UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ මනෝ චිකිත්සාව

බෞද්ධ මනෝ චිකිත්සාව

විවිධ මානසික රෝගවලින් පීඩාවට පත් පුද්ගලයන්ට එකී මානසික රෝගවලින් සුවපත් වීම පිණිස අවශ්‍ය මඟපෙන්වීම හා ප්‍රායෝගික උපදෙස් සපයන ප්‍රතිකාර ක්‍රමය මනෝචිකිත්සාව යනුවෙන් හැඳින්වෙයි. පුද්ගලයාගේ අසමතුලිත මනෝභාවයන්ගේ බලපෑමෙන් සිදුවෙන කායික අපහසුතා මඟ හැරවීම පිණිස උපදෙස් සැපයීම එහි ප්‍රධාන කාර්යයි.

සංකීර්ණ සමාජ පරිසරය මෙන්ම දෛනිකව මුහුණ දීමට සිදුවන විවිධ සංකීර්ණ අත්දැකීම් හේතුවෙන් මිනිසාගේ මානසික සමතුළිතභාවය ඉතා කඩිනමින් වෙනස් වී විවිධ මානසික අර්බුද නිර්මාණය වේ. මෙම අර්බුදවල බලපෑම මෙන්ම එහි ප්‍රබලතාව ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එකිනෙක පුද්ගලයා මුහුණ දෙන ගැටලුවේ ස්වභාවය , එය දරාගැනීමට ඔහු තුළ ඇති හැකියාව, ඔහු ජීවත්වන සමාජ පරිසරය ආදියේ පවතින විවිධත්වය මෙකී වෙනස කෙරෙහි බලපා තිබේ. සමාජ සත්ත්වයෙක් වශයෙන් පුද්ගලයා මුහුණ දෙන විවිධ කායික හා මානසික අර්බුද විසඳා ගැනීමෙහිලා ඔහුට සමාජයේ සෙසු සාමාජිකයන්ගේ පිහිට හා උපකාරය පැතීමට සිදුවේ.පුද්ගලයා මුහුණ දෙන විවිධ අර්බුද විසඳා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීම මනෝචිකිත්සකවරුන්ගේ හෙවත් උපදේශකයන්ගේ කාර්ය භාරය වේ. බුදුසමයෙහි කළ්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින් අපේක්ෂා කරන්නේද එයයි. නවීන විද්‍යාව විසින් මනෝචිකිත්සාව ප්‍රතිකාර ක්‍රමයක් හා වෘත්තියක් ලෙස හඳුන්වාදෙනු ලැබුවද එය ආදි යුගයේ සිටම ක්‍රියාත්මක වූවක් බව පැහැදිලිය. විවිධ ජන සංස්කෘතින්හි දක්නට ලැබෙනෙ වත්පිළිවෙත් හා ඇදහිලි ක්‍රම මඟින් අතීතයේ මෙම අවශ්‍යතාව නිස්සරණාධ්‍යාසයෙන් සිදුකර තිබේ. 'සිග්මන් ප්‍රොයිඩ්' නම් මනෝ විද්‍යාඥයා විසින් 19 වන සියවසේදී මනෝවිශ්ලෙෂණ වාදය හඳුන්වා දීමත් සමඟම මනෝචිකිත්සාව මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ආරම්භ වී තිබේ. වර්තමානයේ එය වෘත්තියක් වශයෙන් ආයතන ගත කර තිබෙන අතර එහි සේවය මූල්‍යමය ප්‍රතිපාදන මත තීරණය වේ.

බුදුදහමෙහි දැක්වෙන මනෝචිකිත්සක ක්‍රමවේදය පුද්ගලයා මුහුණ දෙන සාමාන්‍ය මානසික ගැටලු නිරාකරණය කිරීම සඳහා පමණක් නොව පුහුදුන් ස්වභාවය තුළ පුද්ගලයා මුහුණ දෙන සනාථනික දුක පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට ද මඟ පෙන්වයි.මෙනිසා බෞද්ධ උපදේශන ක්‍රමවේදය අතිශය පුළුල් එකක් ලෙස පිළිගැනීමට සිදුවෙයි.අවිද්‍යාව හා තෘෂ්ණාව හේතුවෙන් නිර්මිත සියලු පෞරුෂ දුර්වලතා හඳුනාගෙන එම දුර්ගුණ වෙනස්කොට පූර්ණ පෞරුෂයකට අවශ්‍ය ශක්තිය හා මඟපෙන්වීම බුදුසමයේ අරමුණ වේ. මේ අනුව බුදුරදුන් වෛද්‍යවරයෙකු ලෙසත්උන්වහන්සෙගේ ධර්මය ප්‍රතිකාර ක්‍රමයක් ලෙසත් එහි භාවිතය චිකිත්සාවක් ලෙසත් ත්‍රිපිටක දේශනාවලින් හඳුනාගත හැකිවේ.

