UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් පුවත්

 

සබ්බත්ථක කම්මට්ඨාන හෙවත් ආරක්ෂා සතර

කර්තෘ - අති පූජ්‍ය කටුවැල්ලේගම සිරිවිමලධම්ම අමරසිරිතිස්ස මාහිමි
ප්‍රකාශනය – මරදානේ සමයවර්ධන පොත්හල (පෞද්) සමාගම
මිල – රු. 225.00

යහපත් ජීවිතයක් ගත කරමින් පරලොව දිනා ගැනීමේ බෞද්ධ ක්‍රම උපායන් දැක්වීම සඳහා ද කතු හිමියෝ මෙම පොත කර තිබෙන බව පෙනේ. විශේෂයෙන් භාවනා ක්‍රම පිළිබඳවත් ඒවායින් ලද හැකි ප්‍රයෝජන මෙහි සඳහන්ව තිබේ. විපස්සනා භාවනාව ආධුනිකයාට තරමක් අපහසු බවත් ඒ නිසා සමථ භාවනාව පළමුවෙන් පුහුණු විය යුතු බවත් මෙහි සඳහන් වේ. එය පුහුණු වෙන අන්දම ද කතුහිමියෝ පැහැදිලි කර තිබේ.


බණ කතා සාහිත්‍යයේ නිරූපණය වන කාන්තා චරිත හා පුද්ගල සංවර්ධනය

ප්‍රකාශනය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල දෙහිවල.
කර්තෘ - රුක්මණී ගුණවර්ධන,
මිල රු. – 350

“බණ කතා සාහිත්‍යයේ නිරූපණය වන කාන්තා චරිත හා පුද්ගල සංවර්ධනය” යන මාතෘකාව යටතේ සම්පාදනය කර ඇති මෙහි බෞද්ධ ඉතිහාසයත්, ජීවිත තුළ ඇති යථාර්ථයත් යම් පමණකට හෝ ඉස්මතු කිරීමෙන් විශේෂයෙන් කාන්තා පරපුර යහපත් මගකට යොමු කිරීමද ඉලක්ක කොටගෙන රචනා කර ඇති බව පෙනේ. බුද්ධකාලීන භික්ෂුණී චරිත කිහිපයක් ගෙන හැර දක්වමින් කර ඇති විග්‍රහය වර්තමාන කාන්තා පරපුරට ජීවිත ප්‍රශ්න අවම කර ගැනීම උදෙසා ආදර්ශ සපයන්නකි. දැනුම සහ අත්දැකීමද පිරිපුන් කර ගනිමින් ස්ත්‍රිය මුහුණ දෙනු ලබන විවිධ සමාජ පුද්ගල අභියෝග පැහැදිලි වූ විචාරයකට ලක් කර ඇත.


මිළිඳු රාජ ප්‍රශ්නය - 3

කර්තෘ - කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම
මි ල – රු. 250

මිලින්ද ප්‍රශ්නය බෞද්ධ සැදැහැවතුන්ගේ මහත් සම්භාවනාවට ලක්වූ ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජතුමාගේත්, නාගසේන මහරහතන් වහන්සේගේත් එම දුර්ලභ වු ධර්ම සංවාදය සිදු වී ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වූ කල්හි දහම් දැනුම කෙතරම් පැවතියද දහම් ගැටලු විසඳා ගැනීමෙහිලා මිළිඳු රාජ ප්‍රශ්නයෙන් අපට ලැබෙන ආලෝකය ඉමහත්ය.

මිලින්ද ප්‍රශ්නය නමින් සිංහල භාෂාවෙන් ග්‍රන්ථ පළවී තිබේ. මෙම ග්‍රන්ථය ඉතා සරල බසින් අනුවාදිත හෙයින් තේරුම් ගැනීමට පහසුවකි. දහම් පිපාසිතයින් හට මහත් අස්වැසිල්ලක් වනු ඇත.


නිර්වාණය (ථේරවාද හා මහායාන)

කර්තෘ - ආචාර්ය කොටියාගල උපරතන හිමි
මිල රු. – 180.00 කි.
ප්‍රකාශනය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ඇන්ඩර්සන් පාර නැදිමාල දෙහිවල

බුදු දහමින් පුද්ගලයා යොමු කරවන්නේ රාගාදී ක්ලේශ ධර්මයන්ගෙන් මුක්තව අසහනයෙන් තොර ආධ්‍යාත්මික වූ සියලු දුක්ඛයන්ගෙන්ද නිරවශේෂයෙන් නිදහස් වූ අසංස්කෘත යථාර්ථය වූ නිර්වාණගාමී ප්‍රතිපදාව දෙසටය. මනුෂ්‍ය වර්ගයා නිබඳවම වෙහෙසෙන්නේ කිනම් හෝ ආගමක් දර්ශනවාදයක් පදනම් කොටගෙන සිය දිවිමගේ එදිනෙදා විඳින්නා වූ නානාවිධ දුක් කම්කටොලු වලින් නොපිරුණ සැනසිලිදායක ජීවිතයක් ලබා ගැනීමටයි. විමුක්තිය, සැනසුම, නිවන හා නිර්වාණය ආදී වචන පුද්ගලයා විසින් එදිනෙදා ව්‍යවහාර කරනු ලැබුවද නිර්වාණ මාර්ගය කෙසේදැයි පරමාර්ථික වශයෙන් නොදැන එය ශාක්ෂාත් කිරීම පිණිස වෙහෙසෙයි. එහෙයින් මෙම ග්‍රන්ථයෙහි නිර්වාණය පිළිබඳව බුද්ධ ශ්‍රාවක දෙපිරිසක් අතර ඇති විවිධ වූ මතවාදයන්, දර්ශනවාදය තුළින් විවරණයකට ලක්කර ඇත.


