UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙහෙණ සස්නේ දොරගුළු විවර කළ මහා ප්‍රජාපතී මහරහත් තෙරණිය

මෙහෙණ සස්නේ දොරගුළු විවර කළ මහා ප්‍රජාපතී මහරහත් තෙරණිය

නර ශ්‍රේෂ්ඨ වූ, නරෝත්තම වූ සුගත තථාගත ජිනේන්ද්‍රයන් වහන්සේගේ උතුම් සම්බුදු දෙනෙතට හසුව ඝෝරතර සංසාරික දුකින් අත්මිදී නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත් දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම, සත්ත්වයින් ප්‍රමාණය අනන්ත අප්‍රමාණය. භාරතීය සමාජ සංස්ථාව තුළ ඉතා පහත් ලෙස ගැරහුමට ලක්වූ මනුෂ්‍ය කොට්ඨාසයක් වන්නේ කාන්තාවන්ය. බ්‍රාහ්මණ සමාජය තුළ කිසිඳු සමාජ වරප්‍රසාදයක් ස්වාධීනත්වයක් නොමැතිව ජීවත්වූ කාන්තාව නින්දා අපහාසයට නිරතුරුව ලක්වූ අතර කාන්තාවක ඉපදීම පවා පවුලට අභාග්‍යයක් කොට සැලකූහ. භාරතීය උපදේශ ග්‍රන්ථවල පවා කාන්තාව නිග්‍රහ කොට අති අයුරු ඒවායෙහි දක්වා ඇත.

”ආහාරෝ ද්විගුණඞ ස්ත්‍රිණං – බුද්ධිසතාසං චතුශ්‍රීණාඞ
ෂඩ්ගුණො ව්‍යව්‍යායශච – කාමශ්චාෂ්ටගුණඞ ස්මෘතඞ

හිතෝපදේශයෙහි සඳහන් ආකාරයට, සමාජ ගැරහුමට ලක්ව සිටියෝය.

එවන් වූ සමාජ සංස්ථාවක් තුළ කාන්තාවද උතුම්පිරිසක්, ඇයද මනුෂ්‍ය ගුණධර්මයට අනුකූල වු පිරිසක්ය යන්න පෙන්වමින් සමාජය තුළ පැවති පිළිබිඹුව විපරිර්තනය කිරීමේ උත්තාංග කාර්යය භාර්යය අප තථාගත අමාමෑණි බුදුසමිඳුන්ගේ සම්බුදු සසුන තුළින් සිදුකරනු ලැබීය. බුදුරජාණන් වනන්සේ විසින් කාන්තාවන්ට විමුක්තිය උදාකරලීමේ පුරෝගාමී කාන්තා ඵලකය වූයේ මහා ප්‍රජාපතී ගෝතමී රහත් තෙරණින් වහන්සේයි. භාරතීය මෙන්ම ශ්‍රී ලාංකේය කාන්තාවන් දහමින් සුපෝෂිතව වැඩෙන්නේද සසර කතරින් එතෙරවීම උදෙසා ධර්මය ජීවිතයට ආරෝපණය කොට ඒ තුළ චරණය කරනු ලබන්නේද සදාතනික විමුක්ති සැපය ලබන්නේද , ඒ උතුම් මහා ප්‍රජාපතී ගෝතමී උත්තමාවිය නිසාවෙන්මය.

සුද්ධෝදන මහරජු රහත් ඵල ලබා පිරිනිවන් පෑ පසු මහා ප්‍රජාපතී ගෝතමියද පැවිදිවනු රිසි වූවාය. රෝහිණි නදියෙහි දිය බෙදා ගැනීම සඳහා ශාක්‍ය කෝලිය දෙපිරිස යුද්ධයකට අවතීර්ණ වූ මොහොතෙහි බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට කලහ. විවාද සූත්‍රය දේශනා කිරීමෙන් ඉක්බිති කුමාරවරු පැවිදිවූහ. එම කුමාරවරුන්ගේ කුමාරිකා වෝද පැවිදිබව ලැබීමට කැමැත්ත පළ කළ අතර ප්‍රජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේ අභියස උතුම් පැවිද්ද ඉල්ලා සිටියාය. “ගෝතමියනි,ගෞතම ශාසනයෙහි ස්ත්‍රින්ට පැවිද්ද නොඉල්විය යුතුයැයි වදාළ අතර දෙවනවරද, තෙවනවරද එසේම ආයාචනා කොටත් ප්‍රතික්ෂේප වූ කල්හි ආපසු ගියෝය.

