UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කලණ මිතුරන් හා උතුමන් ඇසුර උතුම්ය

කලණ මිතුරන් හා උතුමන් ඇසුර උතුම්ය

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
න භජේ පාපකෙ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණෙ
භජේථ පුරිසුත්තමේ

ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි,

අපගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා කල්‍යාණ මිතුරන්ගේ ඇසුර ඉතාම වැදගත් වේ. මනුස්සයන් වූ අපට හුදකලාව ජීවත් වීමට නොහැකිය. එබැවින් යහපත් මිත්‍රයන්ගේ ආශ්‍රය අවශ්‍ය බව සනාථ වේ. මිනිස් ජීවිතයේ වටිනාකමක් ඇත්තේ භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් සලසා ගත් විටය. එම දියුණුව වෙත ගමන් කිරීමේ දී නිවැරැදි මාවතට යොමු කළ හැක්කේ කල්‍යාණ මිත්‍රයන්ට පමණි.

බුදු දහමට අනුව විමසා බලන කල අපට සිටින උතුම්ම කල්‍යාණ මිත්‍රයන් වන්නේ බුදු, පසේබුදු, මහරහත් යන උතුමෝය. එයට හේතුව නම් සංසාර දුකින් මිදීම පිණිස නිවැරැදි මාවත පෙන්වා දෙන උතුම් ආර්යයන් වහන්සේලා වන බැවිනි. ඒ උතුමන් වහන්සේලා මුළු මහත් සත්ත්ව ප්‍රජාව කෙරෙහි දිවා රාත්‍රී දෙකෙහි මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් ක්‍රියා කරති. එම උතුමන් වහන්සේලා පෙන්වා දුන් මාර්ගයෙහි ගමන් කිරීම තුළින් අපටද උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගත හැක්කේ ය.

අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉහත ගාථාවෙන්ද ඇසුරු නො කළ යුතු පාප මිතුරන් හා ඇසුරු නො කළ යුතු අධම පුද්ගලයන් මෙන්ම ඇසුරු කළ යුතු මිත්‍රයන් හා ඇසුරු කළ යුතු උතුම් පුද්ගලයන් පිළිබඳව මනා විවරණයක් දක්නට ලැබේ. ඒ අනුව ගාථාවේ සරල අදහස නම් “පවිටු මිතුරෝත් අධම මිනිස්සුත් ඇසුරු නො කළ යුත්තාහ. කලණ මිතුරෝත් උතුම් මිනිස්සුත් ඇසුරු කළ යුත්තාහ” පින්වතුනි අප මෙහිදී මුලින්ම පවිටු මිත්‍රයෝ නම් කවරහු දැයි විමසා බැලීම කළ යුතු ය. එනම් සතුන් මරණ, සොරකම් කරන, දුරාචාරයෙහි හැසිරෙන, බොරු කියන, මත්වතුර බොන, ආදී පාප ක්‍රියාවල යෙදෙන මිනිසුන්ය. තවද අධම මිනිසුන් නම්, ගෙවල් බිඳීම්, මං පැහැරීම්, මිනී මැරීම් ආදි බිය උපදවන සැහැසිකම් කරමින් අනුන්ට දරුණු විපත් පමුණුවන මිනිසුන්ය.

මෙම ලක්ෂණයන් පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගැනීම වැදගත්ය. එපමණක් ද නොව අප ඇසුරු නිසුරු කරන පුද්ගලයන් ළඟ මෙම ලක්ෂණ තිබේ නම් ඒ අය කෙරෙහි අනුකම්පාව උපදවාගෙන එම වැරදිවලින් මුදවා ගැනීම මුළු මහත් සමාජයටම විශාල අභිවෘද්ධියක් සැලසෙන බව කිව යුතු ය.

