UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් සෝමවතියට පිදෙන සුවිශාල මහා මාර්ගය හා දාන ශාලා මන්දිරය ජනපතිඳුන් අතින් විවෘත කෙරෙණ වගයි

අසිරිමත් සෝමවතියට පිදෙන සුවිශාල මහා මාර්ගය හා දාන ශාලා මන්දිරය ජනපතිඳුන් අතින් විවෘත කෙරෙණ වගයි

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට රුහුණේ කාවන්තිස්ස මහ රජතුමන්ගේ නැගෙණිය වන සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින් ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ ඉදි කරවන ලද පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ පොළොන්නරු යුගයේදී කාලිංග මාඝ චන්ද්‍රබානු ආක්‍රමණ නිසා මහඝන කැලයක් බවට පත් වී නැවත 1947 වසරේදී සොයා ගැනීමේ සිට වර්තමානය දක්වා ඉමහත් දුෂ්කරතා මධ්‍යයෙහි ගමන් කළ මාර්ගය අතිගරු විශ්ව කීර්ති ශ්‍රී ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ අතිශය ශ්‍රද්ධා භක්තිය නිසා 2005 වසරේදී මුල්ගල් තබා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද සහ සම්බන්ධ වී කෝටි සංඛ්‍යාත මහා ධනයක් වැය කරමින් පොළොන්නරුවේ සිට චෛත්‍යරාජයා දක්වා කි.මී. 40 ක් දීර්ඝ මාර්ගය කාපට් කරමින් හා කොන්ක්‍රීට් අතුරමින් සාදන ලද දර්ශනීය සුවිශාල මාර්ගයත්, මෙතෙක් අඩුවක්ව පැවති (දකුණු දළදා වහන්සේ ) උදෙසා දිනපතා පවත්වනු ලබන රාජකීය මහා මුළුතැන් බුද්ධ පූජාව හා සාංඝික මහා දානය සඳහා වැඩම වන මහා සංඝ රත්නයේ ප්‍රයෝජනය සඳහා කොළඹ මාලඹේ මයික්‍රෝ පැකේජ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ දේශමාන්‍ය කේ.ඒ.සී.පෙරේරා මැතිතුමා විසින් සුවිශාල ධනයකින් ඉදිකරන ලද දෙමහල් දාන ශාලාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති විශ්ව කීර්ති ශ්‍රී ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සියතින් සම්බුද්ධ ශාසනයේ මෙන්ම මහජනතාවගේ චිරස්තිථිය හා සුභසිද්ධිය සඳහා ජනතා අයිතියට පත්වන මේ මොහොතේ හදබැඳී සිතින් ආශිර්වාදාත්මක ලිපියක් පළ කරනුයේ දළදා සමිඳුගේ ආශිර්වාදය ද පෙරටුවය.

පොළොන්නරුවේ සිට කි.මී. 40 ට දුරින් ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේ යායුතුව තිබූ අලි කොටි වලසුන්ගෙන් ගැවසී ගත් මහ ඝන කැළයක් මැද පිහිටි වාර්ෂිකව මහා ජල ගැල්මෙන් අලි ඇතුන් සහිත සියලුම සතා සිව්පාවුන් පවා සැඩ ජලපහරින් ගසා ගෙන විනාශයට පත්වන ශ්‍රී ලංකාද්වීපයෙහි ඇති වර්තමානයේ ඉතාම දුෂ්කර පුණ්‍ය භූමියක් බවට මෙම බුදුරැස් විහිදෙන සෝමවතී චෛත්‍ය රාජයා පත්ව ඇත.

මෙවන් අති දුෂ්කර ස්ථානයක් වුවද දේවානම්පියතිස්ස මහ රජ දවස සිය සහෝදර මහානාග කුමරු රෝහණයට යන මොහොතේ එතුමාගේ නමින් පශ්චිම නාගාරාමය යනුවෙන් ආරම්භ කළ මෙම සෝමවතී විහාරය කාවන්තිස්ස රජතුමන්ගේ නැගෙණිය වන සෝමවතී දේවිය හා ගිරි අභය කුමරුන් විසින් මහා අරිට්ඨ පරම්පරානුයාත මිහිඳු මාහිමියන්ගෙන් ලබා ගත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී‍්‍ර දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදිකරණ ලද සෝමවතී චෛත්‍ය රාජයා එදා මෙදා කාලය තුළ රාජරාජ මහාමාත්‍යාදීන් විසින් සංවර්ධනය කර වැඩිදියුණු කළ ආකාරය සෝමවතී චෛත්‍යරාජයා සමීපයෙහි ඇති ශිලාලේඛන 11 න් හා මහා වංශ ධාතු වංශ , ජිනකාලමාලි ආදි ග්‍රන්ථයන්ගෙන් මැනවින් පැහැදිලි වේ.

