UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අත්තූපනායික ධර්ම පර්යාය

අත්තූපනායික ධර්ම පර්යාය

තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන කෝසල ජනපදයේ චාරිකාවේ වඩින අතර එම දනව්වට අයත් වෙළුද්වාර නමැති බමුණු ගමට සැපත්ව එහි තාවකාලිකව නවාතැන් ගත්හ. ඒ බව දැනගත් එම දනව් වැසියෝ බුදුරදුන් වෙත ගොස් ආචාර සමාචාර කොට එකත්පසෙක හිඳ මෙවන් අදහසක් ඉදිරිපත් කළහ.

මයං ඛො භො ගොතම එවං කාමා එවංඡන්ද්‍රා එවං අභිප්පායා..... ආදී වශයෙන් භාග්‍යවත් ගෞතමයන් වහන්ස, අපි අඹුදරුවන් පෝෂණය කරමින් ගිහි ජීවිතය ගත කරන අය වෙමු. මල් ගඳ විලවුන් පාවිච්චි කරන, අගනා කසීසළු පරිහරණය කරන අපි මරණින් මතු දෙව්ලොව යාමට කැමැත්තෝ වෙමු. එවන් අපට ගැළපෙන බණක් දෙසන ලෙස ආරාධනා කළහ. එවිට බුදුරජාණන් වහන්සේ “අත්තූපනායිකං වො ගහපතයෝ ධම්ම පරියායං දෙසීස්සාමි, තං සුනාථ සාධුකං මනසි කරෝථ භාසීස්සාමි” වශයෙන් වදාළ වෙළුද්වාර සූත්‍රයේ වචන කීපයකි. එයින් පැවසෙන්නේ ගැහැචියෙනි මම ඔබලාට අත්තූපනායික ධර්ම පර්යාය දේශනා කරමි. එය හොඳින් ශ්‍රවණය කරන්න. සිතේ දරා ගන්න. නැවත නැවත මෙනෙහි කරන්නැයි අවවාද කොට වෙළුද්වාර සූත්‍රාන්ත ධර්මය වදාළ සේක.

මෙහිදී පළමු කොටම මේ අත්තූපනායික ධර්ම පර්යාය යන වචනවල තේරුම දැනගත යුතුය. පළමු කොට තමන් ගැන සිතා ඒ අනුව අනුන් ගැන සිතන ක්‍රමයක් මෙයින් අදහස් කෙරේ. මේ ක්‍රමය අවශ්‍ය වන්නේ වරදින් මිදීමටය. කය වචන දෙකෙන් කරන කියන හැම ක්‍රියාවක්ම තමන් වෙත ආරෝපණය කර විනිශ්චය කිරීම මෙයින් අදහස් කෙරේ.

ලොව ජීවත්වෙන සෑම සත්ත්වයෙක්ම සැපයට කැමැතියි. දුකට අකැමැතියි. ජීවත් වීමට කැමැතියි. මරණයට බයයි. එසේ නම් අප මෙසේ සිතිය යුතුයි. මා ජීවත් වීමට කැමැතියි. සැපවිඳීමට කැමැතියි. මරණයට අකැමැතියි. මා දුක පිළිකෙව් කරනවා

. සද් ගුණවත් සීලාචාර මිනිස්සු තමන් අකැමැති දේ තමා මෙන් ජීවත් වෙන වෙනත් කෙනෙකුට අත්පත් කිරීම අසාධාරණයක් බව සලකා සත්ව හිංසාවෙන් සත්ව ඝාතනයෙන් වළකිති. සෙසු අයත් එයින් වළක්වා ගනිති. සත්ව ඝාතනයෙන් වැළකීමේ අනුසස් පෙන්වා දෙති. එවිට ඒ ඇත්තන්ගේ කාය සමාචාරය තුන් ආකාරයකින් පිරිසුදු වේ. මෙසේ කරුණු හතක් ගැන පිළිපැදීමෙන් ත්‍රිකෝටික පාරිශුද්ධියක් ඇති කර ගන්නා ආකාරය මෙම වෙළුද්වාර සූත්‍රයේ විස්තර වේ.

