UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උතුවන්කන්ද දෙහිමඩුවේ වේරගල ශ්‍රී වර්ධනාරාමයේදී ශ්‍රී සම්බුද්ධ කේශධාතු පූජෝපහාර

උතුවන්කන්ද දෙහිමඩුවේ වේරගල ශ්‍රී වර්ධනාරාමයේදී ශ්‍රී සම්බුද්ධ කේශධාතු පූජෝපහාර

ශ්‍රී ලංකා බංග්ලාදේශ් මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට බංග්ලාදේශ් ආග්‍රාමාත්‍යතුමිය විසින් ප්‍රදානය කරන ලදුව එතුමාගේ භාරයේ කොළඹ හුණුපිටියේ ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ විහාරස්ථානයෙහි වැඩහිඳින ශ්‍රී සම්බුද්ධ කේශධාතුන් වහන්සේ උතුවන්කන්දේ දෙහිමඩුවේ වේරගල ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයට වැඩමවා බිනර මස පුර පසළොස්වක පොහෝ දින සහ ඊට පසුදින (හෙවත් 2014 සැප්තැම්බර් මස 08 වෙනිදා සහ 9 වෙනිදා රාජ්‍යානුග්‍රහය සහිත ව උත්කර්ෂවත් ලෙස පූජෝපහාර පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. එම උත්සවයේ ප්‍රධාන දායකත්වය දරන්නේ ශ්‍රී ලංකා ජනරජයේ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා සහ සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මැතිතුමාය.

ධාතුපූජාවේ ආරම්භය කවදා කොතැනදී කවර හේතුවක් නිසා සිදුවීදැයි ශාස්ත්‍රීය වශයෙන් නිශ්චිත ව සඳහන් කිරීම අවදානම් සහිත කාර්යයකි. එහෙත් මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් යම් යම් සිරිත් විරිත් අනුගමනය කිරීම ඉතා පැරණි අවධියක සිට මනුෂ්‍ය සමාජයේ පොදු පුරුද්දක් ව පැවති බව නොයෙක් සංස්කෘතින් පිළිබඳ ඉතිහාසයේ සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් හෙළිවෙයි. ඒ අනුව පෙනීයන්නේ මෙම සමාජ සංස්කෘතික පුරුද්ද මිය ගිය තම මුතුන් මිත්තන්ට ගරු කිරීම හා ඔවුන් වෙත තම කෘතවේදීත්වය පළකිරීම වැනි සදාචාරාත්මක සංකල්ප පදනම්කොට ගන්නට ඇති බවයි. ඒ පිළිබඳ පූර්ණ තොරතුරු ලබා ගත හැක්කේ මානව විද්‍යාඥයන්ගෙන් හා සමාජ විද්‍යාඥයන්ගෙනි. ඒ පිළිබඳ පර්යේෂණාත්මක අදහසක් පළ කිරීම මෙම මේ ලිපියෙහි අරමුණ නොවේ. ධාතුපූජාව පිළිබඳ දළ විස්තරයක් කිරීමය.

