UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 69 වෙනි ජාතික උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ජූලි මස දෙවෙනි දින මාතර නිල්වලා ගඟ උදකුක්ඛේප සීමා මාලකයේදී

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 69 වෙනි ජාතික උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ජූලි මස දෙවෙනි දින මාතර නිල්වලා ගඟ උදකුක්ඛේප සීමා මාලකයේදී

උපසම්පදා විනය කර්මය විනය කර්ම අතර ප්‍රමුඛතම මහා විනය කර්මය වේ

සම්බුද්ධ ශාසනය නම් ශික්‍ෂාකාමී විනය ගරුක සඟ පරපුරයි. එම නිර්මල සඟ පරපුරේ ආයුෂය විනය වේ. ‘විනයෝ නාම සාසනස්ස ආයු’යි වදාළේ ඒ නිසාය. විනය රැකෙන තාක් සසුනද රැකෙන බව මහාවග්ග පාලියේ සඳහන් වේ. (විනයෙ අවිනට්ඨම්භි- පුන තිට්ඨති සාසනං) විනය රැකීම යනු විනයට අයත් පොත් ටික රැකීම නොවේ. විනය පිටකයේ සඳහන් ප්‍රාතිමෝක්‍ෂ ශීලය ආරක්‍ෂා කරන සඟ පරපුරේ අඛණ්ඩ පැවැත්මයි.

අඛණ්ඩව භික්‍ෂු පරපුර පවත්වාගෙන යාම සඳහා සිදු කෙරෙන මහා විනය කර්මය උපසම්පදා විනය කර්මය වේ. උපසම්පදා විනය කර්මයේදි සිදු කෙරෙනුයේ සාමණේරයන් වහන්සේලා බුදුරදුන්ගේ උසස් ශ්‍රාවක පිරිස වන ‘භික්‍ෂු’ පරපුරට ඇතුළු කිරීම් වශයෙන් උසස් කිරීමයි. එසේ උසස් කෙරුණු අය උපෝෂථකරණාදි සියලු සංඝ කර්මයන්ට සහභාගිවීමට සුදුසු සංඝයාට අයත් පුද්ගලයෝ වෙති. ඔවුනට ‘භික්‍ෂුව‘ යන නම හා ‘උපසම්පන්න’ යන නාමය හිමිවේ. ඒ සමඟම එම නවක භික්‍ෂුව ‘නව දහස් එක්සිය අසූකෙළ පනස් ලක්‍ෂ තිස් දහසක්’ ශික්‍ෂයායෙන් සංවර වූවෙක්ද වෙයි.අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළ සාමණේරයන් වහන්සේ සඟ පරපුරට ඇතුළු කෙරෙන උපසම්පදා විනය කර්මය විනය කර්ම අතර ප්‍රමුඛතම මහා විනය කර්මය වේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මෙම ගරු විනය කර්මය දෙවර්ෂයකට වරක් සම්ප්‍රදායානුකුලව රාජ්‍ය මහෝත්සවයක් සහිතව පළාත් මට්ටමින් සිදු කෙරේ. දකුණු පළාතෙන් ආරම්භව වූ අප නිකායේ 150 වන සංවත්සරය ද යෙදී ඇති මෙම වර්ෂයේ කෙරෙන උපසම්පදා මහා විනය කර්මය දකුණු පළාතේ මාතර නිල්වලා නදී උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කිරීමට ලැබීම ද සතුටට කරුණක් වේ.

දක්‍ෂිණ ලංකා ප්‍රාදේශික සංඝ සභාවල, ගරු ඩලස් අලහප්පෙරුම ඇමතිතුමන්ගේ සභාපතිත්වයෙන් යුත් උපසම්පදා උත්සව කමිටුවේ අප නිකායාරක්‍ෂක සභාවේ සංවිධානයෙන් හා විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ ද අනුග්‍රාහකත්වය ලබා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 69 වන උපසම්පදා මහෝත්සවය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය වීම ගැන මගේ ප්‍රසාදාත්මක ආශිර්වාදය පිරිනමමි.


