UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රත්මලානේ සිරි සුනීත නා හිමි

අමරපුර සිරි සද්ධම්මවංශ මහානිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය සහ ඤාණාභිවංසාලංකාර සිරි ධීරානන්ද ධම්මාධාර වංශපාල මහින්දාලෝක වංශාවතංශ ගරු නාම සම්මුතියෙන් පිදුම් ලබන රත්මලාන ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති

රත්මලානේ සිරි සුනීත නා හිමි

ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය

අමරපුර සිරි සද්ධම්මවංශ මහානිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලද රත්මලාන ශ්‍රී පුෂ්පාරාමය ඇතුළු විහාර ගණයේ අධිපති රත්මලානේ සිරි සුනීත නාහිමියන් පිළිගැනීම හා සෙත් පැතීම මෙම මස 27 වන දා සවස 4.30 ට රත්මලාන ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ.

ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල රන්ගිරි උල්පත රජමහා විහාර ගණයේ අධිපති සිරි සද්ධම්මවංශපාල ගණාචරිය මහෝපාධ්‍යාය අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහානායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ ශ්‍රී සුධර්මා කාරක සංඝ සභාව වෙතින් තත් නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය හා ඤාණාභිවංශාලංකාර සිරි ධීරානන්ද ධම්මාධාරවංශපාල මහින්දාලෝක වංශාවතංස ගරුනාම සම්මුතිය රත්මලානේ සිරි සුනීත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිරිනැමීම මෙම 20 වන දා සවස 2 ට බලපිටිය වැලිතර මහා කප්පින සීමා මාලකයේ දී සිදු කෙරේ.

අභිනව නාහිමියන් පිළිගැනීම මෙම 27 වන දා සවස 4.30 ට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


කාගේත් සිත් දිනා ගැනීමේ හැකියාවක් ඇති යතිවරයෙක්

අමරපුර නිකාය පිහිටුවා වදාළ බෝධිසත්ව ගුණෝපේත වැලිතර ඤාණවිමලතිස්ස මහානායක මාහිමිපාණන් වහන්සේගේ දෘඪතර උත්සාහයෙන් ලංකා සම්බුද්ධ ශාසනයේ ප්‍රගමනය සඳහා දිවි පරදුවට තබා ඇති කළ මෙම නිකායේ ශාඛා ප්‍රශාඛා ගණන වර්තමානයේ දෙවිස්ස දක්වා වර්ධනය වී ඇත. අමරපුර නිකායේ ප්‍රධාන ශාඛාවක්වූ අමරපුර සිරි සද්ධම්මවංස නිකායද විහාරස්ථාන හාරසිය ගණනකින් හා ස්ථවිර මධ්‍යම, නවක සාමණේර සබ්‍රම්සරුන් වහන්සේ තුන්දහසකට අධික බව එම නිකායේ සංඛ්‍යා ලේඛන වලින් ප්‍රකාශයට පත්ව ඇත. අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ ආරම්භය ලෙස සැලකෙන්නේ රා.වර්ෂ 1856 යි. එම කාර්යයෙහි පුරෝගාමීව ක්‍රියාකළෝ පරම පූජ්‍ය ලංකාගොඩ සිරිධීරානන්ද මහා නායක ස්වාමින්ද්‍රයෝය.එම නිකායේ චිරරාත්‍රඥ කරපුටුගල, ධම්මදින්න,රන්දොඹේ ධම්මා-ලංකාර, කොස්ගොඩ සුමංගල, මාදම්පේ ධම්මතිලක, කරපුටුගල ධම්මරතන, බෝගහපිටියේ සීලක්ඛන්ද, වැලිතර සිරි සුදස්සන, තලල්ලේ ධම්මරක්ඛිත, දික්වැල්ලේ සංඝතිලක, පොහද්දරමුල්ලේ ඤාණානන්ද, මාපළානේ පඤ්ඤාලංකාර, මාදම්පිටියේ ජිනානන්ද, කොස්ගොඩ ධම්මවංස, තලල්ලේ ධම්මානන්ද,කොස්ගොඩ ජිනාලංකාර, බලංගොඩ සිරි සුධම්මවංස යන සුපේශල සික්ෂාකාමි මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සම්බුද්ධ ශාසනය හා ස්වනිකාය සංවර්ධනය කළහ.මෙම නිකායේ වර්තමාන මහානායක ධුරය හොබවන්නේ ත්‍රිකුණාමලය රංගිරිඋල්පත රාජමහා විහාරය ඇතුළු විහාරගණයේ අධිපති අහුංගල්ලේ සිරි සීලවිසුද්ධි මහා ස්ථවිරයන් වහන්සේය. අද දින නිකායේ ප්‍රධාන අධිකරණ නායක පදවියෙන් පිදුම් ලබන රත්මලානේ පුෂ්පාරාම මහා විහාරධිපති රත්මලානේ සිරි සුනීත ස්ථවිර පාදයන් වහන්සේ ඉහත සඳහන් පදවියට අතිශයින්ම සුදුසු ශාසනික විනය නීති පිළිබඳ විශාරද දැනුමක් ඇති නිකායාන්තර සාමගි‍්‍රය උදෙසා කටයුතු කරන මහා සංඝයා වහන්සේ,අතරත් දායකකාරකාදීන් අතරත් මහත් ප්‍රසිද්ධියට පත් නිහතමානී ශ්‍රමණ සාරුප්‍යයෙන් යුත් කාගේත් සිත් දිනාගැනීමේ හැකියාවක් ඇති ව්‍යක්ත යතිවරයාණ කෙනෙකි.


