UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්ෂුණී සමාජය ආරම්භ වූ බිනර පොහොය

මහා ප්‍රජාපතී ගෝතමිය ආනන්ද හිමියන්ට කරුණු පවසා උන්වහන්සේගේ මාර්ගයෙන් කාන්තාවන්ට බුදුසසුන තුළ පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් සියලු තොරතුරු සැල කළහ. එහිදී ද බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්ෂේප කළහ. එහෙත් ආනන්ද හිමියන්ගේ බලවත් උනන්දුව මත මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ කාන්තා පිරිසට බුදු සසුනේ පැවිදිවීමට භාග්‍යය උදා වුණි. තවද මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගනී නම් එයම එතුමිය ගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතුවන බවද බුදුරදුන් ආනන්ද හිමියන්ට වදාළ සේක.

බිනර පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි. බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම ඊට ප්‍රමුඛ හේතුවයි. බිනර පොහෝදා මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ පැවිදිවීම සිදු වූ අතර එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය.

බුදුරදුන් කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ වැඩසිටියදී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය උන්වහන්සේ කරා එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවන්ට බුදුසසුනෙහි පැවිදි උපසම්පදාව ලබාදෙන මෙන් ඉල්ලා සිටියාය. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම පළමු, දෙවැනි හා තෙවැනි වරටත් ප්‍රතික්ෂේප කළහ. එහිදී උන්වහන්සේ දේශනා කළේ “අලං ගෝතමී මා තෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජජ්ජාති” යනුවෙනි. එහි අර්ථය තථාගත ශාසනයේ කාන්තා පැවිද්ද තමන් වහන්සේට රුචි නොවන බැවින් ඒ කැමැත්ත අත්හරින්න, යන්නයි. බුදුසසුනේ කාන්තාවන් පැවිදිවීම, වැඩුණු හැල් කෙතක වී බොල් වන ලෙස බෝවීමක් ලෙස බුදුරදුන් උපමා කළ අයුරු චුල්ලවග්ග පාලියේ භික්ඛුනික්ඛන්ධකයෙහි දැක්වෙයි.

පූර්වෝක්ත ඉල්ලීම සිදුකළ සැණින්ම බුදුරදුන් ඊට අවසරය ලබාදුන්නේ නම් ප්‍රව්‍රජ්‍යාභාවයෙහි කිසිදු බැරූරුම් බවක් පැවිදිවන භික්ෂුණීහු නොදකිති. දුක සේ අපහසුවෙන් එය ලබාගත් කල ශාසනික බ්‍රහ්ම චරියාව හොඳින් වටහාගෙන ඒ අනුව ජීවත්වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති. මේ කරුණු සලකා භික්ෂුණී සමාජය පිහිටුවන ලෙස පළමුවර කළ ඉල්ලීම පිළිනොගැනීම බුදුරදුන් යෙදු සම්‍යක් උපායක් බව පෙනේ. ස්වකීය ඉල්ලීම ඉටුනොවු බැවින් මහාප්‍රජාපතී ගෝතමිය බුදුරදුන්ට වැඳ ප්‍රදක්ෂිණා කොට නිග්‍රෝධාරාමයෙන් නික්ම ගියාය.

