UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහා නා හිමි

85 ජන්ම දින සමරුව නිමිත්තෙනි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දර අග්ගමහාපණ්ඩිත

උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහා නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹර ඒකාලෝක කරනු ලබන ආදර්ශවත් සංඝ පීතෲන් වහන්සේ නමකි.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් දඹදෙණි හතපත්තුවේ රැකව කෝරළයේ පිහිටි සුන්දර ගම්මානයකි උඩුගම. උඩුගම විසූ ජයසුන්දර මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර නිලමේතුමා සහ ජයසුන්දර මුදියන්සේලාගේ මුතුමැණිකේ දම්පතීන්ට දාව මෙලොව එළිය දුටු පින්වත් පුත් රුවනක් විය. මෙයට අසූපස් වසරකට පෙර එනම් 1930 මාර්තු 17 වනදා උපන් එම පින්වත් පුත්් රුවන ජයසුන්දර මුදියන්සේලාගේ අමරසිංහ නම් විය.

බහ තෝරන විය ගෙවීයත්ම එම කුමරා වෙත උඩුගම පන්සලේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් ස්වකීය මවුපිය දෙපළ විසින් අකුරු කරවූහ. 1934 මැයි මස 14 වනදා අරැඹුණු උඩුගම පාසලට ඇතුළත් වූ අතර දිනපතා එම කුමරුවා තම දයාබර මෑණියන් සමඟ පාසලට යාමට සහ ඒමට මහත් කැමැත්තක් දැක් වූ හෙයින්ම මෑණියන් එම කාර්යය මැනවින් ඉටු කළාය. එසේ පාසල් යන අතරතුර මාස කීපයකට පසුව දයාබර මෑණියන් පරලොව සැපත් වූවාය. උඩුගම පාසලේ අටවන පන්තිය දක්වා අධ්‍යාපනය ලැබූ එම කුමරුවා 1945 ජුනි මාසයේදී උඩුගම රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් සසුන් දායාදය ලබන ලද්දේ උඩුගම බුද්ධරක්ඛිත පැවිදි නාමයෙනි.

පැවිදි දිවියට පෙර මෙන්ම ඉන් පසුවද මූලික බණ දහම් මෙන්ම වත් පිළිවෙත්ද හදාරා පිරිවෙන් අධ්‍යාපනය හැදැරීම සඳහා මාතලේ ධර්මරාජ පරිවේණාධිපති මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරන්දරව වැඩ විසූ පණ්ඩිත ගම්මුල්ලේ ශ්‍රී චන්දජෝති නාහිමියන් වෙත භාර දෙන ලදී. එහිදී පණ්ඩිත පරණගම සුමනජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ පණ්ඩිත මේල්පිටියේ් සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙතින් උන්වහන්සේ අධ්‍යාපනය ලැබූහ.

පිරිවෙන් අධ්‍යාපනය ලබන අවධිය තුළදී විවිධ ත්‍යාග හා සහතිකද හිමිකරගත් අතර 1949 දී මහාමාත්‍ය ඩී.ඇස්. සේනානායක අගමැතිතුමා අතින් පිරිවෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයකදී ත්‍යාග ලබා ගන්නා ලදී.

එසේ අධ්‍යාපනය ලබන අතරතුරදී ලියන්ගස්තැන්න විහාරස්ථානයේ වැඩ සිටි උඩුගම ගුණරතන ලොකු හාමුදුරුවන් වහන්සේ හදිසියේ ඔත්පලවීමෙන් උන්වහන්සේට ඇප උපස්ථාන කිරීම සඳහා ලියන්ගස්තැන්න විහාරස්ථානයට වැඩම කිරීමට සිදු වූයේය. 1951 වසරේදී උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු එම විහාරස්ථානයේ කටයුතු සිදු කරමින් එහි සියලු වගකීම් දරමින් වැඩ සිටීමට සිදුවිය.

උඩුගම බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අස්ගිරි මහා විහාරයීය උපෝසථාගාරයේදී එවකට අස්ගිරි මහා විහාරයේ මහානායක පදවිය හොබවන ලද අතිපූජ්‍ය යටවත්තේ ධම්මරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ ගොඩමුන්නේ ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ හාල්යාලේ් සුමනතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ කර්ම වාගාචාර්යන් වහන්සේලා වශයෙන් “වාගලනාග” නාමයෙන් උපසම්පදාව ලැබූහ.උඩුගම බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලියන්ගහතැන්න විහරස්ථානයේ හා කුරුණෑගල හිරියාලපත්තුවේ මැල්සිරිපුර තලංගමුව විහාරය සහ පාතදුම්බර අනුරාගල විහාරස්ථානයේ අභිවෘද්ධිය පතා වරින්වර කටයුතු කර ඇත.උඩුගම ශ්‍රී රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධුරයට පත්වීමත් සමඟ 1955 දී අස්ගිරි විහාරයට වැඩම කළ උඩුගම බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය ගුරු දේවයන් වහන්සේ අපවත් වන තෙක්ම අස්ගිරි විහාරයේ වැඩ වාසය කළහ.