සංඝ සෝභන ගුණයෙන් පිරිපුන් ය

රත්මලානේ පුෂ්පාරාම මහා විහාරය, ඇතුළු විහාර ගණයේ ආධිපත්‍ය දරන රත්මලානේ සිරි සුනීත මහා ස්ථවිරයන් වහන්සේ වෙත අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු “සුධර්මා” කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් මෙම පත්වීම සිදුකරන ලදී. රන්දොඹේ ශික්ෂාලංකාර මහ පිරිවෙනින් අධ්‍යාපනය ලබා සිංහල, පාලි, සංස්කෘත භාෂා සහ ඉතිහාසය ඇතුළු ධර්මවිනය ශබ්ද ශාස්ත්‍ර හදාරා කීමෙහි හා බිණීමෙහි දක්ෂ කථිකත්වයක් ඇතිව ස්වකීය ආචාර්යවරයා රැක බලා ගැනීමේ අරමුණින් රත්මලානේ පුෂ්පාරාම මහා විහාරයට වැඩම කළ සුනීත හිමියෝ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සංගමය මගින් පවත්වනු ලබන ත්‍රිපිටක විභාග සඳහා ස්වෝත්සාහයෙන් පෙනී සිට විනය සූත්‍ර අභිධර්ම යන විභාගයන්ගෙන් සමත්ව ත්‍රිපිටකාචාර්ය උපාධිය හිමිකර ගත්හ.

මෙරට පමණක් නොව ලෝකයේ පෙර අපරදිග රටවල් රාශියක ධර්ම ප්‍රචාරයේ යෙදුන දැනට එම සේවාවේ යෙදෙමින් සිදුකරන උදාර ශාසනික සේවය තුළින් සමස්ත ලෝකයාගේ ගෞරවය උන්වහන්සේට පිරිනමන අවස්ථාවක පූජ්‍ය පණ්ඩිත තලල්ලේ සිරි ධම්මානන්ද මහ නාහිමි මහා නායක ධුරය හොබවන අවධියේ සිරි සුනීත හිමිගේ සේවය අගයමින් බස්නාහිර පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමන ලදී. සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා තමන් වහන්සේගේ ආධිපත්‍යයෙන් යුතු විහාරස්ථාන රාශියකම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට භාරකාරත්වය පවරා ඒවායේ දියුණුව පිණිසද කටයුතු කරමින් නාහිමියෝ තම පරපුරේ මූලස්ථානය වූ පුෂ්පාරාම මහා විහාරයේ වැඩ වෙසෙමින් මහඟු ජාතික ආගමික සමාජ හා සාසනික සේවයේ නිරතව සිටිති.

