UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෙරභවය යි කර්ම විපාකය යි 04 කෙතරම් ධනය තිබුණත් අනුභවයට සිත් නොදුන් සිටුතුමා

පෙරභවය යි කර්ම විපාකය යි 04

කෙතරම් ධනය තිබුණත් අනුභවයට සිත් නොදුන් සිටුතුමා

සැවැත්නුවර ‘අපුත්තක’ නමින් ප්‍රසිද්ධ වූ ධනවත් සිටුවරයෙක් විය. ඔහුට අපුත්තක යන නම ලැබී ඇත්තේ දූ දරුවන් නොමැති නිසාය. එම සිටුතුමාට දරුවන් නැතිවීමට හේතු වී ඇත්තේ ඔහු පෙර ආත්මයක කරන ලද අකුශල කර්මයක විපාක වශයෙකි. ඔහුගේ ඇවෑමෙන් පසු ඔහු සතු සියලු ධනය රාජසන්තක විය. ඔහුගේ ඇවෑමෙන් දින හතක් ඉක්ම යෑමෙන් ඔහු සන්තක සියලු දෑ පසේනදී කොසොල් රජු තමා සන්තක කරගනිමින් රැගෙන එන කල්හි බුදුරදුන් හමුවී සතුටු සාමීචි කතාවේදි ආගිය තොරතුරු විමසීමේදී තමා අපුත්තක සිටුවරයාගේ ධනය රාජසන්තක කරගනිමින් රැගෙන ඒමට ගිය බව පැවසීය. එය ඇසූ බුදුරජාණන් වහන්සේ ඔහු අපුත්තක වීමට හේතු දක්වමින් අතීත කතාව ගෙනහැර දැක්වීය.

එනම්, ඔහු එක් ආත්මයක සිටුවරයෙක්ව උපන්නේය. අසූ කෙළක ධනය ඇති ඔහුගේ බෑණා කෙනෙක් අඩු වයසෙන් මළේය. එම බෑණාගේ පුතා හදා වඩා ගැනීමේ කටයුත්ත භාරවූයේ මේ සිටුතුමාටය. දිනක් සිටුවරයා සමඟ ඇවිදින මේ පුංචි දරුවා “මේ මාගේ යානයන්ය.මේ මගේ ගොන්ය. මා සන්තකයේ අසූ කෙළක් ධනය ඇතැයි”ආදි වශයෙන් කියවන්නට විය. මෙය නොඉවසූ සිටුතුමා මොහු කුඩා කාලයේම මෙසේ පවසද්දී ලොකු වූ පසු ධනය ගැන කෙසේ පවසත්දැයි සිතා දරුවා පිළිබඳ වෛරී සිතක් ඇතිකරගෙන ඈත කැලෑවකට ගෙන ගොස් එම දරුවාගේ බෙල්ල මිරිකා මරා දමා ඒ සියලු ධනය තමා සන්තක කරගත්තේය.

සො භාතු ච පන ඒකපුත්තකං සාපතෙය්‍යස්ස කාරණං ජීවිතා වොරොපෙසි. සො කිරස්ස අංගුලිං ගහෙත්වා විවරන්තො” ඉදං මය්හං පිතුසන්තකං යානකං, අයං තස්ස ගොණො” ති ආදිනි ආහ. අථ නං සො සෙට්ඨී” ඉදානි තාවෙස එවං වදෙති, ඉමස්ස පන වුඩ්ඪිප්පත්තකාලෙ ඉමස්මිංගෙහෙ හොගෙ කො රක්ඛිස්සති”ති තං අරඤ්ඤං නෙත්වා එකස්මිං ගම්ඡමුලෙ ගීවාය ගහෙත්වා මූලකන්දං වීය ගීවං ඵාලෙත්වා මාරෙත්වා තත්ථෙව ඡඩ්ඩෙසි .

මෙසේ අර පුංචි දරුවා ගෙල මිරිකා මරා දැමීමේ අකුශල විපාකය නිසා ආත්ම ගණනාවක්ම අපායේ දුක්විඳ මිනිසත් බව ලැබූ ආත්මයන්හිද පුත්‍රයන් අහිමිව ඉපිද මේ අත්භවෙහිද එහි විපාක වශයෙන් අපුත්තකව ඉපදීය.

