UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලය මාර්තු 11 වනදා බලපිටිය වැලිතර මහා කප්පින සීමාමාලක විහාරයේදී ඇරඹේ

ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලය මාර්තු 11 වනදා බලපිටිය වැලිතර මහා කප්පින සීමාමාලක විහාරයේදී ඇරඹේ

ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලය

ඥානයෙන් මෙන්ම ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ ත්‍රිපිටක හා ප්‍රාචීන පණ්ඩිතෝපධාරි භික්ෂු සමූහයක් ශාසනය වෙනුවෙන් සකස් කර ගැනීම සඳහා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයක ඇති අවශ්‍යතාව හඳුන්වාදීම වසර 2600 කට පමණ පෙර බරණැස ඉසිපතන මිගදායේ දී එළිමහන් පන්ති කාමරයක ශිෂ්‍යයින් පස් දෙනෙකුගෙන් ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ඇරඹී භික්ෂු අධ්‍යාපනය අද්‍යතනය වන විට ලෞකික අරමුණුවලින් හෙබි විෂය නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට ගොස් මූලික පරමාර්ථයෙන් ගිලිහී ඇති බව සක්සුදක් සේ පැහැදිලිය. භික්ෂූ අධ්‍යාපනයේ මූලික පරමාර්ථය විය යුත්තේ පරියත්ති, පටිපත්ති හා පටිවේද යන ත්‍රිවිධ ශාසනය ගැන පරිපූර්ණ දැනුමක් හා අවබෝධයක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ලබා දීමය. එසේම ශාසනානුලෝමික වත්පිළිවෙත් පුුරුදුපුහුණු කිරීමය.

අද ක්‍රියාත්මක වන පිරිවෙන්හි පවතින ඇතැම් දුර්වලතා හේතුවෙන් එහි අධ්‍යාපන රටාව භික්ෂූ විනයට හා සංඝ සෝභනයන්ට බාධා පමුණුවයි . විශේෂයෙන් ම මූලික පිරිවෙන් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනය සඳහා යොමු වන ශිෂ්‍ය භික්ෂූනට එහිදී ලැබෙනුයේ විභාගවලින් උත්තීර්ණවීමට පමණක් සීමාවුණු අධ්‍යාපනයක් පමණි. එම ආයතනවල දී විෂය තෝරා ගැනීමේදි බොහෝදුරට සිදුවන්නේ දේශපාලන, ආර්ථික ආදි විද්‍යා විෂයන් කෙරෙහි ශිෂ්‍ය භික්ෂූන් උනන්දු කිරීමයි.අනතුරුව ගිහි සිසුන් සමඟ උරෙනුර ගැටෙමින් උපකාරක පන්තිවලට යාමට ශිෂ්‍ය භික්ෂුව පෙළඹේ”. මෙය නගරබදව ද සුලභව දැකිය හැකි තත්ත්වයකි.

මේ නිසා මූලික පිරිවෙන් අවසාන විභාගයෙන් පසුව භික්ෂූ ජීවිතයට අදාළ සම්ප්‍රදායික අධ්‍යාපනය හා ඒ පිළිබඳ පරිචයක් ශිෂ්‍ය භික්ෂුවට ඉහත කී ආයතනයන්හි දී නො ලැබේ. මූලිකව සිදුවන මෙම අඩුපාඩුවෙන් සමස්ත භික්ෂු ජීවිතයම ගැටීම්වලට හා අනපේක්ෂිත ව්‍යසනයන්ට ගොදුරු වී ඇත. ඉන් අනතුරුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යොමුවන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ තත්ත්වය මීටත් වඩා ඛේදනීය වේ. විශ්වවිද්‍යාලයන්හි පවතින පාඨමාලාවන්ට අනුකූල පරිදි පමණක් අධ්‍යයන කටයුතු සිදුකිරීම තුළින් අද ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තුළ ධර්ම ඥානය පිළිබඳ ඌණතාවක් පවතී. එසේම අතිරේක පොතපත පරිශීලනය නො කිරීම නිසා සම්ප්‍රදායික අධ්‍යාපනයෙන් ලැබුණූ දැනුම් සම්භාරය නො ලැබී යයි. එපමණක්ද නොව ත්‍රිපිටකය, අටුවා ටීකා ආදි ධර්ම ග්‍රන්ථ හා පාලි සංස්කෘත ආදි ප්‍රාචීන භාෂා අධ්‍යයනයට තරුණ ශිෂ්‍ය භික්ෂුව උකටලී වෙයි. බහුශ්‍රැත පාණ්ඩිත්‍යයෙන් තොර භික්ෂූත්වය ගරුභාවයට පත් නොවේ. වර්තමානයේ භික්ෂුව ශ්‍රමණ සාරුප්‍යයට නුසුදුසු දේ කරමින් මෙතරම් පරිහානියට පත්ව ඇත්තේ වෙන කිසිවක් නිසා නොව ඉහත කී අධ්‍යාපනයේ පවතින බරපතළ අඩුපාඩු නිසාවෙනි. මේ නිසා මූලික පිරිවෙන් අවසානයෙන් පසුව භික්ෂු අධ්‍යාපනයේ ඇති එම බරපතළ හිඩැස (අඩුපාඩුව) මගහැර ත්‍රිපිටක ධර්මය, ප්‍රාචීන භාෂා හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් (වත්පිළිවෙත් , භාවනා ආදිය) අධ්‍යයනය කිරිමට තරුණ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා යොමු කිරීම මෙම ආයතනයේ අපේක්ෂාවයි. අවුරුදු 03 ක පුර්ණ කාලීන නේවාසික පාඨමාලාවක් මෙහිදී ක්‍රියාත්මක කරනු ලබන අතර,එම කාලය තුළදී ශී‍්‍ර ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වනු ලබන ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම,අවසාන විභාගත්‍රයට ශිෂ්‍ය භික්ෂූන් යොමු කොට ‘රාජකීය පණ්ඩිත” උපාධිධාරි ඥානය මෙන්ම ගුණයෙන්ද පරිපූර්ණ භික්ෂුවක් බිහිකිරීමට මෙම ආයතනය මගින් හැකිවේ. එයට අමතරව පළමු වර්ෂයේදී විනය පිටකයත්, දෙවන වර්ෂයේදී සූත්‍රපිටකයත්. තෙවන වර්ෂයේදී අභිධර්මපිටකයත් උගන්වා එම විභාග තුනෙන් සාමාන්‍ය /සම්මාන /ගෞරව සාමාර්ථ සහිතව සමත්වනු ලබන අපේක්ෂකයන්ට ‘ත්‍රිපිටකාචාර්ය’ ගෞරව උපාධිය පිරිනමනු ලැබේ’.