ප්‍රාචීන භාෂා අධ්‍යාපනය ලැබූ උපාධිධාරි ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ඇතුළු හත් නමක් වැඩ සිටිති. උන්වහන්සේලාද ආචාර්යයන් වහන්සේගේ නිකායික අනන්‍යතාවය සුරකිමින් එම විහාරස්ථාන දියුණු කරමින් දායක කාරකාදීන්ගේ සිත් දිනාගනිමින් වැඩ වෙසෙති.

සිරි සුනීත නාහිමියෝ ශාසනික ප්‍රතිපත්ති අනුගමනය කරමින් නිකායේ අභිවෘද්ධියට මහත් කැපවීමකින් ක්‍රියා කරමින් සිදුකරන අමිල මෙහෙය පිළිබඳ සතුටට පත්වූ අප අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහා නාහිමි තමන් වහන්සේ ප්‍රමුඛ ‘සුධර්මා කාරක සංඝ සභාව මගින් නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය නොබෝදා පිරිනමන ලදී. කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය හොබවමින් රත්මාලනේ පුෂ්පාරාම මහා විහාරය, ඇතුළු විහාරස්ථාන කීපයක ආධිපත්‍ය දරමින් බොහෝ ශිෂ්‍ය පිරිසක් සම්බුද්ධ ශාසනයට දායාද කළ මාදම්පේ සිරි ධම්මාධාර නාහිමිපාණන් වහන්සේගේ කනිෂ්ඨ ශිෂ්‍ය රත්මලානේ මහින්දාලෝක නාහිමිපාණන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස සසුන්ගතව ශාසනික විනය නීති පිළිබඳ විශාරද දැනුමක් ලබාගත් රන්දොඹේ ශික්ෂාලංකාර මහ පිරිවෙනේ ආචාර්යවරයකු වූ නිකායේ අධිකරණ නායක ධුරය හෙබවූ අතිපූජ්‍ය කොස්ගොඩ පඤ්ඤාසීහ අනුනාහිමියෝ නිතර සිහිකර පින්දෙමින් සමරති.


ශාසනික කටයුතු පිළිබඳ දැනුමක් ඇත

අම්බලන්ගොඩ රන්දොඹේ ශික්ෂාලංකාර මහ පිරිවෙනේ අධිපතිව වැඩ සිටි රාජකීය පණ්ඩිත බලපිටියේ විසුද්ධාලෝක නාහිමිපාණන් වහන්සේ, පණ්ඩිත කොස්ගොඩ සිරි විසුද්ධි නාහිමි සංඝරාජ මහා විහාරාධිපති අධිකරණ සංඝනායක හා අනුනායක ධුර දැරූ කොස්ගොඩ පඤ්ඤාසීහ නාහිමි අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක ධුරය හෙබවූ රාජකීය පණ්ඩිත කොස්ගොඩ ජිනාලංකාර නාහිමි වැනි සාර්වභෞම පැවිදි ආචාර්ය මණ්ඩලයකගෙන් ප්‍රාචීන භාෂා හා ත්‍රිපිටක අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන් අතර රත්මලානේ සිරි සුනීත හිමි එම යුගයේ කනිෂ්ඨ ශිෂ්‍යයකු ලෙස අප සමඟ අධ්‍යාපනය ලැබූ විනීත කීකරු නිහතමානි ශාසනික ඇල්මෙන් ක්‍රියාකළ හිමි නමකි.