දෙවෙනි කරුණ අදත්තාදානයයි. නුදුන් දේ ගැනීමයි. නියම බෞද්ධයා මට අයත් සුළු දෙයක් හෝ අන්‍යයෙකු සොකරම් කරනවාට බලෙන් ගන්නවාට මා කැමැති නැත. යමෙක් එසේ කළොත් මට දුකක් වේදනාවක් ඇති වේ. එමෙන්ම සෙසු අයත් ඔවුන් සතු දේ පැහැර ගන්නවාට කැමැති නැත. මා අපි‍්‍රය අමනාප දේ අනුන්ටත් අපි‍්‍රය වේ

. එහෙයින් මා අපි‍්‍රය දෑ මා මෙන් ජීවත් වෙන අන්‍යයෙකුට අත්පත් කිරීම නුසුදුසු යැයි සලකා එයින් වැළකී. අන්‍යයන්ද එයින් වළක්වා ගනියි. සොරකමෙන් වැළකීමේ අනුසස් අන්‍යයන්ට ද පහදා දෙයි. ඒ තුළින් කාය සමාචාරය තුන්විදියකින් පිරිසුදු වේ.

ස්වකීය ස්වාමියා, බිරිඳ පරපුරුෂයන් පරස්ත්‍රීන් සමඟ හැසිරෙනවාට තමන් කොහෙත්ම කැමැති නැත. සෙස්සන් ද එසේ ය. එසේ කිරීම ලෝක සභ්‍යත්වයටත් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයටත් උසුලු විසුලු කිරීමකි. ලෝක නීති ධර්ම නීති උල්ලංඝනය කිරීමකි. සිය බිරිඳ අන්‍යයෙකු සමඟ හැසිරීම තමන්ට මෙන්ම අනුන්ට ද අපි‍්‍රය කරුණකි. එසේ නම් මිනිස්කම රකින කෙනෙක් පරස්ත්‍රීන් පරපුරුෂයන් සමඟ හැසිරෙන්නේ කෙසේද? එලෙසින් සලකා සීලාචාර උදවිය වැරැදි කාම සේවනයෙන් වළකිති. දන්නා හඳුනන අයද එයින් වළක්වා ගනිති. ඒ හේතුවෙන් ඇතිවෙන භයානක ප්‍රතිඵල විස්තර කරමින් කරුණු වටහා දෙයි. එවිට ඔහුගේ කාම සමාචාරය තුන්විදියකට පිරිසුදු වේ.

බොරුවෙන් තමන් රැවටීම, දියුණුවට බාධා කිරීම, බොරු සාක්කි කියා අලාභ හානි කිරීම, චරිත ඝාතනය කෙරෙන කටකතා පැතිරවීම ආදියට තමන් මෙන්ම අන්‍යයෝද අකැමැති වෙතැයි සලකා බොරුකීමෙන් වැළකීම, දූ දරු හිතමිත්‍රාදීන් එයින් මුදා ගැනීම හා එහි අනුසස් පැවසීමෙන් වාග් සමාචාරය පිරිසුදු කර ගනී. කවුරු හෝ කේලාම් කියා අප හිතවතුන් ප්‍රධානීන් වැඩිහිටියන් බිඳවීම අපට රුචි නොවෙයි. අප හදවත් රිදවන රළු පරුෂ වචන කවුරු කීවත් ඒවා ඇසීමට අපි අකැමැති වෙමු. අඹු දරුවන් සිය නිවසේ සතුටින් කාලය ගත කරන අවස්ථාවක අසල්වැසියෙක් බීමත්ව අසභ්‍ය පහත් කැත වචන හඬ නඟා කියන ශබ්දය අපට මොනතරම් අමිහිරිද? අපි එහෙම කළොත් ඔය හිරිකිත ගතිය අන් අයටත් එලෙසින් දැනේ.

එනිසා අප එසේ හැසිරීම නුසුදුසු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ශිෂ්ටසම්පන්න අය එවන් වචන කෙදිනකවත් නොකියති. ඒවා කියන අයත් එයින් වළක්වා ගැනීමට දිරි දරණ අතර එයින් වෙන්ව සුභාෂිත වචන භාවිත කිරීමේ ආනිශංස පවසයි.

ඇතැම්හු තොරතෝන්චියක් නැතුව මෙලොවටත් පරලොවටත් තමන්ටත් අනුන්ටත් පලක් නැති නිෂ්ඵල වචන කතා කරති. තමන් පි‍්‍රය කරන දේ ඇතැම්විට අනුන්ට අපි‍්‍රය බව නොසලකා ශිෂ්ට සම්පන්නයෝ එසේ නොකරති. එලෙස කරන්නන් එයින් වළක්වා ගැනීමට දිරි දරණ අතර එහි ආදීනව වටහා දීමට කාරුණිකව උත්සුක වෙති. එයින් ඔහුගේ වාය සමාචාරය තුන් ආකාරයකින් පිරිසුදු වේ.

