UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුසල් කළ යුතු ය

ඔබට පෙනෙනවා මේ ගස මුදුනෙහි ම ලා දම් පැහැති දළු. ඉන් පසු ඊට පහළ හොඳින් වැඩුණු කොළ පෙනෙනවා. ඊටත් පහළ ඔබට පෙනෙනවා හොඳට පැසී නමුත් පණුවන් විසින් තැනින් තැන කා දමා හිල් විද අවලස්සන සහ අපවිත්‍ර කොළ. ඉන් පසු ඔබට පෙනේ වී කහ පැහැයට (පඬු පැහැයට) පත්වී නටුවෙන් ගිලිහී යාමට ආසන්න කොළයක්. ඔබ දන්නවාද? බුදුපියාණන් වහන්සේ , ලා දළු වලට උපමා කළේ අලුත උපන් ළදරුවායි. පැසුණු කොළයට උපමා කළේ ළමා කාලය පසු කොට තරුණ වයසට පැමිණි අයයි.අර හොඳට පැසී තැන තැන පණුවන් කා හිල් විද, මකුළු දැල් බැඳ අවලස්සන ස්වභාවයට පත් වූ කොළයට උපමා කළේ ළමා කාලය, තරුණ කාලය ද පසුකොට මහලු වයසට පැමිණි අයයි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පණ්ඩුපලාසොව දානිසි - යමපුරිසෝපි ච තමුපට්ඨිතා
උය්‍යොගමුඛෙ ච තිට්ඨසි - පාථෙය්‍යමපි ච තෙ න විජ්ජති

පින්වතුනි,

අපේ ශාස්තෘ වූ ලොව්තුරා භාග්‍යවත් වූ, සම්මා සම්බුදු බුදුපියාණන්වහන්සේ විසින් ලෝක සත්වයාට හිතසුව පිණිස අපරිමිත කරුණාවෙන් දේශනා කොට වදාළ මෙම ධර්මයෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැක්කේ මිනිසත් බව ලැබූ අපට පමණි. පින්වතුනි, අප සසරෙන් එතෙර කිරීමට බුදුපියාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය අපට දේශනා කරන විට උන්වහන්සේ ඒ ඒ පුද්ගලයාගේ බුද්ධියට ගෝචර වන ආකාරයට නොයෙක් උපමා අවස්ථා, පුද්ගලයන්, උපමා කොට ගෙන මේ ධර්මය දේශනා කොට ඇත. ඔබ දන්නවාද? බුදුරජාණන් වහන්සේ එක් දිනක් මේ දේශනාව සිදු කොට තිබෙන්නේ මිනිසා ගසක ඇති කොළ වලට උපමා කොට ගෙනය. මෙම දේශනාව ධම්ම පදයේ මළ වග්ගයේ පළමු ගාථාවයි. අපි මෙහෙම හිතමු. ඔබ යන්න හොඳින් වැඩුණු ගසක් ළඟට. ඔබට පෙනෙනවා මේ ගස මුදුනෙහි ම ලා දම් පැහැති දළු. ඉන් පසු ඊට පහළ හොඳින් වැඩුණු කොළ පෙනෙනවා. ඊටත් පහළ ඔබට පෙනෙනවා හොඳට පැසී නමුත් පණුවන් විසින් තැනින් තැන කා දමා හිල් විද අවලස්සන සහ අපවිත්‍ර කොළ. ඉන් පසු ඔබට පෙනේ වී කහ පැහැයට (පඬු පැහැයට) පත්වී නටුවෙන් ගිලිහී යාමට ආසන්න කොළයක්. ඔබ දන්නවාද? බුදුපියාණන් වහන්සේ , ලා දළු වලට උපමා කළේ අලුත උපන් ළදරුවායි. පැසුණු කොළයට උපමා කළේ ළමා කාලය පසු කොට තරුණ වයසට පැමිණි අයයි.අර හොඳට පැසී තැන තැන පණුවන් කා හිල් විද, මකුළු දැල් බැඳ අවලස්සන ස්වභාවයට පත් වූ කොළයට උපමා කළේ ළමා කාලය, තරුණ කාලය ද පසුකොට මහලු වයසට පැමිණි අයයි.