සංඝරාජ මහා විහාරාධිපති ධුරය හෙබවූ කොස්ගොඩ පඤ්ඤාසීහ නාහිමිගේ පා සෙවෙණහි වැඩෙමින් විනය නීති පිළිබඳ හා සීමා සම්මත අබ්භාන ආදි විනය කර්ම පිළිබඳ දැනුමත් ඒවාට සහභාගි වෙමින් ලද පුහුණුවත් නිසා අද අපට එවැනි විනයකර්ම කිරීම මහත් ප්‍රයෝජනවත් ලෙස ඉදිරිපත් කිරීමට සිටින භික්ෂූන් වහන්සේ අතරින් සුනීත නාහිමි ප්‍රමුඛත්වයේලා සැලකිය හැකිය.

අප නිකායේ අනන්‍යතාවය සුරකිමින් නිකායට හා මහා සංඝයා වහන්සේ කෙරෙහි ගෞරවයෙන් පැවිදි සාමණේර භික්ෂූන් වහන්සේගේ අඩුපාඩු පෙන්වා දෙමින් කරුණාවෙන් අවවාද අනුශාසනා කරණ සුනීත නාහිමියෝ නිකායේ අභිවෘද්ධිය පිණිස සිදු කරනු ලබන සේවය කාගේත් පැසසුමට ලක්වී ඇත. විහාරස්ථාන රාශියක ආධිපත්‍ය දරමින් ශික්ෂාකාමි විනයගරුක ශිෂ්‍ය පිරිසක් ඇති කරමින් තමන් වහන්සේගේ භාරයේ පවතින විහාරස්ථාන රැකබලා ගැනීමට උගත් ශිෂ්‍යයන් වෙත පවරා දෙමින් තමන් වහන්සේ ඒවායේ දියුණුවට අනුශාසනා කරමින් රත්මලාන පුෂ්පාරාම මහා විහාරයෙහි වැඩ වෙසෙමින් සිදුකරණ ශාසනික සමාජ සේවය අගය කළ යුතුය.

ශාසනික ඉතිහාසයත් සංඝ පරම්පාවනුත් පිළිබඳ විශේෂ අධ්‍යාපනයක් කර ඇති සුනීත නාහිමි අප නිකායේ භික්ෂු පරම්පරා පිළිබඳ නිරවුල් දැනුමක් ඇති භික්ෂූන් අතරින්ද ප්‍රමුඛස්ථානයක් හිමිකර ගෙන ඇත. උන්වහන්සේගේ ශාසනික සේවාව තම ප්‍රදේශයට පමණක් නොව ලංකාවේ සෑම ප්‍රදේශයකම විහිදීගිය වග අසන දකින කවුරුත් කථා කරති. විදේශ ගතව කරණ සමාජ හා ධර්ම ප්‍රචාරක සේවය වාර්ෂිකව සිදුකරණ සුනීත නාහිමිට විදේශ ගත ලාංකිකයෝද මහත් ගෞරව සම්මාන පුද කරති. රත්මලාන ප්‍රාදේශීය ශාසනාරක්ෂ මණ්ඩලයේ සභාපති පදවියද අප නිකායේ කොළඹ දිස්ත්‍රික් සංඝ සභාවේ සමලේඛකාධිකාරි ධුරයද හොබවන සුනීත නාහිමි වෙත බස්නාහිර පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය නිකායෙන් පිරිනැමිණි. සුධර්මා කාරක සංඝ සභාවේ සාමාජිකත්වයද නිකායේ උප අධිකරණ සංඝ නායක ධුරයද පිරිනමා තිබුණි. පසුව සුධර්මා කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ප්‍රධාන අධිකරණ සංඝනායකධුරය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය 2014 අගෝස්තු 20 වැනි දින වැලිතර ස්වේජින් සීමා මාලක විහාරයේදී පිරිනමන ලදී. උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය අගෝස්තු 27 දා පස්වරු 4.00 ට රත්මලාන පුෂ්පාරාම මහා විහාරයේදී මහා සංඝයා වහන්සේ හා රාජ්‍ය නායකයන්ගේත් ප්‍රදේශවාසීන්ගේත් සහභාගිත්වයෙන් පැවැත්වෙන උත්සවය නිමිත්තෙන් ආශිර්වාද ප්‍රකාශනයක් නිකුත්කිරීමට ලැබීම භාග්‍යයකි.


