UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මපදට්ඨ කථාවෙන් 23 මහාකාශ්‍යප තෙරුන්ට දන් පුදා දෙවියෝද තේජස් ලබති

ධම්මපදට්ඨ කථාවෙන් 23

මහාකාශ්‍යප තෙරුන්ට දන් පුදා දෙවියෝද තේජස් ලබති

මහා කාශ්‍යප තෙරණුවෝ එක් දිනක් රජගහනුවර පිඬුසිඟා යන්නට සිතා මාර්ගයට නික්මුණහ. එදින සක්දෙව් රජුගේ අප්සරාවන් කාශ්‍යප තෙරණුවන්ට දන් පිළිගැන්වීමට සිතා ඒ බැව් සක්දෙවිඳුට කියා සිට අවශ්‍ය කටයුතු වහ වහා සූදානම් කෙරිණි.අනතුරුව දිව්‍යප්සරාවෝ වීථියට පැමිණ අපගේ දානය පිළිගන්නැයි තෙරණුවන් වෙතින් ඉල්ලා සිටියහ. එහෙත් මහාකාශ්‍යප තෙරණුවෝ වීථීයෙහි දුප්පත් ජනයාට අනුග්‍රහ කිරීමට ඔවුන්ගේ පිණ්ඩපාතය ලැබීම අවශ්‍ය බව කියමින් දිව්‍ය අප්සරාවන්ගේ දානය ප්‍රතික්ෂේප කළහ. එවිට ඔවුහු ස්වාමිනි අපට අනුකම්පා කොට අපට ද පින් කර ගැනීමට අනුග්‍රහ කරන්නැයි අයැද සිටියහ. එයද තෙරණුවන් ප්‍රතික්ෂේප කළ විට අප්සරාවෝ දිගින් දිගටම මග අවුරා සිට එම දානය පිළිගන්නැයි අයැදූහ. මහා තෙරණුවෝ අසුරක් ගසා ඔවුහු පලා යැවූහ. අප්සරාවෝ ඉන් තැති ගෙන දෙව්ලොවට ගියාහුය.

අනතුරුව අප්සරාවන් සක්දෙවිඳු වෙත එළඹ තමන්ට අනුග්‍රහ නොකළ තෙරණුවන් දුප්පතුන්ට අනුග්‍රහ කරන්නට විථියෙහි ඒ ගමන් කරන බව දන්වා ඇසුරු සැණින් අපව පලවා හැරි බවද ඔවුහු සක්දෙවිදුට කියා සිටියහ. එවිට සක්දෙවිඳු මෙම පිණ්ඩපාතය බෙදන්නට ගියේ කවරාකාරයෙන් දැයි ඇසීය. මෙයාකාරයෙන්ම බව කියූ විට නැවත දුප්පත් මහලු ස්ත්‍රියකගේ වේශයෙන් ගොස් විථියේ සිට දන් පිළිගන්වන්නැයි කියා සිටියේය. ඒ අනුව ජරාවට පත් දත් බිඳුනු කෙස් පැසුණු නැමුණු සිරුරක් ඇති නූල්කටින්නන්ගේ වේශය මවා පේසකාර විථීයකට ගොස් දන් පිළිගැන්වීමට යෝජනා කළේය.

අප්සරාවෝ ඒ අයුරින් ගොස් රජගහනුවර පේසකාර වීථියෙහි රෙදි වියන්නන්ගේ වේශය මවා සිටියදී තෙරණුවෝ පිඩුසිඟා වැඩියහ. එය දුටු මහාකාශ්‍යප තෙරණුවෝ මොවුන් මහලුව සිටියදීත් කාර්යශූරව වැඩ කරන දුප්පත් පිරිසකැයි සිතා ඔවුනට අනුග්‍රහ කිරීම මැනවැයි සිතා ඔවුන්ගේ නිවස අසලට වැඩම කළහ. සක් දෙවිඳු ද මෙහි සිටි අතර කාශ්‍යප තෙරුන් තම නිවස ඉදිරිපිට සිටිනු දැක සතුටුව එහෙත් නොදැක්කාක් මෙන් සිටිතැයි කියා සිටියේය. තෙරණුවෝ නිවස අභිමුව සිටගත්හ. පේසකාර ස්ත්‍රීහු තමන්ගේ කටයුතුවල යෙදුණාහ.