උපසම්පදා සීලය ශාසනයේ ජීවයයි

අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමී මාහිමියන් ද ,අතිපූජ්‍ය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද නාහිමියන් ද, අතිපූජ්‍ය වරාපිටියේ සිරිසුමිත්ත නාහිමියන් ද 1863 ජූලි 13 වෙනි දින ගාල්ලේ ගිං ගඟ උදකුෙක්‍ඛ්ප සීමාමාලකයේදි ප්‍රථමෝපසම්පදාව සිදුකිරීමෙන් ආරම්භ කරන ලද රාමඤ්ඤ භික්‍ෂු වංශය දහනව වෙනි සිය වසේ මෙරට ශාසන ඉතිහාසයේ සිදුවූ වැදගත් කටයුත්තක් ලෙස සටහන්ව තිබේ. එය මෑත භාගයේ සිදුවූ ප්‍රබලම ශාසනික පුනර්ජීව ව්‍යාපාරය ලෙස නම් කළ හැකිය.

අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමී මාහිමිපාණන් වහන්සේගේ අභිප්‍රාය වූයේ තමන්ද ශික්‍ෂකාමී ප්‍රතිපත්ති ගරුක විනය ගරුක මහ තෙරනමක්ව තම අනුප්‍රාප්තිකයන්ද ඒ මගෙහි යොදවා මෙරට සිල්වත්, ගුණවත්, නැණවත් ධර්මගරුක භික්‍ෂු පරපුරක් බිහිකිරීමය. දේශීයත්වය අගය කරන සැහැල්ලු දිවිපැවතුම් ඇති එම භික්‍ෂු පිරිස සමාජයට ආර්ය මාර්ගය හඳුන්වා දෙනු ඇතැයි උන්වහන්සේ සිතූහ. ඒ මගෙහි ගමන් කරන රාමඤ්ඤ මහා නිකායික සංඝ සභාව උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ඉතා පිරිසුදු ආකාරයෙන් සිදුකිරීමට උත්සාහවන්ත වේ. රජයේද පූර්ණ අනුග්‍රහය ඇතිව පැවැත්වු එම උපසම්පදා වාරයන්ගේ 69 වෙනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවයේදි මාතර නිල්වලා ගඟ ඉදිකරනු ලබන උදකුක්ඛේප සීමාමාලකයේදි සාමණේරවරයන් 500 කට ආසන්න ප්‍රමාණයක් උපසම්පදා කිරීමට සැලසුම් කොට ඇත. දªකුණු පළාතේ අප නිකායේ ප්‍රාදේශික සංඝ සභා පහක්ද ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමන් ඇතුළු සංවිධායක කමිටුවක්ද නිකායේ කාරක පාලක සංඝ සභා සාමාජිකයන්ගේ ද අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයද දායකත්වය ඇතුව මෙකී උපසම්පදාව සිදු කිරීමට බලාපොරොත්තුවේ.

2014 ජූලි 02 වෙනි දින සවස අතිපූජ්‍ය මහානායක ධුරන්දර නාපාන පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ සහභාගිත්වය ඇතිව පවත්වනු ලබන පොදු ජන රැස්වීමකින් පසුව රාත්‍රී 7.00 ට සීමාමාලකයෙහි සාමණේරයන් උපසම්පදා කිරීම කටයුතු ආරම්භ කොට දින 6 ක් මුලුල්ලෙහි පවත්වාගෙන යනු ලැබේ. මේ සඳහා දහසකට ආසන්න සඟ පිරිසක් හා අතිවිශාල ජනපිරිසක් මාතර නගරයට එක්වෙතැයි බලාපොරොත්තු වේ.

උපසම්පදා සීලය ශාසනයේ ජීවයයි. එබැවින්, ථෙර, මධ්‍යම, නවක සියලු සබ්‍රම්සරුන් වහන්සේලාගේ නොමද සහභාගිත්වය මෙය සඳහා අපේක්‍ෂා කෙරේ.


සැබැවින්ම අගය කළ යුතුව ඇත

ශ්‍රී ලාංකේය ශාසන වංශ කථාවේ ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම නිකායක් වන “ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිමානවත් 69වැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය “ වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙමි.

