UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

 පූජාච පූජනීයානං

ගොම්බද්දල ශ්‍රී නන්දාරාම මහා නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී ත්‍රිපිටක විශාරද මහෝපාධ්‍යාය ගොම්බද්දල ශ්‍රී නන්දාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් පෙබරවාරි 01 වැනි දා රාත්‍රී අපවත් වී වදාළහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පෙබ. 04 වැනිදා පස්වරුවේ මුලටියන ගොම්බද්දල ශ්‍රී ශෛලාරාම විහාරස්ථ ආදාහන මළුවේ දී සිදු කෙරිණි. මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩපත්තුවේ ගොම්බද්දල ගම් පියසෙහි විසූ ජී. ජයවීර මහෝපාසක මහතාගේ හා බී.ජී. ඩිංගිහාමි මහෝපාසිකා මාතාවගේ පුත්‍රයෙකු ලෙස 1922 අගෝස්තු 30 වැනි දා ජන්මලාභය ලැබූ ගොම්බද්දල මහානාහිමි, උතුම් වූ ප්‍රවෘජ්‍යාභූමියට පත් වූයේ 1933 මාර්තු 06 වැනි දා ය. එහි දී උන්වහන්සේගේ ආචාර්යවරයා වූයේ ගොම්බද්දල ශ්‍රී ශෛලාරාමාධිපතිව වැඩසිටි කෝඹල සාරානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. 1941 ජූනි 25 වැනි දා මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ අතර කඹුරුපිටියේ සපුගොඩ විද්‍යා නිකේත පිරිවෙණින් මූලික අධ්‍යාපනය ලැබීය.

ගොම්බද්දල මහනාහිමි 1958 දී ප්‍රාචීන පණ්ඩිත උපාධිය සිංහල, පාලි හා සංස්කෘත යන භාෂාත්‍රයෙන් සමත් වූයේ පාලි විෂයයට ශ්‍රී සුභූති ත්‍යාගය ද ලබමිනි. පසුව වසර 30 කට අධික කාලයක් පරිවේණාචාර්යවරයෙකු හා පරිවේණාධිපතිවරයෙකු ලෙස සේවය කර ඇත. ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන, ගෝනගල සුධර්මාකර පිරිවෙන, පැපිලියාන, සුනේත්‍රාදේවී පිරිවෙන සහ කුඩාඋඩුවේ නාලන්දා පිරිවෙන ඒ අතර ප්‍රධානය. ව්‍යක්ත ධර්ම කථිකයෙකු වූ මහනාහිමියෝ එවකට මාතර ප්‍රදේශයේ ප්‍රකට ගුවන්විදුලි ධර්ම දේශකයෙක් ද වූහ. සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝසභාව පිහිටුවීමේ කාර්යභාරයේ දී පුරාවිද්‍යා චක්‍රවර්තී, මහාචාර්ය කඹුරුපිටියේ ශ්‍රී වනරතනාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපතිව වැඩ සිටි අත්තුඩාවේ සිරි රාහුල මහනාහිමි, මහාචාර්ය ගතාරේ ධම්මපාල අනුනාහිමි, කැකුණේවෙල පියරතන අනුනාහිමි, කදුරුපොකුණේ ධම්මාවාස අනුනාහිමි, ඌරුමුත්තේ සෝමරතන නාහිමි ඇතුළු රුහුණේ කීර්තිමත් යතිවරයන් වහන්සේලා සමඟ පෙරමුණ ගෙන ක්‍රියා කළ ගොම්බද්දල මහනාහිමි ආරම්භයේ සිටම ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය දැරීය. ශ්‍රී රෝහණ පාර්ශ්වයේ කීර්තිමත් නාමයක් තැබූ මහාචාර්ය ගතාරේ ධම්මපාල අනුනාහිමියන්ගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වූ අනුනායක පදවියට පත්කරගත් ගොම්බද්දල නාහිමි පසුව මහානායක පදවියට 2011 දෙසැම්බර් 16 වැනි දා සිට පත්කර ගැනිණි. සමාරම්භක මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් පසුව ශ්‍රී රෝහණ පාර්ශ්වයට ඉමහත් ආලෝකයක් ගෙනදුන් රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති සාහිත්‍යසූරී, රාජකීය පණ්ඩිත ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය අතිපූජ්‍ය අත්තුඩාවේ සිරි රාහුල මහා නාහිමි 2011 දෙසැම්බර් 01 වැනි දා අපවත්වීමෙන් පසු පුරප්පාඩු වූ එකී මහානායක පදවිය දැරීමට තරම් ගොම්බද්දල මහනාහිමියෝ භාග්‍යවන්ත වූහ. ගොම්බද්දල මහානාහිමි ප්‍රකට කළ අව්‍යාජ වූ පාණ්ඩිත්‍යය ඉතා ඉහළ තලයක පවතියි. සාම්ප්‍රදායික දැනුමේත් නූතන දැනුමේත් එක් හමුවීමක් උන්වහන්සේ තුළින් දැක ගත හැකි ය. මෙම හැඳින්වීම අවසන් කිරීමට මත්තෙන් මීට දහතුන් වසරකට පෙර ගොම්බද්දල මහනාහිමි වෙනුවෙන් පළ කළ “සිරි නඳරම් හිමි පබසර” නමැති ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය සඳහා මාහාචාර්ය ගතාරේ ධම්මපාල අනුනාහිමි සපයා ඇති ලිපියේ කොටසක් උපුටා දැක්වීම යෝග්‍යය යැයි හඟිමි.

