UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් අව අටවක 2014.10.15

කඨින චීවර දානය

ස්සාන සමයේ උදා වූ චීවර මාසයේදී පුරා වසරක් මුළුලලෙහි මහත් අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් පසුවූ උදාර පින්කම් මාලාවේ වටිනාම පින්කම සිදුකර ගන්නා අවස්ථාවය.

දිනක් සැවැත්නුවර ජේතවනාරාමයෙහි ශාන්තිනායක තථාගත බුදුපියාණන් වහන්සේ වැඩ වසන අවස්ථාවක නාගිත නමැති කුමරුවෙක් තමා විසින් පෙර අත් භවයෙක පුදන ලද කඨින දානමය කුසලයේ බලයෙන් ස්වකීය ඤාති මිත්‍රාදීන් සමඟ බුදුපියාණන් වහන්සේ වෙත අවුත් බුදුරදුන් දැක වැඳ පුදා ගනිමින් දහම් අසා තෙරුවන් සරණ ගොස් ඒහි භික්ෂු භාවයෙන් පැවිදි බිමට පත්විය. අනතුරුව රහත් භාවයටද පත්වූහ. බුදුපියාණන් වහන්සේ නාගිත රහතන් වහන්සේ කරන ලද එම විශේෂ කුසල කර්මය උන්වහන්සේ ලවා ම ප්‍රකාශ කරනු පිණිස වස් අවසානයෙහි පවාරණය කොට අනඳ හිමියන් කැඳවා ඒහි භික්ෂූභාවයෙන් පැවිදි වූ රහතන් වහන්සේ පන්සිය නමක් අනවතප්තවිල් තෙරට කැඳවන ලෙස වදාළහ. අනඳ හිමියෝ බුදුරදුන්ගේ නියමය ඉටු කළහ. අනවතප්ත විල් තෙර රහතන් වහන්සේලාගේ කසාවතින් බබළන්නට විය. බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේ පිරිවරා වැඩහුන් මහ රහතන් වහන්සේ දෙස බලා මෙසේ වදාළහ. “මහණෙනි. ඔබ වහන්සේලා අතුරෙන් පෙර භවයක බුදු, පසේබුදු මහ රහතන් වහන්සේලා උදෙසා විශේෂ කුසල කර්මයක් සිදු කළේ නම් ඒ බව මෙහිදී ප්‍රකාශ කරව“ යි. වදාළහ. ඒ ඇසු එම රහතන් වහන්සේලා පන්සියය නම අතර වූ නාගිත රහතන් වහන්සේ බුදුරදුන් වෙත අවුත් වැඳ දොහොත් මුදුන් තබා තමන් පෙර කළ විශේෂ පින්කම විස්තර කරන්නට විය.

ස්වාමීනි, භාග්‍යවත් බුදුපියාණන් වහන්ස, මම මෙයට කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුරදුන් සමයෙහි “බන්ධුමතී” නුවර එක් කෙළෙඹි පුත්‍රයෙකුව ඉපදීමි. දානපතියකු වූ මම දුගී මගී යාචකාදීන් විෂයෙහි බොහෝ දානවස්තු පරිත්‍යාග කළෙමි. පොහෝ දිනවල පෙහෙවස් ආරක්ෂා කළෙමි. වස්සාන සමය තුළ අදිටන් කොට අෂ්ටාංග සීලය සමාදන්ව ආරක්ෂා කළෙමි.

දිනක් “බන්ධුමතී” නුවර රජතුමා ඇතුළු මහ පිරිසකට දහම් දෙසන විපස්සී සම්බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා ප්‍රසාදයට පත්ව බුදු පාමොක් මහ සඟනට මහ දන් පිරිනැමූහ. අනතුරුව සඟරුවනට ඇරැයුම් කොට වස් වසවා ගෙන සිවු මස මුළුල්ලෙහි වස් විසූ භික්ෂූන් වහන්සේ උදෙසා බොහෝ පිරිකර සමඟ කඨින චීවර දානය පිරිනැමූහ. එයින් ලැබෙන කුසලානිශංස බලයෙන් නිර්වානාවබෝධය පිණිස හේතුවේවායි පැතූහ. එතැන් පටන් කඨින චිවර දානයේ බලයෙන් සිව් අපායෙන් මිදී සදෙව් ලොව හා මිනිස් ලොව ඉපිද අනේක විධ දිව්‍ය, මනුෂ්‍ය සම්පත් විඳි අයුරු මෙසේ ප්‍රකාශ කළහ. උතුම් ගුණ ඇති මහ සඟරුවන විෂයෙහි කඨින චීවර දානයක් පිරිනැමීමෙන් මහා කල්ප තිහකින් දුගතියක් නොම දනිමි. අටළොස් කල්පයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වාසය කළෙමි. තිස් හතර වාරයක් සක්දෙව් රජව ඉපිද දිව්‍ය රාජ්‍යය කෙළෙමි. එක ඉදිකටු ඇස්සකට සූතිස් වාරයක් බැගින් සක්විති රජ වන්නට හේතු සම්පත් ඇතද, සසර එපමණ බොහෝ කලක් නොසිටි හෙයින් සුවාසු වාරයක් චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබීමි. උපනුපන් හැම තන්හි සියලු සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වුයෙමි. දිව්‍ය ගතිය මනුෂ්‍ය ගතිය යන මේ දෙගතිය හැර අනික් නරකාදි දුගතියක නූපන්නෙමි. ආදි වශයෙන් නාගිත මහ රහතන් වහන්සේ පෙර විපස්සී බුදුරදුන් සමයෙහි කළ කඨින චීවර දානයේ අනුසස් සසර පුරා විඳ ගෞතම බුදුපියාණන් වහන්සේ දවස ඒහි භික්ෂූ භාවයෙන් පැවිදිව රහත්භාවයට පත්වු අයුරු කඨින වංසයෙහි දැක්වේ.

එදා නාගිත මහ රහතන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ දවස කළ කඨිනානිශංස ප්‍රකාශය ගැන බෞද්ධ ජන සමාජය බෙහෙවින්ම දැනුම්වත්ව සිටී. ඒ නිසාම සැම වෙහෙර විහාර ස්ථානයකම වාර්ෂිකව සිදු කෙරෙන කඨින පින්කම සඳහා ආරංචි මාත්‍රයෙන් පවා දායක වී බෞද්ධ ජනතාව ඊට සහභාගිවීම අතීතයේ සිට සිදුකර ගෙන එනු ලැබේ.

 

 වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.

මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]