UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විද්‍යෝදය පිරිවෙන හා ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා

විද්‍යෝදය පිරිවෙන හා ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා

සද්පුරුෂ ජනයා පරෝපකාරය පිණිස නිදිවරති. අසද්පුරුෂ ජනයා සැමවිටම නිදිවරන්නේ පර අපකාරය පිණිසය. සකු සාහිත්‍යයේ ප්‍රකට සිලෝවක් වූ මෙයින් ඉස්මතු කරන්නේ සද්පුරුෂ ජනයාගේ හැම මොහොතක්ම අර්ථවත් වූවක් බවයි. ඔවුන්ගේ නිදිවැරීම සමස්ත සමාජයටම අර්ථවත් වූ නිදිවැරීමක් වේ. එවන් සද්ජනයන් ලොව පහළ වන්නේ කලාතුරකිනි. පහළ වුවද ඔවුන් කැලේ පිපුණූ මල් මෙන් කැලයේම පරවී වියැකී යනවා මිස නගරයේ පිපුණු රුව ඇති ගුණ සුවඳ නැති මල් මෙන් බබළන්නේ නැත. මා මේ පුරෝකථන කරනුයේ නගරයේ පිපෙන රුව ඇති ගුණ සුවඳ නැති මල්වලට අභියෝග කරමින් මෙරට සුවිසල් මැදුරක රුවද ගුණ සුවඳ ද නො අඩුව ලබා ඉපිද දසත සුවඳවත් කළ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයකු පිළිබඳවය.ඒ අප කථානායකයාණන් වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාණන්ය. සුදු අධිරාජ්‍යවාදීන්ගේ අණසකට නතු වී ජාතිකත්වය මෙන්ම දේශීය සංස්කෘතියද පාවා දුන් දීන ජාතියක් පුබුදුවා ජාතික දේහයට ප්‍රාණ වායුව ලබාදුන් යුග ශ්‍රේෂ්ඨ පුරුෂයාණෝ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාණෝය. එතුමාගේ මුළු ජීවිතයම කැපවූයේ පරෝපකාරය පිණිසමය.

මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ හා මල්ලිකා හේවාවිතාරණ ළමා තැනීට දාව 1864 සැප්තැම්බර් මස 17 වැනි දින දොන් ඩේවිඩ් නමින් උපත ලද මේ ශ්‍රේෂ්ඨ යුගපුරුෂයා දෙමටගොඩ බැප්ටිස් විද්‍යාලයෙන් අධ්‍යයන කටයුතු ආරම්භකොට කොටහේනේ බෙනඩික් විද්‍යාලය, කෝට්ටේ ක්‍රිස්තු විද්‍යාලය හා ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාල වලින් වැඩිදුර අධ්‍යයන කටයුතු සිදුකළේය. කුඩා ඩේවිඩ් කුමරු මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට සම්බන්ධවන්නේ පෙරකී පාසල්වලින් නොලද හැකි සුවිශේෂී වූ අධ්‍යාපන කාර්යයක් සඳහාය. ඒ සිංහල පාලි භාෂාවන් මෙන්ම බුද්ධ ධර්මය ඉගෙනීමටය. එවකට වැඩ විසූ විද්‍යෝදය පිරිවනෙහි නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ සිරිසුමංගල නාහිමියන් යටතේ උගෙනීම කළ අතර උන්වහන්සේ වැඩ නොසිටි අවස්ථාවල හෙයියන්තුඩුවේ දේවමිත්ත නා හිමියන්ගේ ගුරු හරුකම්වලට අවනත වී ඉගෙනීම කළේය. මේ ධර්මපාල ශ්‍රීමතාණන් විද්‍යෝදය පිරිවෙන හා පැවැති ඇසුරෙහි මූලාරම්භයයි. එය එසේ වුවද ධර්මපාල ශී‍්‍රමතාණන් මෙලොව එළිය දකින්නට පෙරසිටම සිය මවු දෙමව්පියන් දැඩි ආගමික ලැදියාවකින් යුක්තවිය. විද්‍යෝදය පිරිවෙන ආරම්භ කිරීමට අවශ්‍ය ඉඩම පූජා කළේද ධර්මපාල ශ්‍රීමතාණන්ගේ මුත්තණුවන් වූ ධර්ම ගුණවර්ධන මුහන්දිරම් තුමා විසිනි.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් හා විද්‍යෝදය පිරිවෙන අතර පැවැති සබැඳියාව ශක්තිමත් වන්නේ අංශ කිහිපයක් මුල්කොට ගෙනය. එහි පළමුවැන්න ආගමික මෙහෙවර වන අතර දෙවැන්න සාමාජික මෙහෙවරයි. අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් 1889 දී හෙන්රි ස්ටිල් ඕල්කොට්තුමා සමඟ ජපානයට ධර්මදූත මෙහෙවර සඳහා යෑමට සූදානම් වන විට ඊට අනුශාසනා කළේද හික්කඩුවේ නා හිමියන් විසිනි. එදින කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගම් ශාලාවේදී හික්කඩුවේ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්විණි. එහිදී නා හිමියෝ සුනාපරන්තයට වැඩි පුණ්ණ තෙරුන්ගේ කථාව සිහිපත්කොට හරවත් දෙසුමක් පවත්වා ගමනට ආශිර්වාද කළහ. එසේම ජපන් බෞද්ධ සම්මේලනය ඇමතීම සඳහා අවශ්‍ය කතාව සකස්කර දුන්නේද නා හිමියන් විසිනි. එමෙන්ම 1891 මැයි 31 වැනි දින විද්‍යෝදය පිරිවෙනේදී ‘බුද්ධගයා’ නම් ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එහි මුලසුන දැරුවේද හික්කඩුවේ සිරි සුමංගල නා හිමියන් විසිනි. එහිදී නා හිමියෝ බුද්ධගයාව බේරා ගැනීමේ වැදගත්කම පිළිබඳ හරවත් දේශනයක් කළහ. හෙයියන්තුඩුවේ දේවමිත්ත හිමියන් හා බටුවන්තුඩාවේ පඬිතුමා ද එහිදී කතාකළහ. පසුව මහාබෝධි සමාගම ආරම්භ වන්නේ මේ බුද්ධගයා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙසය. එහි සභාපති පදවිය හික්කඩුවේ නා හිමියෝද අධ්‍යක්ෂ තනතුර ඕල්කොට්තුමා ද ලේකම් පදවිය ධර්මපාල ශ්‍රීමතාණෝද දැරූහ. එදා විදුදැය පිරිවෙනේදී ආරම්භ කළ මහා බෝධි සංගමයේ ප්‍රතිඵලයක් ලෙස බුද්ධගයාව බේරා ගැනීමට ධර්මපාලතුමා ඉන්දියාවට ගියේය. 1893 දී කල්කටාවේ සිටින විට චිකාගෝ නුවර පවත්වන ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිවීමට ධර්මපාල තුමාට ආරාධනා ලැබුණි. එතුමා වහා ඒ බව දැනුම් දුන්නේ තමන් ගුරුදේවත්වයෙන් සැලකූ හික්කඩුවේ නායක හාමුදුරුවන්ටය. නා හිමියෝ ඊට හොඳම සුදුස්සා ධර්මපාලතුමාම බැවින් ඊට ආශිර්වාද පළ කරමින් සම්මේලනය ඇමතීම සඳහා සන්දේශයක්ද සකසා දුන්හ. මීට අමතරව ධර්මය නොදත් විදේශිකයන්ට ඕල්කොට් තුමා විසින් ඉංගී‍්‍රසි භාෂාවෙන් ප්‍රශ්නෝත්තර ක්‍රමයට ලියූ ග්‍රන්ථයක් සිංහලයට පරිවර්තනය කළේද හික්කඩුවේ නා හිමියන්ගේ උපකාරය ඇතිවය. ධර්මපාලතුමා හැමවිටම හික්කඩුවේ නා හිමියන්ට දැක්වූයේ අසීමිත වූ ගුරු ගෞරවයකි. ඒ බව එතුමාගේම වචන වලින්ම කියු වැකියක් 1927 දී “ආසියාව“ නම් ලේඛනයේ සඳහන් ව තිබු බව ආචාර්ය ආනන්ද ගුරුගේ විද්වතාණන් සිය “ධර්මපාල ලිපි” නම් ග්‍රන්ථයේ සටහන් කරන්නේ මෙසේය” භික්ෂූන් වහන්සේලා අතර ඉතාමත් පි‍්‍රය ඉතා උගත් හික්කඩුවේ ශ්‍රී සුමංගල ශ්‍රී පාදස්ථානයේ නා හිමියන් දැක හඳුනාගෙන සිටීම මාගේ වාසනාවක් විය” මෙයින් ඉස්මතුවන්නේ එතුමා හික්කඩුවේ නා හිමියන් කෙරෙහි පැවති ආකල්පයයි.

