UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුර්ලභ කරුණු සතරක්

දුර්ලභ කරුණු සතරක්

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
දුල්ලභඤ්ච මනුස්සත්තං
බුද්ධුත්පාදෝච දුල්ලභෝ
දුල්ලභා බණ සම්පත්ති
සද්ධම්මෝ පරම දුල්ලභෝ...

පින්වතුනි,

සතර පොහෝදා නිකුත්වන බුදුසරණ මඟින් දහම් අවබෝධයක් ලබන, ඔබට අද මේ සඳහන් කරන්නේ ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ ඔබ අපගේ හිත සුව පිණිස දේශනා කර වදාළ ලොව්තුරා දහමින් බිඳක්. ඉහත සඳහන් වූ පරිදි මේ ලෝකයේ දුර්ලභ කරුණු සතර පිළිබඳව අමා මෑණියන් වහන්සේ දේශනා කරන්නට යෙදුණි. සුවාසු දහසක් ධර්මරත්නය අතරින් සුවිශේෂි වූයේ මේ දහම් කරුණ මිනිසාටය. එහිදි ස්ත්‍රී පුරුෂ භේදයක් නැත.

මක් නිසාද? උභය පාර්ශ්වීයන් මනුෂ්‍ය නාමයෙන්ම පසුවෙන්නන් නිසාය. ඒ ද බුදුපියාණන් වහන්සේ සියලු සත්වයන්ට පෑ උත්තරීතර ධර්මතාවයක් ලෙස හැඳින්විය හැකිය. සුගත තථාගතයන් වහන්සේගේ ඉහත දේශනාවේ සංශික්ප්ත වූ අදහස් පිළිබඳ විමසීමක් කරමු. ඒ පිළිබඳ අවබෝධ කර ගනිමු.

දුල්ලභඤ්ච මනුස්සත්තං (මින්සත්භාවය (මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම) ඉතාමත්ම දුෂ්කරය. අසීරුය)

මේ පිළිබඳව විමසීමේදී ද සියල්ලට ප්‍රථම අපට සිහිවන්නේ අමාමෑණි බුදුපියාණන් වහන්සේමයි.උන්වහන්සේ ම දේශනා කළ අනවතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්භාකෝටි න පඤ්ඤායති කියලා. “මහණෙනි මේ සංසාරේ බියකරුයි. අති බියකරුයි. අති දීර්ඝයි. එහි අගමුල තිලෝගුරු මටවත් නොපෙනේ.

මේ සම්බුද්ධ ප්‍රකාශය හා සසැදෙන්නා වූ ඔබ අපගේ ආත්මයන්ද මේ දීර්ඝ සංසාරයේ මැරුණා,ඉපදුනා, ඉපදුනා, මැරුණා එහෙම එන ගමනේ තාවකාලික නැවතීමක් ලෙස තමයි මේ මනුෂ්‍ය ආත්මයක් ලබා ගෙන ටික කලක් රැඳී ඉන්නේ. මේ දීර්ඝ වූ සංසාර ගමනේ අසංඛ්‍යෙය කල්ප ලක්ෂ විසිහතරක්ම උන්වහන්සේ මේ සසර ඉපදුනා.

එසේ නම් පින්වතුනි, අපි පිළිබඳ සිතා බලමු.උන්වහන්සේ අයමන්තිමාජාති නත්ථී දානි පුනබ්භවෝ යන්නෙන් සසර ගමන් අවසන් කළ බව කීවේ මගේ යළී උපතක් නොමැත යන්නයි. ඉහත ගාථා රත්නයේ මිනිසාට ප්‍රථම ස්ථානය දුන්නේද මේ ඝෝර භයංකර සංසාරේ තත්වය මනුෂ්‍ය වූ අපට අර්ථ ගැන්වීම පිණිසයි. ඒනිසා මේ උතුම් මිනිසත්කම අපට ලැබුණේ අනන්ත වූ සංසාරේ කරන ලද අපමණ වූ පුණ්‍යක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසිනි.

අසීරුවෙන් අපහසුවෙන් ලබා ගත් ඒ උතුම් මිනිස්කම නිසිලෙස පවත්වා ගැනීම නිසියුරුව හසුරුවා ගැනීමට තමයි ඉහත ගාථාව දේශනා කළේ.

මෙහි දෙවන කරුණ වූ බුද්ධුත්පාදෝච දුල්ලභෝ යනුවෙන් ඉදිරිපත් කළේ ලොව අසීරුවම සිදුවන බුද්ධොත්පාද කාලය ( බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වීම) අති දුර්ලභ වූ බවයි.