ශාසනික ඉතිහාසය දෙස වඩාත්ම විමසිලිමත්ව බලන කල ,සම්බුද්ධ ශාසනයේ ව්‍යාප්තියත් සමඟ පුරා විසි වසරක් තිස්සේ භික්‍ෂු විනය සම්බන්ධයෙන් පැවතී ඇත්තේ “ඛන්ති පරමං තපෝ තිතික්‍ඛා” යනුවෙන් හැඳින්වු ඕවාද ප්‍රාතිමෝක්‍ෂයයි . පසුකලෙක යම් භික්‍ෂූන්වහන්සේ නමක් කිසියම් ප්‍රඥප්තියකට පටහැනිව ක්‍රියා කරන්නේ නම් ඊට අදාළ විනය ශික්‍ෂා ඇතුළත් කොට ආණා ප්‍රාතිමෝක්‍ෂය බුදුරදුන් විසින් දේශනා කොට වදාළහ

ශාන්ති නායක අමාමෑණි ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මුවින් එදා වදාළ ‘විනයෝ නාම සාසනස්ස ආයු “ නම් වූ සම්බුදු වදන් පෙළ අනුව,මේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මක් සිදුවන්නට නම්, විනය හෙවත් උපසම්පදා ශීලය සුරක්‍ෂිත කළ යුතු බවත්, යම් ආකාරයකින් විනය හෙවත් උපසම්පදා ශීලය පිරිහෙන්නේ නම් ශාසනයේ පැවැත්ම ද අස්ථිර වන බවත් පැහැදිලිය.

ගෞතම බුදුරදුන් තෙවරක් වැඩම කිරීමෙන් අතිපාරිශුද්ධත්වයට පත් වූ මේ උතුම් පින්බිමට සදහම් ආලෝකයක් එක් කළා වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය අතිශය වැදගත් වන්නා සේම, ථේරවාදි බුදු දහම අනාදිමත් කාලයක සිට පැවත එන ලංකා ධරණිතලයේ ශාසන ඉතිහාසය ශෝභාමත්ව ඇත්තේ සියම්, අමරපුර හා රාමඤ්ඤ නම් වූ නිකායත්‍රයේ සංඝ පරම්පරාවන් නිසාය යන්නත් පිළිගත යුතුය.

විනය ආරක්‍ෂා කරගනිමින්, ශාසනයේ චිර පැවැත්ම නිතර අපේක්‍ෂා කර ගනිමින් ප්‍රතිපත්තිගරුක භික්‍ෂූන් වහන්සේලාගේ සංවර්ධනය උදෙසාත්, අසරණ බවට පත් සුවහසක් ජනී ජනයාගේ හිත සුව පිණිස සදහම් ආලෝකය දසත පතුරුවාලීම පිණිසත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ලක්දිව ස්ථාපිත වූයේ සැබැවින්ම ලක් දෙරණේ වාසනා ගුණ බල මහිමය නිසාවෙන්මය.

එදා ශ්‍රී බුද්ධ වර්ෂ 2406 වැන්නේ දී අතිගෞරවාර්හ අඹගහවත්තේ ශාසනවංශ කවිධජ සිරි සද්ධම්මාචරිය යති සංඝපති ඉන්දාසභවරඤාණසාමි මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආදි කර්තෘත්වයෙන් ඇරඹි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, ලක්දිව විසිර පැතිර යන්නට වූයේ උතුම් වූ ශාසන හිතෛෂි ජාති මාමකත්වයකිනි.

අතිගෞරවාර්හ වරාපිටියේ සිරි සුමිත්ත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, වර්ෂ 1863 ඇසළ මස 13වැනි සඳු දින ගාල්ලේ මහමෝදර ගිං ගඟ උදකුක්ඛේප සීමා මාලකයේදී මංගල උපසම්පදා විනය කර්මයෙන් ඇරඹී ඒ මහා විනයේ සුරක්‍ෂිතතාව, ස්වනිකායට එකසිය පනස් එක් වසරක් සපිරෙන මෙවන් මොහොතකත් මහත් අභිමානයකින් යුතුව අනුස්මරණය කළ හැකිව ඇත්තේ උතුම් සඟ පරපුරක් ජාතියට දායාද කිරීමට සමත්ව ඇති නිසාවෙනි.

