලෝකෙ දුරච්චයං
සොකා තම්හා පපතන්හි උදබින්දුව හෙක්ඛරා’

සසර අග්නියට ඇද දමන්නා වූ පෙර පැවතියා වූත්, ඉදිරියට පවත්නාවූත්, දැනට පවතින්නාවූත් පඤ්චස්කන්ධය ගැන ආශාව දුරුකළ ඇලීම දුරුකළ භවයෙන් එතෙරව ගිය මිදුණු සිත් ඇති උතුමෝ නැවත ජාති, ජරා, ව්‍යාධි, මරණ ,ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස යන දුක්ඛයන්ගෙන් මිදුණු අයෙකු වන්නේ ය.

කෙලෙස් තවන වීර්යෙන් යුක්තව සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය, දුක්ඛ වශයෙන් නුවණින් දැන ගනී ද, සියලු ධර්මයෝ අනාත්ම වශයෙන් නුවණින් දැන ගනී ද හෙතෙම විශුද්ධිය උදාකරගනී.

උතුම් නිවනින් සැනසී සුවසේ වාසය කරන්නෝ වෙති. රහත් බෝධියට පත් වූ වීතරාගී නිකෙලෙස් සුන්දර හදවත් ඇත්තා වූ මිනිස් ජීවිතයෙන් උපරිම ඵල නෙළූ ඒ මහරහත් උතුමන් වහන්සේලා සේම මහරහත් තෙරණින් වහන්සේලා ලොවට මහත් වූ ආශිර්වාදයකි.

නිවුණු සැනසුණු සිතකින් හෙබියා වූ වීරා මහ රහත් තෙරණියෝ ඝෝරතර සංසාර දුකින් අතමිදුණු සේක. මිදුණු සිත් ඇති ඕ තොමෝ විමුක්තිය පසක් කිරීමට පෙරාතුව විමුක්ති මාර්ගයට පිළිපන් අයුරු ගම්භීර වූ උදානයකින් දේශනාකොට වදාළ සේක. ඒ උත්තරීතර වූ සිතකින් නික්මුණු නිකෙලෙස් වචන මාලාවෝ වීර්යවන්ත සිතක් ඇති කිරීමට ම සමත් වන්නේ ය. ‘වීරා වීරෙහි ධම්මෙහි භික්ඛුනී භාවිතන්ද්‍රියා

ධාරෙහි අන්තිමං දේහං ජෙත්වා මාරං සවාහිනින්තී

“වීර්යය ප්‍රධාන හෙයින් වීර්යයෙන් යුක්තව ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් දියුණු කරන්න. ධර්මයේ ම හැසිර සේනා සහිත ක්ලේශ නමැති මාරයා පරාජය කොට අවසන් සිරුර දරන්න.”

උතුම් සම්බෝධිය, පසේ බුද්ධත්වය, රහත් බෝධිය යන ත්‍රිවිධ බෝධීන් ලැබ සසර දුකින් මිදීම උදෙසා වීර්යවන්තභාවය ප්‍රකට ප්‍රමුඛ කාරණයකි. බුදුපියාණන් වහන්සේ විසින් නිවන් පසක් කරගැනීම උදෙසා වැඩිය යුතු ධර්ම අතර ඉන්ද්‍රිය ධර්මයන් අතර වීර්යින්ද්‍රිය බලවත් විය යුතු බවත් සද්ධින්ද්‍රිය බලවත් විය යුතු බවත් සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය බලවත් විය යුතු බව පෙන්වා වදාළ සේක.

යම් ක්‍රියාවක් කිරීමේ දී එය නොනිමවා නොපවත්නාවූ ද ක්‍රියාව මනාකොට සිදු කරන්නාවූ ද , කළයුතු කාර්යය කෙරෙහි අධිපති බව පවත්වන්නාවූ ද, වීර්යය චෛතසිකයකි. කායික, මානසික වශයෙන් දෙවෑදෑරුම් වන්නා වූ වීර්යය වීර්යින්ද්‍රිය වන්නේ මානසික ක්‍රියාවකි.

බුදුරජාණන් වහන්සේ මාර්ගඵල අධිගමනය උදෙසා සම්‍යග්ප්‍රධාන වීර්යය වැඩිය යුතු ආකාරය සතර කරුණුවලින් පෙන්වා වදාළ සේක.

නූපන් අකුසල් දහම් නූපදීමටත්, උපන් අකුසල් ප්‍රහීණ කිරීමටත්, නූපන් කුසල් දහම් ඉපදවීම සඳහාත් උපන් කුසල් දහම්හි පැවැත්ම පිණිසත් වීර්යය වැඩිය යුතු බව භාග්‍යවතුන් වහන්සේ කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ සේක. ඒ උතුම් දහම්හි වීරා තෙරණියෝ පිළිපන් වන්නට ඇත.