මහත්සේ සතුටු වෙමු

රත්මලාන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය ප්‍රධානකොට ඇති විහාරස්ථාන කීපයක ම ආධිපත්‍යය දරන,රත්මලාන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති අමරපුර ශ්‍රී සද්ධර්මවංශ මහා නිකායේ කොළඹ ප්‍රාදේශීය සංඝ සභාවේ සම ලේඛකාධිකාරි සාමවිනිසුරු රත්මලානේ සිරි සුනීත නාහිමිපාණන් වහන්සේ සිරි සද්ධම්වංස නිකායික කාරක සංඝ සභාව විසින් බස්නාහිර පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් මීට වසර කීපයකට පෙර පුදනු ලබා වැඩ සිටියහ. නොබෝදා උන්වහන්සේ ම නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් නිකායික කාරක සංඝ සභාව විසින් පුදනු ලදුව බලපිටිය මහා කප්පින වලව්වේ පිහිටි නිකායික මූලස්ථානයේදී එයට අදාළ ශී‍්‍ර සන්නස් පත්‍රය පිරිනමන ලදී.

රත්මලාන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරයේදී උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය නිමිත්තෙන් අපේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ද ආශිර්වාදය පිරිනැමීමට ලැබීම ගැන අපි මහත්සේ සතුටු වෙමු. ආශිර්වාද කරමු.

රත්මලානේ සිරි සුනීතාභිධාන අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දශක තුන හතරක පමණ කාලයක සිට ආශ්‍රය නිශ්‍රය කරන භික්ෂූන් වහන්සේ නමක් වෙති. එයින් උන්වහන්සේ තුළ පවත්නා උතුම් මිනිස්කම හා ශාසනික ඇවතුම් පැවතුම් කෙරෙහි බොහෝ කොට පවත්නා කැමැත්ත පසක් කොට දනිමි. අත්තුක්කංසනය මෙන්ම පරවම්භනය ද උන්වහන්සේගේ චරිතයෙහි මා දැක නැත. මව්පියන්, ගුරුවරුන් ,වැඩිහිටියන් වෙනත් සැළකිය යුත්තන් හා ගරුකළ යුත්තන් කෙරෙහි උන්වහන්සේ තුළ පවත්නේ ලොකු සැළකිල්ලකි. දත් දෙය ගැන මැනැවින් පැවසීමත් නොදත් දෙය නොදන්නා බව පැවසීමත් අගට කොට පැවසිය යුතුය.අනුනට උදව් උපකාර කිරීමද උන්වහන්සේගේ සාධු චරිතයෙහි කැපී පෙනෙන ලක්ෂණයකි.

උන්වහන්සේ කෙරෙහි ඇති සුවිශේෂ හැකියාවන් අතර වාග්පටුත්වය (මැනවින් කතා කිරීමේ දක්ෂතාවය) සඳහන් කළ යුතුය. දැන උගත් හොඳ භික්ෂූන් වහන්සේ නමකට මෙය පිහිටා ඇතොත් උන්වහන්සේට කළ හැකි ලෝක ශාසනික සේවාව ඉතා විශාලය. එපමණක් නොව කථිකත්වයටත් වඩා උතුම් ගුණයක් ලෙස ඒ පඬුවන් විසින්ම දක්වා ඇති පරිත්‍යාගශීලිත්වය ද හෙවත් දන් දීමද උන්වහන්සේගේ ජීවිතයෙහි අපට ප්‍රත්‍යක්ෂව ඇත.

රත්මලානේ සිරි සුනීත අධිකරණ නා හිමියන්ද තව තවත් නිහතමානීව තව තවත් ගුණවත්ව තව තවත් සැදැහැවත්ව තව තවත් පි‍්‍රයශීලිව තවත් බොහෝ කාලයක් ලෝ සසුන් වැඩ වැඩීමට තෙරුවන් සරණින් හේතු වාසනා වේවා! සුඛී දීඝායුකෝ භව!