ඒ අනුව බලන කල අතිගෞරවාර්හ අඹගහවත්තේ ඉන්දාසභවරඥානසාමි මහානායක මාහිමිපාණන් වහන්සේ, අතිගෞරවාර්භ වරාපිටියේ සිරි සුමිත්ත මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ මෙන්ම අතිගෞරවාර්හ පුවක්දණ්ඩාවේ සිරි පඤ්ඤානන්ද මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේද,මේ උතුම් පුණ්‍ය මහෝත්සව අවස්ථාවේ සමස්ත ජාතියත් සමඟ මා සිහිපත් කරනුයේ, ජාතියත් පුබුදුවා ලූ අභිමානවත් භික්‍ෂු වංශයට දිවි හිමියෙන් පණ පෙවූ අති උත්තම යතිවරයාණන් වහන්සේලා වශයෙන් උන්වහන්සේලා වෙත දක්වන ජාතියේ ම පූජෝපහාරයක් වශයෙනි.

රුහුණු , මායා, පිහිටි ත්‍රි සිංහලය පුරා මෙලෙස විසිර පැතිර ගියා වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, අප්පිච්ඡතා, සන්තුට්ඨිතා ආදි ගුණයන්ගෙන් සුපසන්ව, නිස්සරණ, ප්‍රතිපදාවේ පිහිටා වඩාත් දැහැමි මාර්ගයේ ම ගමන් කළ නිසාවෙන් දේශීයවත්, අන්තර්ජාතිකවත් වන්දනාවට පාත්‍ර වෙමින් මෙරට ශාසනයට මහත් සේවාවක් අදටත් සලසමින් සිටීම, සැබැවින්ම අගය කළ යුතුව ඇත.

මේ උතුම් සඟ පරපුරේ මේ සා විශාල අභිවෘද්ධියක් ලබන්නට වර්තමානයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන්ධර, මැණික්හින්න හූරීකඩුවේ ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති ශාසන සෝභන, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය , සිරි සීලවංස වංසාලංකාරධජ, රාජගුරු, පරියත්ති විශාරද, විනයාචර්ය, ත්‍රිපිටක ධර්මචක්‍රවර්තී,අග්ග මහා පණ්ඩිත, අතිගෞරවාර්හ නාපාන පේමසිරි අපේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ කැපවීමද මේ සුවිශේෂි මොහොතේ සිහිපත් කළ යුතුමය.

“යො ච චන්තකසාවස්ස
සීලෙසු සුසමාහිතො
උපෙතො දමසච්චෙන
ස වෙ කාසාවමරහති”

කෙලෙස් කහට රහිතව සීලයෙහි මනාව පිහිටා ඉඳුරන් දැමීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වන්නේ, නම් හෙතෙම ඒකාන්තයෙන්ම සිවුරට සුදුසු වන්නේය යන සම්බුදු වදන් පෙළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුම් සඟ පරපුර විසින් යථාර්ථයක් බවට පත් කර තිබීම ම වඩාත් ප්‍රශංසනීය වේ.

මාතර නිල්වලා නදී උදකුක්ඛේප සීමා මාලකයෙදී සාමණේරයන් වහන්සේලා හාරසීය නමක් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිමානවත් 69වැනි උපසම්පදා විනය කර්මය සිදු කරනු ලබන මේ සුවිශේෂි වූ මොහොතේ තවත් අනභිභවනීය සඟ පරපුරක් හෙළයට දායාද කිරීමට හැකියාව උදාකරවාලන්නට හදවතින් ම මාගේ ශුභාශිංසන එක්කරන අතරම, සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ද ඉත සිතින් ප්‍රාර්ථනා කර සිටිමි.


සැමටම ආශීර්වාදයකි

ක්‍රි.ව. 1864.07.12 වැනි දින ගාල්ලේ මහමෝදර උදකුක්ඛේප සීමාමාලකයේ දී ප්‍රථම උපසම්පදා විනය කර්මය පැවැත්වීමෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය නම් වූ භික්‍ෂු පරම්පරාව ආරම්භ විය. මෙම නිකාය ආරම්භ වීමට මුල් වූයේ ගාල්ලේ අඹගහවත්තේ ඉන්ද්‍රසභවරඤාණසාමි හිමිපාණන් ය. උන්වහන්සේ තුළ පැවති ශාසනික ප්‍රතිපත්ති ආරක්‍ෂා කිරීමේ දැඩි ආයාශයත් අධිෂ්ඨානයත් නිසා ඇරඹි මෙම නිකාය ස්ථාවරභාවයට පැමිණ ලක්දිව සෑම පළාතකම සුළු කාලයක් තුළ පැතිරීම බෞද්ධයන් වන අප සැමටම ආශිර්වාදයකි.

