UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 44

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 44

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාවෙන් අදත් අපි විසාලා නුවර ගැන සිහියට නගා ගනිමු.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව පස්වන වස් කාලය ගත කරන ලද්දේ විසාලා මහනුවර කූටාගාර ශාලාවේය. මුලින්ම මෙහෙණ සස්නට ඇතුළු වූයේ බුදුරජාණන් වහන්සේගේ සුළු මව වූ ප්‍රජාපතී ගෝතමින් වහන්සේය.


විසාලා මහනුවර කූටාගාර ශාලාව පිහිටි භූමියේ ඇති පොකුණ

භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩවසන අවස්ථාවේ ප්‍රජාපතී ගෝතමිය තුන් වරක් තථාගතයන් වහන්සේ බැහැදුටුවාය. ඒ පැවිද්ද ඉල්ලා ගැනීම සඳහාය. එහෙත් බුදුරජාණන් වහන්සේ ඊට අවසර ලබාදුන්නේ නැත.

අලං තෙ ගොතමි මාතෙ රුචිච මාතුගාමස්ස
ආදි ගාථා ධර්මයන් දේශනා කොට”

මෙම සර්වඥ ශාසනයෙහි දැන්ම ස්තී‍්‍රන් සඳහා පැවිද්ද නොපැවතුව මැනවැයි වදාළහ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙන් වැඩමවා විසාලා මහනුවර කූටාගාර ශාලාව වෙත වැඩම කළහ. එසේ පිටත්වී යන්නට පෙර රෝහිණී නදිය අසලදී දේශනා කළ කලහ විවාද සූත්‍රය අසා පන්සියයක් රාජ කුමාරවරු පැවිදි වූහ. කුමාරවරුන් පැවිදි වීම නිසා ඔවුන්ගේ බිරින්දෑවරු (බිසෝවරු) තනිවූහ.

ප්‍රජාපතී ගෝතමිය හමුවු මේ බිසෝවරු අපේ ස්වාමිවරු බුදු බණ අසා පැහැදී පැවිදි වී සසුනට ඇතුළත් වූහ. ගෝතමියනි, අපටත් සසුනට ඇතුළත් වීමට අවස්ථාව ලබා දෙන්නැයි ආයාචනා කර සිටියාය.

මා තෙවරක්ම බුදුරදුන් වෙතින් පැවිද්ද ඉල්ලීමි, එහෙත් තථාගතයන් වහන්සේ මෙහෙණ සස්න අනුදැන වදාළේ නැත. මෙවර අප සියලු දෙනා එක්ව සාමූහික ව ගොස් පැවිද්ද ඉල්ලා සිටිමු යැයි යෝජනා වූවාය.

අප හැමදෙන හිස කෙස් බහා කහවත් හැඳ උන්වහන්සේ කරා ගොස් පැවිද්ද ඉල්ලම්හ.එසේ වූ කල්හි අප හැම දෙන කෙරෙහි උපන් අනුකම්පාවෙන් අපට පැවිද්ද අනුදැන වදාරනු ඇත. ගෝතමී මවුතොමෝ සියලු දෙන ගිවිස්වාගෙන කරනැවෑමියන් ලවා හිස මුඩු කරවාගෙන කසාවත් හැඳ විසාලා මහනුවර බලා ගමන් ආරම්භ කළාය.


විසාලා මහනුවර කූටාගාර ශාලාවේ නටබුන්

මහා ප්‍රජාපතී ගෝතමිය තවත් ස්ත්‍රීන් පන්සියයක් සමඟ මුඩු කළ හිසින් කසාවත් හැඳ මහා කාරුණිකයන් වහන්සේ හමු වී පැවිද්ද ඉල්ලන්නට යන ආරංචිය සැලවු විගස ශාක්‍ය කෝලිය රජ දරුවෝ මා හැඟිවූ රිය පන්සිය එකක් ගෙන්වා මේ රියෙන් වඩිනු මැන භගණියනි මේ රියෙන් වඩිනු මැන ආදි වශයෙන් ආයාචනා කර සිටියාහුය.

දරුවනි පැවිද්ද ඉල්ලීමට අපි මේ රියවලින් යන්න මෝහම් එය බුදුරජාණන් වහන්සේට ගෞරව පිණිස නොවන්නේය. අපගේ පැවිද්දට සුදුසු නොවන්නේය. අප සියුමැලිය, චාරිකාවට නුසුදුසු යැයි භාග්‍යවතුන් වහන්සේ සිතිය හැකිය. එබැවින් දුක් නොබලා පා ගමනින්ම යෑම යහපතියි ගෝතමී මාතාවෝ පැවසූහ. එබස සැම දෙනම අනුමත කළාය.

ප්‍රජාපතී ගෝතමිය හා කසාවත් පෙරවු බිසෝවරු මෙසේ පාද චාරිකාව ආරම්භ කළහ. විල්ලුද පස් මත ඇවිද ගිය ඇතැමුන්ගේ පා ඉතා සියුමැලිය. ඔවුන්ගේ පතුල් පුපුරා බිබිළි නැග මහා වේදනා ඇති විය පතුල් පැළී ලේ ගලන්නටද විය.

ඉදිරියෙන්ම යන ප්‍රජාපතී ගෝතමී මාතාව දුටු රට වැසියෝ බුද්ධ මාතාව පා ගමනින් කොහේ වඩින්නීද? යි දෑත් හිස් බැඳ කම්පා වූහ. වාහන ගෙන එන්නට පොර කන්නාහුය. වැඳ වැටෙමින් පාවාඩ ගෙන එන්නට අවසර ඉල්ලන්නාහුය.