ක්‍රි.පූ. 41 කූඨකණ්ණ තිස්ස රජතුමා දෙගම නම් දියඇළක් කපමින්ද ක්‍රි.පූ. 21 මහාදාඨික රජතුමා අඩපිටිගමත්, එතුමාගේ රදලි නම් කුඹූරත් පූජා කළ ආකාරයත් ක්‍රි.ව. 112 දී සොළීන්ගෙන් විජයග්‍රහණය ලබා 24000 සෙනග ශ්‍රී ලංකාද්වීපයට ගෙනවුත් පුද පෙළහර පවත්වන මොහොතේ රජතුමාට මහා සංඝරත්නය (ගාමිණී අභය යුධ ජි) යුද්ධ ජයග්‍රාහක ගාමිණි අභය යන ගෞරව නාමය පිරිනැමීමෙන් පසු රජතුමා රාජකීය ඇළක් කපා සෝමවතී චෛත්‍යය රාජයාට පුද කළ ආකාරයත්, ක්‍රි.ව. 64 දී කණිටුතිස්ස රජතුමා තොටුපොල 03 ක බදු චෛත්‍ය රාජයාට ලබාදී රාජකාරි ක්‍රමය පැනවු හැටි එසේ නොකළහොත් කහවණු පන්සියයක් හෙවත් රන්පවුම් 4000 ක් (කෝටි 20 ට අධික දඩයක්) දඩගසමින් විහාරස්ථානය ද සංවර්ධනය කොට අභයගිරියෙන් භික්‍ෂූන් වැඩමවා පුද පූජාවන් පැවැත් වූ ආකාරයත්, මහාපරාක්‍රමබාහු රජතුමන්ගේ බිසව වන ලීලාවතී රැජින දොළොස් දහස් රටින් (ගිරුවාපත්තුව) ඇඹුල්පත්ගම පූජා කළ අයුරුත් එකී ශිලාලේඛනයන් හි සඳහන් වන අතර, මහා පරාක්‍රමබාහු රජතුමා සෝමවතිය නමින් ඇළක් කඳුරුවඩම නම් ගමට කැපූ අයුරුත් මහා වංශයෙහි 79 වන පරිච්ඡේදයේ සඳහන් වේ.

මේ අයුරින් පොළොන්නරු යුගයේ අවසානය දක්වාම රජවරුන් විසින් වැඩිදියුණු තත්වයට පත් කළ ආකාරය මැනවින් පැහැදිලි වන අතර කාලිංගභාණු, චන්ද්‍රභාණු, ආක්‍රමණ නිසා මුළු මහත් උතුරු හා උතුරුමැද ප්‍රදේශයන් සුවිශාල විනාශයකට පත්වීම නිසා එකල සිටි රජවරු දඹදෙණියට පැනගිය අතර ලක්‍ෂ සංඛ්‍යාත මහජනතාවත් භික්‍ෂූන් වහන්සේත් වෙහෙර විහාර හා රජ මාලිගා ආදි මහජන දේපළ විනාශයට පත්විය. වාම ශ්‍රී දළදා වහන්සේ සුරක්‍ෂිතව සඟවාගෙන කොත්මලේට පැනගිය භික්‍ෂූන් වහන්සේ සපුගහක බෙනයක එම වම් දළදා වහන්සේ සහ පාත්‍ර ධාතුන් වහන්සේ සඟවා බුරුම රටට (මියන්මාර්) පැන ගොස් ජීවිත බේරාගත් අයුරුද දඹදෙණියට පළාගිය දෙවන පරාක්‍රමබාහු රජතුමා රශ්මි ධහරාවන් විහිදෙනු අසා එම ස්ථානයට ගොස් බලන විට රශ්මි ධාරාවන් සහිත දළදා වහන්සේ සහ පාත්‍ර ධාතුන් වහන්සේ සියැසින් දැක අපමණ බුද්ධාලම්බන පී‍්‍රතියෙන් බෙලිගලටත් ඉන් පසුව දඹදෙණියටත් වැඩමවා පුද පූජාවන් පැවැත් වූ ආකාරය ඓතිහාසික වාර්තාවල සඳහන් වන අතර, මේ වන විට මහනුවර දළදා මාලිගාවේ අපමණ පූජා සත්කාරයන්ගෙන් පිදුම් ලබමින් වැඩ වෙසෙති.