බුදුරදුන්ගේ සැම දේශනයක්ම උක්ත අරමුණ මූලික කරගෙන ක්‍රියාත්මක වන්නක් බව ඉතා පැහැදිලිය. විශේයෙන්ම ප්‍රතීත්‍ය සමුත්පාදය, චතුරාර්ය සත්‍යය යන දේශනා තුළ මනෝචිකිත්සක ක්‍රමවේදය පූර්ණ වශයෙන් ඇතුළත් වේ. බෞද්ධ මනෝචිකිත්සක ක්‍රමවේදය ඇතුළත් සූත්‍ර දේශනාවක් ලෙස චුල්ල මාලුංක්‍ය සූත්‍රය නම් කළ හැකිවේ. එහි දැක්වෙන උපමා කථාවෙන් පෙන්වා දෙන්නේ විෂ ඊතලයකින් පහර කෑ පුද්ගලයා සම්බන්ධයෙන් වැදගත් වන්නේ එම විෂ ඊතලය කඩිනමින් ඉවත්කොට ඔහු සුවපත් කිරීමයි. එසේ නොකර එම විෂ ඊතලය හා සම්බන්ධයෙන් එය සකස් කළ අමුද්‍රව්‍ය, එය පැමිණි දිසාව, එය විදින ලද පුද්ගලයාගේ ස්වභාවය ආදිය සෙවීම ප්‍රායෝගික වශයෙන් වැදගත් නොවේ. බෞද්ධ මනෝචිකිත්සක ක්‍රමවේදය ද මෙකී ලක්ෂණයෙන් යුක්තය. එහි අරමුණ පුද්ගලයා මුහුණ දෙන දුක පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීමයි. බුදුරදුන් වදාළ චතුරාර්ය සත්‍ය දේශනාව තුළ පැහැදිලිවම චිකිත්සක ලක්ෂණ ප්‍රකට කරයි. වෛද්‍ය විද්‍යාවට අනුව රෝගියා සුවපත් කිරීම සඳහා රෝගය, රෝග නිධානය, ප්‍රතිකාරය, ප්‍රතිකාරය සඳහා යෝගය, ක්‍රමවේදය නිවැරදිව හඳුනාගත යුතුවේ. චතුරාර්ය සත්‍ය යටතේ පුද්ගලයා මුහුණ දෙන දුක, එහි නිධානය, එයින් මිදීම හා ඒ සඳහා ක්‍රමවේදය ඇතුළත් වේ. මේ අනුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීමේ මනෝචිකිස්සක හා උපදේශන ක්‍රමවේදයක් ලෙස හඳුනාගැනීම නිවැරදි වේ.

බෞද්ධ මනෝචිකිත්සක ක්‍රමවේදය සංසාරික වශයෙන් පුද්ගලයා මුහුණ දෙන දුක නිවාරණය කිරීම පිණිස උපදෙස් සපයන ගැඹූරු මට්ටමකින් මෙන්ම සාමාන්‍ය මානසික ආතතිය දුරුකරගැනීමට අවශ්‍ය සරල මට්ටමකින්ද ක්‍රියාත්මක කළ හැකිවේ. මානසික පීඩා සම්බන්ධයෙන් බුදුසමය බහුල වශයෙන් අනුගමනය කරන්නේ ඒ කෙරෙහි බලපාන ගැඹූරු මූල හේතු වන අකුශල සහිත මානසික සාධක ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් සැපයීමයි. මෙය පළමු මට්ටමට අයත් වේ. මෙම ක්‍රමවේදය ඔස්සේ විමුක්තිය සාක්ෂාත් කළ ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස අතිවිශාලය. එහෙත් හැම විටම එයම ක්‍රියාත්මක නොවුණු අවස්ථා සූත්‍රදේශනා මඟින් අනාවරණය කරගත හැකිවේ. විවිධ මානසික පීඩා සහිත පුද්ගලයන් බුදුරදුන් හමුවට පැමිණී විට උන්වහන්සේ දෙවන ක්‍රමවේදය අනුගමනය කොට පළමුව මානසික ආතති දුරුකරගැනීමට අවශ්‍ය උපදෙස් සපයා තිබේ. බුදුරදුන් හමුවට පැමිණි විවිධ පුද්ගලයන් එම ක්‍රමවේදය ඔස්සේ සිය මානසික අර්බුද විසඳාගත් ආකාරය පැහිදිලි කෙරෙන කථා පුවත් ගණනාවක් ත්‍රිපිටකයෙන් සොයාගත හැකිවේ. එවැනි පුවත් අතරින් කීපයක් පමණක් විමසා බැලීමෙන් බෞද්ධ මනෝචිකිත්සක ක්‍රමවේදයේ ප්‍රායෝගිකත්වය වටහා ගත හැකිවේ.