උඩුගම ශ්‍රී රතනපාල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ ලෙස වැඩ සිටි කාලයේදී උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ ලෙස 1969 සිිට පළමුවරට ශ්‍රීමත් දළදා වහන්සේගේ තේවා කටයුතු සඳහා සම්බන්ධවීමට උඩුගම බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේට භාග්‍යය උදාවිය.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ 1957 දී කර්මවාගාචාර්ය පදවියකට පත් වූ උඩුගම බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අස්ගිරි මහා විහාරයීය විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවට 1966 දී පත් වූ අතර 1992 දී රන්ගිරි දඹුලු රජමහා විහාරයේ නායක පදවියටද යටවර සංඝරක්ඛිත අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව 1998 දී අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහාද උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත්වූහ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ පාලිපාන ශ්‍රී චන්දානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපත්වීමෙන් පසු 1999 දෙසැම්බර් 13 වනදා උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක පදවියෙන් පිදුම් ලැබූහ. අස්ගිරි මහා විහාරපාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා තුන් නමක් යටතේ 1969 සිට වරින්වර උඩුගම ශ්‍රී රතනපාල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩ විසූ යුගයේ සිට සහ 1970 සිට ගොඩමුන්නේ ශ්‍රී නාගසේන ධම්මානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩ සිටි යුගයේදී ද (1975 දක්වා) 1975 සිට පලිපාන ශ්‍රී චන්දානන්ද මහානායක සවාමීන්ද්‍රයන් වහන්සේ මහානායක ධුරයෙහි වැඩසිටි කාලයෙහි සිට (1995 දක්වා) උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රීමත් දළදා වහන්සේගේ තේවා කටයුතුවල නිරතවීමට ලැබීම මහත් පුණ්‍ය මහිමයකි. මෙසේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා තුන් නමක් යටතේ මෙන්ම ඉන් අනතුරුවද පුරා වසර හතළිහක පමණ කාලයක් ශ්‍රීමත් දන්තධාතුන් වහන්සේ වෙත ගෞරවෝපහාර දැක්වීමට ලැබීම පිළිබඳවත් වරින්වර තේවා කටයුතු මෙන්ම තේවාව භාරවත් කටයුතු කිරීම පිළිබඳත් උඩුගම සද්ධර්ම කිර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එය අප්‍රමාණ පුණ්‍ය මහිමයක් සිදු කර ගැනීමට උදා වූ වාසනාවක් බව නිරතුරුව කල්පනා කරති. එමෙන්ම ශ්‍රී දළදා මාලිගාවේ සංවර්ධන කටයුතු වලදීද අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් බොහෝ ආධාර උපකාර කළ බව සිහිපත් කරමින්ද මහත් සැනසීමක් ලබති.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක ධුරන්දරව වැඩ විසූ පලිපාන ශී‍්‍ර චන්දානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව අස්ගිරි මහා විහාරයීය පොහොය ගෙයි වහලය සංවර්ධනය කිරීමට කටයුතු යෙදූ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන් වහන්සේ විශේෂයෙන් උපසම්පදා වාරයේදී දුර බැහැර සිට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව සඳහාද අස්ගිරි මහා විහාරයට විශාල අඩුවක්ව පැවැති විශ්‍රාම ශාලාවක්ද මහල් පහකින් යුක්තව ඉදිකරවීමට ඇපකැප වී ක්‍රියා කළහ.

අතිපූජ්‍ය උඩුගම සද්ධර්මකිර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් උන්වහන්සේගේ ශක්ති පමණින් අස්ගිරි මහා විහාරයට මෙන්ම අස්ගිරි මහා විහාර පාර්ශ්වයටත්, පොදුවේ සසුනටත්, රටටත්, ලොවටත් සිදුකළ සේවය පිළිබඳ නිරතුරුව සතුටට පත්වෙති.විදේශීය රටවලින් ලද ආරාධනාවලට අනුව ආගමික කටයුතු සඳහා පමණක් ගමන්වාර සියයකට අධිකව වැඩම කර ඇති අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දඹදිව බුද්ධගයාවට ගමන්වාර තිස් ගණනක් වැඩම කර තිබේ.උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිකායත්‍රයේ අතිපූජ්‍ය මහානායක මාහිපාණන් වහන්සේලා සමඟද ඉතා සුහදශීලිව මෙන්ම පි‍්‍රයශීලිව කටයුතු කරමින් සම්බුදු සසුනේත්, බෞද්ධ අබෞද්ධ ජනතාවගේත්, රටේත් අභිවෘද්ධිය සඳහා ක්‍රියාකරන මහා යතින්ද්‍රයන් වහන්සේ නමකි.මෙම මස 17 වනදා අසුපස්වන ජන්ම දිනය යෙදී ඇති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දර අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් බලයෙන් නිදුක් නිරෝගී සුවය හා ශතවර්ෂාධික කාලයක් ලෝ සසුන් වැඩ වඩන්නට නිරතුරුවම ශක්තිය ධෛර්යය ලැබේවායි පතමු.

 

මැදින් අවඅටවක පෝය

මැදින් අවඅටවක පෝය මාර්තු මස 13 වැනිදා සිකුරාදා පූර්වභාග 11.29 ට ලබයි. 14 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 13 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 20 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]