පින්වතුනි ඔබ කවුරුත් දන්නවා ඉහතින් සඳහන් කළ මහ භයංකර සංසාරයේ අපමණව සැරිසැරූ බෝධි සත්වයන් වහන්සේ අන්තිම වතාවට වෙස්සන්තර නමින් රාජ්‍ය පාලකයෙක් වුනා. සසරේ පුහුණු කළ දීමේ පරමාර්ථය අතිසාර්ථක කරමින්, ස්වකීය සෙනෙහෙබර දරුවන් දෙදෙනා මගියෙකුට දන් දී රට රාජ්‍ය හා සිය පාදපරිදාරිකාවද පවා දන් දුන්නා. එම ආත්මයේ නිමාවෙන් තුසිත දෙව්ලොව සංතුසිත නම් දිවිය රාජයෙකුව ඉපදී දෙව්සැප විඳිද්දී, මහත්වූ සම්ම්‍යක්දෘෂ්ටික දේවතාවන්ගේ ආරාධනය වූයේ, කාලෝයන්තේ මහාවීර උප්පජ්ජ මාතු කුච්ජියං සදේවකං තාරයංතෝ බුජ්ජේසු අමතං පදං...යනුවෙන් ‘මහා වීරයන් වහන්ස අනන්ත සංසාරේ දුක්විඳින දෙව්මිනිස් යනාදි සියලු සත්වයන් සංසාර දුකින් එතෙර කරන්නට අනුකම්පා කර මිනිස් ලොව මව්කුසක පිළිසිඳ මිනිසත් බව ලබා පරම පිවිතුරු වූත්, සර්වඥ වූත් උතුම් බුද්ධ රාජ්‍යයට, පත්වන්නට කියලයි”.

මේ අනුවම ලොව සම්මා සම්බුද්ධෝත්පාද කාලය උදාවීමත් සමඟ මායාදේවියගේ කුසේ පිළිසිඳ ගත්තේ. බුද්ධ මාතාවක් වීමේ ලොව ශ්‍රේෂ්ඨතම පින් තිබූ මායාදේවියගේ කුසේ පිළිසිඳ නිසි වූ ලෙස පූර්ව කටයුතු නිමවා ලුම්බිණි සාල වනයේ උපත ලබා ළමා, තරුණ සියලු සැප සම්පත් විඳ සසරේ පිරූ පාරමිතා අනුව යශෝධරාවෝ ස්වකීය බිරිඳ ලෙස සරණ පාවා රාහුල උප්පත්තියේදි මැදුරෙන් පිටවුනේ අනන්ත සංසාරේ අප්‍රමාණ සත්වයා සසර දුකින් මුදවාලීමේ උදාරතර අධිෂ්ඨානයෙන්, සසර ගමනේදී පමණ වෙහෙස විඳ අධිෂ්ඨානශීලිව හා උට්ඨාන වීරියෙන් යුතුව හුරු පුරුදු කළ පාරමිතා නිසාමයි. ස්වකීය මඟුල් කඩුවෙන් තමන් විසින්ම කෙස් මුදාහල එතුමන්ට එතැන් සිටම බුද්ධත්වයට පත්වන තුරාද අපමණ දේ විඳින්ට සිද්ධවුනා. අවසන එදා බෝධිමූලයේදී දසදහසක් සක්වල මාර සේනාව අන්ත පරාජයට පත්කර, සියලු සංසාර දුක් නසා ඒ උතුම් සම්බෝධියට පත්වුනා. එවන් වූ දෘඩාධිෂ්ඨානයෙන් සම්මා සම්බුද්ධ විරුදාවලිය ලබා ලෝකයා සුවපත් කරන උත්තමයන් වහන්සේ ලොව පහළ වීම ඉතාමත්ම දුර්ලභ කරුණකි.

දුල්ලභා ඛණ සම්පත්ති

ඒ තුන්වැනි නිරුක්ති පාඨයයි. සැබවින්ම මේ ලෝකයේ අපේ දෑසට පෙනෙන මේ මිනිස් දිවියේ උප්පත්තියෙන්ම අන්ධ, ගොළු, බීරි, කොර හා වෙනත් විපරීතයන්ගෙන් පිරි මිනිසුන් ස්ත්‍රී පුරුෂ භේදයන්ගෙන් තොරව දක්නට ඇත. උප්පත්තියෙන් මෙලොව එකි අංග අඩු පාඩු සහිතව බිහිවූයේ සසර කරන ලද විවිධාකාර අකුසලයන් නිසා, කොටින් කීවොත් අන් අයගේ දියුණුවට. ඊර්ෂ්‍ය කිරීම, කේලම් කීම, සත්ව හිංසාව කිරීමෙන් අන් අයට විපත් කිරීම වැනි මහා අකුසල කිරීම නිසා. ඉතින් පින්වතුනි, මොහොතක් හිතන්න. කන් ඇහෙන්නේ නැත්නම්, ඇස් නොපේනේනම්, යාමට ඒමට නොහැකිනම්.

