UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරපුරක වගකීම

පරපුරක වගකීම

පරපුරක වගකීම ඉෂ්ට කිරීම හෝ නොකිරීම මත රටක අතීත සම්පත් අනාගතයට සංක්‍රමණය වන්නේ හෝ සංසරණය වනු ලබන්නේ. රටක් සතුව ඇති දැනුම හෝ සම්පත් හෝ පරපුරක් විසින් තවත් පරපුරකට ණයට ගෙන ප්‍රදානය කිරීම පරපුරක වගකීම වෙයි.

පරපුරක් යනු, අවුරුදු සියයක පමණ කාල පරාසයක ජීවත්වන මානවයන් පිරිසක් වේ. පරපුරක වගකීම හරියාකාරව නිවැරදිව ඉෂ්ට කිරීම හෝ නොකිරීම මත රටක අනාගතය උදෙසා බොහෝ දේ තීන්දු වෙනු ඇත. උදාහරණයක් වශයෙන් අප සතුව තිබූ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර ක්‍රම, දේශීය වෛද්‍ය ශාස්ත්‍රීය සිද්ධාන්ත, දේශීය දැනුම සහිත කෘෂිකාර්මික ක්‍රමෝපායන්, කළුගල් අලවන ගම්වර්ග වගේම කළුගල් මෙළෙක් කරන ඖෂධ සංයෝග සහිත ශාක සාරමය ඖෂධ වර්ග, සත්ත්වයන් මෙල්ල කරනු ලබන ක්‍රමෝපායන්, සත්වයන්ට අදාළ වන සර්ප වෛද්‍ය ශාස්ත්‍රීය උපක්‍රම, ලී කැටයම් සම්බන්ධ දැනුම, ආහාර සැකසීම හා ආහාර කල්තබාගන්නා ක්‍රමෝපායන්, රෝග නිවාරණමය ආහාර පද්ධතියක් ආදී දේ එවකට තිබූ නමුත් අද වන විට එය අභාවයට ගොස් තුරන් වී ඇත. ඇත්ත වශයෙන්ම ලංකාවේ ආහාර පද්ධතිය තුළ බත් කටයි, අල කටයි, කොළ කටයි, මස් කටයි, කිරි කටයි ආදී කටවල් සංයුතිය සහිත ක්‍රමවේදය අද අප ළඟ නැහැ. එහෙම වෙන්නේ, පරපුරක වගකීම අතහරින හෝ අතහැරෙන නිසයි.

පරපුරක වගකීම අතහැරෙන්නේ හෝ අතහරින්නේ කුමන ආකාරයෙන්ද? යන්න ඊළඟට සලකා බැලීම වැදගත්. ඉහත සඳහන් කරන ලද ශිල්ප හා ශාස්ත්‍ර ක්‍රමෝපායන් නැති වූයේ පරපුරු එකක හෝ දෙකක හෝ තුනක අතහැරීම නිසයි. එක දිගට පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන එනු ලබන දේවල් බොහෝ තියෙනවා. උදාහරණයක් වශයෙන් දන්සැල් දීම, පිළිබඳව ක්‍රමය කවදාවත් කාටවත් උගන්වන්නේ නැහැ. එය පරපුරෙන් පරපුරට පැවත එන නිසා එය ඉගැන්වීම අනවශ්‍යයයි. ආච්චිලා, සීයලා උයන විට මාමල නැන්දල උපකාර කරනවා. අයියලා, අක්කලා, තාත්තලා, අම්මල, බත් දන්සල් බෙදනවා. චූටි දුවලා, පුතාල ඒ දෙය බලාගෙන ඉන්නවා. ඒ චූටි දුවලා පුතලා, අයියලා, අක්කලා වෙන කොට අයියලා, අක්කලා, අම්මල, තාත්තල බවට පත්වෙනකොට ආච්චිලා සීයලා ලබාදුන්නු දායාදමය ඤාණය හා මෙම ක්‍රමය වැඩිහිටියන් විසින් දරු පරපුරට මඳක් හෝ බෝ කර තිබෙනවා. ඒ වගේ පරපුරෙන් පරපුරට බෝ වීම නිසා දන්සැල් නැතිවෙලා නැතිව අදටත් පවතී. ලෝකයේ තල්මිකියාව සියයට සියයක් බෞද්ධ රටක්, සියයට අනුහතක්ම තායිලන්තය, බෞද්ධ රටක්, එම රටවල් බෞද්ධ රටවල් වුවද එහි දන්සල් සංස්කෘතියක් නැහැ.