තවද එම විභාග තුනෙන් ගෞරව සාමාර්ථ ලබන අපේක්ෂකයන්ට අධ්‍යාපන මණ්ඩලය විසින් සම්මත කරනු ලබන මාතෘකාවක් අනුව වචන 10,000 කට නොඅඩු ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක් සම්පාදනය කොට ඉදිරිපත් කිරීමෙන්, එය ප්‍රාමාන්‍ය වශයෙන් අධ්‍යාපන මණ්ඩලය පිළිගනු ලැබුවහොත්, ප්‍රවචන විශාරද ගෞරව උපාධිය ලබා ගැනීමට හැකියාව ඇත. මෙම වර්ෂ තුන තුළදී ධර්මදේශනා සියයක් පුරුදු පුහුණු කරනු ලබන අතර, එය ඇගයීමට ලක්කොට විචිත්‍රවත් ධර්ම කථිකත්වයක් ඇති අයට ‘සද්ධර්ම කථිශ්වර” ගෞරව නාමය පිරිනමනු ලැබේ’. එය නිර්මල ථෙරවාදය හා නෛර්යානික ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කර ගැනීම මහෝපකාරි වනු ඇත.


ප්‍රාචීන අධ්‍යාපනය මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනය

බලපිටිය, වැලිතර මහා කප්පින සීමාමාලක විහාරය කේන්ද්‍ර කරගෙන ආරම්භ කරනු ලබන “ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂූ විද්‍යාලය’ යුගයේ අවශ්‍යතාවයකි. භික්ෂූ අධ්‍යාපනය නංවාලීමට විවිධ ආයතන තිබුණත් භික්ෂූ අධ්‍යාපනයේ මූලික අරමුණූ ඉටු කර ගැනීමට නොහැකි වී ඇත. එයට විසඳුමක් ලෙස ප්‍රාචීන අධ්‍යාපනය මෙන්මඅධ්‍යාත්මික සංවර්ධනය සැබෑ ලෙසම මූර්තිමත් කිරීමට මෙම විද්‍යාලයට හැකිවනු ඇතැයි විශ්වාස කරමි.

විධිමත්, ලෙස සකස් කළ පරිපාලන සැකැස්මක් යටතේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් හා ප්‍රාමාණික විද්වතුන්ගේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම මත ආයතන පරිපාලන ව්‍යුහය සකස් විඇත. බෞද්ධ ප්‍රාචීන භාෂා, නුතන භාෂා හා ආධ්‍යාත්මික සංවර්ධන යනුවෙන් අධ්‍යයනාංශ හතරක් යටතේ ඉගැන්විම් ක්‍රම වේදය සකස් වී ඇත. සතියට දින හයක් දේශන පන්ති හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුලත් අභ්‍යාස එම අධ්‍යයනාංශ හතර මගින් ක්‍රියාත්මක කරනු ලබයි. සෙනසුරාදා පවත්වනු ලබන ත්‍රිපිටක අධ්‍යයන පාඨාමාලාව සඳහා බාහිර අපේක්ෂකයන් වශයෙන් ඕනෑම අයෙකුට සහභාගි විය හැකි පරිදි සැලසුම් කොටඇත.ශාසනමාමකත්වයෙන් ආරම්භ කරනු ලබන මෙම ප්‍රාචීන භික්ෂූ විද්‍යාලයට හැකි උපරිම ශක්තිය හා අනුග්‍රහය ලබා දීම ගිහි පැවිදි සැමගේ වගකීමක්, යුතුකමක් බව මාගේ විශ්වාසයයි.