සන්තානගත කාම සිතිවිලි නිසා පීඩාවට පත් තරුණ නන්ද හිමියන්ට ලබාදුන් උපදෙස් වර්තමානයේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට උපදෙස් සපයන උපදේශකයෙකුට ආදර්ශයක් වේ. බුදුරදුන් මෙහිදී නන්ද හිමියන්ගේ කාම සිතිවිලි ගැරහුමට ලක් නොකළහ. ඒ වෙනුවට නන්ද හිමියන් මහත් සේ ආශා කළ කාම වස්තුවට වඩා සුන්දරතම වස්තුවක් එම හිමියන් වෙත ඉදිරිපත් කළහ. එයින් නන්ද හිමියන්ගේ මුල් කාම සිතිවිල්ල වෙනස් වී නව කාම වස්තුවකට සිත යොමුවිය. නන්ද හිමි තමා අබියසට ගෙනා අභිනව කාම වස්තුව කෙරෙහි ආසක්ත වී එය අත්පත්කරගැනීම පිණිසද දිවා රැය වෙහෙසුණේය. නව කාම වස්තුව අත්පත් කරගැනීමට ගන්නා ප්‍රයත්නයේදි නන්ද හිමියන්ට තම සහෝදර ස්වාමින්වහන්සේලාගේ උපහාසයට ලක්වීමටද සිදුවිය. මෙම සමාජමය බලපෑම එක් අතකින් කාම වස්තුව කෙරෙහි නන්ද හිමියන්ගේ ආසක්ත බව ක්‍රමයෙන් දුර්වල කිරීමට හේතුවිය.අවසානයේදි උන්වහන්සේ එහි අරමුණ අතහැර ආධ්‍යාත්මික විමුක්තිය පිණිස සිය අවධානය යොමු කළේය. බුදුරදුන්ගේ මෙම උපදේශන ක්‍රියාව හේතුවෙන් නන්ද හිමියන් පළමුව ඉහතින් දැක්වූ දෙවන මට්ටමේ සරල මානසික සමතුළිතතාව ඇතිකරගත් අතර දෙවනුව පළමු මට්ටමේ ගැඹුරු ආධ්‍යාත්මික ශාන්තිය අත්පත්කරගෙන තිබේ. බෞද්ධ උපදේශනය ක්‍රියාත්මක වූ තවත් ප්‍රකට අවස්ථාවක් ලෙස කිසා ගෝතමිය පිළිබඳ පුවත හඳුනාගත හැකිවේ. මෙම කථාව තුළ අන්තර්ගත චිකිත්සක ක්‍රමවේදය නූතන මනෝවිද්‍යාඥයන්ගේ විශේෂ ඇගයුමට ලක් වී තිබේ. එය බටහිර මනෝවිද්‍යාවෙහි දැක්වෙන ප්‍රජානන චර්යාත්මක චිකිත්සාවේ ලක්ෂණ දරන්නකි. ඒ අනුව වැරදි විශ්වාස පදනම් කරගෙන මානසික අසමතුලිතතාවන්ට පත් කෙනෙකුට ක්‍රමයෙන් එම වැරදි විශ්වාසය ඉවත්කිරීමට අවශ්‍ය විවිධ පැවරුම් ලබාදෙයි. බුදුරදුන්ද කිසාගෝතමිය සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන්නේ එම ක්‍රමවේදයයි. එම ක්‍රමවේදය යටතේ තම එකම පුතු මියගිය බව මානසිකව පිළිගැනීමට අකමැති වූ කිසාගෝතමිය අවසානයේ ඒ කෙරෙහි පදනම් වූ අතාර්කික විශ්වාසය බැහැරකොට ජීවිතයේ යථා ස්වභාවය වටහා ගනී. මෙම නිදසුන් දෙකට අමතරව තවත් මෙවැනි නිදසුන් රැසක් බෞද්ධ සාහිත්‍ය තුළින් සපයාගත හැකිවේ. නූතන මනෝවිද්‍යාව විසින් පසුකලෙක විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ සංවර්ධනය කරන ලද මනෝචිකිත්සක ක්‍රම බුදුරදුන් විසින් වසර දෙදහස් පන්සිය ගණනකට පෙර අනුගමනය කර තිබීමෙන් පැහැදිලි වන්නේ බෞද්ධ මනෝචිකිත්සාවේ තිබෙන විශේෂත්වයයි.

 

 වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.

මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]