UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ථෙරවාදී බුදුසමයේ කේන්ද්‍රස්ථානය මහා විහාරය

ථෙරවාදී බුදුසමයේ කේන්ද්‍රස්ථානය මහා විහාරය

මහින්දාගමනය ලෙසින් සිංහල ව්‍යවහාරයේ ප්‍රකට වූ ඒ අසිරිමත් සිදුවීම මීට වර්ෂ 2325 ඉහතදී පොසොන්පුර පසළොස්වක දිනයේ දී සිදුවූ බව දීපවංස, මහාවංස සහ සමන්ත පාසාදිකා ආදී අපේ පුරාණ ග්‍රන්ථවල ඉතා පැහැදිලි ලෙසින් සඳහන් වී ඇති කරුණකි. අනුරාධපුරය මධ්‍යගත කරගෙන ඒවන විට පණ්ඩුකාභය රජතුමා විසින් නගර නිර්මාණය කරන ලද බවද එතුමාගේ පුත් මුටසිව රාජ යුගය වනවිට මහාමේඝ උයන වැනි උයන්ද අනුරාධපුරයේ තිබුණි.

අභය වැව (මෙකල බසවක්කුලම) වැව ද සාදන ලද්දේ පණ්ඩුකාභය රාජ යුගයේ බව මහාවංසය කියයි. දේවානම්පියතිස්ස ඊට පෙර (තිස්ස) රාජ යුගය වන විට අප රටේ විවිධ ආගමික ඇදහීම් විශ්වාස පැවති බව ඉතා ප්‍රකටය. මේ පිළිබඳ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ඉතා විශිෂ්ට විවරණයක් සිදුකර ඇත. සමහරු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවන කාලයේ අපේ රටේ මිනිසුන් දඩයමින් ජීවත් වූ බව සඳහන් කිරීම ප්‍රලාපයක් බව මහාවංසය ඇතුළු අපේ පුරාණ වංසකතා කියැවූ අය දනිති. එපමණක් ද නොවේ දහනවවන සියවසට පසුව සිට මෑතක් වනතුරුම අනරාධපුරයේ කරන ලද පුරාවිද්‍යා පර්යේෂණ කැණීම් අනුව මහින්දාගමනයට පෙර වසර 300 පමණ ඉහත දී පවා අපේ රට තුළ කෘෂිකර්මාන්තය, (වී ගොවිතැන) යකඩ භාවිතය සහ සකපෝරුවේ කරකවා සාදන ලද මැටි බඳුන් නිර්මාණය කිරීමේ තාක්ෂණයද දැන සිටි ජනතාවක් සිටි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්වරයකු පසුව (අධ්‍යක්ෂ ජනරාල්) ආචාර්ය ශිරාන් දැරණියගල විද්වතා විසින් අනුරාධපුරයේ ඇතුළු නුවර කරන ලද පර්යේෂණ කැනීම්වලින් සනාථ කර ඇත. ඒ බව ඔහු විසින් ලියන ලද The Pre History of Srilanka  යන ග්‍රන්ථ දෙකෙන් විස්තර කර ඇත. (දැරණියගල අභිනන්දන සිරිසමන් විජේතුංග, පුරා විද්‍යා දෙපාර්මේන්තුවේ ප්‍රකාශනයකි. 2002 – පි, 5 – 9 )

අනුරාධපුරයේ ඉතිහාසය පිළිබඳ ඉතා දීර්ඝ ලෙසින් මෙම ග්‍රන්ථවල සඳහන් වේ. සැබැවින්ම මහින්දාගමනයෙන් සිදුවූයේ එතෙක් පැවැති අපේ ශිෂ්ටාචාරයට බෞද්ධ පදනමක් නිර්මාණය වූ බවය.

මේ පුරාණ අනුරාධපුරයේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස වන විට බුද්ධ වර්ෂ 236 දී සිදුවූ ඒ මහා ධර්මදූත ගමන නිසා මේ රටේ අගනුවර වූ අනුරාධපුරයෙහි මහමෙවුනා උයනේ මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් නගරය පුරා අනාගතයේ දී ඉදිවන පුදබිම් පිළිබඳව ද මහාවංසයේ ඉතා දීර්ඝ ලෙසින් සඳහන් කර ඇත. පස්වන සියවසේ දී ලියන ලද මහාවංසය මහාවිහාර පාර්ශ්වයේ ඉතිහාස කතාව බවත් ඒ කෘතිය ද සිංහල භාෂාවෙන් රචිත පොරාණට්ඨකතා ආශ්‍රයෙන් ලියන ලද බව සැළකේ.

මහාවිහාරය නම් වූ අනුරාධපුරයේ ඉදිකරන ලද විහාරය මහින්දාගමනය නිසා උන්වහන්සේගේ උපදෙස් පරිදි මහමෙව්නා උයනේ ඉදි වූවකි. ඒ මහා විහාරය සම්බුද්ධ ශාසනයේ මෙරට පමණක් නොව භාරත දේශයේ මෙන්ම අනෙකුත් රටවලත් ප්‍රකට වූයේ ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායේ මූලස්ථානය ලෙසිනි. මහා වංසයේ සඳහන්වන අන්දමට මිහිඳු මහ රහතන්වහන්සේ අනාගතයේ දී ඉදිවන පුදබිම් පිළිබඳ ස්ථාන පෙන්වා දීමට අමතරව දේවානම්පියතිස්ස රාජ යුගයේ දීම (මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසින්) දුමින්දාගමනය නමින් ප්‍රකටව වූ දඹදිව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්ෂිණ ශාඛාව රෝපණය කළේ ද මහාවිහාරය ආශි‍්‍රත මහමෙවුනා උයනේමය. ඉන්පසුව හටගත් අෂ්ටඵලරුහ මෙන්ම දෙතිස්ඵලරූහ (ඒ හතළිහක්වූ වෘක්ෂ) ලංකාවේ පුදබිම් හතළිහක රෝපණය කරන ලද්දේ ද රාජ අනුග්‍රහයෙනි. ඒ අනුව මහාවිහාරය අනුරාධපුරයේ ඉදිකිරීම මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනකත්වයෙන් ද දේවානම්පියතිස්ස රජුගේ පූර්ණ දායකත්වයෙන්ද බව පැහැදිලිය.

