UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 29

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 29

බටහිරින් පංචාල රට ද, දකුණින් ගංගා නදිය ද, නැගෙනහිරින් සදානීරා හෙවත් මගණ්ඩකී නදිය ද උතුරෙන් නේපාල කඳුකර පෙදෙස ද යන මොහු කෝශල ජනපදයේ සීමාවෝ ය. දැන් ‘අවුද්’ නමින් ප්‍රසිද්ධ පළාතට පුරාණ කෝශල දේශය පිහිටි භූමියෙන් ඉතා වැඩි කොටසක් ඇතුළත් වේ. උත්තර කෝශල, දක්ෂිණ කෝශල යැයි මෙහි බෙදීම් දෙකක් විය. බුද්ධ කාලයෙන් පෙර උත්තර කෝශලයෙහි අගනුවර ශ්‍රාවස්ති පුරය විය. දක්ෂිණ කෝශලයෙහි ප්‍රධාන නුවර කුසාවතී පුරයයි. එහෙත් බුද්ධ කාලයේ දී කුසාවතී නමින් ප්‍රසිද්ධ මහා නගරයක් වූ බවක් නොපෙනේ. ශ්‍රාවස්තියම මුළු කෝශල රටේ අග්‍ර නගරයව පැවැත්තේ ය. බුද්ධ කාලයෙහි කොසොල් රට වූ මහා නගර තුන ශ්‍රාවස්ති, සාකේත, අයෝධ්‍යා යන නගරයයි. ශ්‍රාවස්ති පුරය අචිරවතී නදී තීරයේ පිහිටියේ ය. නදිචක්‍රය ඇතුළත් වූ බැවින් උතුරු දකුණු දෙසින් පිහිටා ඇත.

පසේනදී කොසෙල් රජුගේ වාසය වූයේ මෙහිය. බුද්ධ කාලයේ මෙය අනාථ පිණ්ඩික, විශාඛා ආදී උපාසක උපාසිකාවන්ගෙන් ද විශේෂයෙන් බැබළී ගියේ ය. නගරය ජනයාගේ ආකිර්ණතා හේතුයෙන් නිතරම පාහේ ඝෝෂ සහිතව පැවැත්තේ ය. රෑ ප්‍රථම යාමය දක්වා මුළු කාලයම පවා රථ වාහන ගමනයෙන් ද ගනුදෙනු පිණිස යනෙන ජනයාගේ කථා ශබ්දයෙන් ඝුෂ්ට වීය. අචිරවතී නදියේ එගොඩ ද දකුණු දිග ජේතවනාරාමය විය. සමීපයෙහි පසේනදී කොසොල් රජු කරවූ රාජිකාරාම විහාරය ද විය. සැවැතට නැගෙනහිරින් නුවර සමීපයේ පූර්වාරාමය විය. මෙය විශාඛාව විසින් නිර්මාණය කරන ලදී.

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින සමයේ පූර්ණ කාශ්‍යපාදීන්ගේ ධර්මය පැවැත්තේ ය. ඉනුත් වැඩි වශයෙන් දියුණුව පැවැත්තේ මක්ඛලි ගෝශාල නම් ආජීවක නායකයාගේ සමය යි. අචිරවතී නදිය සමීපයේ වූ පූර්වාරාමයේ දී ජානුස්සෝනී පිංගල කොච්ඡ සුන්දරික භාරද්වාඡ අස්සලායන ඒසුකාරි සුබ සංගාරව ආදී ප්‍රභූ බ්‍රාහ්මණ පිරිස බුද්ධ උපස්ථාකයන් බවට පත් විය.

සැවැත්නුවර ඓතිහාසික වැදගත්කම

සැවැත්නුවර “සහේත්” සහ “මහේත්” යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. සහේත් යනුවෙන් හැඳින්වෙන්නේ ජේතවනාරාම පූජා භූමිය ආශි‍්‍රත ප්‍රදේශයයි. එම පූජා භූමිය අද ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂිත වූ සමස්ත ලෝකවාසී බැතිමතුන්ගේ පහන් සංවේගය උපදවන දර්ශනීය උයනකි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටිය, කෝසම්බි කුටිය, රාජකාරාමය, ආනන්ද බෝධිය, දම් සභා මණ්ඩප ඇතුළු පුරා වස්තූන් විශාල සංඛ්‍යාවක් මෙම ජේතවනාරාමය පුද බිම තුළ ඇත. මහේත් යනුවෙන් හැඳින්වෙන්නේ එවකට කෝසල දේශයේ නාගරික කොටසය. අනාථ පිණ්ඩික සිටු මාලිගාව සහ අංගුලිමාල ස්ථූප මෙම කොටසෙහි පිහිටා ඇත. මෙම ස්ථූප හඳුන්වනු ලබන්නේ කච්චිකුටි සහ පක්කිකුටි යනුවෙනි. බුද්ධ පරිනිර්වාණයෙන් සැලකිය යුතු කාලයක් සැවැත්නුවර ප්‍රධාන බෞද්ධ ස්ථානයක් ලෙස තිබී ඇත.