අද වන විට මහානායක හිමිවරු දොළොස් නමකගේ පාලනයෙන් පුරා වසර 150 කට ආසන්න කාලයක් ගෙවී ගියද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ඒකීය නිකායක් වශයෙන් මේ දක්වා පැවතීම මහත්වූ අභිමානයකි. මේ දෙරණ පුරා ප්‍රාදේශීය සංඝ සභා 44 ක් වශයෙන්ද, විහාරාරාම 1,500 කට වැඩි ප්‍රමාණයක් ද උපසපන්, සාමණේර වශයෙන් භික්‍ෂූන් අටදහසකට වැඩි ප්‍රමාණයක් ඇතුළත් මෙම නිකායේම භික්‍ෂූන් කොටසක් භාවනානුයෝගීව වෙන වෙනම පැවිදි උපසම්පදා සිදුකරමින් වෙන් වෙන්ව සිටියද එකම මහානායක හිමි නමක් යටතේ ඒකාබද්ධව බැඳී ඇත.

තථාගත බුදුපියාණන් දෙසූ නිර්මල බුදුදහම ව්‍යාප්ත කිරීමට නායකත්වය දෙමින් මේ දෙරණ පින්බිමක් කෙරුමට නායකත්වය සපයන උපසම්පදා භික්‍ෂුවකගෙන් සමාජයට වන මෙහෙවර අතිවිශාලය. මෙවර ද අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මාතර සිරිමංගල පිරිවෙණ මූලික කොටගෙන නිල්වලා නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 69 වැනි උපසම්පදා මහෝත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි. මේ වෙනුවෙන් කැපවෙන මහානායක හිමිවරුන් ඇතුළු සැමට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම මෙම උත්සව කමිටුවේ උප සභාපතිවරයෙකු ලෙසින් අතිශය ගෞරව පෙරදැරිව ස්තුතිය පිරිනමමි.


පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය

අනාගත ශාසන පැවැත්ම හා අභිවෘද්ධිය පිළිබඳ වගකීම උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා සතුව පවතින්නක් යන්න අපගේ පිළිගැනීම හා විශ්වාසය වන අතර, ‘විනයෝ නාම සාසනස්ස ආයු’ යන පාලි වදනින් අර්ථ නිරූපණය වන්නේ ද උපසම්පදා ශීලය යනු ශාසනයේ ආයුෂය බවයි. මෙහි දී අප වඩා සැලකිල්ලට ගත යුතු කරුණු වන්නේ උපසම්පදා ශීලයෙහි ශ්‍රේෂ්ඨත්වය හා උපසපන් භික්‍ෂූන් වහන්සේලාගේ වටිනාකම පිළිබඳවයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායාරක්‍ෂක සභාව වශයෙන් අප එහි වගකීම වටිනාකම හා කාලීන අවශ්‍යතාවය පිළිබඳව මනා වැටහීමකින් සිටින අතරම නිකායාරක්‍ෂක සභාවේ ලේකම් ධුරය හොබවමින් උපසම්පදා පුණ්‍යෙීත්සවයට සක්‍රීය දායකත්වය සපයන හතරවන වාරය මෙය වීමම ඊට කදිම සාධකයකි. ඒ පිළිබඳ මාගේ හදවතේ ගැඹුරින් ම නැගෙන්නේ නිහතමානී ආඩම්බරයකි. ඒ සෑම උත්සව අවස්ථාවකදීම නිකායේ ආශිර්වාදය ද, අනුශාසනය ද, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ද නොඅඩුව ලබන්නට තරම් අප වාසනාවන්ත වූ බව සඳහන් කර සිටින්නේ අභිමානයකින් හා සතුටකිනි.

මෙහිදී සාමණේර භික්‍ෂූන් වහන්සේලා 400කට අධික සංඛ්‍යාවක් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයේ පිහිටුවාලමින් අනාගත සාසනාරක්‍ෂාව සඳහා යොමු කිරීමේ පසුබිම සකස් කරමින් අපේ අතිපූජ්‍ය මහානායක නාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක පාලක සංඝ සභාව හා නිකායාරක්‍ෂක සභාව කටයුතු සම්පාදනය කෙරෙන මේ උතුම් මොහොතේ මෙම මාහැඟි පුණ්‍යෙීත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් යොමු කරන්නේ ද බලවත් වූ චිත්ත පී‍්‍රතියෙනි.

