UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෙළයේ අභිමානය ලොවට කියාපාන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය

හෙළයේ අභිමානය ලොවට කියාපාන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිසත්, නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිවුමහාදෙවියන්ට බැතිපුද පිණිසත්, කලට වැසි ලැබ කෙත්වතු අස්වැන්නෙන් සරුසාර වීම පිණිසත්, හෙළයේ සංස්කෘතික අභිමානය ලොවට විදහා දැක්වීම පිණිසත් වාර්ෂිකව පැවැත්වෙන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය හෙළයේ ශාසනික හා සංස්කෘතික අභිමානය ලොවට විදහා දක්වන මහා සංස්කෘතික මංගලෝස්තවයක් වන්නේ ය. බුදුදහම තුළින් උරුම වූ හැදියාව, සාරධර්ම, හැඩගැස්ම, ඥානය කලාශිල්ප, සදාචාරය, ගුණධර්ම, සිරිත් විරිත්, නීතිරීති හා නිර්මාණ ආදියෙහි ශ්‍රී ශෝභාවය දෙස් විදෙස් හැමදෙනා හමුවෙහි ප්‍රදර්ශනය කරනුයේ ව්‍යවහාර වර්ෂයෙන් 310 වැන්නේ සිට අද වන තුරු චිරාගත සම්ප්‍රදායානුකූල පුදසිරිත් නොකඩ කොට පවත්වන වාර්ෂික දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය තුළිනි. අටලෝ දහමට අනුව තම ජීවිත දැක්ම හැඩගසා ගත් හෙළ කලාකරුවා ස්වකීය කලාකාමීත්වය හා නිර්මාණ කුසලතාවය ආත්මාර්ථයෙන් තොරව සමාජයේ හා දහමේ ප්‍රගමණය පිණිසත්, බුද්ධාලම්භන පී‍්‍රතිිය හා ආගම දහම කෙරෙහි ශ්‍රද්ධා භක්තිය ජනිත කරවීම පිණිසත්, කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ලෝකයා හමුවෙහි ඉස්මතු කොට දක්වනුයේ සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය තම එකම වේදිකාව කොටගෙනයි.

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැන්නේ දී සිදුවූ මහින්දාගමනය නිසා ප්‍රතිෂ්ඨාපනය වූ සම්බුදු සසුන සමඟ, විහාරාරාම, දාගැබ්, ප්‍රතිමා, සිතුවම්, නැටුම්, ගැයුම්, වැයුම් ආදී සියල්ල බෞද්ධ මුහුණුවරකින් සිරිලක තහවුරු විය. ශ්‍රී මහාබෝධියෙහි දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම වූ සඟමිත් මහතෙරණියගේ ආගමනයෙන් ඇරඹුණු පෙරහර සංස්කෘතිය දළදා වහන්සේ වැඩමවීමෙන් අනතුරුව වඩාත් ශෝභාමත් විය.

දළදා පෙරහරේ උපත

කිත්සිරිමෙවන් මහරජුගේ අභිෂේකයෙන් නමවැන්නේ දී හේමමාලා, දන්තකුමරු විසින් ලක්දිවට වැඩම වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රුවන්මය කර¾ඩුවක වඩාහිඳුවා, තම හිසමතින් මේඝගිරි මහාවිහාරයේ සිට ඇතුළු නුවරට වැඩමවූයේ මහපෙරහරින් බව දාඨාවංශයෙන් හෙළි වේ. දළදා වහන්සේ ලැබීමෙන් සක්විති රජය ලැබුණාක් මෙන් මහත් බුද්ධාලම්භන පී‍්‍රතියට පත් කිත්සිරිමෙවන් මහරජතුමා ව්‍යවහාර වර්ෂ 310 වැන්නේ දී මුල්ම දළදා පෙරහර ආරම්භ කළේ ය. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් නවලක්ෂයක් දන විසඳා, දළදා වහන්සේ වැඩසිටි මුල් දළදා මාලිගාව වූ ධම්මචක්කගේහයේ සිට අභයගිරි විහාරය වෙත අලංකාර විසිතුරු පෙරහරකින් දළදා වහන්සේ වැඩමවා, අනූ දිනක් තිස්සේ ප්‍රදර්ශනය කරවා, මතු රජවන රජුන් විසින් ද මෙම පූජා චාරිත්‍රය පැවැත්විය යුතු බවට චාරිත්ත ලේඛනයක් ලියවූ බව මහාවංශයෙන් හා දාඨාවංශයෙන් හෙළි වේ.