ක්‍රි.ව. 1862 දී පමණ ඉංගී‍්‍රසි ආණ්ඩුව සමයේ සෝමවතී චෛත්‍යස්ථානය පිළිබඳ තොරතුරු ලැබී තිබුණත් මහාමාන්‍ය ඩී.එස්.සේනානායක අගමැතිතුමා විසින් ගොවිජනපද ආරම්භ කිරීමත් සමග මහ ඝන කැලයක මැද ගරාවැටුනු චෛත්‍යයක දකුණු දළදා වහන්සේ වැඩ වසන බව එම පොළොන්නරු මින්විලු ප්‍රදේශයෙහි පදිංචි වූ සිංහල හා මුස්ලිම් ජනතාව සියැසින් දැක ඒ වන විට පොළොන්නරු ප්‍රදේශය තුළ එකම භික්‍ෂූන් වහන්සේ නමක්වත් වැඩ නොසිටි හෙයින් එකී සිංහල හා මුස්ලිම් සැදැහැවත් පිරිස මහනුවර මල්වතු මහා විහාරයට පැමිණ අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේට සැළ කොට මල්වතු මහා විහාරයීය ගරුතර කාරක සංඝ සභික ඓතිහාසික බඩගමු රාජමහා විහාරාධිපති සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා රාජකීය පණ්ඩිත පහමුණේ ශ්‍රී ගුණානන්දාභිධාන මල්වතු පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මල්වතු මහා විහාරයීය මහා සංඝ රත්නයත් මහනුවර සැදැහැවත් පිරිස හා එකී සුංගාවිල ආදි පොළොන්නරු ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් සැදැහැවත් පිරිස චෛත්‍ය රාජයන් වහන්සේ සොයා ගැනීමට මහඝන කැළය මැදින් පාගමනින් යන මොහොතේ බෙර ශබ්දයක් ඇසී ඒ අනුව යන විට ගිනිජාලාවන් මතු වෙනු දැක ඒ අනුව ගොසින් බලනවිට ගරාවැටුණු චෛත්‍යයක නටබුන් හමුවූයෙන් එම ස්ථානය එළිපෙහෙළි කරගෙන සංවර්ධනය කිරීමට පටන්ගත් ආකාරයත් අද දක්වාම එම පෙර ශබ්දයත් ගිනිදැල් මතු වීමත් සියැසින් දැක ඡායාරූප ගත කිරීමට පවා හැකි වූ බවද මෙහිලා සිහිපත් කරමි.

මේ අයුරින් සොයාගත් මෙම ස්ථානය 1964 දී සෝමවතී චෛත්‍ය වර්ධන සමිතිය පිහිටුවාගෙන 1966 දී ඩඩ්ලි සේනානායක අගමැති තුමාගේ සියතින් මුල්ගල් තබා චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කොට සුංගාවිල පාලමටද මුල්ගල තබා එකී පාලමද ඉදි කිරීමට කටයුතු සලස්වමින් 1969 වසරේදි එකී පාලමද විවෘත කරමින් චෛත්‍යරාජයාණන් වහන්සේගේ ගර්භයටය ද මුල්ගල් තැබිණි. 1974 වසරේදි අතිගෞරවාර්හ සිරිමල්වත්තේ ශ්‍රී ආනන්ද මහානායක මාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගර්භ නිධාන උත්සවයද සතරැස් කොටුව ධාතු නිධාන උත්සවය 1977 දී විලියම් ගොපල්ලව ජනාධිපති තුමාගේ සියතින්ද සිදු කොට 1981 ජූලි 04 වැනි දින කේතුපිළන්දන උත්සවය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් බුද්ධ රශ්මිමාලා මධ්‍යයේ සිදු කරමින් එතැන් පටන් චෛත්‍යස්ථානයෙහි පරිවාර ගොඩනැගිලි ආදිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම අනුව ඉදිකිරීමට පටන්ගත් නමුත් 1983 වන විට ඇති වූ ත්‍රස්තවාදය නිසා සියලු සංවර්ධන කටයුතු නතර විය.