“නන්දාරාම නාහිමියෝ දත් දෙය හොඳින් දත්හ.විෂය මතුපිටින් අත ගෑ කෙනෙක් නොවූහ. බාලාවතාරය, පාලි නිඝණ්ඩුව වැනි චිරන්තන පැවිදි අධ්‍යාපනයේ මුල් කෘති හෝ පාලි හෝ අට්ඨකථා සම්බන්ධයෙන් හෝ උන්වහන්සේ සතුව ඇත්තේ මහත් දැනුම් සම්භාරයකි. උන්වහන්සේගේ ස්මරණ ශක්තිය ද කටපාඩම් ද, අර්ථාවබෝධය ද, විචාර බුද්ධිය ද ඒ දැනුම වඩාත් ඔපවත් කෙළේ ය.” අපවත් වී වදාළ අතිපූජ්‍ය ගොම්බද්දල ශ්‍රී නන්දාරාමාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් වූ නිවන් සුව ලැබේවායි,


අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමි

කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, රජරට පාර්ශ්වයේ “උපාධ්‍යාය” පදවියෙන් හා “ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගිශ්වර ධර්ම ප්‍රභ ධීරා නන්දභිධාන” යන ගෞරව නාමයෙන් උපහාර ලබා සිටින ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියන් වහන්සේගේ ජන්ම දිනය ජනවාරි 26 වෙනි දිනට යෙදී තිබිණි. 1953 ජනවාරි 26 වෙනිදින ගම්පහ දිස්ත්‍රික්කයේ, සියනෑ කෝරළේ මැදපත්තුවේ අලුත්ගම පේරුවේ අලුත්ගම බෝගමුවේ උපත ලැබූ බී.ඒ. ඒ.ඊ. චන්ද්‍රකුමාර කුමරුගේ පියාණන් වූයේ බී.ඒ. ගුණතිලක මහතාය. පාඨශාලාචාර්යවරියක් වන ඇම්.ඇම්. සෝමාවතී මහත්මිය මෑණියන් වේ. ගිහිකල කළගෙඩිහේන රජයේ විද්‍යාලය, යක්කල අනුර මහා විද්‍යාලය, නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලය යන පාසල්වල අධ්‍යාපනය හැදෑරූ චන්ද්‍රකුමාර කුමරු අනුරාධපුරයේදී 1966 මැයි 30 වැනි දින පැවිදි දිවියට පා තැබූහ. අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ආභිධම්මික වාගිශ්වර යාගොඩ ධර්මප්‍රභ නා හිමියන්ගේ ශිෂ්‍ය රත්නය ලෙස අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේදී පැවිදි දිවිය ආරම්භ කළ සද්ධාරංසි හිමියෝ අනතුරුව 1967 දී මාලිගාතැන්න විවේක සේනාසනයට වැඩම කොට මැණික්දිවෙල දේවානන්ද වනවාස නිකායේ ප්‍රධාන අනුශාසක ස්වාමීන් වහන්සේගෙන් මාස පහක පමණ කාලයක් කමටහන් ලබාගත්හ. 1969 වසරේදී අනුරාධපුර සිරිසඟබෝ භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානය ආරම්භ කිරීමට සූදානම් වූ ධර්මප්‍රභ නායක ස්වාමීන් වහන්සේ මාලිගාතැන්නට වැඩම කොට එහි වැඩ සිටි සද්ධාරංසි පොඩි හාමුදුරුවන් කැටුව පැමිණ අනුරාධපුර සිරිසඟබෝ භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානයට ඇතුල් කළහ. මෙම මධ්‍යස්ථානයේ කටයුතු භාරව සිටියේ මතුගම ශ්‍රී ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ යටතේ සද්ධාරංසි පොඩිහාමුදුරුවන්ද ඇතුලුව හාමුදුරුවරු දසනමක් එහි අධ්‍යාපනය ලැබූහ. 1969 අගෝස්තු මාසයේදී යළිත් යක්කල අලුත්ගමුව බෝධි ග්‍රාම භාවනා මධ්‍යස්ථානයට වැඩමකොට එහි නේවාසිකව සිව් මාසික භාවනා පාඨමාලාව හැදෑරූහ. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වන්නේ 1970 දීය. අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයට යළිත් වැඩම කර වසර තුනක පමණ කාලයක් උසස් අධ්‍යාපනය සමඟ භාවනා ක්‍රම හැදෑරීය. 1972 සිට 1974 දක්වා අධ්‍යාපනය ලබා 1975 දී බුද්ධ ශ්‍රාවක ධර්මපීඨ ප්‍රවේශ සමත්වී වසර තුනක කාලයක් එහිදී ද උසස් අධ්‍යාපනය ලබාගත්හ. 1979 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. මින් පසු විජයපුර පිරිවෙනේ ගුරු තනතුරකින් පිදුම් ලද සද්ධාරංසි හිමියෝ පිරිවෙනෙහි නේවාසික කුඩා හිමිවරුන්ට පිණ්ඩපාත චර්යා, භාවනා ආදි ශාසනික වත පිළිවෙත පුරුදු පුහුණු කිරීමේ වගකීමද භාරගත්හ. පිරිවෙන් පරීක්ෂක භාවනා උපදේශක නමින් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පත්වීමක් පිරිනැමුවේ 1989 දෙසැම්බර් 11 වැනි දිනදීය. අනතුරුව මහරගම ජාතික අධ්‍යාපන ආයතන අධ්‍යාපන කඳවුරු ගතකළ තරුණ පිරිස පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කරවීමේ පුළුල් වැඩසටහන දියත් කිරීමේ කාර්යය සද්ධාරංසි හිමියන් වෙත පැවරිණි. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත්හ.

