UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

ධර්ම ශාස්ත්‍රීය වශයෙන් මෙන්ම ආගමික,අධ්‍යාපනික සාමාජික ආදි සෑම අංශයකින්ම අප්‍රමාණ නිහඬ මෙහෙවරක් සිදුකරන බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යුග මෙහෙවරක නිරතව වැඩ සිටිති.

කලින් කලට සසුනඹරෙහි පහළවන සම්භාවනීය පූජනීය මහ සඟරුවන සසුන්කෙත ඒකාලෝක කරමින් වැඩ වෙසෙති. එබඳු පූජනීය මහ සඟරුවන සසුන් කෙතට මෙන්ම රට, දැය, සමයට සිදු කරනුයේ අතිඋදාර මෙහෙවරකි. එම උදාර මෙහෙවර ආදර්ශවත්ය.

බෞද්ධ ජන සමාජය කවදත් උගත් ,ගුණවත්, සිල්වත්, ධර්ම විනයධර යතිවරයන් වහන්සේගේ කාරුණික මාර්ගෝපදේශකත්වය අගය කරනු ලැබේ.

ගමයි, පන්සලයි අතර සුහදතාවය වර්ධනය කරමින් පන්සල කේන්ද්‍රස්ථානය කර ගනිමින් ගමට, පළාතට, රටට සිදු කරනුයේ සුවිශාල මෙහෙවරකි.

බෙල්ලන්විල රාජ මහා විහාරාධිකාරි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්දර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සුවිශාල මෙහෙවරක් නිහඬව ඉටු කරන ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.

ඉතා ඈත අතීතයේ සිට ගමේ නම රට පුරා, ලොව පුරා ප්‍රචලිත වූයේ නම් ඒ ගමෙන් පහළ වූ ස්වාමීන් වහන්සේ නමක් මුල්වීම හේතුවෙනි. නොඑසේ නම් ගමේ පන්සල මුල්වීම හේතුකරගෙනය.

“බෙල්ලන්විල” නාමය සිහිපත් වන විට නිරන්තරයෙන් සිහියට නැඟෙන නාමයකි බෙල්ලන්විල රාජ මහා විහාරය. මෙරට සිව් දෙසින් බෙල්ලන්විල රජ මහා විහාරය වන්දනා මාන කර ගැනීමට සිය දහස් ගණනින් ඒකාරාශි වනුයේ බෙල්ල්නවිල රජ මහා විහාරයේ ඓතිහාසික බෝධීන් වහන්සේගෙන් සෙත ශාන්තිය උදාකර ගැනීමේ අපේක්ෂාවෙනි. බෞද්ධ ජනතාවගේ දෛනික ජීවිතයේ පැමිණෙන විවිධ කරදර බාධක වලට සහනය පතා බෙල්ලන්විල ඓතිහාසික බෝධින් වහන්සේගේ පිහිට අයැදීමට ඉතා දිගුකලක පටන් බෞද්ධ ජනතාව සැදී පැහැදී සිටිති. බෙල්ලන්විල රජමහා විහාරයේ ආශිර්වාදය අපේක්ෂා කරන සැදැහැවතුන් එම විහාරස්ථානය වන්දනාමාන කරමින් තම දිවිමග සරු කර ගැනීමට හැම විට උත්සාහ දරති.

එමෙන්ම “බෙල්ලන්විල” රජ මහා විහාරයත්, බෙල්ලන්විල පෙරහරත් සිහියට නැඟෙන විට ජනතා සිත් සතන් තුළ මුල් බැස ගත් ශ්‍රී නාමයකි. බෙල්ලන්විල රාජමහා විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ බෙල්ලන්විල ශී‍්‍ර සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. බෙල්ලන්විල රජ මහා විහාරස්ථ, වත්මන් දියුණූවේ ගෞරවනීය මාර්ගෝපදේශකයන් වහන්සේ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

බෙල්ලන්විල නාමය සිහියට නැඟෙත්ම බෙල්ලන්විල රාජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේත්, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් නිරතුරුවම සිහිපත් වේ.

එකම පවුලක දෙසොහොයුරන් සසුන් කෙතට ඇතුළත්ව පැවිදි සහෝදර සබඳතාවයෙන්ද යුක්තව දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද සම්බුදු දහමේ ව්‍යාප්තියට සිදුකරනු ලබන මෙහෙවර සුවිශේෂිතය.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිංගප්පූරුවෙහි වඩ වසමින් ජාත්‍යන්තර වශයෙන් සිදු කරනුයේ උදාර ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරකි.

බෙල්ලන්විල රාජ මහා විහාරාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බෙල්ලන්විල රජමහා විහාරස්ථාවනයේ වැඩ වසමින් ශාස්ත්‍රීය , ආගමික හා සාමාජික වශයෙන් සුවිශාල නිහඬ මෙහෙවරක නිරතව වැඩ සිටිති.

1942 අපේ‍්‍රල් 14 වනදා ඕමත්තගේ පෝල් දම්පතීන් වෙත ලැබුණු පින්වත් කුමරා නිසි වියේදී දෙහිවල නිකපේ විජයරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. අනතුරුව පිළියන්දල මැදි මහ විදුහලෙන් ඒ කුමරා අධ්‍යාපනය ලැබීය.උන්වහන්සේගේ ගිිහි කල පවුලේ සහෝදරයන් හය දෙනෙකි. එක ළඟ සහෝදරයන් දෙදෙනාම පැවිදි බිමට පත් විය. ඒ බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය.

