UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් ආලෝකය ලොව පැතිර ගිය ඇසළ පොහොය

සදහම් ආලෝකය ලොව පැතිර ගිය ඇසළ පොහොය

සිද්ධාර්ථ බෝසතාණෝ උතුම් වූ බුද්ධත්වයට පත්ව සත් සති ගෙවා නැවත අජපාල නුග රුක වෙත වැඩම කළහ. එහි දී තමා විසින් අවබෝධ කරගත් ධර්මය ඉතා ගැඹුරුය. පහසුවෙන් අවබෝධ කරගත නො හැකිය. මිත්‍යාදෘෂ්ටි වලින් පිරී පවතින සමාජයට අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීම උඩු ගංබලා යාමක් වැනිය යි සිතූහ. මේ සිතිවිල්ලත් සමඟ මහා බ්‍රහ්මයා බුදුරදුන් හමුවට පැමිණ වැඳ, ධර්මය අවබෝධ කර ගැනීමට සමත් අපමණ සත්වයන් සිටින නිසා ධර්මය, දේශනා කරන සේක්වා යි අයැද සිටියේය.

ඈත කාලයේ සිට දඹදිව විශාල පිරිසක් බ්‍රහ්මයා උසස් සේ සලකමින් ඔහු අදහමින් වැඳුම් පිදුම් කිරීමට පුරුදුව සිටියහ. මේ නිසා මහා බ්‍රහ්මයාගේ ආරාධනයෙන් ධර්ම දේශනා කිරීම බුදු දහමේ ව්‍යාප්තිය පිණිස හේතු වූවාට සැක නැත. තමන්ට කලින් සහාය වු ආලාරකාලාම තවුසාට ප්‍රථමයෙන් ධර්මය දේශනා කළ යුතුය යි සිතා බුදු නුවණින් බලත් ම ඔහු සත් දිනකට පෙර කලුරිය කළ බව දැන උද්දකරාම පුත්ත තවුසා වෙත සිත් යොමු කළහ. ඔහු ද කලින් දින කලුරිය කළ බව දැන දුෂ්කර ක්‍රියා සමයෙහි උපස්ථාන කළ පස්වග තවුසන් බරණැස ඉසිපතනාරාමයේ වෙසෙන බව දැන එහි වැඩම කළහ. ශරීරයට තද දුක් දීමෙන් පමණක් බුද්ධත්වය ලැබිය හැකිය යි තද විශ්වාසයක් තිබූ පස්වග තවුසෝ ඒ මගින් බැහැරව ගිය සිද්ධාර්ථ බෝසතුන් කෙසේවත් බුදු බවට පත්වෙති යි කල්පනා නො කළහ. ඒ නිසා බුදුරදුන් පිළිගෙන උවටැන් කිරීම් ආදිය නොකිරීමට බැසගත් නිගමනය අත්හැර මහත් ගෞරවයෙන් පස්වග තවුසෝ බුදුරදුන් පිළිගත්හ. එහිදී බුදුහු බුද්ධත්වයෙන් මාස දෙකක් ගතවත්ම උදා වූ ඇසළ මස පුන් පොහෝදා පස්වග තවුසන් ප්‍රධාන දස දහසක් දෙව් බඹුන් වෙත තමා විසින් අවබෝධ කරගත් උතුම්ධර්මය ‘දම්සක් පැවතුම් සූත්‍රය’ මගින් ඉදිරිපත් කළහ.

නිගණ්ඨනාථපුත්ත ඇතුළු ෂට් ශාස්තෘවරුන් ඔවුන්ගේ ඉගැන්වීම් සමාජය තුළ දැඩි ලෙස ව්‍යාප්ත කරමින් පසු වූ අවස්ථාවක බුදුහු ලෝකයේ පහළ වූහ. එපමණක් නොව දෙසැටක් මිත්‍යා දෘෂ්ටි හේතු කොටගෙන ජනතාවට හරි මග වටහා ගැනීම මේ වන විට බලවත් ප්‍රශ්නයක්ව තිබුණි. ඉන්දියාවේ පැවැති මේ සියලු ආගම් හකුළුවා කාමසුඛල්ලිකානු යෝගය සහ අත්තකිලමථානු යෝගය යනුවෙන් දෙකොටසකට බෙදිය හැකි බව බුදුහු අවබෝධ කරගත්හ. මෙහි තෘෂ්ණාව මුල්කොට පවතින ස්ත්‍රී පුරුෂ ,ධන ධාන්‍යා දී සියලු දේ වස්තු කාම වශයෙනුත්, ඒවා මුල්කොට උපදින ආශාව ක්ලේෂ කාම වශයෙනුත් සලකා ඒවා කෙරෙහි ඇලීම කාමසුඛල්ලිකානු යෝගයයි.