පටාචාරාවට ශෝකය ගෙන දුන්නද, මුළු මහත් කෝසලයම සරුසාරවත් කරමින් කෙත්වතු සරු කරමින් කොසොල් රටට සිසිලස බෙදමින් නිසෝල්මනේ ගලා බසින අචිරවතී ගංගාව අදටත් දක්නට ඇත. මේ ගංගාව අද හැඳින්වෙන්නේ රප්ති (අචනබඪ) නමිනි. පටාචාරාවට තම දරු දෙදෙනා අහිමි වූයේ මෙම අචිරවතී ගංගාව අසලදීය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී අනාථපිණ්ඩික, විශාඛා ආදී උපාසක උපාසිකාවන්ගෙන් විශේෂයෙන් බැබළී ගිය සැවැත්නුවර සශ්‍රීකව පැවතියකි. අචිරවතී නදියෙන් එගොඩ දකුණු දිගින් ජේතවනාරාමය විය. ඒ සමීපයෙහිම පසේනදී කොසොල් රජු කරවූ රාජකරාම විහාරයද විය. සැවැතට නැගෙනහිරෙන් නුවර සමීපයේ පූර්වාරාමය පැවතිණි. සැවැත්නුවර සිට කපිලවස්තු පුරයට දුර යොදුන් 15 කි.

සූත්‍ර 871 දේශනා කරන ලද්දේ මේ සැවැත්නුවර ජේතවනාරාමය පින් බිමේදීය. මන්ද බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ වසර 45 ක වස් කාලවලින් වැඩිම කාලයක් වූ වසර 19 ක කාලයක් සැවැත්නුවර ජේතවනාරාමයෙහි හා වසර 06 ක් පූර්වාරාමයෙහි වැඩ වාසය කරන ලදී.


අචිරවතී නදිය

ක්‍රි.ව. පස්වන සියවසේ දී දේශාටක පාහියන් භික්ෂුව වැඩමවන විට ජේතවනාරාමය ආරක්ෂිතව පැවති බවත් නගරය පමණක් අඩු ජනගහණයකින් යුතුව පැවති බවත් වාර්තා වේ.

ක්‍රි.ව. හත්වන සියවසේ චීන දේශාටක යුවාන්ච්චාංග් පැමිණෙන විට ජේතවනාරාමය නටබුන්ව ජනශූන්‍යයව පැවතී ඇත. එහෙත් පසුකාලීනව ප්‍රාදේශීය පාලකවරුන්ගේ අතින් යම් යම් ප්‍රතිසංස්කරණ සිදු වී ඇති අතර, ඉන් අනතුරුව ඇති වූ ආක්‍රමණ හේතුකොට ගෙන ශ්‍රාවස්තිය වනගත ප්‍රදේශයක් බවට පත්ව ඇත. ක්‍රි.ව. 1863 දී පාහියන් සහ යුවාන්ච්චාංග් දේශාටන වාර්තා අනුසාරයෙන් ඇලෙක්සැන්ඩර් කණිංහැම් සැවැත්නුවර හඳුනාගෙන ඇත. ඉන්පසුව දිගටම කැණීම් කටයුතු සිදුවෙමින් පවතින අතර, ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැවැත්නුවර පුරාවස්තු සංරක්ෂණය කිරීම සඳහා සැලකිය යුතු මෙහෙවරක් ඉටු කර ඇත.

වර්තමානයේ සැවැත්නුවර යනුවෙන් හඳුන්වන මේ නගරය අද වන විට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට අයත් වන අතර ප්‍රාන්තයේ අගනුවර ලක්නව් වේ. සැවැත්නුවරට හෙවත් ශ්‍රාවස්තියට ළඟින්ම පිහිටා ඇති නගරය වන්නේ බාල්රාම්පූර්ය. ශ්‍රාවස්තියේ සිට දුර කි.මී. 17 කි.

තවත් කොටසක් මැදින් අමාවක පොහෝදා මාර්තු 20 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 28

 

මැදින් අවඅටවක පෝය

මැදින් අවඅටවක පෝය මාර්තු මස 13 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 ට ලබයි. 14 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 13 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 20 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]