1958 පෙබරවාරි 28 වනදා බෙල්ලන්විල රජ මහා විහාරාධිපති බෙල්ලන්විල ශී‍්‍ර සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවිදි බිමට පත්විය. මෙයට පනස් දෙවසරකට පෙර උන්වහන්සේ අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වූහ.

1965 දී කැලණියේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1972 දී පාලි භාෂාව පිළිබඳ ගෞරව උපාධිය එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නා ලදී. එංගලන්තයේ ලැන්කෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති සහ ආචාර්ය උපාධිය හිමි කර ගත් බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනතුරුව රත්මලාන පරිවෙණාචාර්ය භික්ෂූ අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙසත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙසද 1997 සහ 98 දෙවසරේදී එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන භාෂා හා අපි‍්‍රකානු අධ්‍යයනයට අදාළ පාසලේ බාහිර මහාචාර්යවරයෙකු ලෙසද උන්වහන්සේ සේවය කරන ලදී.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශාස්ත්‍රීය ධර්ම ග්‍රන්ථ රැසක් ලියා පළ කළ සම්භාවනීය ගත් කතුවරයන් වහන්සේ නමකි. බුද්ධ සම්ප්‍රදාය සංස්කෘතිය 1984 ,බුදුදහම සහ වෙනත් ආගම් 1989 , බුදු පිළිමයේ මුද්‍රා සහ ආසන 1999 , බුද්ධ ප්‍රාථමික කලාව සහ බුදු පිළිම විකාශය 1995 පාරමිතා සාහිත්‍ය 2001 විහාර ලිපි සරණිය 2006,බුදුදහම ,සාහිත්‍ය හා කලාව ලිපි 2006,බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ 2010,බෞද්ධ පුද පූජා සංස්කෘතිය 2013 එම ශාස්ත්‍රීය ග්‍රන්ථ අතර වේ. එම ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථවලට අමතරව පරිවර්තන කෘති කීපයකටද මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දායකත්වය සපයා ඇත.

මෑත යුගලයේදි ධර්ම ශාස්ත්‍රිය ග්‍රන්ථ රැසක් මෙසේ පාඨක ජනතාව වෙත යොමු කර ඇති බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බෙල්ලන්විල රාජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් අගනා සමාජ මෙහෙවරකද නිරතව වැඩ සිටිති.

තරුණ තරුණියන් සඳහා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම මඟින් පිහිටුවා එමඟින් නිහඬ සමාජ මෙහෙවරක් ඉටු කරනු ලැබේ. වසරකට කීප වරක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් වෛද්‍ය සායන, ශල්‍ය කර්ම ආදිය ඇතුළු අසරණ රෝගීන් වෙනුවෙන් විශේෂ උපකාර කරමින් බෙල්ලන්විල විමලරතන අනු නාහිමියෝ සමාජ මෙහෙවරෙහි නිරත වේ.

ජාතික වශයෙන් ඇතිවන ගැටලුවලදී සිය මතය නිවැරැදිව, ඍජුව සමාජය වෙත ඉදිරිපත් කරන බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කිව යුතු කරුණ කිව යුත්තා අභිමුවෙහි ප්‍රකාශ කරමින් අවවාද අනුශාසනා කරමින් නිවැරැදි මාර්ගෝපදේශකත්වය සලසන ආදර්ශවත් මහතෙර නමක් වේ.

විද්වත් පඬිරුවනක් මෙන්ම සුපේශල ශික්ෂාකාමී සම්භාවනීය සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස සමාජයේ ඉමහත් ගෞරවයට පාත්‍රව වැඩ සිටින බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹරේ දිදුලන මහා පහන් ටැඹකි.

මෙසේ කල්පනා කර බලන විට ධර්ම ශාස්ත්‍රීය වශයෙන් මෙන්ම ආගමික,අධ්‍යාපනික සාමාජික ආදි සෑම අංශයකින්ම අප්‍රමාණ නිහඬ මෙහෙවරක් සිදුකරන බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යුග මෙහෙවරක නිරතව වැඩ සිටිති.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇති මෙම 14 වනදා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ 73 වන ජන්ම දිනය යෙදී ඇත.

ඉතා කාර්ය බහුලව වැඩ සිටියද, ඉමහත් කැපවීමෙන් කටයුතු සිදු කරන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගීව ශාස්ත්‍රීය ආගමික, සාමාජික සියලු සේවාවන්, සිදුකර ගෙන යාමට ශක්තිය වාසනාව තෙරුවන් බෙලෙන් හිමිවේවායි ආශිර්වාද කරමු.

 

 
 බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් මස 11 වැනිදා සෙනසුරාදා අපරභාග 9.54 ට ලබයි.
12 වැනිදා ඉරිදා අපරභාග 08.26 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අපේ‍්‍රල් 12 වැනිදා ඉරිදාය.

මී ළඟ පෝය
අපේ‍්‍රල් 18 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]