ගෝතමී මාතාවෝ මේ සියල්ල කාරුණිකව ප්‍රතික්ෂේප කරති. තම සහෝදර බිසෝවරු සමඟ පා ගමනින්ම වැඩම කෙරෙති. ලේ ගලනා යටි පතුල් නිසා තැන් තැන්වල නැවතී ගිමන් නිවති. යළි ගමන් අරඹති.

මෙසේ පනස් එක්යොදුන් මගක් ගෙවා ප්‍රජාපති ගෝතමිය ඇතුළු පිරිස විසාලා මහනුවර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කූටාගාර ශාලාව අබියසට පැමිණි අතර කූටාගාර ශාලාව නටබුන් අතර සිටි ගෝතමී මාතාව පන්සියයක් පිරිසද රැගෙන එහි පැමිණි දර්ශනය මොහොතකට ඔබ සිතින් මවාගන්න.

වෙහෙරට පැමිණි ගෝතමි මාතාවට මේ අන්දමට සිතිවිල්ලක් පහල වෙයි. ඒ කෙසේද යත්, මම බුදුරජාණන් වහන්සේ වෙතින් තෙවරක් පැවිද්ද ඉල්ලීම් නොලද්දෙමි. මා අද පැවිද්ද ඉල්ලන්නේ පන්සියක් දෙනා සමඟ පැමිණ ප්‍රසිද්ධියේය.

ගෝතමිය මාතාව එක වරම බුදු හිමි හමුවට නොගොස් ගඳ කුටියෙන් පිටත වී ආනන්ද මාහිමියන් පැමිණෙන තෙක් ඉවසීමෙන් යුතුව බලා සිටි අතර ගඳ කුටියෙන් එලියට පැමිණි ආනන්ද මාහිමියන්ට මහා ප්‍රජාපතී ගෝතමිය දුටු විගස අදහා ගැනීමට නොහැකි විය. මුඩු කල හිසද, කසාවතද, ලේ ගලන යටි පතුල් ද දැකීමෙන් සිත වික්ෂිප්ත විය. කම්පා විය. උන්වහන්ස්ගේ හිතටද මහත් ශෝකයක් දුක් වේදනාවක් ඇති විය.

මෑණියනි, මේ කුමක්වීද? ඉදිමී ගිය පාදයෙන් ලේ ගලන යටි පතුලෙන් දහදියෙන් තෙත් වු සිරුරෙන් විහාරය වෙත පිවිසියේ කවර කරුණක් සඳහාද? බුදු පියාණන් වහන්සේ හමුවට නොගොස් මෙසේ රැඳී සිටින්නේ කුමක් හෙයින්ද? කවර නම් විපතක් වීද? පවසන්න.

ආනන්ද හිමියන් වහන්ස, මා මෙයට පෙර තෙවතාවක්ම බුදුරදුන්ගෙන් පැවිද්ද ඉල්ලා නොලද්දෙමි. මෙවර මහණ වන්නට සූදානම්ව පන්සියයක් දෙනා සමඟ පැමිණියෙමි. මෙවරද පැවිද්ද ලැබේදෝ නොලැබේ දෝ සැක ඇතිවු නිසා එක වරම වෙහෙර ඇතුළට නොගොස් මෙහි නතර වී කල්පනා කළෙමි යැයි පැවසුවාය.

එම තෙපුල් ඇසු ආනන්ද හිමියන්ගේ හිත උණු විය. මහත් සංවේගයක් සිතේ උපතහ.

මෑණියනි, මදක් විඩා සංසිදුවාගනු මැනවි, මම බුදුරදුන් වෙත ගොස් කරුණු පැහැදිලි කරන්නම්

ආනන්ද හිමි ගොස් ප්‍රජාපති ගෝතමිය ඇතුළු පිරිස පැමිණ සිටින බවත් ඔවුන්ට පැවිද්ද ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින ලදී. ආනන්ද හිමිගේ බලවත් ඉල්ලීම මත කාන්තා විමුක්තිය උදා කරමින් පස්වන වස් කාලයේදී භික්ෂුණී සසුන ආරම්භ කිරීම සඳහා පෙර බුදුවරුන් අනුගමනය කරන ලද චර්යා ධර්ම කුමක්දැයි සොයා බලන ලදී. එහිදී අෂ්ඨ ගරු ධර්ම සමාදන් වීමට ඔවුන් කැමැතියි නම් මම භික්ෂුණි ශාසනය පිහිටවමි. ඔවුන් අෂ්ට ගරු ධර්ම වලට එකඟ විය.

මහා ප්‍රජාපතී ගෝතමිය මේ ගරු ධර්ම අට පිලිගෙන පැවිද්දත් උපසම්පදාවත් ලැබූ පසු ශාක්‍ය කුමාරිකාවෝ ද ඇය ගුරුකොට ගෙන උපසම්පදාව ලැබූහ. උපසපන් වු මහා ප්‍රජාපතී ගෝතමි තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ වැඳ එකත්පසක සිටියාය. එසේ සිටි ඇයට භාග්‍යවතුන් වහන්සේ දම් දෙසු සේක. ඉක්බිති ඕතොමෝ කර්මස්ථාන ගෙන විදසුන් වඩා රහත් වූවාය. සෙසු මෙහෙණියෝ පන්සියයද නන්දක තෙරුන් කළ ධර්ම දේශනාව අසා රහත් වූවාය. ඉන්පසු යශෝධරාව ඇතුළු බොහෝ ශාක්‍ය කුමාරිකාවෝ ප්‍රජාපති ගෝතමිය කරා එළඹ පැවිදි වූවාය.

තවත් කොටසක් අධි ඇසළ අව අටවක පොහෝදා ජූලි 08 වනදා පත්‍රයේ


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 43

 

   අධි ඇසළ පුර පසළොස්වක පෝය

අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 08 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]