යහපත් ජීවිතය Being Good (සදාතනික බෞද්ධ ආචාර ධර්ම)

පරිවර්තනය – භික්ඛුනී කුසුමා  (MA / PH.D)
මිල. රු. 250

ආචාර්ය සිං යුං හිමිපාණන් විසින් ලියන ලද “ යහපත් ජීවිතය ඕඥඪදඨ ට්ධධඤ ” මානුෂික බුදුදහම නම් වූ 1997 දී චීන භාෂාවෙන් ලියන ලද ග්‍රන්ථයෙන් තෝරා ගෙන සිංහලට නගනු ලැබූ යහපත් ලියකියවිලි සමුදායකි. සිං යුං හිමිපාණෝ වනාහී ජීවමානව සිටින ප්‍රසිද්ධතම චීන භික්ෂුව වේ. උන්වහන්සේ මහත් කීර්තියක් උසුලන්නේ උන්වහන්සේගේ කථිකත්වය හා කරුණාභාවය නිසාය.

ආචාර්ය සිං යුං හිමියන්ගේ ගරු ගාම්භීර කියමන් ඉතා චමත්කාර භාෂා විලාසයකින් ඉංගී‍්‍රසියට හා සිංහලට පරිවර්තනය වී ඇති අතර, බුදුදහම පැහැදිලිවම ජීවිතයට ග්‍රහණය කරගත හැකි අන්දම මෙහි පෙන්වා දී ඇත. ලෝකයේ විද්‍යාමාන වන විවිධ ගැටලු හමුවේ මධ්‍යස්ථායී ජීවිත පෙළගැස්මකට නැඹුරු කරවන ආකර්ෂණීය ලිපි රාශියක් මෙම ග්‍රන්ථද්වාරයෙන් දැකගැනීමට හැකි වේ. මෙය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ නවතම ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇත.


A BUDDHIST’S COMPANION බෞද්ධයාගේ අත්පොත

කර්තෘ - අෂින් ඨිත්තිල මහා ස්ථවිර
පරිවර්තනය – එල්.බී. හේරත්
ප්‍රකාශනය – මරදානේ සමයවර්ධන පොත්හල (පෞද්) සමාගම
මිල – රු. 225/-

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ප්‍රායෝගිකව අනුගමනය කළ හැකි ආකාරය ඉතා සරල ආකාරයෙන් මෙම පරිවර්තන කෘතියෙන් ඉදිරිපත් කරනු දක්නට ලැබේ. උන්වහන්සේගේ ජීවන චරිතයත්, ධර්මයත් යන දෙකම ඊට ඇතුළත් වී තිබෙනු පෙනේ. ප්‍රධාන අකුසල් ලෙස සැලකෙන ලෝභ, ද්වේෂ, මෝහ පිළිබඳව ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකප්ප (යහපත් කල්පනාව) සම්මා වාචා (යහපත් වචන භාවිතය) සම්මා කම්මන්ත (නිවැරදි ක්‍රියා) පිළිබඳව ද මෙහි විස්තර කෙරෙන අතර මරණය හා පුනරුත්පත්තිය, පටිච්ච සමුප්පාදය, භාවනාව ආදී කරුණු රැසක් පිළිබඳවද විස්තර මෙම පොතෙන් ගෙන එනු දැකිය හැක.

මෙහි මුල් ඉංගී‍්‍රසි කෘතියේ කතුහිමියන් එංගලන්තයෙන් පිටත්ව යාමට පෙර ශිෂ්‍යයන්ට දුන් ඉතා වැදගත් අවවාද කීපයක්ම මෙහි සඳහන්ව ඇත. එය හැම දෙනෙකුටම ජීවිතයේ දී ප්‍රයෝජනවත් විය හැක.


දසබෝධිසත්තුත්පත්තිකථා හෙවත් දස බෝසත් කතා පුවත

කර්තෘ - මැදගම්පිටියේ විජිතධම්ම හිමි.
ප්‍රකාශනය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල, දෙහිවල.
මිල රු. -175.00

පිටකත්‍රයෙහි සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායෙහි බුද්ධවංශ පාළියෙහිත්, බුද්ධවංශ අටුවාවෙහිත් ඉන් පරිබාහිරව ආ අටවිසි බුද්ධ වර්ණනා ආදියෙහිත් ඇත්තේ අනුක්‍රමයෙන් පැමිණි ලොව්තුරා බුදුවරු විසිඅට නම ගැන පමණි. එහෙයින් මෛත්‍රි බුදුන් වහන්සේගේ අපදානය අනාගත වංශය නමැති ඉපැරණි ග්‍රන්ථමූලාශ්‍රයෙන් දැක බලාගත හැකි අතර, මෙම ග්‍රන්ථයෙන් හෙළිදරව් කරනු ලබන්නේ මෛත්‍රී සර්වඥයින් වහන්සේගෙන් පසුව සම්මා සම්බුද්ධත්වයට පත්වීමට පෙරුම් පුරා විවරණ ලබා ඇති බෝධිසත්වවරුන් දසදෙනෙකුගේ ජීවිත කතා පුවතයි. “දස බෝධිසත්තුප්පත්තිකථා” යන පාලි ප්‍රබන්ධයේ ශාස්ත්‍රීය පරිවර්තනයක් වන මෙය රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමිපාණන් විසින් සම්පාදනය කර ඇත.

 

 

 බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 15 වැනිදා සඳුදා අපරභාග 07.12 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වැනිදා අඟහරුවාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 23 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]