පස්වන සියවසේ ලක්දිවට පැමිණි පාහියංගේ දේශාටන වාර්තාවෙහි “චන්ද්‍රමාස ක්‍රමයෙන් තුන් වන මස මැදදී (ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙරහරින් වැඩමවා ප්‍රදර්ශනය කිරීමට දින දහයකට පෙරාතුව කීමෙහි බිනීමෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම්, පැළඳුම්, හඳවා පළඳවා, මොනවට සැරසූ ඇතක්හූ පිට නඟවා, නුවර ඇවිද අණ බෙර ගසා මෙසේ කියන්ට සලස්වයි. ‘බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා, පෙරුම් පිරූ සේක. සිය සැප පහසු නොතකා සිය රජය ද, සිය බිසව ද, දරුවන් ද, දන් දුන් සේක. තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක. අද සිට දස දිනකින් ඒ බුදු රදුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමති සියල්ලෝ මග සම කෙරෙත්වා, කොවේ, මහවේ සරසත්වා, පුද පිණිස මල් හා සුවඳ පිළියෙළ කෙරෙත්වා” යනුවෙන් සන්නිවේදනය කෙරුණුු බව විස්තර වේ. මෙම විස්තරයට අනුව එදා ඇසළ පෙරහර සංස්කෘතියෙහි ගැබ්ව තිබූ මූලික හරපද්ධතිය මිනිසුන්ගේ ශ්‍රද්ධා භක්තිය ජනිත කරවීමේ ආගමික උත්සව සංකල්පය මුල්කොට ගොඩනැගුණු බව අනාවරණය වේ.

අතුල් තලයක් සෙයින් මග සමතලා කරවා මගතොට සරසා පෙරහර පැවැත්වූ වග

පොළොන්නරු රාජ්‍ය සමයෙහි මහා පරාක්‍රමබාහු (රා.ව. 1158 – 1186) රජතුමා “ රජ ගෙදර පටන් දළදාගෙය දක්වා යොදුනක් පමණ තැන් මඟ අතුල් තලයක් සෙයින් සමතලා කරවා සියලු සතුන්ගේ වැඩෙහි ඇලුණේ හැම තැන්හි සිතියම් දරන්නා වූ ලෝකානන්දයට හේතු වූ තොරණ කරවා තොරණ යට නන් කුසුම් එලෙන විසිතුරු වර්ණ පරම්පරා ඇති පුල් වියන් පැළලි බඳවා, තොරණ ටැම් එකක් පාසා නන් වනින් වසා බැඳ ඒ ටැම් මුදුනුත් ඡත්‍ර චාමර පන්තීන් හා නානා පුෂ්ප ද, විසිතුරු කොඩියෙන් ද, පූජාවට සුදුසු අන්‍යවූ දෙයින් ද, සරසා මඟ දෙපස පොල්, පුවක්, කෙසෙල් ගසින් සැරසීය. දළදා මළුව වෙසමුණිපුරය මෙන් සරසවා තිබිණ. සියලු ආභරණයන්ගෙන් සැරසුණු වීණා, වස් කුළල්, මෘදංග භේරීගත් ජනයෝ මහත් රූප ශෝභාවෙන් යුතුව නෘත්‍ය ගීත වාදනාදියෙන් පූජා කෙරමින්, පෙරහරෙහි ගමන් ගත්හ. ඡත්‍ර, චාමර, ධජ පතකාදිය රැගෙන යන්නන් ද, ඇත්තු ද, අශ්වයෝ ද ගමන් කළෝ ය. රජු විසිතුරු ආභරණයෙන් සැරසී ඇතු පිට නැගී ගමන් කළේ ය. පෙරහර මඟ ගමන් ගන්නා විට මහවැසි ඇදහැළී පෙරහර යන මග ඇරුණුකොට අන් සියලු තැන්හි වැව් අමුණූ පිරී ඉතිරී ගොස් ගංවතුර ගැලීය” මෙම විස්තරයෙන් එදා පෙරහර පැවැත්වීමෙන් නියඟය කෙළවර කොට වැසි වසින බවට පැවති විශ්වාසය තහවුරු වූ බවක් පෙනී යයි.

