UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිනිවුණි ඒ නිකෙළෙස් රහත් හිමිවරු - 42 තේකිච්චකානි මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙළෙස් රහත් හිමිවරු - 42

නමුත් ආයතන හය කෙරෙහි ඇති මමත්වයේ හැඟීම බැහැර කළ කල්හි ඔහු මාරයාගේ වසඟයෙන් නිදහස් වෙනවා. ඔහු ලෝකයෙනුත් නිදහස් වෙනවා. සසර දුකිනුත් නිදහස් වෙනවා. ඒ සේනා සහිත මාර විෂය මැඬ පවත්වා තුන් ලෝකයම ජය ගත්තේ අප ආදරයෙන් සරණ ගිය තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ විසිනුයි.

උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය කියන්නේ ඒ මාර විෂය ඉක්මවා යන මඟ පවසන ධර්මය යි.

මේ ලෝකයට ඉතාමත් කලාතුරකින් තමයි උතුම් තෙරුවන පහළ වන්නේ. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝරත්නය යන මේ තෙරුවන් සරණ යාමෙන් තමා ලෝ සතුන් බිය රහිත වූ නිවනට පත්වන්නේ. තෙරුවන් සරණට පත් වූ කෙනෙකුට සියලු දුකින් නිදහස් වීමේ භාග්‍යය උදා වෙනවා. උතුම් තෙරුවන් සරණ යාම නිසා සියලු දුකින් නිදහස්වීමේ වාසනාව ලැබූ තේකිච්චකානි නම් උතුම් මහ රහතන් වහන්සේගේ ජීවිතය ගැනයි අද අප ඉගෙන ගන්නේ.

විපස්සී නම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මින් කල්ප අනූ එකකට පෙර යුගයේ ලොව පහළ වී වදාළා. එකල බන්ධුමතී නම් රාජධානියේ අතිශයින් දක්ෂ වූ වෛද්‍යවරයෙක් වාසය කළා. විපස්සී බුදුරජාණන් වහන්සේත් වැඩ වාසය කළේ ඒ බන්ධුමතී නුවරම යි. ඒ කාලයේ විපස්සි බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයාණන් වහන්සේ වූ අශෝක නම් තෙරුන් වහන්සේ දරුණු රෝගාබාධයකට පත්වී සිටියා. දිනෙන් දිනම උග්‍ර අතට හැරුණු ඒ රෝගය සුවපත් කරන්නට කිසිවෙකුටත් නො හැකි වුණා. අවසානයේ රාජධානියේ දක්ෂම වෛද්‍යවරයා ගෙන්වා අශෝක තෙරුන්ට බෙහෙත් කෙරෙව්වා. බෙහෙත් කරන අතරේ අශෝක තෙරුන් වහන්සේ තුළ තිබූ නිවී ගිය සංසිඳී ගිය ජීවිතය ගැන ඒ වෛද්‍යවරයාගේ සිත පැහැදුණා. ඒ සිතේ පැහැදීමෙන් මහත් ඕනෑකමින් කළ ප්‍රතිකාර නිසා අශෝක තෙරුන් වහන්සේ ඉතාම සුළු කලකින් සුවපත් වුණා.

සිල්වතුන් වහන්සේ නමකට කළ ඒ උපස්ථානයත්, අනෙකුත් රෝගින් සුවපත් කිරීමෙන් රැස් කරගත් පුණ්‍ය ධර්මයනුත්, මරණින් මතු ඒ වෛද්‍යවරයාගේ ජීවිතයට බොහෝ සැප සලසා දුන්නා. ඒ පිනේ බලයෙන්ම මීට කල්ප අටකට පෙර ‘සුවච’ නමින් සක්විති රජ වී මුළු මහත් පෘථිවියම ධාර්මිකව පාලනය කළා.