අපේ රටේ දන්සල් සංස්කෘතියක් වශයෙන් තිබෙන්නේ පරපුරෙන් පරපුරට පැවත එන නිසයි. ආච්චිලා, සීයලා විසින් අපට ලබාදෙන්නා වූ කිසියම් දෙයක් තිබෙනවා නම්, එය එලෙසම ඊළඟ පරම්පරාවට ලබාදීමට තමන් පරිචයට පත්වෙලා තමන් පුරුදු පුහුණු කරල ඊළඟ පරම්පරාවට පුරුදු පුහුණු කිරීම හෝ කරවීම පරපුරක වගකීම වෙයි.

ඉහත කී ශිල්ප ශාස්ත්‍ර නැතිව ගියේ පරපුරක වගකීම අතහැරපු නිසා. නුවර යුගය එනතෙක් ඇතැම් ශිල්ප, ශාස්ත්‍ර පවත්වාගෙන එනු ලැබුවා. ඉන් සමහරක් පරම්පරාවෙන් පරම්පරාවට වාචිකව මුඛ පරම්පරානුගතව පැවත එනවා මිස ලේඛනගත පවත්වාගෙන එනු ලබන ඒවා නොවෙයි. දන්සල් සිද්ධාන්ත හෝ දන්සල පිළිබඳ පොතක් හෝ ලේඛනගත දන්සල් පුරාණයක් නොපවතී. පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආවා මිස පරපුරක වගකීම ලිඛිත වගකීමක්ම නොවේ.

ලන්දේසීන්, ඉංගී‍්‍රසීන්, පෘතුගීසීන්, ලංකාවට පැමිණීමත් සමඟම පරපුරක වගකීම අතහැරී යනවා. ඒ පිරිස පැමිණිලා මහජනතාව රාජ්‍යයෙන් ඈත් කරනු ලැබුවා.මහ ජනතාව රාජ්‍යයෙන් ඈත්ව මහජනතාවක් බවට පත් වුණා. රාජ්‍යයෙන් පිරිසක් ඈත් වන විට පරිපාලනය වශයෙන් වෙනම කොටසකුත් රාජ්‍ය පාලනය ලෙස වෙනම කොටසකුත් බවට පත්වෙමින් යටත් විජිතයක් බවට පත්වෙනවා. ලන්දේසි, පෘතුගීසි, ඉංගී‍්‍රසි රාජ්‍ය පාලන කාලය යටත් විජිතයක් බවට පත් නොවුණත් ඔවුන්ගේ අධිකාරිමය බලතල යටතේ රට පාලනය වුණා. ඉංගී‍්‍රසීන් කාලවකවානුව තුළ යටත් විජිතයක් බවට පත්වුණා. මේ හේතුන් නිසා රට අරාජික වුවත් රාජ්‍ය එංගලන්තයට වගකීමේ ක්‍රමයත්, ජනතාව වෙනම ක්‍රමයකටත්, මැද ඒජන්තවරු පිරිසකුත් සිටියා. මෙබඳු කාලවකවානුවක මිනිසුන්ට පරපුරක වගකීම ඉෂ්ට කිරීමට බැරි වුණා. මිනිසුන්, ශරීරය පවත්වාගෙන යාමට උත්සාහ කළා මිස පරපුරක වගකීම පවත්වාගෙන යාමට හා රැක ගැනීමට හැකිවන තරම් ඔවුන්ගේ මැදිහත්වීමක් හෝ රාජ්‍ය මැදිහත් වීමක් හා අනුග්‍රාහකත්වයක් ලැබුණේ නැහැ.