හික්කඩුවේ නා හිමියන්ගේ අපවත් වීමෙන් පසුවද විද්‍යෝදය පිරිවෙන හා බැඳී තිබූ සබැඳියාව තව තවත් ශක්තිමත් වූවා මිස අඩුවූයේ නැත. 1926 දී එංගලන්තය බලා ධර්මදූත මෙහෙවරට වැඩමකළ නා හිමිවරුන් තුන්පොළම එකළ විද්‍යෝදය පිරිවෙනේ ආචාර්යයන් වහන්සේලා වූහ. ඒ අනුව පරවාහැර වජිරඥාන , හැගොඩ නන්දසාර, දෙහිගස්පේ පඤ්ඤාසාර යන නා හිමිවරු වසර දෙකක් ධර්මදූත සේවාවේ යෙදුණාහ. ධර්මපාල ශ්‍රීමතාණන් විදුදය භූමියට දැක්වූයේ මහා ළෙන්ගතුකමකි. ඒ බව එතුමාගේ අවසාන කාලපරිච්ඡේදයෙන් ප්‍රකටව පෙනේ. 1928 අවසාන භාගයේදී එතුමා තදබල ලෙසම ගිලන්විය. එසේ වූ හෙයින් එතුමා කොල්ලුපිටියේ ඇලෝ ඇවනියුහි පිහිටි හේවාවිතාරණ මන්දිරයෙන් පිටත්වී විද්‍යෝදය පිරිවෙනටත් මහාබෝධි මන්දිරයටත් අතර පිහිටි කුඩා නිවසකට පැමිණේ. මේ බව එතුමාම දිනපොතේ සටහන් කර තිබෙන්නේ මෙසේය. “චෛත්‍යයක් දිහා බලාගෙන අවසන් හුස්ම හෙළන්න පුළුවන් වෙන්න මා මාලිගාකන්ද පිරිවෙන ළඟ කුටියට අරන්පලයල්ලා.” ධර්මපාල අපදානය ලියු කේ.බී. සුගතදාස සූරීන් ප්‍රකාශ කරන්නේ චෛත්‍ය දර්ශනය එතුමන් පි‍්‍රයකළේ මරණ මංචකයේදී දුටුගැමුණූ නරපති අවසන් හුස්ම හෙළන ලද අන්දම මෙනෙහිකිරීම නිසා විය යුතු බවයි. කෙසේ වුවද එතුමා ගිලන්ව කුටියේ සිටිමින් විදුදය පිරිවෙන දෙස නෙත් අයා හැම මොහොතෙහිම සිටි බවට සාක්ෂි බොහෝය. එකල ධර්පාලතුමාගේ ආරාධනාවෙන් සෑම සෙනසුරාදා දිනකම සන්ධ්‍යා යාමයේ අටට පමණ සුමංගල ධර්ම ශාලාවේදී මහ පිරිත් සජ්ඣායනාවක් පැවැත්වූයේ එකල පරිවේනාධිපතිව විසු කහවේ ශ්‍රී රනතනාසර නා හිමිගේ ප්‍රධානත්වයෙනි. එතුමා ගිලන්ව කුටියේ සිට මේ පිරිත් දේශනා ශ්‍රවණය කළ බව සඳහන් වේ. එපමණක් නොව විද්‍යෝදය පිරිවෙනේ පඩි පේළි බැස විහාර මන්දිරයට විදේශිකයකු යන අයුරු කුටියේ සිට බලා සිටිමින් තම සේවකයන් අත ඔවුන්ට බෙදාදීමට ඉංගී‍්‍රසි දහම්පොත් යැවීමද එතුමාගේ සිරිත විය. ගිලන්ව කුටියේ සිටින හැම මොහොතකම එතුමාගේ නෙත් විද්‍යෝදය පිරිවෙනෙන් ඈත් නොවීය. වරක් පිරිවෙනේ පඩිපේළි බැස කුඩය හකුළුාවාගෙන නොගිය තරුණ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකට දොස් පැවරූ පුවතක්ද වේ. ඒ එතුමා විදුදයට ජය භූමියට සැබවින්ම ආදරය කළ නිසාය.