අනතුරුව එක් ස්ත්‍රියක් නිවසින් පිටතට පැමිණ තෙරුන් වැඳ වෑයමින් නැගිට ටිකක් දුරට ගොස් බලා අපේ කාශ්‍යපහිමියන් අපට අනුග්‍රහ පිණිස බොහෝ කලකින් අපේ නිවසට වැඩම කොට ඇතැයි සතුටුව ස්වාමීනි, මිහිරි අමිහිරි නොබලා අපට සංග්‍රහ කළ මැනවැයි පාත්‍රය අතට ගත්තේය. හෙතෙම පාත්‍රය ගෙතුළට ගෙන ගොස් වළං ශබ්ද කරමින් කිසිවක් නැති බව අඟවමින් එකතු කරගත් බතින් පාත්‍රය පුරවා තෙරුන්ට පිළිගැන්වීය. තෙරුන්ගේ අතට ලත් වහාම පාත්‍රයේ ආහාර සුවඳින් මුළු නගරය පුරවා ලන්නට විය. තෙරණුවෝ මේ භෝජනය දුප්පත් එකක් බව නොදැන විමසූහ. එවිට ශක්‍රයා සහ දිව්‍යාප්සරාවන්ගේ ආහාරයක් බව දැන, චෝදනා කරන්නේ ඔබ කළේ ඉතා බරපතළ වැරැද්දකි. තමන් වහන්සේ අද දින විථියට පැමිණියේ දුප්පතෙකුට අනුග්‍රහ කොට සිටු තනතුරක් දක්වා ඔහුගේ දියුණුවක් ඇති කරන්නටය. මගේ ඒ අභිප්‍රාය වැළකුවේ කවර හෙයින්දැයි තෙරණුවෝ සක්දෙවිඳු වෙතින් විමසූහ. මටත් වඩා දුප්පතෙකු ඇත්දැයි සක්දෙවිඳු විමසීය. දෙව් සැප විඳින, ඔබ දුප්පතෙකු වන්නේ කෙසේදැයි තෙරුණුවෝ විමසූහ. එවිට සක්දෙවිඳු කියා සිටින්නේ තමන් බුදුන් උපන්නටත් පෙර බොහෝ යහපත් පින්කම් කොට දෙව්ලොව ඉපදුණු බවත් එහෙත් දෙව්ලොව තමන්ටත් වඩා තේජස් ඇති දිව්‍ය පුත්‍රයන් වෙසෙන බවත්, ඔවුන්ගේ සිරුරින් නැගෙන තේජස මාගේ සිරුර වසා ගන්නා බවත්, මගේ තේජසින් ඔවුන්ගේ සිරුර නොවැසෙන බවත් ඒ අනුව මට වඩා දුප්පතෙකු තවත් ඇත්දැයි සක්දෙවිඳු විමසීය. එවිට තෙරුන් වදාළේ තමන් රවටා දන් නොදෙන ලෙසයි. එවිට සක්දෙවිඳු අසා සිටියේ තමන්ගේ දානයෙහි අනුසස් නැත්ද කියාය. ඇති බව තෙරුන් වදාළ විට මහත් සතුටින් දෙවිඳ අප්සරාවන් සමඟ දෙව්ලොවට පිවිසුනේ පී‍්‍රතිවාක්‍ය ද ප්‍රකාශ කරමිනි.

සක්දෙවිඳුගේ පී‍්‍රතිවාක්‍යය වූයේ අහෝ දානං පරමදානං කස්සපේ සුප්පතිට්ඨිතං” යන්නයි. එහි අදහස වූයේ අහෝ කාශ්‍යප තෙරුන් වෙත දානයක් පූජා කිිරීමට ලැබීම තමන්ට ලද පරම ලාභයක් බවයි. එය උතුම්ම දානයක් බවයි. එය දෙව්ලොවදී සක්දෙවිඳුගේ තේජස ඇති කර ගැනීමට හේතු විය.මේ අනුව පෙනෙන්නේ දන් දීමෙහි විපාක දෙවියන් අතරදී පවා වෙනස් ආකාරයෙන් විපාක දෙන බවයි.අල්පේශාක්‍ය හා මහේශාක්‍ය බව මිනිසුන් අතර පමණක් නොව දෙවියන් අතරදී පවා සමාන වෙයි. උසස් දානයන් දුන් පිනෙන් දෙව්ලොවදී සක්දෙවියන්ටත් වඩා තේජසින් බබළන්නට වෙනත් දෙවිවරුන්ට හැකි විය. සක්දෙවි පදවිය ලැබුවත් ඔහුට එම මහේශාක්‍ය බව ලැබිය නොහැකි විය. ඒ අඩුපාඩුව සපුරා ගන්නට ඔවුනට දෙව්ලොවදී නොහැකි විය. ඒ සඳහා නැවත මිනිස් ලොවට පැමිණීමට අවශ්‍ය විය. එයින් පෙන්වා දෙන්නේ දානය පවා දෙන්නන් වාලේ දීමෙන් එහි ආනිශංස උසස් නොවන බවයි. උසස් දානයම උසස් ආනිශංස දෙයි. උසස් දානය දුප්පතුනටද කළ හැකි බව මහා කාශ්‍යප හිමියන් දුප්පතුන් සොයා වැඩම කරවීමෙන් පෙනෙයි.

සක්දෙවිඳු හා අප්සරාවන් දුප්පතුන්ගේ වේශයෙන් වීථියට පැමිණියේ එහෙයිනි. සක් දෙවිඳුගේ පී‍්‍රතිවාක්‍ය ඇසූ බුදුහිමියෝ භික්ෂූන් අමතා, මහණෙනි, සක්දෙව්රජ පී‍්‍රතිවාක්‍ය කියමින් අහසින් යන හැටි බලවයි වදාළහ. එවිට භික්ෂූහු ඒ සඳහා ඔහු කළ පින්කම කුමක්දැයි බුදුහිමියන් වෙතින් විමසූහ. එවිට බුදුන් වදාළේ මහාකාශ්‍යප තෙරුන්ට දන්දුන් පින බවත් එයින් ලැබු සතුට සිතින් පී‍්‍රතිවාක්‍ය පළ කරන බවත් මහා කාශ්‍යප තෙරණුවන්ට දන් පුදන්නට දෙවියන්ද මිනිසුන්ටද ඉතා පි‍්‍රය කෙරෙති”යි ද බුදු හිමියෝ වදාළහ.


ධම්මපදට්ඨ කථාවෙන් - 22 නිවන් දුටු නළු -නිළි සිටු යුවළ

 

 වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 07 වැනිදා අඟහරුවාදා අපරභාග 07.17 ට ලබයි. 08 වැනිදා බදාදා අපරභාග 04.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වැනිදා බදාදාය.

 මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]