උදාහරණයක් ලෙස පෙන්නුවොත් හිසේ ඇති කෙස් ටික ටික පැසීමට පටන් අරගෙන ඇති අය, සුදු පැහැයට තිබූ දත් ටික ගැලවෙන, සෙලවෙන ස්වභාවය ඇති, අලංකාර වූ ශරීරයෙහි සම ටික ටික හැලෙන ගති ඇති, හොඳින් පෙනුන ඇසෙහි පෙනීම අඩුවෙන ස්වභාවය ඇති යම් පුද්ගලයෙක් වේ ද ඔහු අර ගසෙහි පණුවන් කෑ කොළ සේ වයසට යන (ජරා) ස්වභාවයෙන් යුක්ත වූවෙකි. අවසානයේ ඉදුණු කොළයෙන් පෙන්වන්නේ (පඬු පැහැයෙන්) මිනිසෙකු වශයෙන් ඉපදි ළමා කල, තරුණ කල, මහලු කල පසු කොට මරණාසන්න මොහොතට ආසන්න වූ පුද්ගලයා ය. යමෙක් ළමා කල පසු කොට ඇති ද තරුණ කල ද පසු කර ඇති ද මහළු කල ද පසු කර ඇති ද එසේ නම් නටුවෙන් ගිලිහෙන කොළයක් සේ ඔහු මෙලොවින් පිටවී යාමට සැරසී සිටින පුද්ගලයා යි. ඔහු ද ඔබ විය හැකිය. ගසෙහි කොළ ද පැසී කහ පැහැවී නටුවෙන් ගිලිහී පොළවට පස් වෙන සේම අප ද ළදරුවෙකු වශයෙන් ඉපිද තරුණ වියට පැමිණ මහළු බවට ද පැමිණ මරණයෙන් පොළවට පස් වන්නේ ය. මේ සත්‍ය වූ ධර්මතාවයකි. මෙලොව ඇති සියලු ධර්මතා නමැති කොටස ලොව කිසිවෙකුට වෙනස් කළ නො හැකි ය. ලොව ඇති සියලු දෙනා මෙම ඉපදීම, තරුණ වීමට, මහළුවීමට, ලෙඩවීම, මරණයට පත්වීම යන ධර්මතාවයට හිස නැමිය යුතු ය. දැන් ඔබ තේරුම් ගන්න ඔබ සිටින්නේ මේ ගසෙහි කොතැන ද කියලා? ඉන් පසු නුවණැති ඔබ මෙසේ සිතිය යුතුයි. පඩු පැහැ වූ කොළය නටුවෙන් ගිලිහී පොළවට පස් වී අලුත් පැළයකට සාරවත් පස සපයන්නා සේ අපගේ මරණයද තවත් එවන් උපතකට මූලාධාර සැපයීමක් වැනිය. එයින් නැවත උපතක් සිදු වේ. උපතක් ඇති හැම තැනම ජරා, ව්‍යාධි මරණ, උරුම වේ. එම නිසා මේ සියල්ල අප හඳුන්වන්නේ සසර දුක් හැටියටය. සසරින් එතෙර වූවෙකුට මේ කිසිදු දුකක් නැත. අපට මේ සියලු දුක් උරුම වී පවතින්නේ තවමත් අප මේ සසර කතර නමැති මාර්ගයෙහි මඟියෙක් වී සිටින නිසාය. මේ දිගු ගමනේ අවසානය කොතනද එතන නිවනයි. ඒ නිවන් සොයා යන ඔබට මට පිහිටට තිබෙන්නේ බුදුපියාණන් වහන්සේ දෙසූ ධර්මය අවබෝධ කොට ගැනීමයි. එම ධර්මය කොතෙක් තිබුණද යථාභූත ඥානයෙන් අවබෝධ කොට ගත හැක්කේ පුද්ගලයන් අතළොස්සකට පමණි. ධර්මය අවබෝධ කර ගන්නා පුද්ගලයන් වශයෙන් සිව් දෙනෙකි.