ඇතැම්විට එතුමා භික්ෂූන් වහන්සේලා ද නිර්දය විවේචනයට ලක් කළ අවස්ථා විය. එහෙත් කිසිදු වෛරී සිතිවිල්ලක් එතුමා තුළ නොවීය. වරද පෙන්වාදී නිවැරැදි කිරීම එතුමාගේ සිරිත විය. වරක් විද්‍යෝදය පිරිවෙනේ ශී‍්‍ර සුමංගල ධර්මශාලාවට මුල්ගල් තැබීමේ උත්සවයේදී යගිරල පඤ්ඤානන්ද නා හිමියන් කාලිදාසයන් කියු ශ්ලෝක කිහිපයක් කියනු අසා සිටි ධර්මපාල ශී‍්‍රමතාණණ් උන්වහන්සේ ඒ මොහොතේදීම තියුණු විවේචනයට ලක්කළේ බුද්ධදේශනා කොපමණ තිබුණද සංස්කෘත බසටම ගැති බව පෙන්වා දෙමිනි. එවැනිම සිදුවීමක් ගුණපාල මලලසේකර මහතාටද විය. එතුමා ලියු “ශ්‍රී ධර්ම ශ්‍රී” නම් කෘතිය විවේචනය කළ ධර්මපාල තුමා එතුමා පාලි පණ්ඩිතයකු වුවද පොතේ නමට සංස්කෘත මිශ්‍ර නොකර සිටීමට නොහැකිවී ඇති බව පෙන්වාදි ඇත. පසුව මලලසේකර මහතාද පෙන්වා දී ඇත්තේ ධර්මපාල නාමයද සංස්කෘත නාමයක් නොවේද යන්නයි. එදා සිට ධර්මපාල යන සංස්කෘත නාමය වෙනුවට “ධම්මපාල” යන පාලි නාමය භාවිතාකොට ඇති බව සඳහන් වේ. මෙයින් පෙනෙන්නෙ එතුමා දැඩි විවේචනයන්ට ලක්කළද යම් වරදක් පෙන්වා දුන් විට නිහතමානීව එය සකසාගෙන ඇති බවයි.

මෙසේ විද්‍යෝදය පිරිවෙන සමඟ අවියෝජනීය සම්බන්ධයක් පැවැත්වු ධම්මපාල ශී‍්‍රමතාණන් තම ගුරු දේවයන්ගේ ශී‍්‍ර නාමය රැගෙන දේවමිත්ත නමින් පැවිදි බව ලබා අපවත්වන තෙක්ම ඉන්දියාවේ විසීය. එතුමාගේ අපවත් වීමෙන් පසුව භෂ්මාවශේෂ රැගෙන ආවේද විද්‍යෝදය පිරිවෙනටමය.ඒ එතුමා ඒ ජයභූමියේ පහස එතරම්ම පි‍්‍රයකළ නිසාවෙනි.

එතුමාගේ භෂ්මාවශේෂ තලෙයිමන්නාරමෙන් පොල්ගහවෙලටද එතැන් සිට විශේෂ දුම්රියකින් කොටුව දක්වා රැගෙන එන ලදී. කොටුව සිට විද්‍යෝදය පිරිවෙනට අලංකාර පෙරහරකින් ගමන්කළ භෂ්මාවශේෂ දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ගෞරවාදරයට පාත්‍රවිය. එදා විද්‍යෝදය පිරිවෙනේදි ආගමික වතාවත් සිදු කළේ විද්‍යෝදය පරිවේණාධිපතිව විසු කහවේ ශ්‍රී රතනසාර නා හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. එහිදි පැළෑනේ ශ්‍රී වජිරඤාණ, යගිරල, පඤ්ඤානන්ද නා හිමිවරුන් පැවිදි අනුශාසනා සිදුකළ අතර ශ්‍රීමත් ඩී.බී.ජයතිලක,ඩබ්ලිව්. ආතර්ද සිල්වා, සී.ඩබ්ලිව්. කන්නංගර, බ්‍රහ්මචාරී දේවප්‍රිය වලිසිංහ යන ගිහිපින්වතුන්ද කතා කළහ. යගිරල පඤ්ඤානන්ද නා හිමියන් සිය අනුශාසනාවේදී කියා සිටියේ සොළොස්වන ශත වර්ෂයේ දොන් ජුවන් ධර්මපාල බුදුසසුනත් ජාතියත් වැනසු අතර එකුන් විසි වන ශතවර්ෂයේ ධර්මපාලතුමා සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් බැබළ වූ බවත්ය.

මේ අයුරින් බහ තේරෙන වියේදීම විද්‍යෝදය පිරිවෙනේ පහස ලබමින් අපමණ ජාතික, ආගමික, සංස්කෘතික යුග මෙහෙවරකට දායක වෙමින් දස දහස් ගණනක ගිහි පැවිදි උතුමන්ගේ නොමඳ ගෞරවාදරයට ලක්වෙමින් විදුදය ජය භූමියේම වැළලෙන්නට තරම් ශි‍්‍රමත් අනගාරික ධර්මපාල ශී‍්‍රමතාණන්ගේ ජීවිතය විද්‍යෝදය පිරිවෙන හා ආත්මීය බැඳීමක් විය. ඒ ආත්මීය බැඳීමෙන් ලොවට නිහඬව දෙන පණිවුඩය වන්නේ විද්‍යෝදය පිරිවෙන යනු ධර්මපාල චින්තනයම බවයි. ධර්මපාල චින්තනය යනු විද්‍යෝදය පිරිවෙනම බවයි.

 

 බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා අඟහරුවාදා  ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]