ධාතුපූජාව යටකී සිද්ධියෙහි ම ආගමික ශ්‍රද්ධාව ඔස්සේ දියුණුවී ගිය අලෞකික පුරුද්දකැයි සිතීමට ධාතුවංසය ඇතුළු ග්‍රන්ථවලින් කරුණු සැපයෙයි. බෞද්ධ ශාසන ඉතිහාසයෙහි ලා සළකන විට, බුද්ධ පරිනිර්වාණය ඉතා වැදගත් කඩසන්ධියක් විණැයි කිව යුතුය. ඒ බව හෙළිවන්නේ මහා පරිනිර්වාණ සූත්‍රයෙනි. බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු තමන්ට ඒ අනුපමේය මහා කාරුණික ශාන්තිදායක රූපය නැවත දකින්නට නොලැබීම ගැන සැදැහැවතුන් තුළ බරපතළ කැළඹීමක් ජනිත වන්නට ඇති බව පහසුවෙන් අනුමාන කළ හැකිය. ඊට විසඳුම් සොයා ඔවුන් බුදුන් වහන්සේ වෙත පැමිණියේ ඒ නිසා විය යුතුය. ධාතු තැන්පත් කළ චෛත්‍යයක් ඉදි කොට ගෙන ඊට වන්දනාමාන කරන ලෙස ඒ අවස්ථාවේදී ලැබුණු බුද්ධාවවාදය විය. ධාතුපූජාව අතිසම්භානීය පූජා කර්මයක් බවට පත් වූයේ මෙතැන් සිටය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු සැදැහැවතුන් විසින් ක්‍රියාවට නංවන ලද්දේ ඒ අවවාදයයි. බුදුසිරුර ආදාහනය කළ චිතකයෙහි අවශේෂ වී තිබුණු ධාතුන් වහන්සේ බෙදා ගැනීමෙහි ලා එවක රජවරුන් අටදෙනෙක් ඉදිරිපත් වුහ. ඔවුන් ඒවා රැගෙන ගොස් තම විජිතයන්හි තැන්පත්කොට චෛත්‍යයන් ඉදි කළ බවට සාක්ෂි තිබේ. කපිල වස්තුවෙන් හමු වූ ධාතු ඊට කදිම නිදසුනකි. මේ අයුරු චෛත්‍යයන් ඉදිකරනු ලැබුවේ සර්වඥයන් වහන්සේගේ ධාතු පමණක් නොවේ. බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ දෙසියතිස් ගණනකට පසු අශෝක මහරජතුමන් විසින් ඉදිකරවනු ලැබූ සාංචි ස්තූපයෙන් හමු වූයේ සැරියුත් මුගලන් මහරහතුන් වහන්සේලාගේ ශාරීරික ධාතු කොටස්ය.

ඊළඟට වැදගත් කරුණු නම් චෛත්‍යයන්හි නිදන් කරනු ලැබූ ධාතු විශේෂ අතරින් කේශධාතුවලට ද ප්‍රධාන තැනක් ලැබී තිබීමයි. එය එක්තරා පමණකට එකල පැවති සංස්කෘතික ලක්ෂණයක බලපෑම පෙන්වන්නකි. එවැනි අනුමාන නිගමනයකට කරුණු වන්නේ බුදුසිරුරේ ධාතූන් වහන්සේලාට සමාන සැළකිල්ලක් කෙස්වලට හිමි වූයේ කෙසේද යන්න ගැන සිතන විටය. එක් අතකට සිරුරේ කොටස් අතරින් කෙස් යනු ඉක්මනින් දිරාපත් නොවන ස්වභාවයෙන් යුක්ත වූ කොටසකි. අනිත් අතට ඒවා බුදු සිරසෙහි ම ජනිත වී බුද්ධඥානය ස්පර්ශ කරමින් පැවති දේ වීමය. තවත් අතකට කේශධාතුව පූජාව ඒ යුගයේ ජනපි‍්‍රය ව පැවති චාරිත්‍රයක් හෙළිදරව් කරතැයි සිතේ. ඒ කුමක්ද ? යම් ප්‍රමුඛත්වයක්, ප්‍රබුද්ධභාවයක් හෝ පුජනීයත්වයක් ලැබූ උතුමෙකුගෙන් කෙස් ලබා ගැනීම සාමාජික වශයෙන් පුද්ගලයා ගරුත්වයට ලක්වීමක් ලෙස සැළකෙන්නට ඇත.