ඒ මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනි සම්බුදු රජුන් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ යුගය යි. ගෞතම බුදුරජාණෝ බොහෝ කලකට පසු දඹදිව චන්ද්‍රගුප්ත නම් රජෙක් රාජ්‍යය කළා. එකල චන්ද්‍රගුප්ත රජුගේ පුරෝහිත වූ සුබන්ධු නම් බමුණාගේ පවුලට පින්වන්ත පුත් කුමාරයෙක් එක්වුණා. මව් කුසේ පටන් වෛද්‍යවරුන්ගේ රැකවරණ මැද සිටි නිසා මේ කුමාරයා ‘තේකිච්චකානි’ නමින් හැඳින්වූවා. තම ගුරු කුලයට අයත් ශිල්ප මනාව හදාරමින් තේකිච්චකානි කුමරු තරුණ වියට පත්වුණා.

සුබන්ධු බමුණා අතිශයින්ම තීක්ෂණ ප්‍රඥාවකින් හා ස්ථානෝචිත ප්‍රඥාවකින් යුක්ත වුණා. මේ ගැන චන්ද්‍රගුප්ත රජුගේ ඇමැතියෙක් වූ චාණ්ක්‍ය ඇමැතියා ඉරිසියා කළා. චන්ද්‍රගුප්ත රජුට කේලාම් කියූ ඔහු සුබන්ධු බමුණාව රජු ලවා සිරගත කෙරෙව්වා. ඒත් සමඟම සුබන්ධු බමුණාගේ මුළු පවුලම රජුගේ හා රටවැසියන්ගේ අප්‍රසාදයට ලක් වුණා. තම ජීවිතවලට ඇති අනාරක්ෂාව තේරුම් ගත් සුබන්ධු බමුණගේ මුළු පවුලම නගරය අතහැර ගියා. තේකිච්චකානි තරුණයා සැඟවී සිටි වනය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා විවේකය පිණිස වැඩ වාසය කළ වනාන්තරයක්. එහිදී මේ තරුණ කුමාරයාට රුක් සෙවණේ බවුන් වඩනා සන්සුන් ඉඳුරන් ඇති සිල්වත් ශ්‍රමණයන් වහන්සේලා ඇසුරු කරන්නට ලැබුණා.

ඒ ඇසුර නිසාම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගත් ඔහු ගෞතම බුදු සසුනේ පැවිදිභාවයට පත්වුණා. තේකිච්චකානි ස්වාමින්වහන්සේ ඒ ශ්‍රී සද්ධර්මයට අතිශයින් ගෞරව කළා. ශ්‍රාවක සංඝරත්නයටත් අතිශයින් ගෞරව කළා. ඇස් දෙකෙන් නො දුටුවාට ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේව දකිමින් නිරතුරු මේ උතුම් තෙරුවනේ ගුණ සිහි කරමින් වැඩ වාසය කළා. උන්වහන්සේ අතිශයින්ම වීරියවන්ත යි. ඒ නිසාම අබ්භෝකාසිකංගය හා නේසජ්ජිකංගය යන ධුතාංග සමාදන්ව කෙලෙස් තවමින් ධර්මයේ හැසිරුණා.

මේ ලෝකයේ කෙනෙක් කෙලෙස් සමඟ සටන් වැදීමට සූදානම් වෙද්දී එයට සෘජුවත්, වක්‍රවත් බාධා කරන විශාල බලවේගයක් තියෙනවා. ඒ තමා සේනා සහිත මාරයාගේ බලපෑම. අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ ‘පින්වත් මහණෙනි, මේ ලෝකයේ මැඬලීමට අසීරු වූ බලයන් අතර මාරයාගේ බලය තරම් වෙන කිසිදු බලයක් මම බුදු ඇසින් නොදිකිමි’ යනුවෙනි. තේකිච්චකානි හිමියන්ගේ බලවත් වීරිය දුටු මාරයා ‘මේ ශ්‍රමණයා මාගේ විෂය ඉක්මවා යන්නටයි සූදානම් වන්නේ. මම මොහුව ප්‍රමාදයට පත් කරවන්නට ඕනෑ’ කියා කල්පනා කළා. කෙත රකිනා ගොවියෙකු ලෙසින් වේෂයක් මවාගෙන ඔහු තේකිච්චකානි ස්වාමින් වහන්සේ ඉදිරියට පැමිණුනා. පැමිණ ගාථාවකින් මෙසේ පැවසුවා.