පසුව දඹදෙණිය ගුරුවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ධුරයට පත් සද්ධාරංසි හිමියෝ පොළොන්නරුවේ පුලතිසිපුර අධ්‍යාපන පීඨයට ඇතුල්වන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපන හා මනෝවිද්‍යාත්මක පුහුණු පාඨමාලා පැවැත්වීමට දායක වූහ. සිරිලක දස දෙස වැඩම කරමින් එක් එක් මධ්‍යස්ථානවලට පාසල් ශිෂ්‍යනායක නායිකාවන් කැඳවා ගනිමින් ජාතික සාරධර්ම ආයතනය යටතේ භාවනා පන්ති හා නායකත්ව පුහුණු වැඩසටහන් මෙහෙයවූහ. අනුරාධපුර පූජනීය පෙදෙසේ දකුණු දාගැබ පාරේ රජරට ශීල භාවනා මධ්‍යස්ථානය 1990 දී ආරම්භ කළහ. මෙහි නේවාසික පහසුකම්ද සහිතව කාමර 16 කින් එය සමන්විත විය. ඉදිකළ භාවනාකුටි සංඛ්‍යාව 23 ක් වෙයි. මෙහි සෑම පොහෝ දිනකම ආගමික වැඩ සටහන්, ධර්ම දේශනා හා භාවනා පන්ති තාමත් පැවැත්වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 2006 සැප්තැම්බර් 12 වැනි දින අනුරාධපුර නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාම විදර්ශනා පිරිවෙනේ පරිවේණාධිපති වශයෙන් සද්ධාරංසි නාහිමියන් පත්කරන අවස්ථාව වන විට යක්කල බෝධිග්‍රාම භාවනා, පිරිවෙන ආරම්භ වී තිබිණි. ඒ 1983 දීය. පිරිවෙන ආරම්භ කිරීමට දැඩි වෙහෙසක් දැරූ නාහිමියෝ එදා සිට යක්කල පවත්වාගෙන ගිය මෙම පිරිවෙන 2006 සැප්තැම්බර් 12 වන දින අනුරාධපුරයට රැගෙන ඒමට කටයුතු කළහ. තම ආචාර්යයෝත්තම යාගොඩ ධර්ම ප්‍රභනායක හාමුදුරුවන් අපවත්වීමත් සමඟ බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථානයේ හා ධර්මායතනයේ අධිපතිකම භාරගන්නා සද්ධාරංසි නාහිමියෝ සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් 1970 දී සීල භාවනා සමිතිය ආරම්භ කළහ. 2001 අවුරුද්දේ අනුරාධපුර අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය ආරම්භ කළහ. අනුරාධපුර, පූජානගරය ඇතුළත ලබාගත් ඉඩමේ, සම්බුද්ධ විහාරය ආරම්භ කිරීම සඳහා මුල්ගල තබා 2003 දී වසරක් ඇතුළත විහාරස්ථානය බෞද්ධ ජනතාව සඳහා විවෘත කර දෙන්නට උන්වහන්සේ සමත්වූහ. එය ඉතා දර්ශනීය විහාර කර්මාන්තයකි. අනුරාධපුර ඇලයාපත්තුව නෙල්ලි කුලම සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය ආරම්භ කළහ.