ථේරවාදී බුදු දහම ව්‍යාප්ත කිරීම

අද්‍යතන භික්ෂු සමාජය අතර ප්‍රාතිමෝක්ෂය නමින් ගැනෙන විනය ශික්ෂා භික්ෂූන් වහන්සේලා තුළින් ආරක්ෂා වන තුරු ශාසනයේ චිර පැවැත්ම සිදු වන බව ‘විනයෝ නාම සාසනස්ස ආයු’ යන බුදු වදන සනාථ කරයි. භික්ෂූන් වහන්සේලා වෙතින් විනය හෙවත් උපසම්පදා සීලය රැකෙන තාක්කල් ශාසනයේ පැවැත්ම ස්ථීර බවත්, විනය පිරිහිනු විට ශාසනයේ පැවැත්ම අස්ථිර බවත් ඉන් පැහැදිලි වේ.

විනය ආරක්ෂා කරමින් ශාසනයේ චිර පැවැත්ම අපේක්ෂා කරන ප්‍රතිපත්තිකාමී භික්ෂූන් වහන්සේලාගේ සංවර්ධනය උදෙසා ආරම්භ කරන ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයෙන් නව සමාජ විපර්යාස හමුවේ නොසැලෙන පරිණත දර්ශනයක් සහිත පාණ්ඩිත්‍යයෙන් මෙන්ම ශ්‍රද්ධාවෙන්

යුත් භික්ෂූන් වහන්සේලා ශාසනයට දායාද වනු නිසැකය. ශ්‍රමණ සාරුප්‍යයට නුසුදුසු සේ සිදු වෙමින් නිකැළැල් භික්ෂුත්වය පරිහානිය කරා යොමුවන පසුබිමක් නිර්මාණය වී ඇති වර්තමානයේ තරුණ භික්ෂුවට මූලික පිරිවෙන් අධ්‍යාපනයෙන් පසුව ත්‍රිපිටක ධර්මය හා වත්පිළිවෙත්,භාවනා ආදිය අධ්‍යයනය කිරීමට ඇවැසි උසස් අධ්‍යාපනයට යොමු වීමට මෙම නව භික්ෂු විද්‍යාලය මහෝපකාරි වනු ඇත.

දේශීය මෙන්ම විදේශීයව ථෙරවාදි බුදු දහම ව්‍යාප්ත කිරීමට භික්ෂුන් වහන්සේලා පුරුදු පුහුණු කිරීමෙහිලා මෙවන් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට පුරෝගාමි වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට ජාතියේ ප්‍රණාමය පුද විය යුතුය.

“චිර තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං”


විද්‍යාලයේ පරමාර්ථය

ධර්මධර, විනයධර, බහුශ්‍රැත සංඝ සෝභනයන්ගෙන් හෙබි, නව දැනුම හමුවේ නො සැලෙන පරිණත දර්ශනයක් සහිත පාණ්ඩිත්‍ය මෙන්ම ශ්‍රද්ධාවෙන් යුත් භික්ෂුවක් තැනීම

විද්‍යාලයේ අරමුණු

1.ලෞකික අරමුණූ මුලික කර ගත් විෂය නිර්දේශයන් සහිත අධ්‍යාපන ක්‍රියාවලියෙන් භික්ෂුව මුදා ගැනීම

2.ත්‍රිපිටකය තදානුගත අටුවා, ටීකා, ප්‍රකරණ ග්‍රන්ථයන් ප්‍රාමාණික ලෙස උගන්වා භික්ෂුව ගේ ධර්ම ඥානය වර්ධනය කිරීම 3. සිංහල, පාලි, සංස්කෘත ආදි ප්‍රාචීන භාෂා ප්‍රාමාණික වශයෙන් අධ්‍යයනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම 4.නූතන භාෂා සමග නව තාක්ෂණික දැනුම අවශ්‍ය පරිදි ප්‍රායෝගිකව භාවිතා කිරිමට පුරුදු පුහුණූ කිරිම 5.ශාසනික චාරිත්‍ර විධි හා භාවනා, වත් පිළිවෙත් පූරණය, පිරිත්.ධර්මදේශනා ආදි ප්‍රායෝගික ක්‍රියාකාරකම් අභ්‍යාස කිරීම

6.දේශීය මෙන්ම විදේශීයවද ථේරවාදී බුදුදහම ව්‍යාප්ත කිරිම සඳහා භික්ෂූන් වහන්සේලා පුරුදු පුහුණු කිරීම,

 

මැදින් අවඅටවක පෝය

මැදින් අවඅටවක පෝය මාර්තු මස 13 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 ට ලබයි. 14 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 13 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 20 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]