පූජනීයත්වයට පත් ධාතුන් අතරින් බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටින කාලයේදී ම කෙනෙකුට ලබා ගත හැකි වූයේ කේශධාතු පමණි. මුල්ම වරට කේශධාතු ලබා ගත්තේ තපස්සු, භල්ලුක යන වෙළෙඳ දෙබෑයෝය. අජපාල නුගරුක මුල සමාධි සුවයෙන් වැඩ සිටින බුදුන් වහන්සේ දුටු ඔවුහු අතිශයින් ප්‍රසාදයට පත්ව උන්වහන්සේ වෙත පැමිණ දන් පිළිගැන්වූහ. ප්‍රථම ද්වේවාචික උපාසක තත්ත්වයට පත්වූවෝ ඔවුහුය. ඔවුන් සරණ ගියේ බුදුන් සහ දහම් යන රත්න දෙක පමණි. ඒ වන විට සඟ සසුනක් බිහිවී නොතිබීම ඊට හේතුවයි. යන්නට සැරසුණු දෙසොහොයුරෝ බුදුන් මතක තබා ගැනීම සඳහා කිසියම් සංකේතාත්මක දෙයක් දෙන්නැයි බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. ඔවුනට කේශධාතු ලැබුණේ ඒ ඉල්ලීමට පිළිතුරු වශයෙනි. බුදුසිරුරේ කොටසක් විදේශගත වන පළමු අවස්ථාව එයයි. ඊට මග පෑදුනේ තපස්සු සහ භල්ලුක වෙළෙඳුන් වූ හෙයිනි. පවතින ජනප්‍රවාදවලට අනුව ඔවුන් ධාතු රැගෙන පළමුව ගියේ බුරුමයටය .බලාපොරොත්තු රහිතව තමන්ට ලැබුණු ඒ කේශධාතුවලින් කොටසක් බුරුමයේ තැන්පත් කළෝය. ඉන්පසු ඔවුන් පැමිණියේ ලංකාවටය. තිරිකුණාමලයෙන් රටට ඇතුළු වූ ඔවුහු මෙකල තිරියාය නමින් හැඳින්වෙන ස්ථානය දක්වා ගමන් කොට ටික දිනක් එහි ලැඟුම් ගෙන සිටියෝය. වාර්තා වන පරිදි ඔවුහු කේශධාතුවලින් කොටසක් එහි තැන්පත් කොට කුඩා චෛත්‍යයක් ඉදි කළහ. මේ ප්‍රවෘත්තිය ඇසුරෙන් අපට කරුණු කීපයක් උගත හැකිය. ධාතුන් වහන්සේ එය අදහන්නාට විශාල රැකවරණයක් වන බව එදා සිටම විශ්වාසයේ පැවති බව ඉන් එකකි. ඒවා තමන් සතුව තබා ගනිමින් සංචාරය කරන්නන්ට නියත වශයෙන්ම ආරක්ෂාව හා ලාබ ප්‍රයෝජන අත් වෙතැයි පිළිගැනීමක් තිබුණු බවට සාධකයක් වීම දෙවැන්නයි.ජීවමානව වැඩසිටි බුදුහිමියන්ගේ නමින් ඉදිවුණු පළමු චෛත්‍යය තිරියායේ ගිරිහඬු සෑයයි. ඒ ද විදේශයකදී වීම වැදගත්ය.

ශ්‍රී ලංකාවට සර්වඥධාතු වැඩමවීමේ කථාව. මේ සිද්ධියෙන් ආරම්භ වී බොහෝ දුර ගමන් කරයි. බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කළ මුල් වතාවේ බණ අසා සෝවාන් ඵලයට පත් වූ සුමන සමන් දෙවිඳුන්ට කේශධාතු අට මිටක් ප්‍රදානය කළ බවත්, එතුමා ඒ ධාතු තැන්පත් කොට මහියංගනයේ චෛත්‍යයක් ඉදි කළ බවත් ඉතා ප්‍රසිද්ධ පුවත්ය. ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ ධරමාන කාලයේදීම උන්වහන්සේ වෙනුවෙන් විදේශයකදී ඉදිවන දෙවන චෛත්‍යයද ලංකාවේ වීම කෙතෙක් අගනේද? සරභු නම් රහතන් වහන්සේ නමක් බුදුසිරුර දැවෙමින් පවතිද්දීම එයින් අකුධාතුවක් ලබා ගෙන එය ලංකාවේ මහියංගන ස්තූපයෙහි නිදන් කළ බව දාඨාවංශයෙහි සඳහන් වී ඇත. ඉන්දියාවේ හින්දුන් අතින් විවිධ අනතුරුවලට ලක්වු දන්ත ධාතුන් වහන්සේ කලිඟු රට දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් දක්ෂිණ දළදා වහන්සේ වැඩමවා ගෙන ඒම මෙයින් ඉතාම වැදගත් සිද්ධිය වී තිබේ. බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ දහයකට පමණ පසු සිදු වූ මේ සිද්ධියෙන් ලාංකික බෞද්ධයා තුළ ධාතුන් කෙරෙහි විශ්වාසය වඩාත් ගැඹූරට කිඳා බැස්සේය. දළඳාව හිමි කර ගත් පුද්ගලයා රටේ රජතුමා ලෙස සළකනු ලැබුවේ දළදාව කෙරෙහි ජනතාව තුළ පවතින ඒ ස්ථාවරය නිසාය.