දීඝනිකායේ සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් පරිදි, මිත්‍ර වේසයෙන් පෙනී සිටින මිත්‍ර ප්‍රතිරූපකයන් හතර දෙනෙක් පිළිබඳව කරුණු දැක්වේ. පළමුව සඳහන් වන්නේ “අඤ්ඤදත්ථු හර” නමිනි. ඔහු තම මිතුරාගෙන් කිසිවක් ගෙන යෑමේ අදහසින්ම ඇසුරු කරන පුද්ගලයෙකි. මොහු නිතරම තම මිතුරාගෙන් යමක් ලබා ගත්තද තම යහළුවන්ට කිසිම උපකාරයක් නො කරන තැනැත්තෙකි. දෙවැන්නා ‘වචීපරම’ නමින් දැක්වේ. මොහු වචනයෙන් පමණක් තම මිතුරන්ට සංග්‍රහ කරයි. එයද අතීතයෙන් හා අනාගතයෙනි. මොහුගෙන් මිතුරෙක් යම් උපකාරයක් ඉල්ලු විටද, ඉහත කී පරිදි වචනවලින් පමණක් සංග්‍රහ කරයි. නිදසුනක් ලෙස ඔබ මගෙන් ඊයේවත් ඔය උපකාරය ඉල්ලුවා නම් ඔබට උපකාරයක් කළ හැකිව තිබුණා. නමුත් අද කළ හැකි දෙයක් නොමැත යනුවෙන් ප්‍රකාශ කරයි. තෙවැන්නා ‘අනුප්පියභානී’ නම් වේ. තම මිතුරා කරන කියන හොඳ නරක දෙකම අනුමත කරන අතර මිත්‍රයා ඉදිරිපිටදී ඔහුගේ ගුණද නැති අවස්ථාවේදී අගුණ ද ප්‍රකාශ කරයි. හතර වැන්නා 'අපායසහාය' නමින් හඳුන්වයි. ඔහු පරිහානියට හේතුවන දේට පමණක් සහාය දක්වයි. එනම් අපාගාමී වන ක්‍රියාවල යෙදෙමින් අන් අයද එයට යොදවා ගනීති. ඉහත දක්වන ලද එම ලක්ෂණ හඳුනාගෙන එවැනි මිත්‍ර ප්‍රතිරූපකයන්ගේ ඇසුරෙන් ඉවත් වීම තුළින් තම යහපත සලසා ගත හැකිය.

එම සූත්‍රයෙහිම සුහද සැබෑ මිතුරෝ හතර දෙනෙක් පිළිබඳ කරුණු විස්තර කර තිබේ. ඒ අනුව සැබෑම කල්‍යාණ මිත්‍රයන් හතර දෙනෙකි. එහි ප්‍රථමයෙන්ම 'උපකාරක මිත්‍රයා 'පිළිබඳව කරුණු විස්තර කර තිබේ. මෙම මිතුරා තම මිතුරාට උපකාරයක්ම කරයි. එබැවින් උපකාරක නමින් හැඳින්වේ. දෙවනුව ‘සමාන සුඛ දුක්ඛ’ නමින් හැඳින්වේ. සැප දුක දෙකේදිම තම මිතුරා ළඟ සිටින බැවින් මොහු සමාන සුඛ දුක්ඛ නම් වේ. මෙම මිත්‍රයා තම මිතුරාගේ සැපයේ දී සතුටු වන අතරම තම මිත්‍රයාට යම්කිසි කරදරයක්, විපතක්, දුකක් ඇති වූ විට ඔහු ද දුක් වන අතර තම මිතුරා එම කරදරවලින් මුදවා ගැනීමට උපකාරද කරයි. ඔහු ආරක්ෂා කර ගනී. තෙවනුව ‘අත්ථක්ඛායි’ මිත්‍රයා විග්‍රහ කර තිබේ. මොහු තම මිතුරාට යහපතක්ම කියා දෙයි. තමා ඇසුරු නිසුරු කරන අයට දෙලොව අභිවෘද්ධිය පිණිස පවතින ක්‍රියාවල යොදවන්නෙකී. හතර වැනි මිත්‍රයා ‘අනුකම්පක’ නම් වේ. තම මිතුරාට අනුකම්පා කිරීම ලක්ෂණය වේ. ඔහු ආශ්‍රය කරන මිතුරාගෙන් තමාට කරදරයක් පීඩාවක් වුවද එයට අනුකම්පා කොට තම මිත්‍රයා ආරක්ෂා කර ගනී. ඉහත දක්වන ලද කරුණු එම සූත්‍රයේ සදිසා නමස්කාරයෙහි උතුරු දිසාවට ආදේශ කරමින් විස්තර කර තිබේ.