අන් අය කියන දේ ඔහුට හෝ ඇයට කෙසේනම් වැටහේද, එතන කොහෙද නිවනක්. මේ පිළිබඳව සිතා ලද මේ උත්තරීතර මනුෂ්‍ය දිවිය සුචරිතවත්ව සාධාරණියව පවත්වා ගැනීමයි කළ යුත්තේ. ඒ සදාචාරායත්වය හා මනා වූ පැවැත්ම මෙතෙක් අප ආ ගමන් මගේ ඉදිරි සසරේ දුගතිගාමී නොවන්නට හේතුවන බැව් සිතන්න.

සද්ධම්මෝ පරම දුල්ලභෝ (ලොව ශ්‍රී සද්ධර්මය සොයා ගැනීම ,ඇසීම (ධර්මය පැවති යුගයක ඉපදීම) ඉතිමත් දුර්ලභ කරුණකි.)

පින්වතුනි අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ මේ ධර්මය සොයා ගැනීමට ඉහත කී ඝෝරභංයකර සංසාරයේ අපමණ පාරමිතා පුරන ලදී. විවිධාකාර කැපකිරීම් කරන ලදී. අධිෂ්ඨානශීලිව ක්‍රියාත්මක කරන ලදී. සසර ගමනේ එක අවස්ථාවක දහම් සොඬයයි රජෙකුව ඉපිද බණ පදයක් අසා ගැනීමට රටත්, රාජ්‍යයක් පරිත්‍යාග කරන්නම් කියලත් හැකි වුනේ නැහැ.

අන්තිමේ වනගත වුනා. එහි ඇති සුවිශාල පර්වතයට නැඟ වටපිට බලද්දී එදා බෝධිසත්වයින්ගේ දහම් පිපාසය මැනවින් දුටු සක්‍ර දේවේන්ද්‍රයා විශාල රාක්ෂකයෙකුගේ රූපයක් මවා බඩ, කට, දත්, ආදිය විශාල ලෙස මවාගෙන පර්වතය පාමුල පෙනී සිටියා. දෙදෙනා පිළිසඳර කථාවේ යෙදී අවසන බෝධිසත්වයෝ කියනවා” මට බණ පදයක් අහන්න ඕනෑ ඒනිසයි වනගත වුනේ කියලා. එවිට සක් දෙවිඳු හොඳයි බණ කියන්නම් ධර්ම පූජාවට මොනවද පූජා කරන්නේ ? එවිට රජතුමා ප්‍රකාශ කරනවා මගේ රටයි.

රාජ්‍යයයි දෙකම දෙන්නම් කියලා.

රාක්ෂයා කියනවා එපා ඔය පර්වතයේ ඔහොමම ඉන්න. මම බණ පද කිහිපයක් කියන්නම්, හැබැයි කියලා ඉවර වෙනකොටම ඔය පර්වතය උඩ ඉඳලා මගේ මේ විශාල කටට පනින්නට ඕනෑ. ඒ මට ආහාරය පිණිස “රජතුමා ඊට එකඟව එපරිද්දෙන්ම බණ කියා ඉවර වෙනවත් සමඟ පර්වතයෙන් පැන්නා. නමුත් සක් දෙවිඳු වහා වෙනත් වේශයෙක් මවා රජතුමා වඩාගත්තා.

එසේ ඉතා අමාරුව සොයාගත් ධර්මය භික්ෂූන් වහන්සේ විසින් හැකි උපරිම අයුරින් රැකගෙන පසුකාලිනව ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඪ කර අද වන විට විවිධ මාධ්‍ය මඟින්ද නිරතුරුව ඇති ආගමික කටයුතු අවස්ථාවන් හීද මේ කියන කොයි ක්‍රමයට වුවද ධර්මය ඇසීමට පහසුව තියෙනවා.

එසේ හෙයින් බුදුන් වහන්සේ ඉදිරිපත් කළ දුර්ලභ කරුණු සතර වූ මිනිසත් බව ලැබීම, බුද්ධෝත්පාද කාලය, ලද මිනිස්කම, මනාව පරිහරණය කිරීම, ධර්මය සොයා ගැනීමට ඇති අපහසුව මේ ආදී කරුණු පිළිබඳව සිතමු. අප සැමට එයින් සැනසීමට පත්වන්නට පුළුවන්. ඒ මේ කරුණු සතරින් වඩාත් ජයගත යුතු සුදුසු කාලයකයි ඔබ අපගේ මේ මිනිස්කම වාසනාවන්ත යුගය. එබැවින් ඉන් නිසිඵල ලබා දෙලොව සුව සලසා ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.

සැමට තෙරුවන් සරණයි

 

මැදින් අවඅටවක පෝය

මැදින් අවඅටවක පෝය මාර්තු මස 13 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 ට ලබයි. 14 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 13 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 20 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]