ඉනික්බිති අදිටන් පෙරටු කොටගත් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කුමාරිකාවෝ කහවත් හඳපෙරව විශාලා මහනුවර කූටාගාර ශාලාවට පා ගමනින්ම පැමිණියෝය. ඉදිමුණු පා ඇතිව, පිපිරීගිය පා ඇතිව, ලේ ගලන පා ඇතිව දහදියෙන් තෙත්ව ගිය සිරුරු ඇතිව කිලිටි වූ ශරීර අවයව ඇතිව කූටාගාර ශාලාවෙහි දොරටුව අභියසට වී සිටියෝය. ආනන්ද තෙරුන් වහන්සේ විචාල කළ භාග්‍යවතුන් වහන්සේගෙන් කාන්තා පැවිද්ද අයඳිමියයි ප්‍රකාශ කළද භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කොට වදාළ සේක. මගඵල ලැබීමට ස්ත්‍රීභාවය අවහිරයක් නොවන බවද, මහා ප්‍රජාපතී ගෝතමියගේ ගුණ වර්ණනාවක යෙදුණු ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ පිළිබඳ කරුණු දැක්වූ කළ අෂ්ට ගරු ධර්ම ප්‍රජාපතිය පිළිගන්නේ වීනම් එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාළ සේක. ඕ තොමෝ දොහොත් මුදුනින් පිළිගත්හ.

ඒ උත්තම අවස්ථාව වූ කලී කාන්තා විමුක්තියේ භික්ෂුණී ශාසනයේ ආරම්භය සනිටුහන් කරන්නේය. එමෙන්ම සම්බුදු සසුන තුළ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසගේද උත්පත්තිය වන්නේමය.

අනතුරුව මහා ප්‍රජාපතී තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන, වීර්යය වඩා නොබෝ දිනකින්ම රහත් ඵලයට පත්වූසේක. සෙසු තෙරණියෝ නන්දකෝවාද සූත්‍රය අසා උත්තම රහත් බෝධියට පැමිණ වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ එකත් පස්ව සිටි කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා” එතදග්ගං භික්ඛවෙ මම සාවිකානං භික්ඛුණීනං චිරරත්තඤ්ඤුතං යදිදං මහා ප්‍රජාපතී ගෝතමී” යනුවෙන් මහණෙනි, මාගේ ශාසනයෙහි ශ්‍රාවිකාවන් අතර පැවිදි වී බොහෝ කල් ඉක්ම වූ භික්ෂුණීගෙන් මේ මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ අග්‍ර වන්නේ යැයි වදාරා අගතනතුරෙහි පිහිටුවා වදාළ සේක.

නොබෝ කලකින්ම ශ්‍රාවකයන් වහන්සේලාගේ අඩුවක් වේ දෝයි නුවණින් බලා වදාළ මහ ප්‍රජාපතී මහරහත් තෙරණියෝ සාරිපුත්ත ,මොග්ගල්ලාන, රාහුල, නන්ද, යශෝධරා, ඛේමා,උප්පලවණ්ණා යන රහත් උත්තම උත්තමාවියන් පිරිනිවන් පානු යැයි බලා වදාරා තමන් වහන්සේ එකසිය විසිවයස් වී යැයි පිරිනිවන් පෑමට අධිෂ්ඨාන කරගත්සේක. මහපොළොව කම්පිත වු කළ සෙසු භික්ෂුණීහු විමසන්නේ තමන් වහන්සේ ආයු සංස්කාර අත්හළ හෙයින් වීයැයි මහප්‍රජාපතී ගෝතමී තෙරණියෝ ප්‍රකාශ කොට වදාළ සේක. එඇසු සෙසු භික්ෂුණීහු ද ඔබවහන්සේ සමඟම ගිහිකලද විසීමු. එකටම පැවිදිවීමු. එකටම විමුක්ති සුව විඳිමු. මෙසේ ලෞකික ලෝකෝත්තර සැප එකටම විඳිමු. එහෙයින් තනිවම පිරිනිවන් නොපා යුතු එකටම පිරිනිවන් පාමුයි කීවාහුය.