බුදුරදුන් ඊළඟ වස් සමය වැඩසිටියේ විශාලා මහනුවර මහ වනයෙහි කූටාගාරශාලා විහාරයෙහිය. එහිදීද මහා ප්‍රජාපතී ගෝතමිය කලින් රෝහිණී නදී තිරයේදී බුදුරදුන් සමීපයේ පැවිදි වූ ශාක්‍ය කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයක ගේ භාර්යාවන් ද කැටුව කෙස් වැටී කපා හැර, කහ වස්ත්‍ර පොරවා , මැටි පාත්‍රගෙන ඉතාම දුක සේ සැතපුම් ගණනාවක් පයින්ම විශාලා මහනුවර කරා පැමිණියහ. මෙම කාන්තා පිරිස පනස් එක් යොදුනක්ම පා ගමනින් පැමිණි බැවින් කූටාගාර විහාරයට ළඟා වන විට ශරීරය දහදියෙන් තෙත්ව, දූවිල්ලෙන් ගැවසී, දෙපා ඉදිමී දුර්වර්ණ වී පැවතිණ. එබැවින් විහාරගෙය තුළට ඇතුළුවීමට තරම් හැකියාවක් නොමැති කාන්තා පිරිස කූටාගාර ශාලාවේ දොරටුව අබියස ශෝකීබරව සිටියහ. මෙසේ දෙවැනිවරට පැවිදි වෙස්ගෙන මනා සංවිධානයක්ද ගොඩනගාගෙන බුදුරදුන් වෙත පැමිණියේ ඔවුන්ගේ අරමුණ තවත් කල් නොගෙන ඉටුකරවා ගැනීමේ පරමාර්ථයෙන් බව පැහැදිලිය. ඉක්බිතිව මහා ප්‍රජාපතී ගෝතමිය ආනන්ද හිමියන්ට කරුණු පවසා උන්වහන්සේගේ මාර්ගයෙන් කාන්තාවන්ට බුදුසසුන තුළ පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් සියලු තොරතුරු සැල කළහ. එහිදී ද බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම තෙවරක්ම ප්‍රතික්ෂේප කළහ. එහෙත් ආනන්ද හිමියන්ගේ බලවත් උනන්දුව මත මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ කාන්තා පිරිසට බුදු සසුනේ පැවිදිවීමට භාග්‍යය උදාවුණි. තවද මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගනී නම් එයම එතුමිය ගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතුවන බවද බුදුරදුන් ආනන්ද හිමියන්ට වදාළ සේක. මෙලෙස බුදු සසුනේ කාන්තාවන් පැවිදිවීම ඉතාම දුක සේ, දැඩි සංවිධානයකින් සහ උත්සාහයකින් , ඉවසිලිවන්තභාවයකින්, අධිෂ්ඨාන ශක්තියකින් හා කැපවීමකින් යුක්තව කාන්තාවන් විසින්ම ලබා ගන්නා ලද ජයග්‍රහණයක් බව පැහැදිලි වේ. පූර්වෝක්ත අෂ්ටගරු ධර්ම පිළිබඳව විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ මෙසේ දැක්වේ.

1. උපසම්පදාවෙන් වසර සියයක් ගත වු මෙහෙණියක වුවද එදින උපසපන් වූ භික්ෂුව දැක වැඳුම්, හුනස්නෙන් නැගී සිටීම් ආදි ගෞරව කළ යුතුය.

2. භික්ෂුණීය තමාට අවවාද ලබා ගැනීමට සුදුසු භික්ෂුවක නොමැති ප්‍රදේශයක වූ මෙහෙණවරක වස් නො විසිය යුතුය.

3. අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂු සංඝයා ගෙන් පොහොය විචාළ යුතුය. අවවාද දීමට භික්ෂුවකගේ පැමිණීමද බලාපොරොත්තු විය යුතුය.

4. වස් විසූ භික්ෂුණිය වස් අවසානයේදී භික්ෂු භික්ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතුය.

5. බර ඇවතකට පත් භික්ෂුණිය දෙසතියකට නොඅඩු කාලයක් උභය සංඝයා ඉදිරියෙහි වත් මානත් පිරිය යුතුය.

6. උපසම්පදාව ලබනු කැමැති, මෙහෙණිය දෙ අවුරුද්දක් ම ශික්ෂමානවකව (හික්මෙන්නියක) මෙහෙණින් ළඟ විසිය යුතුය.

7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණිය භික්ෂුවකට ආ ක්‍රෝශ පරිභව නො කළ යුතුය.

8. භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නොකළ යුතු අතර භික්ෂූන් ගේ අවවාද පිළිගත යුතුය.