එකල සමාජයෙහි සදාකාලික සැපත උදාකිරීමට නම් ශරීරයට තද දුක් දිය යුතුයයි සමහරු සැලකූහ. මේ නිසා අජව්‍රත ,ගෝව්‍රත,කුක්කුර ව්‍රත ආදී විවිධ ව්‍රත සමාදන්ව සමහරු ක්‍රියා කළහ. එපමණක් නොව අධික සීතලෙහි දියේ ගිලීම,අධික උෂ්ණ කාලවල පවා ගිනි තැපීම, කටු ඇතිරිලිවල සයනය කිරීම වැනි දුක් ගෙන දෙන ක්‍රියාවන්හි නිරත වූහ. මේ අත්තකිලමථානුයෝගී ක්‍රමයයි. එක් පැත්තකින් හීන වූත්, ග්‍රාම්‍ය වූත්,අනර්ථකාරි වූත් තවත් පැත්තකින් අසීමිත දුක් ගෙනදෙන්නා වූ ත් ඒ අන්ත දෙකම අනර්ථකාරි බව බුදුහු පෙන්වා දක්වා වදාළහ. එහෙයින් මේ මගින් ඉවත්ව උතුම් වූ නිවන් සුව සාදා ගැනීමට ඇති එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් බුදුහු පෙන්වා දුන්හ. ආර්ය යන බුදු , පසේබුදු , මහරහත් උතුමන් සඳහා ව්‍යවහාර කරන නාමයකි. එවැනි උසස් තත්ත්වයක් ලබා ගැනීමට මාර්ගාංග අටක් ප්‍රථම ධර්ම දේශනාවේදී ඉදිරිපත් කළහ. එහි සම්මා දිට්ඨි නමින් දැක් වූ ප්‍රථම අංගයෙන් සියලු අවිද්‍යා අන්ධකාරය පහකොට විද්‍යාව නමින් දැක්වූ යහපත් දැකීම ඇතිවන බව පැහැදිලි කළහ. මේ සම්මා දිට්ඨිය නොමැති කිසිවෙකුට දුක් සසරින් එතෙරව නිවන් අවබෝධ කරගත නොහැකිය. දෙවනුව දැක්වූ සම්මා සංකප්පය තුළින් නිවැරදි කල්පනාව ඇති වෙයි. වාග් දුෂ්චරිතයන්ගෙන් වෙන්ව වාග් සුචරිතය ඇතිවීමට සම්මා වාචා නම් වූ මාර්ග අංගය හේතුවෙයි. ත්‍රිවිධ කාය සුචරිතය නමින් දැක්වූ සම්මා කම්මන්තයත්, දැහැමි දිවිපැවැත්ම වශයෙන් සඳහන් කළ සම්මා ආජීවයත් නිර්වාණාවබෝධයට අත්‍යවශ්‍යය. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ඇතුළත් වු සම්මා වායාමයත් සතර සතිපට්ඨානයට ඇතුළත් වූ සම්මා සතියත්, චිත්ත චෛතසික ධර්මයන් යහපත් අරමුණක යොදවන සම්මා සමාධියත් යනුවෙන් දැක්වෙන මාර්ග අංග අට පිළිපැදීම දහම් ඇස පහළ කර ගැනීමට හේතුවෙයි.

ප්‍රථමයෙන් ම දුක යන්න මනාව පැහැදිලි කිරීමට දුක්ඛ සත්‍යයත්, ඒ දුක ඇතිවීමට හේතුව දැක්වීම සඳහා සමුදය සත්‍යයත්, ඒ දුක නැති කළ යුතුය යන්න පෙන්වා දෙමින් නිරෝධ සත්‍යයත් දක්වා වදාළ බුදුහු දුක නැති කිරීමේ මාර්ගය වශයෙන් ඉහත සඳහන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඉදිරිපත් කිරීම මහා සමාජ විප්ලවයක් ඇති කිරීමට තරම් වැදගත් විය. සූත්‍රයෙහිම සඳහන්වන අන්දමට “පුබ්බේ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි” යනුවෙන් මෙතෙක් නො ඇසු මේ ධර්මය නිසා දහම් ඇස පහළ විය. ඤාණ ආදිය පහළ වීමත් සමග මුළු ලොව දහම් ආලෝකය පැතිරවීමට බුදුරදුන් ඇසළ පුන් පෝදා ඉදිරිපත් කළ මේ උතුම් ධර්මය හේතු විය.

සිද්ධාර්ථ බෝසතුන් මවුකුස පිළිසිඳ ගත් දිනයත්, බෝසතුන් ගිහි ගෙය හැර දා අභිනිෂ්ක්‍රමණය කළ දිනයත්, පස්වග මහණුන් බරණැස වස් වැසූ දිනයත්, රාහුල කුමරුවන්ගේ උපත සිදු වූ දිනයත්, ගන්ධබ්බ රුක් මුල යමාමහ පෙළහර දැක් වු දිනයත්, දෙවියන්ට අභිධර්මය දේශනා කළ දිනයත්,ඇසළ පුන් පොහෝ දිනට යෙදී ඇත. එපමණක් නොව ප්‍රථම ධර්ම සංගායනාවට කටයුතු සංවිධානය කිරීම, මිහිඳු මාහිමියන් සීමා සම්මත කිරීම, අරිට්ඨ කුමාරයා ඇතුළු පිරිස පැවිදි වීම, දෙවන පෑතිස් රජුගේ අටසැටලෙන් පූජාව, ලංකාවේ ප්‍රථම වස් එළඹීම, රුවන්වැලි සෑය ඉදිකිරීමට මුල්ගල් තැබීම, දළදා ප්‍රදර්ශනය ආරම්භ කිරීම ආදිය ඇසළ පුන් පෝදා සිදු වූ ඉතා උතුම් පුණ්‍යක්‍රියාවන් පිළිබද තොරතුරුලබන ඇසළ පුන් පෝහෝ දා පත්‍රයෙන් දැන ගනිමු.

 

   අධි ඇසළ පුර පසළොස්වක පෝය

අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 08 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]