සුවිශේෂී සේවයක් කිරීමට ශක්තිය ලැබේවා

රත්මලාන ශ්‍රී පුෂ්පාරාමයේ විහාරාධිපති රත්මලානේ සුනීත ස්වාමීන් වහන්සේ අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබීම වෙනුවෙන් මාගේ පණිවිඩයක් මුසු කරන්නේ හදපිරි බොදු බැතියෙනි.

දෙහිවල ගල්කිස්ස මහා නගර සභා බල ප්‍රදේශයේ පෞරාණික වූ දිගු ඉතිහාසයකින් සමන්විත විහාරස්ථානයක් වන රත්මලානේ ශ්‍රී පුෂ්පාරාමය රත්මලානේ මහින්දාලෝක නායක ස්වාමීන් වහන්සේගේ විහාරාධිපතිත්වයෙන් යුතුව වසර ගණනාවක් පැවති අතර උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් ලෙසින් 1972 වසරේ දී රත්මලානේ සුනීත ස්වාමීන් වහන්සේ පැවිදි බිමට එක්වන්නේ බෞද්ධ ශාසනයට මෙන්ම බෞද්ධ දර්ශනය උදෙසා අමිල මෙහෙවරක් ඉටු කිරීමේ අපේක්ෂාවෙනි. අනතුරුව උන්වහන්සේ 1978 වසරේ දී උපසම්පදා ලබන්නේ ගරු නායක ස්වාමීන් වහන්සේ වූ රත්මලානේ මහින්දාලෝක නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ඔවදන් සහ අදහස් උදහස්වලට ගරු කරමින් යහපත් ගමන් මගක පියවර මනිමින් කීර්තිමත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් ලෙසින් බුදු සසුන තුළ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

කෙසේ නමුත් බුදු සසුන තුළ පියවරෙන් පියවර ඉදිරියට යමින් රත්මලානේ සුනීත ස්වාමීන් වහන්සේ උන්වහන්සේ හට සිප්සතර කියාදෙමින් පිරිවෙන් අධ්‍යාපනයේ ඉහළටම යාමට අවස්ථාව ලබාදුන් උන්වහන්සේගේ ගුරු දේවයාණන් වහන්සේ වූ රත්මලානේ මහින්දාලෝක ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව රත්මලානේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපති ලෙස පත්වී දැනට වසර 10 ක පමණ කාලයක් වන අතර මෙම කාලය තුළ විහාරස්ථානයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ සහ විහාරස්ථානයේ පොදු අවශ්‍යතා සපුරාලීමට ඉමහත් කැපවීමෙන් ධෛර්යයෙන් යුතුව කටයුතු කරමින් රත්මලානේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වර්තමානයේ බොදු සිත් සතන් පහන් කෙරෙන අයුරින් බෞද්ධ ප්‍රබෝධය දනවන ලෙස උතුම් පූජනීය ස්ථානයක් ලෙසට පත්කිරීම පිළිබඳව රත්මලානේ සුනීත ස්වාමීන් වහන්සේ පොදු මහජනතාව අතරේ ඉතාමත් ගෞරවයට පත්විය. මාගේ ගෞරවයද උන්වහන්සේට හිමි වන්නේ ය. තවද රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවතින බෞද්ධ විහාරස්ථාන 45 කින් සමන්විත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයට රත්මලානේ සුනීත ස්වාමීන් වහන්සේ පත්වන්නේ ද බුදු සසුනට තවත් අමිල මෙහෙවරක් කිරීමේ අපේක්ෂාවෙන් එහි කටයුතු හොඳින් පවත්වාගෙන යමින් දැනට වසර දෙකක් එම තනතුරෙහි කටයුතු කර ඇත.