කායික, වාචසික අකුසල් හතට මේ ධර්ම පර්යාය සීමිත වුවද එයින් ලැබෙන උපදේශය ඊටත් වඩා පුළුල්ය. මෙය ඉතා කුඩා දරුවෙකුට වුවද යම්කිසි වැරැදි ක්‍රියාවක බැරෑරුම්කම අවබෝධකර දීමට පහසු ලිහිල් උපාය මාර්ගයකි. සමාජයේ ජීවත්වෙන විවිධ තරාතිරමේ කෙනෙකුටම තර්ක බුද්ධියෙන් තොරව මනසට වැඩි වෙහෙසක් නොදී ඕනෑම ක්‍රියාවක හොඳ නොහොඳ මැන ගැනීමට අත්තූපනායික ධර්ම පර්යාය මහෝපකාරී වේ.

සමාජයේ පවතින ආත්මාර්ථකාමිත්වය මර්දනය කිරීමටත් පරානුකම්පාව වර්ධනය කිරීමටත් ඉවහල් වේ.

මේ ගැන තවදුරටත් විමසා බැලීමෙන් එය ඉතා හොඳින් අවබෝධ කර ගත හැකිය. දවසේ කුලී වැඩ කොට යාන්තමින් දරු පවුල රැක ගන්නා අසරණ දිළිඳු මිනිස්සු කොතෙකුත් අපේ රටේත් වෙසෙති. එවන් අසරණයන්ට අධික මිලට බඩු විකුණන වෙළෙන්දාට මෙහෙම අනුහසක් පහළ වෙනවා නම් “අනේ මේ අසරණයා ජීවත් වීමට මොන තරම් චිත්ත වේදනාවක් විඳිනවාද? මා ඔය මිනිසාගේ තත්ත්වයට පත් වුණොත් මට මොනතරම් චිත්ත සන්තාපයක් ඇතිවේදැයි සිතුණොත් ඔය අසාධාරණ වෙළෙඳාම සීමාන්තික ලාභ ඉපයීම කිසිදාක නොකරයි. හොරට කිරීම, හොරට මිනීම ඒකාන්තයෙන් නවතී.

දුප්පත් ගොවියෝ දිවා රාත්‍රී දෙක්හි වෙහෙසී උදේ සවස ජලය සපයා පෝර යොදා ගොවිතැන් කරති. හොර හරක් ඒ ගොවිබිමට පැන ඒවාට අලාභ හානි කරති. ඔවුන්ට එහි ඇති වරද නොවැටහේ. නමුත් මිනිහෙක් හොර රහසේ අනුන්ගේ කොටුවක ඇති දේ පැහැර ගන්නාවිට මේ පාඩුව මට ඇති වූවා නම් මොනතරම් දුක් ගින්නක් ඇතිවේදැයි සිතේ නම් කෙදිනකවත් ඒ පහත් වැඩේ නොකරනවා ඇත.

රාජකාරියක් කරවා ගැනීම පිණිස තමාගේ සියලු වැඩ කල්දා රජයේ කාර්යාලයට ගොස් ලතවෙන පුරවැසියාගෙන් යමක් බලාපොරොත්තුවෙමින් රාජකාරිය පැහැර හරින නිලධාරියා තමා ඒ තැනැත්තා නම් මොන තරම් කායික මානසික පීඩනයක් තමන්ට ඇතිවේදැයි සිතේ නම් ඒ දූෂිත දුෂ්ප්‍රතිපත්තිය අනුගමනය නොකරයි.

මෙලෙසින් නොසිතීම නිසා මොනතරම් වැරදි සමාජයේ සිදුවේද? මෙය තේරුම් ගැනීමට අපහසු දෙයක් නොවේ. මේ අනුව පිළිපැදීමෙන් ආත්මාර්ථ පරාර්ථ සාධනයත් දෙලොව දියුණුවත් සලසා ගැනීමට සිතට ගත යුතු ය.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 04 වැනිදා බදාදා අපරභාග 8.58 ට ලබයි. 05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 11.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 05 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු 13 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]