මේ අපුත්තක සිටුතුමා ජීවත් වූ කාලයේ ගත කළේ පුදුම ජීවිතයකි. තමාට අසූකෙළක් ධනය තිබුණද මිහිරි ආහාරයක් අනුභව කිරීමට හෝ කෙතරම් වටිනා ඇඳුම් පැලඳුම් තිබුණත් ඒවා ඇඳීමට හෝ ගමන් බිමන් යෑමට කෙතරම් වටිනා අශ්ව රථ තිබුණත් ඒවායෙන් ගමන් යෑමට හෝ කිසිසේත් සිත් නොවීය. ඔහුගේ මාලිගයෙහි වූ දැසි දසුන් වටිනා හා රසවත් ආහාරපානාදිය සකස්කොට ඔහු වෙත ගෙනත් පිරිනැමූ කල්හි දඬුමුඟුරු ආදියෙන් ඔවුන්ට ගසා මේවා මිනිසුන්ට සුදුසු නොවේ ආදී වශයෙන් බැණ වැදී කටුක වූ නීරස වූ ආහාරම අනුභව කරයි. ඔහුට ඇඳීම සඳහා දැසිදසුන් විසින් වටිනා ඇඳුම් පැලඳුම් ගෙනත් පිළිගැන්වූ කල්හි ඔවුන්ටද බැණ වැදී දඬුමුගුරු ආදියෙන් පහර දී පන්නා දමා නොවටිනා හණෙන් කරන ලද ගොරෝසු ඇඳුම් පැලඳුම්ම දරයි. ඔහු ගමනක් යෑමට සූදානම් වූ කල්හි ජවසම්පන්න අශ්වයන් යෙදූ වටිනා අශ්වරථ දැසිදසුන් විසින් සූදානම් කළ කල්හි ඔවුන් ද බැණ වැදී දඬුමුඟුරු ආදියෙන් පහර දී මහලු ගොනෙක් යෙදූ පරණ කරත්තයෙන්ම ගමන් බිමන් යයි.

සොර කිර සුවණ්ණපාතියා නානග්ගරසභොජනෙ උපනීතෙ”එවරූපං නාම මනුස්සා භුඤ්ජන්ති, කිං තුම් හෙ මයා සද්ධිං ඉමස්මිං ගෙහෙ කෙළිං කරොථා”ති භොජනෙ උපට්ඨීතෙ ලෙඩ්ඩුදණ්ඩාදීහි පහරිත්වා පලාපෙත්වා“ ඉදං මනුස්සානං භොජන”න්ති කණාජකං භුඤ්ජති බිළංගදුතියං ,වත්ථයානඡත්තෙසුපි මනාපෙසු උපට්ඨාපිතෙසු කෙ මනුස්සෙ ලෙඩ්ඩුදණ්ඩාදීහි පහරන්තො පලාපෙත්වා සාණානි ධාරෙති, ජජ්ජරරථකෙන යාති පණ්ණඡත්තකෙන ධාරියමානෙනාති.

මෙසේ අසාමාන්‍ය චර්යාවන්ගෙන් යුක්ත වු අපුත්තක සිටුවරයාගේ එම ක්‍රියාවන් සඳහා බලපෑ කර්ම විපාක බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. මේ සිටුතුමා තගරසිඛී නම් පසේබුදුන් දවස සිටුවරයෙක්ව උපන්නේය. එහෙත් ශ්‍රද්ධාසම්පන්න නොවීය. ඔහුගේ බිරිඳ ශ්‍රද්ධා සම්පන්න විය. දිනක් ඔහු ගමනක් යෑමට පෙර බිරිඳ අමතා මෙසේ කීය. “සොඳුර අද පිණ්ඩපාතය සඳහා යම් ශ්‍රමණයෙක් පැමිණිය හොත් පිණ්ඩපාතය සුදානම් කොට දෙන්න” යනුවෙනි. ඔහුගේ වදන් ශ්‍රද්ධා සම්පන්න වූ ඔහුගේ බිරිඳට මහත් අස්වැසිල්ලක් විය. ඇය ඉතා ප්‍රණීත අයුරින් දානය සකස්කොට බලා සිටි කල්හි තගරසිඛී නම් පසේ බුදුරජාණන් වැඩියහ. ඇය ඉතා ශ්‍රද්ධාවෙන් උන්වහන්සේට පිණ්ඩපාතය පිළිගැන්වීය.

පිණ්ඩපාතය රැගෙන උන්වහන්සේ ආපසු වඩින කල්හි අතරමග දී මේ සිටුතුමා මුණගැසීය. පසේ බුදුන් ඇමතූ සිටුතුමා පිණ්ඩපාතය ලැබුණේදැයි පාත්‍රය අතට ගෙන බැලීය. එහි වූ ප්‍රණීත ආහාර දැක අශ්‍රද්ධාසම්පන්න වූ සිටුතුමා දූෂිත සිතින් යුක්තව මෙසේ කල්පනා කළේය. මේ ප්‍රණීත ආහාරය මාගේ මාලිගයෙහි දාසයෙකුට හෝ කම්කරුවෙකුට දුන්නේ නම් බොහෝ වැඩගන්නට තිබුණේය යනුවෙනි. මෙම සිතිවිල්ලෙන් යුක්තව පාත්‍රය නැවතත් පසේ බුදුරදුන්ට දුන් සිටුතුමා මාලිගය වෙත පිටත්විය.