මෙකී අෂ්ට ගරු ධර්ම බුදුරදුන් වෙතින් අසා දැනගත් ආනන්ද හිමියෝ මහාප්‍රජාපතී ගෝතමිය වෙත පැමිණ එය විස්තර කර දුන්හ. එය ඇසූ මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරුධර්ම ජීවිතාන්තය දක්වාම කඩ නො කොට ආරක්ෂා කරන බවට පොරොන්දු වූවාය. ඉක්බිතිව ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් මහා ප්‍රජාපතීගෝතමිය අෂ්ට ගරුධර්ම පිළිගැනීමෙන් පැවිදි උපසම්පදාව ලැබූ බව ප්‍රකාශ කළහ. පසුව අනෙක් කාන්තා පිරිසද එතුමිය අනුව යමින් පැවිදි උපසම්පදාව ලැබූහ. මෙසේ බුදුරදුන් අෂ්ටගරුධර්ම පැනවූයේ සිතා මතා භික්ෂුණිය භික්ෂුවකට වඩා පහත් තත්ත්වයක තැබීමේ අරමුණින් නොව භික්ෂුණීන්ට සමාජ රැකවරණය ලබාදීමටත්, ස්ත්‍රී පුරුෂ භේදය නිසා ඇතිවිය හැකි ගැටලු මගහරවා ගැනීමටත් විය හැකිය.

මෙසේ භික්ෂුණී සමාජය ආරම්භ කිරීම පිළිබඳ වූ බලාපොරොත්තුව ඉටු වී පැවිදි උපසම්පදාව ලබාගත් මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක සිටියාය. ඉක්බිතිව බුදුරදුන් දෙසූ ධර්මය ඇසූ එතුමිය ධර්මාවබෝධය ලබා භාවනා ක්‍රමයන් ඉගෙන විදර්ශනා වඩා රහත් වූවාය. මෙයින් පසුව යසෝධරා දේවිය ආදීහුද එතුමිය වෙත පැමිණ පැවිදි වූහ. පසුකලෙක බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිමින් මෙහෙණින් වහන්සේලා ඒ ඒ තනතුරෙහි පිහිටුවන සේක් මහා ප්‍රජාපතී ගෝතමියට චිරරාත්‍රඥ හෙවත් පැවිදිව බොහෝ කල් වූ භික්ෂුණීන් අතුරෙන් අග්‍රස්ථානය පිරිනැමූහ.

කාන්තාවනට තිබූ පැවිදිවීමේ අවශ්‍යතාව ඔවුන්ටම තදින්ම දැනෙන තුරුම බුදුරදුන් එය ප්‍රමාද කළ සේක. ඒ අනෙකක් නිසා නොව ස්ත්‍රීන් පැවිදිවීම නිසා අනාගතයේදී ශාසනයට බොහෝ අභූත චෝදනා එල්ලවීමට ඉඩකඩ සැලසීම නිසයි. එබැවින් එසේ නොවන ආකාරයට කාන්තාවන්ගේම බලවත් උත්සාහයෙන්ම බොහෝ සේ ඉල්ලා සිටීමෙන්ම, මහත් ඕනෑකමකින්ම පැවිද්ද ලබාදීම සිදුකළහොත් එය ගරුවන බව සලකා බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් කාන්තා පැවිද්ද අනුමත කළහ.

ඇසළ මහේ සිට වප් මහ දක්වා වූ මෙම කාලය වස් සමයට අයත්වේ. වස් සමයේ අතරමැදි පොහොය සහ මධ්‍ය කාලය බිනර මහට අයත්ය. වස් සමයට අයත් මෙම කාලය තුළ භික්ෂුන් වහන්සේලා බුද්ධ නියමය පරිදි වස් සමාදන්ව විහාරස්ථානයන්හි නිබඳව වැඩ වෙසෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් සපුරා ගනිති. එසේම ගිහි සැදැහැවතුන්ට ද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඔවුනගේද ශාසනික කටයුතු සපුරාගනිමින් ඔවුහුද ආර්ය මාර්ගයට යොමු කරවති. මේ අනුව බිනර පුර පසළොස්වක පොහොය දිනය වස් සමයේ ඉතා වැදගත් පොහොය දිනයක් බව වටහාගත යුතුය.

 

 බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා අඟහරුවාදා  ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]