ඒ නිසාම මුඛ පරම්පරාගතව ආ මන්ත්‍ර ශාස්ත්‍ර, ඊළඟ පරම්පරාවට දෙනවා වෙනුවට ජීවිතය රැක ගැනීමට දෙවන පරපුරට සිද්ධ වුණා.

තාත්තා ළඟ තිබුණ ඤාණය පුතාට සම්ප්‍රේෂණය වුණේ නැහැ. පරපුරක වගකීම ඉෂ්ට කිරිමට දෙවන පරම්පරාව බාරගත්තේ නැහැ. බාර නොගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ දී ඒ පරම්පරාව තමන්ගේ වගකීම් කොටස අතහැරියා නොවේ. වගකීම් කොටස ඉෂ්ට කරගත නොහැකි තත්ත්වයකට පත්වුණා. ලී කැටයම් ක්‍රම, ගල්කැටයම් ක්‍රම, සීගිරියෙන් හමුවන ජල තාක්ෂණ ක්‍රම, සත්ව ඖෂධ, කෘෂි තාක්ෂණය ,වාරි තාක්ෂණය, වාපී තාක්ෂණය, ප්‍රතිශක්තිකරණ යන සියලු දේවල් මුඛ පරම්පරානුගතව පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන ආවත් ඒවා කාලයාගේ ඇවෑමෙන් පවත්වාගෙන යාමට බැරි තත්ත්වයකට පත්වුණා.

පරපුරක් වශයෙන් පවත්වාගෙන යාමට නොහැකිකම වූ නිසාම තම ආදි පරම්පරාව පවත්වාගෙන ආපු දේවල් ග්‍රහණය කර ගැනීමට ඔවුන් උත්සාහ කළේ නැහැ. නිවැරැදිව ග්‍රහණය කර නොගන්න නිසාම ඔවුන්ට ඔවුන්ගේ බාල පරම්පරාවට එය නිවැරැදිව දීමේ හැකියාවක් තිබුණේ නැහැ. එම නිසා ඔවුන් නිවැරැදිව හෝ වැරැදිව ලබාදීම අතහරිනු ලැබුවා. එක පරපුරක් තමාගේ වගකීම් කොටස අතහැරිය ගමන් එතැනම අවුරුදු සියයක කාල පරාසයක්. දෙවන අවුරුදු දෙසියය වන විට ක්ෂණිකව හීනවෙලා දීන වෙලා අවසන් වෙනවා මිස එය පණ ගසා එන්නේ නැත. එක් දහස් හත්සියයක් පමණ ප්‍රමාණයක් තිබුණා යැයි කියන ලංකාවේ දේශීය සහල් වර්ග භාවිතාව පිළිබඳව ඤාණය නැතිවන්නේ ඒ ආකාරයට. අපට ආවේණිකව තිබූ ඇඳුම් සම්ප්‍රදාය නැති වී යන්නේ එවැනි ආකාරයට.

ලංකාව පාලනය කළ විදේශිකයන් ලංකාව පාවිච්චි කරනු ලැබුවේ තේවත්තක්, කෝපිවත්තක්, කුළුබඩු වත්තක් හැටියට හෝ බඩු පිටරට පැටවීමේ සම්බන්ධීකාරකයන් හැටියට පමණයි. ඔවුන්ගේ එකී සම්බන්ධීකරණය උදෙසා වන වඩා පහසුකම් සැළැස්වීම හා බඩු පිටරටට පැටවීමට ලංකා භූමියෙහි නිෂ්පාදනයන් ඇති කිරීම සඳහා මධ්‍ය ඒජනත්වරුන් පිරිසක් හැටියට රාජ්‍ය පාලනය නිර්මාණය වනවා මිස වෙනත් දෙයක් සඳහා හෝ රටේ සුබසිද්ධිය සඳහා නොවේ. ලංකාව තුළ තිබෙන්නාවූ සම්පත් විදේශගත කරවීමේ මධ්‍ය ඒජන්ත හැටියට රාජ්‍ය පාලනය සකස්වන්නේ එම රාජ්‍ය පාලනය කිසියම් ක්‍රමයකට හෝ යහපත්ව පවත්වාගෙන යනු ලබන්නේ භාණ්ඩ පිටරට පැටවීම උදෙසායි. තේ කර්මාන්තය සඳහා දුම්රිය පහසුකම් ඇතිකරනු ලැබුවා මිස මිනිසුන්ට ජනගහණයට ප්‍රවාහන පහසුකම් සඳහා නොවේ.