දඹදෙණියේ දී පෙරහර යන මග බෙර ඇසක් සේ සමතලා කොට විසිතුරු කළහ. දඹදෙණි රාජධානි සමයෙහි දෙවන පරාක්‍රමබාහු රජතුමා “දඹදෙණි රාජධානියේ සිට සිරිවර්ධනපුරය දක්වා මහාමාර්ගය බෙර ඇසක් සේ සමතලාකොට, සුදු වැලි අතුරා, ධජ පතාකාදියෙන් අලංකාර කරවා, මගදෙපස මාරුක්, තැඹිලි, බෝධිලි, නවසි, තල්, කිතුල්, කඳලි ආදිය සිටවූයේ ය. මනහර සිතුවමින් හා මලින් පිරි පුන්කළසින් මගදෙපස සැරසීය. විසිතුරු සිතුවමින් නිමවන ලද බුද්ධ ප්‍රතිමාවන්ගෙන් සැදුම්ලත් තෙමහල් ප්‍රාසාද කරවීය. විවිධ පූජා වස්තූන් රැගත් ආවතේවාකාරයෝ පිළිවෙලින් ගමන්ගත්හ. අනතුරුව රජතුමා ද පෙරහරේ ගමන්ගත්තේ ය. නෘත්‍ය, ගීත, වාදන දක්වන්නෝ ඔහු පිරිවරා ගමන්ගත්හ. දඹදෙණි දළදා පෙරහරට දේවාල පෙරහර සම්බන්ධ වූ බව, “සතර දේවාලයෙහි නටන, ගයන ධුරවල අයත්, තුන්රජයේ නටන, ගයන, පිඹින අයත් ගෙන්වමින් මහාපූජාව මහෝත්සවයෙන් ආරම්භ කළ බව“ දඹදෙණි අස්නෙන් හෙළි වේ.

කුරුණෑගල යුගයෙහි සිව්වන පරාක්‍රමබාහු රජු දවස නගරය “දෙවිපුරයක් සේ සරසා උතුරුථමුඵ අයතැන් සිටිතැන් ගණවැසි කිලිං දෙකුලයෙන් නිස්සන් සමඟ වැඩහුන් කරඬුව ගඳකිලියෙන් මෑත් කොට විසිතුරු කොට සරහන ලද රථයෙහි භද්‍රාසනයට වඩා ගණවැසි කිලිං දෙකුලයෙන් දෙන්නකු කර¾ඩුව වඩා යන ලෙස රථයට නැගෙනුව ඉසා යනුවෙන් ද, සුබ ලකුණෙන් යුත් මහා ඇතකු රථයෙහි යොදා ඒ රථය පළමුකොට සුපිළිපන් මහ සඟන පිළිවෙළින් රථයෙහි බඳ පිරිත් හුය ගෙන පිරිත් කෙරෙමින් වඩනාව ඉසා යනුවෙන් ද, දොරණා වැසි කුලයෙන් නිසි එකතු ලවා රිදී කටාරයෙන් නුවර පිරිත් පැන් ඉස්වනුව ඉසා යනුවෙන් ද, රථයෙහි දෙපස සිට චාමර හා සේසත් කරනුව ඉසා යනුවෙන් ද, දළදාගෙහි ධුරය හා විජ්ජතුන් රථය ගාවා ඉදිරියෙන් යනුව ඉසා” යනුවෙන් ද දළදා සිරිතෙහි දැක්වෙන ව්‍යවස්ථාවන්ගෙන් එදා පැවති දළදා පෙරහරෙහි සංස්කෘතික ගති ස්වභාවය අපට ඉස්මතු කොට දක්වයි.