1985 දී හා 1996 දී ද 1999 දී ද ත්‍රස්තවාදි ග්‍රහණයන්ට චෛත්‍යස්ථානය හා සුංගාවිල ප්‍ර‍්‍රදේශය පත් වූ නමුත් චෛත්‍යස්ථානය වෙත පැමිණි ත්‍රස්තවාදීන් චූඩාමාණික්‍ය ගලවනවාත් සමගම ඔවුන්ගේම වෙඩිපහරින් එකී ත්‍රස්තවාදියා මරණයට පත් වුවද, චෛත්‍ය රාජයාට බලවත් විනාශයක් කිරීමට ත්‍රස්තවාදීන්ට නොහැකි වූ අතර 2002 වන තෙක් ත්‍රස්තවාදී ග්‍රහණයට පත්ව කිසිවෙකුට යා නොහැකි ප්‍රදේශයක් බවට පත්වීය .

නැවතත් 2002 වසරේ එවකට වාරිමාර්ග අමාත්‍ය ජී.පී.නෙල්සන් මහතා ජයවික්‍රම පෙරේරා මැතිතුමා අගමැතිතුමා ආදි මැති ඇමැතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ මහතා, නැගෙනහිර ආඥාපති සුනිල් තෙන්නකෝන් මහතා හා පොළොන්නරු මහ දිසාපති අබේවික්‍රම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ආරක්‍ෂක අංශත්, මහවැලිය ද සැදැහැවත් මහජනතාවත් සම්බන්ධ කරගනිමින් පාර සුද්ද කරගෙන යන විට මහ ඝන කැළයෙන් වැසී ගිය කාලවර්ණයට පත්වූ චෛත්‍ය රාජයා දැක අපමණ සංවේගයට පත්වූ අප හැමදෙනාම ස්ථානය එළිපෙහෙළි කිරීමටත්, සියයේ වැඩසටහන් මුල් කොට නැවත සංවර්ධනයට පත්කරමින් 2002 ජුනි 19 වැනි දින බුද්ධරශ්මි මාලා මධ්‍යයේම නැවත චූඩා මාණික්‍ය පළඳවන ලදී. එතැන් පටන් චෛත්‍ය ස්ථානයේ සංවර්ධන වැඩකටයුතු ආරම්භ කළ අතර, නළ ළිං වලින් ජල පහසුකම් හා ජෙනරේටරයකින් විදුලිය ද ලබා දීමට එවක රජයේ ජල කළමනාකාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හා විදුලිබල අමාත්‍ය කරූ ජයසූරිය ඇමතිතුමා විසින් සිදු කළ අතර අනෙකුත් සංවර්ධන කටයුතු මහජනතාවගේ ආධාරයෙන් සිදු කිරීමට හැකි වූ බව මෙහිදී සිහිපත් කළ යුතුය.

2004 වර්ෂයේදී එවක අග්‍රාමාත්‍ය වර්තමාන ජනාධිපති විශ්වකීර්ති ශ්‍රී ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පැමිණීමත් සම¼ග එතුමාගේ සියතින්ම මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා , කෘෂි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ඇමතිතුමා ආදී මැති ඇමැතිවරුන්ගේ හා පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.පී. පී. පතිරණ මහතාගේ ආරාධනයෙන් සංඝාවාසයට මුල්ගල් තබමින් ආවාස පහසුකම ද මහා මාර්ගයට මුල්ගල් තබමින් මහාමාර්ග පහසුකම් ද සැලැස්වීමට කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව, වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද සහසම්බන්ධ වී. කි.මී. 40 ක් දිග මාර්ගයේ සුංගාවිල සිට චෛත්‍යරාජයා වෙත දිවෙන කි.මී. 13 ක් මාර්ගය සුවිශාල කොන්ක්‍රීට් මහා මාර්ගයක් බවට පත් කළ අතර, සෙසු කි.මී. 27 දැවැන්ත කාපට් මාර්ගයක් බවට පත් කරවා ගැනීමට ලැබීම සමස්ත ජාතියේම ආශිර්වාදයට හේතුවකි.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මැතිතුමාගේ බලවත් අනුග්‍රහයෙන් මහවැලිය හා යුද හමුදාවද සම්බන්ධ කරගෙන මහවැලි ගඟ හරහා සුවිශාල පාලමක් ඉදි කරමින් සේරුවිල දක්වා මාර්ගය සකස් කිරීමත් ජනාධිපති වර්ෂ පූර්ණය නිමිතිකොට මහා මාර්ග හා නාවික කටයුතු අමාත්‍ය කොතලාවල මැතිතුමා හා මහා මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ සහසම්බන්ධ වු සැම දෙනා විසින්ම වාහල්කඩ සිට ඇත් පොකුණ දක්වා ගල් අතුරවමින් දර්ශනීය ලෙස මාර්ගය සකස්කර දීම වර්තමානයේ ලබන ලද තවත් විශිෂ්ට ජයග්‍රහණයකි.