පරපුරක් තමාගේ ඓතිහාසික පරපුරක වගකීම ඉෂ්ට කිරීම උදෙසා ක්‍රියාකිරීමේ දී අවුරුදු දෙතුන් සියයක කාල පරාසය තුළ එම කාර්යය ඉටු කර ගත නොහැකිව අතහැරී යයි. පරපුරක වගකීම ඉෂ්ට කිරීමට පරපුරක් දැනගත යුතු වන්නා සේම පරපුරට නායකත්වයත්ද දිය යුතු ය. එවැනි නායකත්වයක් ඇතිවීම ඉතාම සූක්ෂම ආකාරයට වළක්වනු ලැබුවා.

වැලිපිටියේ ශ්‍රී සරණංකර සංඝරාජ නායක ස්වාමීන් වහන්සේ එම පරපුරක අමතක වී ගිය උරුමය නැවත ඇතිකිරීම සඳහාම පිරිවෙන් ආරම්භ කරනු ලැබුවා. පිරිවෙන් ආරම්භ කිරීමේ අරමුණ වූයේ ස්වාමීන් වහන්සේලාට අධ්‍යාපනය ලබාදීම පමණක් නොව පරපුරක නැතිවී ගිය අමතක වී ගිය ශබ්ද ශාස්ත්‍ර ආරම්භය සඳහායි. පරපුරක වගකීම ආරම්භ කරමින් පොත් සංස්කරණ කරමින් විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් ආරම්භ කළා ඊට අනුප්‍රාප්තිකව තව තවත් පිරිවෙන් ආරම්භ කරමින් පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ වූයේ පරපුරක වගකීම පරපුර කිහිපයක් විසින් අතහැර ලැබෙනු අවස්ථාවක මියැදෙන දැනුම ක්‍රමයෙන් පණ ගසා ගැනීම සඳහායි.