අනුරාධපුර, නගරය අසල උයන්වතු දෙකක් විය. මින් එකක් නන්දනවනය (පසු කලෙක ජොතිය වනය) පිහිටා තිබුණේ දකුණු වාසලින් පිටත නගරයට යාබදවම වාගේ ය. දීඝනිකායට්ඨ කතාව මහාවිහාරය මෙම දිවයිනේ පළමුවිහාරය බව සඳහන් කරයි.

මහමෙවුනා උයන මහා සංඝයාවහන්සේට පූජා කිරීමෙන් පසුව මිහිදු මා හිමියන් බුද්ධධර්මයෙහි මූලස්ථානය පිළිවෙළ කරන්නට යුහුව ක්‍රියා කළහ. මතු කාලයේ දී මෙරට බෞද්ධ සභ්‍යත්වයේ කේන්ද්‍රස්ථානය ද ථෙරවාදයෙහි බලකොටුවද මහාවිහාරය බවට පෙරලුණේ මෙසේ මිහිඳු මහරහතන් වහන්සේ ආරම්භ කළ ස්ථානයයි. පසු කලෙක අනුරාධපුර ශුද්ධ නගරය ලෙසට සැලකුණු පෙදෙස්හි මුල් සැලැස්ම සහ වින්‍යාසය කරන ලද්දේ මිහිඳු හිමියන් විසිනැයි සැළකීමට හේතු යුක්ති ඇත.

මහාවිහාරයේ ඉතාමත් ප්‍රකට වූ දායකයා වූයේ දුටුගැමුණු මහරජතුමාය. මහා විහාරය මධ්‍යකරගෙන ඒ සඳහා වූ මිරිසවැටිය. හා රුවන්වැලි සෑය ඉදි කිරීමද එතුමාගේ අනුග්‍රහයෙන් සිදුවිණි. ඊට පෙර මිහිඳු මහරහතන් වහන්සේගේ ද සහභාගීත්වයෙන් තිසා වැව සමීපයේ ලංකාවේ ඓතිහාසිකව හා පුරාවිද්‍යාත්මකව සනාථ වන ප්‍රථම දාගැබවූ ථූපාරාමය ඉදිකිරීමට දේවානම්පියතිස්ස රජතුමා කටයුතු කළ බව ප්‍රකටය.

දුටුගැමුණු රාජ යුගය වන විට රුවන්වැලි මහා සෑය ‘මහාථූප’ නමින් ප්‍රකට වූයේ ද ඒ වන විට මහාවිහාරයේ විශාලතම දාගැබ එය වූ හෙයිනි. ඒ වන විට මහා විහාරයට අවශ්‍ය වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු ලෝවාමහාපායද, ඉදි වී තිබුණි. මහාවිහාරය කේන්ද්‍රගත කොට පසු කාලයේ දී වළගම්බා රාජ සමයේ දී අභයගිරි නමින් තවත් විහාර සංකීර්ණයක් ඉදිවිය. එයද මහා විහාර පරිශ්‍රමයේම විය. ඉන්පසු ක්‍රි.ව. 4 වන සියවසේ දී මහසෙන් රාජ සමයේ දී ජේතවන නමින් තවත් මහා විහාරයක් ඉදිවිය. එසේ වුවද ථෙරවාද බෞද්ධ දර්ශනයේ මූලස්ථානය ලෙසින් ජාත්‍යන්තරවද ප්‍රකට වී තිබුණේ මහාවිහාරයයි. ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ දී බුද්ධ ඝෝෂ හිමි උන්වහන්සේගේ පාලි අටුවාවල මේ මහාවිහාර ශබ්දය යෙදීමෙන් අදහස් කළේ එය අභයගිරියෙන් සහ ජේතවනයෙන් වෙන්කර පෙන්වීමටය. ඍහා විහාරවාසීන් යනුවෙන් අදහස් කළේ අනුරාධපුරයේ මහාවිහාරයෙහි විසුවන් පමණි. එහෙත් පසුව අභිවර්ධනයේ දී මේ අර්ථයට කොතැනක විසුවත් මහාවිහාරයට සම්බන්ධකම් ඇති සියලුම භික්ෂුහු අයත් වූහ.

(ලංකාවේ බුදු සමයෙහි ඉතිහාසය – මහාචාර්ය වල්පොල රාහුල නාහිමි. පි. 316 – (1962) ක්‍රි.ව. 5 සියවසේ දී ඉතා ප්‍රකට බුද්ධඝෝෂ හිමියන් හෙළටුවා පාලියට නැගීම සඳහා පැමිණියේ ද මහාවිහාරයටය.

 

 අධි ඇසළ අමාවක පෝය   

අධි ඇසළ අමාවක පෝය ජූලි මස 15 වැනිදා බදාදා පූර්ව භාග 06.39 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 15 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 24 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

ජූලි 31

Second Quarterඅව අටවක

අගෝස්තු 07

Full Moonඅමාවක

අගෝස්තු 14


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]