වර්තමානයට උරුම වූ ඇසළ පෙරහර

මෙසේ රාජධානියෙන් රාජධානියට, පරපුරෙන් පරපුරට පවත්වාගෙන එනු ලබන මෙම අසිරිමත් ඇසළ පෙරහර මංගල්ල්‍ය රාජ්‍ය වර්ෂ 1592 වැන්නේ සිට අද දක්වා ගුණාත්මක හා සංඛ්‍යාත්මක වශයෙන් අභිවර්ධනය වෙමින් ජාතියට දායාද වී තිබීම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම මහත් අමන්දානන්දයට හේතුවනු නිසැකය. වාර්ෂිකව පැවැත්වෙන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය, මෙම විශිෂ්ට කලා සංස්කෘතියේ අභිමානය දෙස් විදෙස් නරඹන්නන් ඉදිරියේ දිගහැරෙන විචිත්‍රවත් වේදිකාවක් බඳුය. ඒ තුළින් බෞද්ධ ආගමික වතාවත් හා රාජ්‍යත්වය සමඟ බැඳී වර්ධනය වූ වතාවත්, පිළිවෙත් සමඟ එක්ව ලෞකික වින්දනය පමණක් නොව ආධ්‍යාත්මික සුවය ද ලබා දෙයි. ඇසළ පෙරහර මංගල්‍යය යනු හුදු විනෝදය පිණිස පවත්වන්නක් නොවේ. මෙම පූජෝත්සවය උත්තම දළදා වහන්සේ විෂයෙහි කෙරෙන පූජෝපහාරයක් වශයෙන් ද, සිවුමහාදේවාලයන්හි වැඩ සිටින්නා වූ නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවිවරුන් විෂයෙහි සිදුකරනු ලබන්නා වූ භක්ති ප්‍රණාම පූජාවක් වශයෙන් ද, කලට වැසි ලැබ රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇතිකරගනු පිණිස ද, පැවැත්වෙන ආගමික පූජෝත්සව මංගල්‍යයක් මෙන්ම හෙළ කලාවේ උදාරත්වය කියාපාන උඩරට නැටුම්, වැයුම්, ගැයුම් කලා ශිල්පීන්ගේ ආදීන කලා කුසලතාවය ද ලොවට ප්‍රදර්ශනය කරනු ලබන්නක් වේ.

වර්තමාන ඇසළ පෙරහර මංගල්ල්‍ය සංවිධානය කෙරෙනුයේ දියවඩන නිලමේතුමන්ගේ උපදෙසින් ශ්‍රී දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල ලවා සකසනු ලබන සුබ නැකැත්පත්‍රයකට අනුවය. ඉන් අනතුරුව පළමුව සිරිත් පරිදි සුබ නැකතින් පේකොට තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව්මහාදේවාලයන් ප්‍රධානකෙට ඇති සියලු විහාර දේවාලයන් පූර්වාභිමත්ව ඇසළ කප්සිටුවීමෙන් පෙරහර ආරම්භ කෙරේ. එදින සිට අභ්‍යන්තර පෙරහර පහක් ද, වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක් ද, රන්දෝලි පෙරහර පහක් ද, දියකැපුම් පෙරහරක් ද, දහවල් පෙරහරක් ද, වළියක් නැටුම ද පැවැත්වීමෙන් පෙරහර සමාප්ත වේ.

ඇසළ පෙරහර හැඩවැඩ කරන නර්තන වාදන කලාකරුවෝ

ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළින් පිළිබිඹු වන උත්සව අවස්ථාවලට පෙර බෙර හැසිරවීම, පුණ්‍යකර්මය අවස්ථාවල විවිධ තූර්ය භාණ්ඩ වාදනය කිරීම අතීතයේ සිට පැවත එන සිරිතෙකි. වර්තමාන ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය තුළින් පමණක් නොව දෛනික, සතිපතා, වාර්ෂික පූජෝත්සවවලදී ද, අනෙකුත් වාර්ෂික මංගලෝත්සවවලදී ද, මෙම හෙළ සංස්කෘතික දායාදය පෝෂණය කරනු ලබයි.

ඇසළ පෙරහර මංගල්ලයේ පූජා සංස්කෘතිය ලොවට කියාපාන හේවිසි වාදනය ගොඩනැගී ඇත්තේ ඊටම ආවේණික වූ පූජා චාරිත්‍රයන්ට ද, සෞන්දර්යාත්මක නිර්මාණයන්ට ද අනුකූල වන පරිදිය. පෙරහර මංගල්‍යයේ පූජනීය වූත්, වටිනාම වූත් හේවිසි වාදනයේ දී කිසියම් රටාවකට එම වාදන ශිල්පය සකස් වී ඇති අයුරු දක්නා ලැබේ.