2004 ජූලි 06 වැනි දින චාරිකාරාමය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර විවෘත කරනු ලැබුවේ 2004 නොවැම්බර් 06 වැනි දිනයේදීය.නායක හාමුදුරුවන් විසින් ගොඩනැගූ චිත්තරූපය අනුව යමින් බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් මහ රහතන් වහන්සේලා ගම්නියම් ගම් සැරිසරමින් අනුරාධපුරයට වැඩම කරවන ආකාරය නිරූපණය කරන ප්‍රතිමා පන්සියයක් දැනට නිර්මාණය කර අවසන්ය.

මෙම විහාර කර්මාන්තයේ ඊළඟ පියවර වූයේ මහ ගල් පර්වතයකින් බැස වඩින්නාවු භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිමා නිර්මාණය කිරිමයි. සද්ධාරංසි නාහිමියන් මෙහි ධර්මායතනය ආරම්භ කරනු ලැබුවේ 2006 සැප්තැම්බර් 12 වැනි දිනදීය. මේ සියලු ඉදිකිරීම් අංග සම්පූර්ණ ලෙස නිම කර පිරිවෙන ආරම්භ කිරීමටද ගතවූයේ මාසයක් වැනි කෙටි කාලයකි.

නෙල්ලිකුලම පංචසතික චාරිකාරාමය ප්‍රතිමා සහිත විහාර කර්මාන්තයට පමණක් සීමාවූවක් නොවේ. ගම්දනව්වලින් තෝරාගත් පින්වත් කුල දරුවන් පිරිසක් සසුන් ගත කළහ. මේ සාමණේර හාමුදුරුවරුන්ට වත්පිළිවෙත් සියල්ල සපුරා ලිය යුතු ආකාරය කියාදෙන්නේ ද නායක හාමුදුරුවෝය. මේ වසර ආරම්භය වන විට මෙම පිරිවෙනේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ගණන 35 ක් පමණ විය. ගුරු වෘත්තියේ නියැළී භික්ෂූන් වහන්සේලා සඳහාද ආවාස තුනක් ඉදිකර සියලු පහසුකම් වලින් සමන්විත කර 2008 පෙබරවාරි මස 15 වැනි දින ඇලයාපත්තුව ප්‍රධාන සංඝාවාස ගොඩනැගිල්ලේ වැඩ නිම කිරීමටද සද්ධාරංසි නාහිමියෝ සමත්වූහ. දැන් මෙහි අරඹා ඇති ශ්‍රී ධීරානන්ද දහම් පාසල ප්‍රදේශයේ හැදෙන වැඩෙන ළමා ලපටීන්ට සාරධර්ම යහගුණ ධර්ම වර්ධනයට මහඟු තෝතැන්නක් වී තිබේ. ශාසනික සේවාවෙන් නොනැවතී තවත් සමාජ මෙහෙවරකට නැඹුරුවන සද්ධාරංසි නාහිමියෝ අනුරාධපුර ඇලයාපත්තුව මූලික රෝහල් භූමියේ සියලු පහසුකම් සහිතව භික්ෂු වාට්ටුවක් හා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් රෝහල් වාට්ටුවක්ද දැනට ඉදිකර දී තිබේ. මෙයට අමතරව රෝහලට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබාදීමටද කටයුතු කරකි. රුපියල් පන්දහසක් වටිනා බෙහෙත් ද්‍රව්‍ය සෑම මාසයකටම වරක් බැගින් ලබාදෙනු ලැබේ. සද්ධාරංසි නාහිමියන්ගේ නවතම නිර්මාණය වී ඇත්තේ බුදු සිරිතේ අසිරිය නිර්මාණය කරවීමයි. අනුරාධපුර විලච්චිය පාරේ කොක්කිච්චිය නැමැති ප්‍රදේශයේ අක්කර දහයක පමණ භූමිභාගයක මේ විහාරය තැනීම සිදුවෙමින් පවතී.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 11 වැනිදා බදාදා අපරභාග 08.54 ට ලබයි. 12 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 18 වැනිදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]