භූතපුබ්ිබං සො, මහාරාජ, සෙට්ඨි, ගහපති, තගරසිඛීං, නාම පච්චෙකබුද්ධං පිණ්ඩපාතෙන පටිපාදෙසි, “දෙථ සමණස්ස පිණ්ඩ” න්ති වත්වා සො උට්ඨායාසනා පක්කාමි, තස්මිං කි අස්සද්ධෙ බාලෙ ඒවං වත්වා පක්කන්තෙ තස්ස භරියා සද්ධා පසන්නා “චිරස්සං වත මේ ඉමස්ස මුඛතො දෙහි ති වචනං සුතං අජ්ජ මම මනොරථං පූරෙන්ති පිණ්ඩපාතං දස්සාමි”ති පච්චේක බුද්ධස්’ස පත්තං ගහෙත්වා පණිතභොජනස්ස පූරෙත්වා අදාසි, සොපි නිවත්තමානො තං දිස්වා” කිං සමණ, කිඤ්චි තෙ ලද්ධ” න් ති පත්තං ගහෙත්වා පණිතපිණ්ඩපාතං දිස්වා විප්පටිසාරී හුත්වා එවං වින්තෙසි – “ වරමෙතං පිණ්ඩපාතං දාසා වා කම්මකරා වා භුඤ්ජෙය්යුං තෙ හි ඉමං භුඤ්ජිත්වා මය්හං කම්මං කරිස්සන්ති,අයං පන ගන්ත්වා භුඤ්ජිත්වා නිද්දායිස්සති, නට්ඨො මෙ සො පිණ්ඩපාතො”ති

මෙසේ මේ සිටුතුමා පිණ්ඩපාතය දීමට විධාන කළහෙයින් මහත් භෝග සම්පත් ඇතිව උපන්නේය. එහෙත් පිරිනැමූ පිණ්ඩපාතය දැක සිත දූෂිත කරගත් නිසා උපන් සෑම ආත්මයකම ඒවා භුක්තිවිඳීමේ භාග්‍ය හිමිනොවීය.මේ ආත්මයේ දී කෙතරම් භවභෝග සම්පත් තිබුණත් ඒවා භූක්තිවිඳීමේ සිතක් පහළ නොවූයේ ඒ අකුසල කර්මයේ විපාක වශයෙනි යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනාකොට මේ ගාථාවද වදාළහ.

“හනන්ති භොගා දුම්මෙධං නොච පාරගවෙසීනො
භොගතණ්හායං දුම්මෙධො, හන්ති අඤ්ඤෙච අත්තන”න්ති

(භෝගයයෝ (උපභෝග පරිභෝග) සම්පත් අනුවණයා විසින් නසාගනු ලැබේ. එහෙත් නිවන් මාර්ගයට පිවිසීමට උත්සාහ කරන්නන් විසින් ඒවායෙන් අනතුරක් කරගනු නොලැබේ. මෝඩ පුද්ගලයා වස්තු ආශාව නිසා අනුන් නසන්නාක් මෙන් තමන්ම නසා ගනී)

කෙතරම් වස්තුව භවභෝග සම්පත් ධනය තිබුණත් ඒවා අනුන්ගේ පවා තමන්ගේ වුවද පරිභෝජනයට නොගෙන ධනය සෙවීමෙහිම නිරත පිරිස් කෙතෙක් නම් අපේ සමාජයේ සිටිත්ද? ඒ අයගෙන් අනුන්ට තබා තමන්ට වත් සෙතක් සැලසෙන්නේ නැත.කුමක් නිසාද යත් දන් දීමේ සිතිවිල්ලක් වත් ඔවුන් තුළ ඇති නොවන බැවිනි. එසේවීමට හේතු වන්නේ ඔවුන් ජීවිතය පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව ජීවත් වන්නේ ධනය සෙවීමටය. යන අරමුණින් ජීවත් වන නිසාය. එහෙත් ජීවත් විය යුත්තේ ධනය සෙවීමට නොව ධනය සෙවිය යුත්තේ ජීවත් වීමටය. “ යන අරමුණින් ජීවිත ගත කළ යුතුය. එසේ නොවුන හොත් සිදුවන්නේ අපුත්තක සිටුවරයාට මෙන් පසුතැවී කණස්සල්ලෙන් දිවි ගෙවීමටය.


පෙරභවය යි කර්ම විපාකය යි 03 - මිහිපිට වටිනාම ප්‍රාසාදය හිමි වුණත් දරුවන් අහිමි වූ යුවළ

 

 බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් මස 15 වැනිදා සඳුදා අපරභාග 07.12 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වැනිදා අඟහරුවාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 23 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]