1. උද්ඝටිතඥ – දහම් පදයක් කනෙහි වැටුණු සැනින් නිවන් පසක් කර ගන්නා උතුමන්ය. සැරියුත් මහ රහතන් වහන්සේ වැනි අයය.

2. විපචිතඥ – දහම් පදයක් විස්තර කර අවසන් වන විට නිවන් පසක් කරන උතුමන්ය. (කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ වැනි අයය)

3. නෙය්‍ය - ධර්ම ඉගෙනීමෙන් හා පිළිපැදීමෙන් එම ජාතියේදීම නිවන් පසක් කරන්නා වූ උතුමන් ය. (චක්ඛුපාල මහරහතන් වහන්සේ වැනි අයය.)

4. පදපරම – ධර්මයේ කොතෙක් ඇසුවත්, කොතෙක් පිළි පැද්දත් එම ජාතියෙහි නිවන් පසක් නො කරන්නා වූය. (සච්චක පඬිතුමා වැනි අය වෙති)

උද්ඝටිතඥ හා විපචිතඥයෝ ධර්මය අසා නිවන් පසක් කරගන්නා වෙති. නෙය්‍ය හා පදපරමයෝ ධර්මය අසා මාර්ගය වඩා නිවන් පසක් කරන්නාහූ වෙති. මෙයින් පළමු දෙදෙනා වීමට අපට නොහැකි වූවත් නෙය්‍ය සහ පද පරමයන් වශයෙන් සසරෙන් එතෙර වීමට මඟ සාදා ගත හැකිය. ගසෙහි කොළය පඬු වී බිමට වැටී පොළවට පස් වී නැවත ගසකට පොහොර වන්නා සේ ඔබගේ මේ ආත්මය මරණයෙන් අවසන් කළත් හුරු පුරුදු කරගත් යහපත් චිත්ත ශක්තීන් නැවත යහපත් උපතක් ඇති කොට දීම තුළින් ඔබට නැවත මඟ ඵල ලබා ගැනීමට අවස්ථාවක් උදා කර ගත හැකිය. අප උත්සාහ කළ යුත්තේ කල් නොයවා මඟ ඵල ලාභියෙකු බවට පත්වීමට අවශ්‍ය සුදුසුකම් ඇති කර ගැනීමයි. එයින් යම් දිනෙක මඟඵල ලාභියෙකු වන තුරු මේ දිග සසර ගමන් කළ යුතු බැවින් එම ගමන් මාර්ගය අනතුරු කරදර බාධක රහිත මාර්ගයක් විය යුතුයි. එසේ සිදු කර ගත හැකි වන්නේ ඔබ දාන, ශීල, භාවනා ප්‍රධාන කොට ගත් දානාදි දස කුසල දහම් හි නියැළීමෙන් පමණයි. දුර ගමනක් යෑමට සැරසෙන ඔබ ගමන ආරම්භයේදීම ගමනට අවශ්‍ය මඟ වියදම් ආදිය ද සකස් කොට ගෙන උපද්‍රව රහිතව ගමන නිම කරන්නා සේ ඔබත් දානාදි දස කුසල දහම් සිදුකොට ගෙන සසර ගමන සැපවත් කොට අජරාමර නිවනට පැමිණෙන්නට දනාදි දස කුසල් දහම් වඩන්න.

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 05 වැනි දා සෙනසුරාදා පූර්වභාග 04.49 ට ලබයි.06 වැනිදා ඉරිදා පූර්වභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි මස 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]