අද වන විට සමස්ත ත්‍රිපිටකයක් අපට ඉතිරිවෙලා තියෙනවා. අද වන විට ඩිජිටල් තාක්ෂණය, අන්තර්ජාලයෙන් ත්‍රිපිටකය ගැනීමට හැකි වී තියෙනවා. මේ ලෝකයේ චන්ද්‍රිකා තාක්ෂණය සදහටම නැත්තටම නැති වී ලෝක පෘථිවි ගෝලය කෑලි කෑලිවලට කැඩී බිඳී යන තරමට මහා ව්‍යවසනයක් වෙනකම් ත්‍රිපිටකය විනාශ වන්නේ නැහැ. ඒ තරමට ත්‍රිපිටකය සුරක්ෂිතව තිබෙනවා. මේ ලෝකයේ කිසියම් ස්ථානයක ත්‍රිපිටකය ඉතිරිවෙලා තිබෙනවා නම් ඒ සියල්ලම විනාශ වනතෙක් ත්‍රිපිටකය නැත්තටම නැතිවන්නේ නැත. මේ තරමට ත්‍රිපිටකය ඉතිරි වූයේ අඛණ්ඩවම පරපුරක වගකීම සෑම පරපුරක් විසින්ම ඉෂ්ටකර ලැබ තිබෙන නිසා, බුදුපියාණන් වහන්සේ ත්‍රිපිටකයක් දේශනා කරනු ලැබුවේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කරනු ලැබුවේ ධර්මය සහ විනයයි. ධර්මය සහ විනය දේශනා කරනු ලැබූ බුදුපියාණන් වහන්සේ ප්‍රථමයෙන්ම ධම්මපදය, උදානපාලිය, ඊළඟට දීඝනිකාය, ඊළඟට මජ්ක්‍ධිම නිකාය දේශනා කරනු ලැබුවේ නැහැ. බුදුපියාණන් වහන්සේ ඒ ඒ ස්ථානවල ඒ ඒ පුද්ගලයන්ට අදාළ වන දේ දේශනා කරනු ලැබුවා. පළමුවන ධර්ම සංගායනාවේ දී පංච සතිකා නමින් හඳුන්වන ලබන පන්සියයක් පමණ රහතන් වහන්සේලා සහභාගි වෙමින් සප්තපර්ණී ගල්ගුහාව තුළ පවත්වන ලද ප්‍රථම ධර්ම සංගායනාවේ දී ධර්ම කාරණා වර්ග කරනු ලැබුවා. එම වර්ගීකරණය කරනු ලැබූ ධර්ම කාරණ හා එම මහා දැනුම් සම්භාරය පරපුරක් හැටියට තමන් වහන්සේලාගේ පරපුර ඉෂ්ට සිද්ධ කරනු ලැබුවා. වර්ගකරණය කරමින් භාණක වරුන් පත්කළා. කටහඬින් ආරක්ෂා කරනු ලැබුවා. භාණක වරුන් පත්කළාට පසුව එම පරපුර විසින් තවත් පරම්පරාවක් නිර්මාණය කරනු ලැබුවා. එම පරපුර ඔවුන්ගේ වගකීම ඉෂ්ට කරනු ලැබුවා. මේ ආකාරයට පරම්පරාවෙන් පරම් පරාවට තම තමාගේ වගකීම ඉෂ්ට කරගෙන යන විට බ්‍රාහ්මණ තිස්ස මහා සාගතයට ලංකාවට බලපෑම් කළා. ඉන්දියාව තුළ සිට රජ බිසවක් විශාල විනාශයක් කරනු ලැබුවා. එයට අමතරව කාලිංග මාඝ ලංකාව තුළ විශාල විනාශයක් කරමින් ඒ විනාශය ගිනි තබා විනාශ කරන තැන දක්වා ගෙන එන්න වුණා. අවුරුදු දහය දොළහ ආහාර පාන නැතිව වතුර නැතිව සාගතයෙන් පීඩා විඳිමින් සියලු කරදර බාධකවලට මුහුණ දෙමින් සියල්ලම අතහැර දමා පරපුරක වගකීම නම් වූ කාර්යභාරය ඉෂ්ට කරනු ලැබුවා. දළදා හාමුදුරුවන් රැක ගැනීම පරපුරක වගකීමක් හැටියට ඉෂ්ට කළා මිස එය පෞද්ගලික වගකීමක් වූයේ නැත. මිනිස්සු බොහෝ අවස්ථාවල පෞද්ගලික වගකීමක් තුළ හිරවී සිටී. හොඳ අධ්‍යාපනයක් ලබාගෙන ඉඩමක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන විවාහ වී දරුමල්ලන් බලාගෙන අම්මා තාත්තා සමඟ ජීවත් වීම පවුලක වගකීම මිස පරපුරක වගකීම නොවේ.

මිනිසුන්ට පවුලක වගකීම මෙන්ම පරපුරක වගකීම පිළිබඳ කාර්ය භාරයක් තිබෙනවා. පවුලක වගකීමට පමණක් සීමා වීම ආත්මාර්ථකාමී ස්වේච්ඡා පටුවීමකි. පරපුරකට වගකීම එයට වඩා වෙනස් වූ පටු පරමාර්ථයෙන් තොර වූ ස්වභාවයකි.