සෙසු ශෝක කරන්නාවූ භික්ෂුණින් අමතා මහා ප්‍රජාපතී ගෝතමි තෙරණියො මිහිරි වදනින් පවසන්නේ “දරුවෙනි,හැඬීමෙන් කම් නැත. තොපට අද මේ සිනාසීමට කාලයයි” යනුවෙනි.

’පරිඤ්ඤානං මයා දුක්ඛං – දුක්ඛහේතු විවජ්ජිතො
නිරොධො මෙ සචිජිතනො – මග්ගොචාපි සුභාවිතො”

“මා විසින් දුක පිරිසිඳ දක්නා ලදය. දුකට හේතුව දුරුකරන ලදය. මා විසින් දුඞඛ නිරෝධය පසක් කරන ලදය. මාර්ගයද මැනවින් වඩනා ලද වේ.”

උන්වහන්සේ මෙසේ භික්ෂුණීන්ට අවවාද කොට භික්ෂුණීන් සමඟම භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස්, වැද එකත්පස්ව සිට අතිශය චමත්කාර වර්ණනාවක් නිරාමිස පී‍්‍රතිසුවය ඇතිකරවමින් අපූර්වත්වයෙන් කෘතඥතාපූර්වකව දේශනාකොට වදාළේ භාග්‍යවත් බුදුසමිඳුන්ගේ උත්තරීතර වූ ගුණ සමුදාය පිළිබඳවය.

අහං සුගත මාතා තෙ – ත්වංච වීරපිතා මම
සද්ධම්මසුඛදො නාථ – නාථා ජනාම්හි ගොතම

“සුගතයන් වහන්ස, මම ඔබගේ මව වෙමි. වීරයන් වහන්ස ඔබද මාගේ පියාවෙයි. නාථයන් වහන්ස, ඔබ මට සදහම් සුවය දුන් සේක. එනිසා ඔබ වෙතින්ම මම උපන්නෙමි”

‘සුගතයන් වහන්ස, ඔබගේ රූ කය මවිසින් වඩන ලදය. අනින්දනීය වූ සැප කැඳවූ මාගේ මේ දහම් කය ඔබ විසින් වඩන ලදී.

”මා විසින් ඔබ වහන්සේට කුඩා කල මොහොතක් පිපාසා සන්සිදුවන කිරිපොවන ලද්දෙමි. ඔබ විසින් අත්‍යන්ත ශාන්ත වූ දහම් නමැති කිරිපොවන ලදවෙමි”

”මහා මුනිවරයාණෙනි, මා විසින් වැඩීමෙහි හා රැකීමෙහි ලා ඔබ ණය ගැති නොවෙති. පුතුන් කැමති යම් ස්ත්‍රීහු වෙත් නම් ඔබ වැනි පුතකු ලබත්වා”

“මන්ධාතු ආදි රජුන්ගේ යම් මවක් වූ නම් ඕ” බවසයුරෙහි ගිලුනායැ. පුත්‍රයාණනි, ඔබ විසින් (මම) භව සයුරෙන් තරණය කරන ලදුවෙමි”

“රඤ්ඤො මාතා මෙහෙසිති .සුලනං නාම මිත්ථිනං
බුද්ධ මතාති යං නාමං එතං පරමදුල්ලභං”

“රාජ මාතා” ‘රජ මහෙසි’ යනාදි නම් ස්ත්‍රින්ට සුලභය. ‘බුද්ධමාතා’ නාමය ලැබීම අතිශයින්ම දුර්ලභය”

මෙසේ ප්‍රකාශ කරමින් තමා කුඩා කල අතපත ගා හැදූ බුදු සිරුර සිත්සේ වැඳ ගැනීමට අවසර ඉල්ලීය. නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අලංකෘත වූ, සෝභමාන වූ උත්තම ශී‍්‍ර දේහය තම සුළු මවට පෙන්වා වදාළසේක. සිත්සේ බුදුසිරුර බලා තම හිස ගැටෙන සේ බුදු සිරිපා මුල වැටී වැඳ.

