UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික සිත්තම්ගලු ඇසළ පෙරහර

ඓතිහාසික සිත්තම්ගලු ඇසළ පෙරහර

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ ඓතිහාසික රම්මල් කන්ද පාමුල පිහිටි ඉපැරණි ගල්ලෙන් විහාරයක් ලෙස මෙම ස්ථානය හැඳින්විය හැකිය. එම විහාරය ප්‍රදේශය තුළ වඩාත් ප්‍රචලිතව ඇත්තේ බටහිර රජ්ජුරුබණ්ඩාර දේවාලය වශයෙනි. එම දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහරේ 47 වන වර මෙවරට යෙදී ඇත. මෙවරද එම පෙරහර උඩරට, පහතරට හා සබරගමුව නැටුම්වලින් ද අලි ඇතුන් රාශියකින්ද සමන්විත වර්ණවත් ලෙස පැවැත්වීමට සියලු විධි විධාන සලසා ඇත. මෙම පෙරහර උත්සවය ඔක්තෝබර් මස 04 වන දින සිට 10 වන දින පහන්වනතුරු පැවැත්වීමට ද නියමිතය. රුහුණේ දේව ඇදහිලි අතර, කතරගම දෙවියන් හැරුණු කළ රුහුණු ගිරුවාපත්තුවේ සිත්තම්ගල්ලේ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ද ඉතා ඉහළින් පුද පූජා ලබන දකුණු පළාතේ වැඩවසන මහානුභාව සම්පන්න දෙවියෙකි. ඉපැරණි රුහුණේ ගොවියන් සිය ධාන්‍ය අස්වනු සශ්‍රීක කරගැනීමට සිත්තම්ගල්ලේ රජ්ජුරු බණ්ඩාර දෙවොලට ගොස් පඬුරු බැන්දේ දැඩි විශ්වාසයකින් හා ආශාවකිනි.

1968 දී සිත්තම්ගලු රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට උපහාර පිණිස දිද්දෙණිපොත පේමරතන නාහිමි දවස ආරම්භ කළ මේ පෙරහර අද වන විට 47 වැනි වරට ද පැමිණ ඇත. මේ ප්‍රදේශයේ ජීවත් වූ මද්දුමාගේ සියදෝරිස් වෙද මහතාට දිනක් සිනිනෙන් කීවේ, සිත්තම්ගලු විහාරයට අරක්ගෙන සිටින රජ්ජුරුබණ්ඩාර දෙවියන් වෙනුවෙන් අලියෙක් සහිත පෙරහරක් පවත්වන ලෙසයි.

මේ කතාව එවකට සිත්තම්ගලු විහාරාධිපතිව වැඩ විසූ දිද්දෙණිපොත නාහිමිට දැන්වූ කල්හි උන්වහන්සේ ප්‍රකාශ කළේ පෙරහර සංවිධානය කරන ලෙසය. ඒ අන්දමින් මේ දෙවියන්ට උපහාර පිණිස මද්දුමාගේ සියදෝරිස් වෙද මහතාගේ මූලිකත්වයෙන් ගමේ උදවිය එක්රැස්ව අලියෙක් සහිත එක් දින මල් පෙරහරක් ලෙස පවත්වාගෙන ආ මේ පෙරහර වර්තමානය වන විට දින 07 ක් තිස්සේ පවත්වන පෙරහරක් වශයෙන් සංවර්ධනය වී ඇත. 1970 දී විවිධ සංස්කෘතික නර්තන අංගවලින් සමන්විතව පැවැත්වූ මේ පෙරහර වනාහි රුහුණු මහා කතරගම දේවාල පෙරහරට පසුව පවත්වන පරිවාර පෙරහරක් ලෙස වර්ධනය වී ඇත. උඩරට, සබරගමුව, හා රුහුණේ ගැමි නර්තන කලාව ඉස්මතු වන සේ පෙළගසන මේ සිත්තම්ගල්ලෙන ඓතිහාසික පෙරහර අද ගිරුවාපත්තුවට අභිමානයකි.

1920 දශකයේ දී මෙම ගල්ලෙන විහාරයේ විහාරාධිපති ලෙස වැඩ විසූ අගලකඩ සෝභිත නාහිමි මෙහි ඉහළ හා පහළ විහාරවල ජරාවාස වී තිබූ ප්‍රතිමා ප්‍රතිසංස්කරණය අරඹා ඇත. අතීතයේ මෙහි පැවති සිතුවම්ද ස්වභාවික හේතු මගින් විනාශ වී ඇත. අද වුවද පහළ ලෙන් විහාරයේ කටාරමට යටින් ජීරණ වූ පැරණි සිතුවම් පෙළක් දැකීමට හැකිය. පෙර කාලයේ මෙහි ලෙන්වල සිතුවම් කර තිබූ නිසාම සිතුවම් ගල්ලෙන වූ මෙම විහාරය පසු කාලයේ සිත්තම්ගල්ලෙන වශයෙන් හැඳින්වීය.

මෙවන් ඓතිහාසික තත්ත්වයන් නියෝජනය කරනු ලබන සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය හෙබවූ පෝරතොට ඉන්ද්‍රරතන නාහිමි වැනි භික්ෂූන් වහන්සේලාගේ මඟ පෙන්වීම හා අනුශාසනා අනුවත් පෞරාණික සිරිත් අනුවත් රුහුණූ ගිරුවාපත්තුවේ අද්විතීය රජමහා විහාරයක් ලෙස සංවර්ධනය විය. රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට ගෞරව පිණිස 1968 දී ආරම්භ කළ සිත්තම්ගලු ඇසළ පෙරහර මෙවර උත්කර්ෂවත්ව පැවැත්වීමට වත්මන් විහාරාධිපති ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක හම්බන්තර දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්මකීර්ති ශ්‍රී ශාස්ත්‍රපති අගලබඩ පියසිරි නාහිමියන්ගේ හා විහාරාධිකාරී කිරම ගුණරත්න හිමි සහ කටුගම්පොත වංගීස හිමි යන විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා පරිදි දායක සභාව සියලු විධි විධාන සලසා ඇත. බටහිර රජ්ජුරු බණ්ඩාර හා පත්තිනි මෑණියන් ආදි දෙවිවරු අරමුණුූ කර රුහුණ ඇතුළු සමස්ත රටේ බත බුලත සහ ගහ කොළේ ආදායම සරු වේවා යන පැතුමෙන් සිදුකරනු ලබන චිරාගත කෝල්මුර යාගය ද මේ උත්සවයේ සුවිශේෂ අංගයකි. මෙම කෝල්මුර යාගය අවසානයේ අළු කෙසෙල් ගෙඩි මැල්ලුම සහිත බත ද අලුයම වෙලේ බැතිමතුන් අතරේ බෙදාදීම ද අතීතයේ සිට පැවත එන්නකි.

 

 වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 07 වැනිදා අඟහරුවාදා අපරභාග 07.17 ට ලබයි. 08 වැනිදා බදාදා අපරභාග 04.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වැනිදා බදාදාය.

 මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]