විමුක්තිය ලද රහත් උතුමෝ රාග, ද්වේෂ, මෝහ අකුසල දහම් දුරුකළ අයෙකි. උන්වහන්සේ තුළ ඇත්තේ විමුක්ති චිත්ත ස්වභාවයකි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් පවත්නා බැවින් අරමුණු ගැනීම හා සැපදුක් විඳීම කරන නමුදු ඒවායෙහි ඇලීමක් හෝ ගැටීමක් නොමැත. නිරෝධ සමාපත්තියට සමවැදී සිටීම නම් නිර්වාණයෙහි අවේදයිත සැපය නිරතුරුව විඳිමින් වාසය කරනු ලබයි. එවන් වූ විරාගී සිතක ආශ්චර්ය කෙබඳුද?

තිලොවට තිලක වූ බුදුපියාණන් වහන්සේගේ නිවන් පිණිස වන විශ්මය ජනක වැඩපිළිවෙළෙහි අග්‍රඵලය හෙවත් බුදු හදවතින් උපන් ශ්‍රේෂ්ඨ පුත්‍රයෝ, දියණිවරු මහරහතන් වහන්සේලා මෙන් ම රහත් තෙරණින් වහන්සේලායි. කයින් යහපත් ක්‍රියාකරන ඉතා යහපත් වචන කතා කරන යහපත් වූ සිතිවිලි සිතන්නා වූ නිසාවෙන් උන්වහන්සේලා වැඩවසන පරිසරය ම සොබාමත් වේ. සොබාදහම ඇසුරු කරමින් ගලායන දියකඩිති අසලින් ගල්ගුහාවක, ගල්ලෙනක, රුක්සෙවණක වාසය කරමින් පාරිසරික සුන්දරත්වයට ගැළැපුණු සුන්දර චිත්ත සන්තානයක් ඇති කරමින් ආශ්චර්යවත් වූ සිතේ අපූර්වත්වය සුන්දර ලෙසින් ඒ උත්තමයෝ නිරතුරුව ඇති කරවන්නේ ය.

දක්ෂ රියැදුරෙක් ඉතා මැනවින් අශ්වයන් දමනය කරන්නාක් මෙන් තම ඉඳුරන් දමනය කොට කෙළෙසුදුන් සන්සිඳීමට පත් වූ මානය නැති අකම්පිත සිතැති දෙවියන්ගේ දැකීමට පවා ප්‍රිය වූ වීරා රහත් තෙරණියක තමන් වහන්සේ වැඩූ විමුක්ති මාර්ගයට ශ්‍රද්ධාව බලවත් බැව් පෙන්වා දුන්සේක.

ශ්‍රද්ධාව නම් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ධර්මයේ සුධර්මත්වය, සංඝයාගේ සුසංඝත්වය කර්ම කර්මඵලාදිය පිළිගැනීමයි. දානාදි පින්කම්වල ඵලය විශ්වාස කොට පින්කරන්නා වූ පෘථග්ජනයන්ගේ ශ්‍රද්ධාව ඕකම්පන ශ්‍රද්ධාවයි. ලෝකෝත්තර මාර්ග ඥානයෙන් චතුස්සත්‍යයන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ඇතිවන ආර්යයන්ගේ ශ්‍රද්ධාව ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාවයි. ප්‍රති්‍යක්ෂ ශ්‍රද්ධාව කවර හේතුවක් නිසාවෙන් හෝ වෙනස් කළ නොහැක, එය මාර්ගඵල ලබන තුරුම වෙනස්නොවන ශ්‍රද්ධාවකි.

මේ ආකාරයට ශ්‍රද්ධාදී ඉන්ද්‍රියෝ බලවත් කරමින් වීර්යය වඩමින් මාරයාගේ වසඟයෙන් මිදී නිවුණු සිතක්, වීතරාගී සිතක්, වීතදෝසි සිතක්, වීතමෝහි සිතක් උපදවා ගනිමින්, ගියමඟකුදු නොදන්නා මහරහත් උත්තමාවියක වන්නට වෙරදරන සැදැහැවත් උවැසියකට, මෙහෙණියකට, වීරා මහරහත් තෙරණින් වහන්සේගේ ප්‍රීති ප්‍රකාශයෝ, උදාන පාඨයෝ මහත් වූ තෝතැන්නක් වේවි. සසර දුකින් මිදීමම වීරා තෙරණින් වහන්සේ නමක් බිහිවූයේ මේ උතුම් ගෞතම සම්බුදු සසුන නිසාවෙනි. මිදෙන්නට සසරින් සැමට මේ උතුම් සම්බුදු සසුනේ, ශ්‍රී සදහම් රසයම, ආර්ය සඟරුවනේ ගමන්මාර්ගයම, වීරා රහත් තෙරණියගේ වීර්යයවන්ත ප්‍රකාශනයෝ ම උපස්තම්භක වේවා!

 

     ‍   බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා අපරභාග 2.38 ට ලබයි. 05 වැනිදා සඳුදා අපරභාග 2.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 12 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]