මාතර වල්පොල සිරිමංගල පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍රකොට ගෙන ඓතිහාසික රුහුණුපුර නිල්වලා නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදුකරන මෙම පින්කම් මාලාව දින 09 ක් පුරා පැවැත්වෙන අතර, එයට සහයෝගය, උපකාරය, අනුග්‍රහය දැක්වූ සෑම සියලු දෙනාටම ද පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුදකර සිටීමට මෙය අවස්ථාවක් කරගන්නා අතරම ඊට දායකවීමෙන් ලැබ ගන්නා වූ ආනිශංස වාරයෙහි කොටස්කරුවෙකු වීමට ලැබීම ද වාසනාවක් හා භාග්‍යයක් කොට මේ මොහොතේ දයාවෙන් හා ශාසනාලයෙන් යුතුව මතක් කර සිටිමි.


උත්තරීතර පුණ්‍ය මහෝත්සවයක්

දකුණු ලක අගනගරය වූ ගාලු පුරවරය මුල් කරගෙන බුද්ධ වර්ෂ 2417 දී ආරම්භ වූ රාමඤ්ඤ මහා නිකාය සඳහා වසර 150ක් සපිරෙන අවස්ථාවේදී දශක හතරකට පසුව නැවතත් දක්‍ෂිණ දේශය මූලික කර ගනිමින් මෙවන් වූ උත්තරීතර පුණ්‍ය මහෝත්සවයක් රාජ්‍ය අනුග්‍රහය මත සංවිධානයවීම පළාත තුළ වාසය කරන බෞද්ධ ජනතාව ලද මහත් වූ වාසනා මහිමයක් බව මාගේ විශ්වාසයයි.

“භික්‍ඛු භික්ඛවේ වියත්තෝ, විනීතෝ, විසාරදෝ, බහුස්සුතෝ, ධම්මධරෝ, ධම්මානුධම්ම පටිපන්නෝ සංඝ සොහේති, මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර භික්‍ෂුව බෞද්ධ ශාසනය බබළවයි.” සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ වචනය අනුව යමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උත්තරීතර සංඝ සභාවේ මඟ පෙන්වීම යටතේ ධර්ම විනය ඥානයෙන් හා සම්බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳ මනාවූ දැනුමකින් යුත් සාමණේරයන් වහන්සේලා හට උපසපන් භික්‍ෂූන් වහන්සේලා ලෙස විවරණය ලබාදී උන්වහන්සේලාගේ මඟ පෙන්වීම සහ ආශීර්වාදය බෞද්ධ දර්ශනය ඉදිරියටත් සමාජයේ සුරක්‍ෂිත කිරීම සඳහා දායක කරගනු ලැබීමට සිදුකරනු ලබන මෙම උතුම් වූ කර්තව්‍ය සෑම බෞද්ධාගමිකයෙකුගේම බුද්ධාලම්භන ගෞරවාදරයට පාත්‍ර විය යුතු ය.

බුදුදහම පිළිබඳව යථාවාදීව සිතා කාලානුරූපීව කටයුතු කරන ධර්මානු ධර්ම ප්‍රතිපන්න භික්‍ෂූන් වහන්සේලා වඩ වඩාත් අවශ්‍ය වන යුගයක මෙවැනි වූ පුණ්‍ය කර්මයන් වඩ වඩාත් සංවිධානයවීම අත්‍යවශ්‍ය බව හැඟේ.

ඒ අනුව යමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් සිදුකරනු ලබන මෙම උත්තරීතර වූ කර්තව්‍ය සර්වප්‍රකාරයෙන් සාර්ථකවීමටත් ඉන් නොනැවතී ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තව තවත් අනූපමේයය වූ සේවයක් ඉටු කිරීමට අවශ්‍ය යෝධ බල යෝධ ශක්තිය අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු උත්තරීතර සංඝ සභාවට තුනුරුවණේ බලයෙන් නොඅඩුව ලැබේවායි බැති සිතින් යුතුව ප්‍රාර්ථනා කරමි.

 

පොසොන් මස අමාවක පෝය

පොසොන් මස අමාවක පෝය ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.11 ට ලබයි. 27 වැනිදා සිකුරාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි මස 05 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]