අතිහිතා විහි - බලගතා සාලි
නවලභේ පිණ්ඩං - කථමහං කස්සං

අටුවේ වී පිරිල තියෙනවා. හැල් වීත් එකතු කරල තියෙන්නේ. ඒත් පිණ්ඩපාතය ලැබෙන්නෙ නැහැ. මම වගා කරන්නෙ කොහොමද?

මේ මාරයා බව නොදත් තේකිච්චකානි හිමි මේ විදිහට කල්පනා කළා. ‘ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට කාමයන් උදෙසා කොයිතරම් වෙහෙසක්, විඩාවක් ගැනීමට සිදුවෙනවා ද? නමුත් උතුම් තෙරුවන පිහිට කරගෙන වසන මේ පිවිතුරු පැවිදි ජීවිතය කොයිතරම් සුන්දර එකක් ද? උන්වහන්සේ මේ විදිහට ගාථාවන් වදාළා.

බුද්ධමප්පමෙය්‍යං - අනුස්සර පස්සනා
පීතියා ඵුටසරීරෝ - හෝහිසි සතතමුදග්ගෝ

සිත පහදවා ගෙන අපමණ ගුණ ඇති බුදු සමිඳුන් ගැන සිහි කරන්න. හැම තිස්සේම ඔද වැඩුණ පී‍්‍රතිය, පැතිර ගිය සිරුරක් ඇති කෙනෙක් වෙන්න.

ධම්මමප්පමෙය්‍යං - අනුස්සර පස්සනා
පීතියා ඵුටසරීරෝ - හෝහිසි සතතමුදග්ගෝ

සිත පහදවා ගෙන අපමණ ගුණ ඇති බුදු සමිඳාණන්ගේ ධර්මය සිහි කරන්න. හැම තිස්සේම ඔද වැඩුණ පී‍්‍රතිය පැතිරගිය සිරුරක් ඇති කෙනෙක් වෙන්න.

සංඝමප්පමෙය්‍යං - අනුස්සර පස්සනා
පීතියා ඵුටසරීරෝ - හෝහිසි සතතමුදග්ගෝ

සිත පහදවා ගෙන බුදු සමිඳුන්ගේ ශ්‍රාවක වූ අපමණ ගුණ ඇති සඟ පිරිස සිහි කරන්න. හැම තිස්සේම ඔද වැඩුණ පී‍්‍රතියක් පැතිර ගිය සිරුරක් ඇති කෙනෙක් වෙන්න.

එවිට මාරයා යළිත් තේකිච්චකානි ස්වාමින් වහන්සේට මේ විදිහට පැවසුවා.

අබ්භෝකාසේච විහරසි සිතා - හේමන්තිකා ඉමා රත්තියෝ
මා සීතේන පරේතෝ විහඤ්ඤිත්ථෝ - සවිස ත්වං විහාරං ඵුසිතග්ගලං

මේ සීතල හිම වැටෙන රාත්‍රියක්. එළිමහනෙ නේද ඔය ඉන්නේ? සීතලෙන් දුක් විඳල වැනසෙන්න එපා. දොර ජනෙල් ඇති කුටියක් ඇතළට යන්න.