”ස්වාමීනි, බිහිවන කල මාගේ සහෝදරිය වු මහාමායාදේවින්ට කිසිදු පීඩාවක් ගෙන නොදුන් මහා පුරුෂයන් වහන්ස, බිහිවුදා පටන් ලොවට සෙත සෑදූ මහා කාරුණිකයන් වහන්ස, සුළු මවු වු මා හට අමා නිවන් රස පෙවූ අමාමෑණියන් වහන්ස, සසර සැරිසරූ කල්හිද මාගේ තිදොරින් යම් වරදක් වී නම්, සුළු මව වන මා කෙරෙහි සමා කළ මැනැවි. බුදුපියාණන් වහන්ස, මා පැවිද්ද ඉල්ලා සිටීමෙන් යම් වරදක් වී නම්, සමාවනු මැනවි. අතවැසි මෙහෙණින්ගෙන් හෝ වරදක් වී නම් සමාවනු මැනවි” යැයි වදාරන ලද්දාහ. මහා ප්‍රජාපතී වැනි රහත් තෙරණියගෙන් බුද්ධ මාතාවගෙන් සිදුවු වරදක් නොමැති නිසාවෙන් වරදක් නැතිකළ සමා කරන්නාටත් කරවන්නාටත් පලක් නොවන බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

ප්‍රජාපතී තෙරණිය සහ අනෙකුත් තෙරණියෝ තෙවරක් බුදුරජාණන් වහන්සේ වටා පැදකුණු කොට “ ස්වාමීනි, ඔබ වහන්සේ ගේ රූප ශ්‍රී දකින්නේ නම් ඒ මහා පිනැත්තෙකි. ඔබ වහන්සේ ගේ මිහිරි හඬ අසත් නම් ඒ මහා පිනැත්තෙකි. ඔබ වහන්සේගේ සිරිපා පියුම් වැන්ඳේ් නම් ඒ මහා පිනැත්තෙකි. ඔබ වහන්සේගේ දහම ඇසී නම් මහා පිනැත්තෙකි. ස්වාමීනි, මේ සියල්ලම මවිසින් ලබන ලද්දේයි” බුදුගුණ වනා ශ්‍රාවකයන් වහන්සේලා පිළිවෙළින් වන්දනා කරන්නට විය.ඉනික්බිති ආනන්ද තෙරණුවන්ගේද ගුණ වැයූ මහා ප්‍රජාපතී තෙරණියෝ බුදුහිමිට අහිමුව වූහ.

“බුද්ධ මාතාවනි, ඔබ වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවකට ප්‍රාතිහාර්ය නොපා පිරිනිවන් පෑම නුසුදුසුය. ස්ත්‍රිහුද නිවන් දක්නා බැව් පැවසීමටත්, සියල්ලන්ගේ සැකදුරුවීමටත් කිසියම් ප්‍රාතිහාර්යයක් පෑව මැනවැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

මහත් වු ප්‍රාතිහාර්යන් පාන්නට වූ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියො බුදු සිරිපතුල් යුග වැඳ අවසරගෙන මෙහෙණිවර තුළට පිවිස පිළිවෙළින් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ධ්‍යානයන්ට සමවැඳ පිරිනිවන් පා වදාළ සේක. සෙසු අතවැසි භික්ෂුණීහුද පිරිනිවන් පෑහ. මහපොළොව කම්පා විය. අහසින් විදුලිධාරා පතිත විය .මහාමේඝයෝ ගර්ජනා කළහ. දෙවියෝ කම්පා වූහ. පොළොවට මල් වැසි වැස්සූහ. දෙවියෝද නාගයෝද, අසුරයෝද, බ්‍රහ්මයෝද සංවේග වූහ.

ඒකාන්තයෙන් සංස්කාරයේ අනිත්‍යයහ. යම් සේ මෝ නිවීමට ගියාහුද එසේ ශාස්තෘ ශාසනකාරිණි වු (බුදුවදන අනුව හැසිරුණු) යම් මෙහෙණ කෙනෙක් මැය පිරිවරා සිටියාහුද පහන් සිළු හෙයින් උපදනා රහිතව නිවි ගියාහු’යි මහා ප්‍රජාපතී තෙරණිය හා අතවැසි භික්ෂුණිහු පිරිනිවී වැඩිබව දක්වන්නේය.

ඉතිරි කොටස සැප්තැම්බර් 16 වන දා බිනර අව අටවක පත්‍රයේ පළ වේ.

 

 බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා අඟහරුවාදා  ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]