අංගුත්තර නිකායේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රය තුළද “දිට්ඨ ධම්ම හිතාය” හෙවත් මෙලොව දියුණුව පිළිබඳව කරුණු දැක්වීමේදී “කල්‍යාණ මිත්තතා සම්පත්තිය” නමින් එය සම්පතක් වශයෙන් විස්තර කර තිබේ. එමඟින් අදහස් කර ඇත්තේ යහපත් මිතුරන් ඇසුරු කිරීමයි. එම සූත්‍රයට අනුව මිතුරාගේ වයස නොව ගතිගුණ පිළිබඳව විේෂයෙන්ම සැලකිලිමත් විය යුතු බව විස්තර කරයි. බාල, වැඩිහිටි හෝ වයසක කවරෙකු වුවද ආශ්‍රය කළ යුත්තේ, එකට ක්‍රියා කළ යුත්තේ, සාකච්ඡා කළ යුත්තේ, ඔවුන් සතු ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණ ධර්ම තමන්ට පුරුදු පුහුණු කර ගැනීමේ අදහසින් බවය. ඇසුරු කිරීම යනු එම මිත්‍රයාගේ ගුණ ධර්ම අනුව චරිත සංවර්ධනයක් කර ගැනීමයි. මෙහිදී විශේෂයෙන්ම අවධාරණය වන්නේ තමා ආශ්‍රය නිශ්‍රය කරන මිතුරා ළඟ ඉහත කී ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යන කරුණු නියම කල්‍යාණ මිත්‍රයාගේ ගති ලක්ෂණ වශයෙනි. අප එවැනි උතුම් මිත්‍රයන් සමඟ එක්ව ක්‍රියා කරන විට අපටද එම ගති ලක්ෂණ ඇති කරගත හැකිය. සිඟාලෝවාද සූත්‍රයෙද ඉහත කී කරුණුවලට අමතරව ගෘහස්ථයාට ධන පරිහරණය සම්බන්ධ ඉතා වැදගත් කරුණු කීපයක් අන්තර්ගත වේ. නියම මිත්‍රයන් හඳුනාගෙන ඔවුන් ඇසුරු කරන ඤාණවන්ත සිල්වත් පුද්ගලයා දිලිසෙන ගින්නක් මෙන් බැබළෙන අතර මී මැස්සකු මෙන් භෝග සම්පත් උපයා සපයා ගනී. ඔහුගේ භෝග සම්පත වැඩෙන තුඹසක් මෙන් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නට පටන් ගනී. මෙලෙස භෝග සම්පත් එක්රැස් කර ගැනීමෙන් ගෘහස්ථ ජීවිතයක් ගත කිරීමට සමත් පුද්ගලයා මිත්‍ර සම්බන්ධතා ගොඩනඟා ගැනීමටද සමත් වේ.

බුදුරජාණන් වහන්සේ එදා සිඟාල ගෘහ පුත්‍රයාට තවදුරටත් කල්‍යාණ මිත්‍ර සම්බන්ධතාවය පිළිබඳව කරුණු විග්‍රහ කළසේක. උතුරු දිසාවට ආදේශ කළ කල්‍යාණ මිත්‍රයන් මුලින්ම තමා තමාගේ මිත්‍රයාට කරුණු පහකින් සංග්‍රහ කළ යුතු බව පෙන්වා දුන්නහ.

1. දීමෙන්
2. පි‍්‍රය වචනයෙන්
3. අර්ථචර්යාවෙන්
4. සමානාත්මතාවයෙන්
5. නොරැවටිමෙන්

යන කරුණුවලින් සැලකිය යුතු බවයි. එලෙස සැලකුම් ලබන මිත්‍රයෝද කරුණු පහකින් සංග්‍රහ කරනු ලබයි.

1. පමා වූ මිතුරා රකිති
2. පමා වූ මිතුරාගේ ධනය රකිති
3. බියට පැමිණිවිට මිතුරාට පිහිට වෙයි.
4. ආපදාවන්හි දී හැර නොයති
5. මිතුරාගේ දරු මුණුබුරන්ද ආරක්ෂා කරති.

ඉහත දක්වන ලද කරුණු දෙපාර්ශ්වය විසින්ම අවංකවම පිළිපැදීම තුළින් කල්‍යාණ මිත්‍රත්වයේ ඇති වැදගත්කම මැනවින් සනාථ වේ. මෙම කල්‍යාණ මිත්‍ර සම්බන්ධතාවය ලෞකික හා ලෝකෝත්තර දෙයංශයටම අදාළ වේ. කල්‍යාණ මිත්‍ර සම්බන්ධතාවය මඟින් පුද්ගලයාගේ ලෞකික ජීවිතය උසස්ම තත්ත්වයකට පත්කර ගත හැකිය. එමෙන්ම සංසාර දුකින් මිදීම සඳහා ද යහපත් මාර්ගෝපදේශකත්වයක්ද අවශ්‍ය වේ. එයද කල්‍යාණ මිත්‍රත්වය තුළින් ලබාගත හැකිය. එබැවින් අප ලබාගත් මෙම මනුස්ස ජීවිතයේ දී පාප මිත්‍ර සේවනයද, අධම පුරුෂ සේවනයද දුරුකොට කල්‍යාණ මිත්‍ර සේවනය හා උතුම් ගුණාංගවලින් හෙබි උතුම් පුරුෂ සේවනය තුළින් ලෞකික ලෝකෝත්තර දියුණුව උදෙසාම ක්‍රියා කිරීම ඉතා වටිනා බව තේරුම් ගත හැකිය. සියලු දෙනාට උතුම් නිර්වාණාබෝධයම වේවා.

 

 අධි ඇසළ අමාවක පෝය   

අධි ඇසළ අමාවක පෝය ජූලි මස 15 වැනිදා බදාදා පූර්ව භාග 06.39 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 15 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 24 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]