මේ ගාථාව ඇසෙනවාත් සමඟම තේකිච්චකානි හිමියන්ට සිහිය ඉපදුණා. ‘මාරයා තමන් වහන්සේව ප්‍රමාදයට පත් කරවීම පිණිසමයි මේ පැමිණ තිබෙන්නේ. අබ්භෝකාසිකංගයෙන් කෙලෙස් තවන මා හට විහාරයකට පිවිසෙන්න යැයි පවසා මොහු මගේ වීරිය දුබල කරවන්නයි සූදානම. අහෝ මේ කෙලෙස් යුද්ධය නම් ජය ගැනීමට දුෂ්කර එකක්ම යි. මෙසේ සිතා උන්වහන්සේ තමන් වහන්සේ තුළ පැවැති වීරිය තව තවත් බලවත් කර ගත්තා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවම සිහියට ගත්තා. ධර්මයටම සිත යොමු කළා. උන්වහන්සේගේ ඒ අප්‍රමාදය අපතේ ගියේ නැහැ. ඒ සිත සමාධිමත් වුණා. සමාධිමත් සිතෙන් විදර්ශනා වැඩු උන්වහන්සේ ඒ මොහොතේම සියලු කෙලෙස් ගිනි නිවා දමා උතුම් වූ අරහත්වයට පත් වී වදාළා. නිකෙලෙස් සිතේ සැප විඳිනා තේකිච්චකානි මහ රහතන් වහන්සේ පාපි මාරයාට මේ අයුරින් පිළිතුරු ගාථාවක් වදාළා.

ඵුස්සිස්සං වතස්සෝ අප්පමඤ්ඤොයෝ
තාහි ච සුඛිතෝ විහරිස්සං
නාහං සීතේන විහඤ්ඤිස්සං -අනිඤ්ජිතෝ විහරන්තෝ’ති

සතර බ්‍රහ්මවිහරණ මම පතුරනවා. ඒ තුළින් ඇති වෙන සැපය ඇතිවයි මම ඉන්නේ. මම සීතලෙන් වැනසෙන කෙනෙක් නොවේ. කෙලෙස් නැතිව ඉන්න කෙනෙක්.

තුන් ලෝකයේ ම සිටින සත්ත්වයින් නිදහස් විය නොහැකි සසර ගමනකට වැටුණේ ඇසට, කණට, දිවට, කයට බැඳුණු නිසා. ඒ වගේම සිතට බැඳුණු නිසා. මේ ආයතන හයටම අධිපතිභාවය දරන්නේ සේනා සහිත මාරයා විසිනු යි. ඒ නිසාම ආයතන හය කෙරෙහි මම, මගේ, මගේ ආත්මය යන හැඟීම ඇති සියලු දෙනාම මරුගේ වසඟයේ වාසය කරන්නේ. නමුත් ආයතන හය කෙරෙහි ඇති මමත්වයේ හැඟීම බැහැර කළ කල්හි ඔහු මාරයාගේ වසඟයෙන් නිදහස් වෙනවා. ඔහු ලෝකයෙනුත් නිදහස් වෙනවා. සසර දුකිනුත් නිදහස් වෙනවා. ඒ සේනා සහිත මාර විෂය මැඬ පවත්වා තුන් ලෝකයම ජය ගත්තේ අප ආදරයෙන් සරණ ගිය තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ විසිනුයි. උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය කියන්නේ ඒ මාර විෂය ඉක්මවා යන මඟ පවසන ධර්මය යි. ඒ ශ්‍රී සද්ධර්මයට අනුවම කටයුතු කොට මාර විෂය ඉක්මවා ගිය අති උතුම් මහරහතන් වහන්සේලාත්, මාර විෂයෙන් නිදහස් වීම පිණිස සීල, සමාධි, ප්‍රඥාා වඩන උතුමන් වහන්සේලාත් අයත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට යි.

අපටත් ඒ උතුම් තෙරුවන් අවබෝධයෙන්ම දැනගෙන, සිත පහදවාගෙන ඝෝර වූ, කටුක වූ, භයංකාර සංසාර දුකින් නිදහස්වීම පිණිස හේතු වාසනා වේවා!

නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙළෙස් රහත් හිමිවරු- 41 යසෝජ මහරහතන් වහන්සේ

 

පොසොන් මස අමාවක පෝය

පොසොන් මස අමාවක පෝය ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.11 ට ලබයි. 27 වැනිදා සිකුරාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි මස 05 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]