කෑම බීම නැතිව ගස්වල කොළ පොතු, ගෙඩි, දියකර බොමින් වැලිගොඩවල් තුළ ඔළුව තබාගෙන පිරිත් කියන්නාක් මෙන් එක ස්වාමීන් වහන්සේ නමක් එක කොටසක් කට පාඩමින් කියවන විට තව ස්වාමීන් වහන්සේ නමක් තවත් කොටසක් කට පාඩමින් කියමින් විශාල පරිශ්‍රමයක් දරමින් නොකා නොබී බඩගින්නේ ඉඳගෙන කටපාඩමින් කියමින් තවත් ස්වාමීන් වහන්සේලා පැවිදිකර ගනිමින් එම පරම්පරාවට ද එය හුරුපුරුදු කරමින් තම වගකීම ඉටුකරනු ලැබුවා. එම ස්වාමීන් වහන්සේලා අපවත් වන විට එම කාර්යයභාරය ඉටුකිරීම සඳහා හුරු පුරුදු කරන ලද තව සඟ පරපුරක් බිහිකරනු ලැබුවා. පරපුරෙන් පරපුරට අතනොහැර තමාගේ අතට එන මල් වට්ටිය සුරක්ෂිතව අනෙකාගේ අත තබන්නා වූ උපාසිකාවගේ වගකීමක් සේ පරපුර විසින් තමාට ලැබුණු දෙය ආරක්ෂා කරනු ලැබුවා. පවුලක වගකීම පරපුරක වගකීම දක්වා භාවිත කළා. ත්‍රිපිටකය ආරක්ෂා කරගැනීම පරපුරක වගකීම නිවැරැදිව ඉටුකළ බවට ඇති නිවැරදිව නිදර්ශනයයි. අප පොඩි කාලය තුළ වෙසක් කූඩු සාදමින් සරුංගල් සාදමින් වින්දනයක් ලැබුවා. වර්තමානය වන විට පරපුරක වගකීම අතහැර සරුංගලය නිර්මාණය කිරීම ඉවත දමමින් චීන සරුංගලයට හුරුවීමක් හා චීන වෙසක් කූඩුවලටත් හුරුවීමක් දක්නට ලැබෙනවා. අවසානයේ දී අපගේ පරම්පරාව විසින් ඉරටු කෑලි දෙකක් එකට තබා නූලකින් එල්ලමින් බැලන්ස් බැලීමට හැකි තාක්ෂණය සහිත අවම තාක්ෂණය වත් පරපුරක් වගකීමක් වශයෙන් තවත් පරපුරකට සම්ප්‍රේෂණය නොකරන තරමට පරපුරක වගකීම අප විසින් අතහරිනු ලබයි. එම පරපුරක අතහැරීමක් මත අනාගතයේ පරපුර විසින් සියල්ලම අතහැරීමට පෙළඹෙනු ඇත. පරපුරක් සතුව තිබුණ ගොවිකම් නැතිව ගියේ එම ගොවියන්ගේ දරුවන් වාණිජ හා ගණකාධිකරණය ඉගෙන ගැනීමත් සමඟ ඔවුන් බැංකු රාජකාරි කටයුතුවල නියෙළීමත් සමගම අද වන විට කුඹුරු පුරන් වී ඇත. මිනිස්සු පරපුරක වගකීම අතහැරමින් පවුලක වගකීම කියන තැනට හිරවෙලා ඇත. මහා සංඝරත්නය ත්‍රිපිටකය ආරක්ෂා කිරීම වටින්නේ පරපුරක වගකීම නිවැරැදිව ඉෂ්ට සිද්ධ කළ නිසයි. පරපුරක වගකීම අතහැරීම යනු අතීත සම්පත් භුක්ති විඳ අනාගය උදෙසා ආරක්ෂා නොකිරීම කියන ඛේදවාචකයයි.
 

හේමමාලා රන්දුනු

 

   අධි ඇසළ පුර පසළොස්වක පෝය

අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 08 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]