ඇසළ පෙරහරේ ප්‍රමුඛතම සංස්කෘතිකාංගයක් වූ හේවිසි පූජාවේ දී, පළමු හේවිසි පුරා ගමන් හේවිසියෙන් පෙරහර කරඬුව දළදා තේවාව භාර නාහිමිපාණන් වහන්සේගේ සුරතින් දියවඩන නිලමේතුමන්ගේ දෑතෙහි තැන්පත් කොට වැඩමවා හා රන්සිවිගේ කරඩුව තැන්පත් කරනතුරු තේවා හේවිසි වාදනය කිරීම සිදුවේ. ඉන් අනතුරුව සඳගල මතදී බහිරව වළිනඩය වාදනය කර පෙරහර ඉදිරියට ගමන් කරමින් මහමගට පිවිසේ. එතැන් සිට වළිනඩය හා එක් එක් ගමන් මාත්‍රා වලින් වීදි සංචාරය අරඹයි. රජගෙදර ගේට්ටුව අසළට පැමිණි පසු හේවිසි පහේ හේවිසි වාදනයෙන් දළදා මාළිගාව තුළට පැමිණ ඇතා පිටින් පෙරහර කරඬුව තේවා භාර නාහිමිගේ දෑතට වැඩමවනතුරු හේවිසි වාදකයින් වාද හේවිසිය වාදනය කරමින් ඉන් පසු ගෙවැද්දුම් හේවිසියෙන් පෙරහර කරඬුව උඩමාලයට වඩමවා තැන්පත් කළාට පසු ආලත්ති බෑමෙන් පෙරහර හේවිසි වාදනය නිමාකරනු ලබයි.

වත්මන් ඇසළ පෙරහරේ සියලු සංස්කෘතිකාංග පෙළගැස්ම තුළින් අතීතයේ සිට එහි පැවති ආගමික චාරිත්‍ර හා රාජකීය පිළිවෙත් පිළිබිඹු කරයි. පෙරහරේ පළමුවෙන් ගමන් කරනුයේ කසකරුවෝ ය. මෙම සිරිත මුලින් පැවතියේ රජුන් කෙරෙහිය. කසකරුවන්ට අනතුරුව ගිනිබෝලකරුවන්, බෞද්ධ කොඩි රැගත් අය, දිසාකොඩි රැගත් අය, කඩු ගෙනයන්නෝ,පෙරමුණේ රාළ, හේවිසිකරුවෝ, ගජනායක නිලමේ, හොරණෑ වාදකයෝ, චාමර නැටුම, ලීකෙළිකරුවෝ, පන්තේරු නැටුම, තාලම්, හවඩිදඟය, නෛයියන්ඩි කණ්ඩායම, අත්රබන් කණ්ඩායම, වේවැල් නැටුම, උඩැක්කි නැටුම, තම්මැට්ටම් වාදකයෝ හා පතුරු නැටුම් කණ්ඩායම, වෙස් නැට්ටුවෝ, කාරියකරවන කෝරාළ, නාගසිංහම් වයන්නෝ, උඩුවියන් සහිතව පාවාඩ මතින් කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා, දෑලේ ඇතුන්, බෞද්ධ කොඩි, කවිකාරමඩුව, මල් පහන් ගෙනයන්නෝ, දියවඩන නිලමේතුමා පිරිවරාගත් විදානේවරුන් ආදී කලාකරුවෝ හා රාජකාරීකරුවෝ මාළිගාවේ පෙරහරෙහි ගමන් කරති. අලි ඇතුන්, කොඩි චාමර ගත්තවුන්, පන්දම්කරුවන් හා කඩුගත්තවුන් මෙම පෙරහරේ ගමන් කිරීම සුවිශේෂී සංස්කෘතික ලක්ෂණයකි. මාලිගාවේ පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිවුමහා දේවාල පෙරහර අනුපිළිවෙලින් ගමන් කිරීම සිදුවේ.

මෙම ඇසළ පෙරහරේ පෙළගැස්ම තුළින් එදා රජදවස සිට පැවති සාමාජික හා රාජකාරී රටාව ද සමඟ බෞද්ධාගමික මෙන්ම රාජකීය උත්සවයන්හි පැවති සංස්කෘතිකාංග මැනවින් විදහා දක්වයි. අතීතයේ පටන් වර්තමානය දක්වා විදේශීය නරඹන්නන් මෙම පෙරහර මගල්‍යය නැරඹීමට පැමිණෙනුයේ චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත් අනුව අසම්භින්නව පවත්වාගෙන එන ලොව ඇති එකම ආගමික සංස්කෘතික මංගල්‍යය මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වන නිසා ය. එකී චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රවිධි සුරක්ෂිත වන සේ ඇසළ පෙරහර සංස්කෘතිය නොකඩ කොට පවත්වාගෙන යෑම ජාතියේ මහත් අභිමානයට හේතුවනවා නොඅනුමානය.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10 වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]