මා විශේෂයෙන්ම දෙහිවල ගල්කිස්ස මහා නගර සභා බල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථාන ඒවාගේම ගරුතර මහා සංඝරත්නය සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරන අතර විශේෂයෙන්ම රත්මලානේ සුනීත ස්වාමීන් වහන්සේ හා සමීපව ඒවාගේම සුහදව කටයුතු කරමි. කෙසේ නමුත් උන්වහන්සේ හට අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබීම පිළිබඳව මා පෞද්ගලිකවම සහ ඒවාගේම දෙහිවල ගල්කිස්ස මහා නගර සභා බල ප්‍රදේශයේ ප්‍රධාන පුරවැසියා ලෙසින් මහනගර සභා බල ප්‍රදේශයේ සමස්ත ජනතාවගේ ගෞරවනීය ශුභාශිංසන රත්මලානේ සුනීත ස්වාමීන් වහන්සේ හට පිළිගන්වන්නේ බොදු බැතියෙන් යුතුවය.


මහත් පිටිවහලක්

රත්මලාන ග්‍රාමයේ දී 1958 පෙබරවාරි 21 වන දින ජන්ම ලාභය ලබා රත්මලාන රෝමානු කතෝලික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. අනතුරුව රත්මලාන ශ්‍රී පුෂ්පාරාම විහාරයේ හා රත්මලාන ශ්‍රී මහින්දාරාම විහාරයේ උභය විහාරාධිපතිව වැඩසිටි රත්මලානේ සිරි මහින්දාලෝක නාහිමිගේ ශිෂ්‍යයෙකු ලෙස රත්මලානේ සිරි සුනීත නමින් පැවිදි බිමට ඇතුළත්ව 1978 දී අමරපුර සංඝසභාවේ සභාපතිව හා සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහානායක ධුරීනව වැඩසිටි රාජකීය පණ්ඩිත කොස්ගොඩ සිරිධම්ම වංශ මහා නා හිමි ප්‍රධාන මහා සංඝරත්නය විසින් අධිශීලත්වයට පත්ව උන්වහන්සේ අම්ලන්ගොඩ රන්දොඹේ සංඝරාජ මහා විහාරස්ථ ශික්ෂාලංකාර මහා පිරිවනට ඇතුළත්ව එහි වැඩ සිටි කොස්ගොඩ සිරි පඤ්ඤාසීහ අනුනායක මාහිමි හා අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහා නායක පදවිය හෙබවූ අග්ග මහා පණ්ඩිත කොස්ගොඩ ජිනාලංකාර මාහිමියන් විසින් උගතමනා ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර හදාරා නැවත සිය විහාරස්ථානය වන රත්මලානේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට වැඩමකොට ශ්‍රී ධම්මාධාර ධර්ම විද්‍යාලය ආරම්භ කරමින් ශාසනික කටයුතු ආරම්භ කරන ලදී.

ඉන් පසුව එවකට විහාරාධිපති රත්මලානේ ශ්‍රී මහින්දාලෝක නාහිමිට රුකුලක් වෙමින් විහාරස්ථානයේ සියලු ආගමික හා සමාජීය වැඩකටයුතුවල නිරත වුණ සේක. ඒ අතුරින් ශ්‍රී ධම්මාධාර දහම්පාසල හා ධම්මාධාර පෙර පාසල ප්‍රධාන තැනක් ගනී. උන්වහන්සේ අප ප්‍රදේශයේ කා අතරත් ඉතාම කුළුපගව ශාසනික මෙහෙවර කාර්යශීලීව සිදුකරනු ලබන අතර තම නිකාය වෙනුවෙන් ඉතාමත්ම කැප කිරීමෙන් සිදුකළ හා සිදු කරන මෙහෙවර අතිමහත් බව සඳහන් කරනු කැමැත්තෙමි. ඒ අනුව උන්වහන්සේට සිරි අත්ථකුසල ධම්මාධාර වංශාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී ගෞරව නාමය සහිත බස්නාහිර පළාතේ දුතීය අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලබන ලද්දේ 1992 දී ය.

 

 බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 15 වැනිදා සඳුදා අපරභාග 07.12 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වැනිදා අඟහරුවාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 23 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]