මේ අතර ලක්දිව නොයෙක් සැදැහැවතුන්ගේ සහසම්බන්ධතාවය ලබාගෙන විහාර මන්දිරය ධර්මශාලාව, පෝයසීමාව, දෙමහල් හා තෙමහල් විශ්‍රාම ශාලා,රන්වැට ආදි චෛත්‍යස්ථානයේ සංවර්ධන කටයුතු දියුණු කරණ මොහොතේ සුවිශාල දර්ශනීය මාර්ගය මෙම ජුනි 11 වන දිනත්, දළදා වහන්සේ උදෙසා පවත්වනු ලබන රාජකීය මහා මුළුතැන් බුද්ධ පූජාව හා සාංඝික මහා දානය පැවැත්වීම සඳහා වැඩම වන මහා සඟරුවනේ හා සැදැහැවතුන් ගේ පහසුව සඳහා මෙතෙක් අඩුවක්ව පැවති දාන ශාලා මන්දිරය සුවිශාල ධනයකින් දෙමහල් ගොඩනැගිල්ලකින් හා සියලුම උපකරණ වලින් සමන්විතව දර්ශනීය අන්දමින් සකස් කොට මෙම ජුනි 10 වන දින අතිගරු ජනාධිපති විශ්වකීර්ති ශ්‍රී‍්‍ර ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සියතින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කිරීමට අපමණ භක්තියෙන් යුක්තව කොළඹ මාලඹේ මයික්‍රෝ පැකේජින් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ කේ.ඒ.සී. පෙරේරා මැතිතුමා විසින් ඉදිකොට නිමවා සියලු කටයුතු සූදානම් කර ඇති මේ මොහොතේ මෙවන් උදාර කටයුතු සිදු කිරීමට කායික ශක්තියත් චිත්ත ධෛර්යත් ලැබී නිදුක් නිරෝගී සුවය වඩ වඩාත් වර්ධනය වේවායි ශ්‍රී දකුණු දළදා සමිඳුන්ගේ ආශිර්වාද පෙරටුව සිහිපත් කරමි.

මෙවන් ආගමික හා ජාතික වූ ද ආශ්චර්යමත් වූ ද ස්ථානයක සැදැහැවත් මහජනතාවගේ සුභසිද්ධිය සඳහා පහසුකම් සලසාලන මේ මොහොතේ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අති ගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමියන් වහන්සේගේ ආශිර්වාදයෙන්, ගරුතර සාහිත්‍ය චක්‍රවර්ති නියංගොඩ ශ්‍රී විජිත සිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සහ හොරණ රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත හොරණ ශ්‍රී පඤ්ඤාසේඛර නාහිමිපාණන් ගේ හා අපගේ ද පූර්ණ අධීක්‍ෂණය හා අනුශාසනා පරිදි උක්ත කොළඹ මාලඹේ මයික්‍රෝ පැකේජින් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ කේ.ඒ.සී. පෙරේරා මැතිතුමා විසින් සියධනයෙන් ඉදිකරවන ලද දාන ශාලා මන්දිරයත් මහා මාර්ගයත් දකින අසන ඔබ සැමගේ ආශිර්වාදයට පත් වෙමින් අතිගරු ජනාධිපතිතුමන්, මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමන් ඇතුළු මේ හා සහසම්බන්ධ වූ මැති ඇමැතිවරුන් ඇතුළු සියලුම නිලධාරින්ටත්, කේ.ඒ.සී. පෙරේරා මැතිතුමා හා එම මැතිනිය ඇතුළු සහසම්බන්ධ වූ සැමදෙනාටම තුණුරුවන්ගේ පිහිටත් දළදා සමිඳුන්ගේ ආශිර්වාදයත් ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 05 වැනිදා අපරභාග 01.06 ට ලබයි.06 වැනිදා සිකුරාදා අපරභාග 03.02 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජුනි මස 05 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

New Moonඅමාවක

ජූනි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]