මෑත ඉතිහාසයේ පවා ධාතුන් කෙරෙහි ලාංකික ජනතාව දක්වන ශ්‍රද්ධාපූර්වක ගෞරවය කොපමණදැයි ප්‍රදර්ශනය වන අවස්ථා රාශියක් නිදහස ලැබීමෙන් පසු උදාවිය. දඹදිව සාංචි ස්තූපයෙන් ලැබුණු සැරියුත් මුගලන් මහ රහත් දෙනමගේ ධාතු ලංකාවට වැඩමවා ප්‍රදර්ශනය කොට කොළඹ අග්‍රශ්‍රාවක විහාරයේ තැන්පත්කොට ඇත. හලාවත දිස්ත්‍රික්කයේ මාදම්පාවේ සේනානායකාරාමයට පාකිස්ථානයෙන් කේශධාතු වැඩමවා මහජන ප්‍රදර්ශනයට තබා එහිම ශෛලමය චෛත්‍යක නිදන් කරන ලදී. ශ්‍රී ලංකා ජනරජය විසින් උත්තර භාරතයේ කපිලවස්තු පුරයේ චෛත්‍යයකින් සොයා ගත් සර්වඥධාතු දෙවරක් මෙරටට වැඩමවා රට පුරා මහජන උපහාර පවත්වන ලදී.

ධාතුකතාවේ මෑතම සිද්ධිය ලබන බිනර පෝයදා (සැප්තැම්බර් 8 දා සහ 9 දා මාවනැල්ලේ උතුවන්කන්දේ දෙහිමඩුවේ පිහිටි වේරගල ශී‍්‍ර වර්ධනාරාම පුරාණ විහාරස්ථානයේදී රාජ්‍ය ගෞරව සහිතව ජනතා උපහාර පිදෙන කේශධාතුන් වහන්සේලා ලංකාවට වැඩමවීම පිළිබඳ සිද්ධියයි. මෙකල බංග්ලාදේශයේ (පැරණි භාරතයේ කොටසකි) චිතගොන් නම් ප්‍රදේශයේ චෛත්‍යයකින් සොයා ගත් කේශධාතුන් වනන්සේලා එරට රජයේ අග්‍රාමාත්‍යතුමිය විසින් ශී‍්‍ර ලංකා ජනරජයේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් වෙත ප්‍රදානය කිරීමයි ඒ. ඊට මග පෑදුනේ කොළඹ හුණුපිටියේ ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේගේ දීර්ඝකාලීන ප්‍රයත්නයක් ඔස්සේය. මෙලෙසින් බුදුසිරුරේ කොටස් රාශියක් ලංකාවට වැඩම කොට වැඩ හිඳින බවත් ඒවායේ හාස්කම් පිළිබඳ ව ලාංකිකයන් තුළ පවතින්නේ අචල ඇදහීමක් බවත් ඉහත දක්වන ලද තොරතුරු වලින් අනාවරණය වෙයි.

බිනර පෝයදා ශ්‍රී සම්බුද්ධ කේශධාතු පූජෝපහාර පවත්වන වේරගල ශී‍්‍ර වර්ධනාරාම පුරාණ විහාරස්ථානය කෑගලු දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවතින ඓතිහාසික විහාරස්ථාන අතරින් එකකි. ක්‍රිස්තු වර්ෂ හයවැනි සියවසට අයත් යැයි පුරාවිද්‍යාඥයින් විසින් නිර්ණය කර ඇති ශිලාලිපියක් ඇතුළු පුරාවස්තු රාශියක් ඒ බිමෙහි තැනින් තැන විසිරී පවතී. අපවත් වී වදාළ පූජ්‍ය හබ්බුන්කඩුවේ පඤ්ඤාජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්තමාන විහාරස්ථානයේ ආදි කර්තෘවරයාණෝය. උන්වහන්සේට පින් පිණිසත් සමස්ත කෑගලු දිස්ත්‍රික්කයේ ම ජනතාවට ආශිර්වාද පිණිසත් රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් කේශධාතු පූජෝපහාර උත්සවය සංවිධානය කර ඇති බව සඳහන් කරමු.

 

 බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා අඟහරුවාදා  ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]