UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේ උත්තරීතර මනුෂයෙකි

බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසන් කාලය පිළිබඳ වාර්තා කෙරෙන මහාපරිබ්බාණ සූත්‍රයෙහි “ආනන්ද දැන් මම ජරාවට පැමිණියෙමි. වෘද්ධයෙමි වයස්ගත වූයෙමි. දිගු කලක් දිවි පැවැත් වූයෙමි. මගේ වයස දැන් අසූවකි. දිරූ ගැලක් උණ පතුරු ආදිය තබා බැඳ යන්තම් රඳවාගෙන යන්නාසේ තථාගත ශරීරය ද යන්තම් රඳවාගෙන සිටියි.” යන ප්‍රකාශය මගින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසන් භාගයේ උන්වහන්සේගේ ශරීරයේ ස්වභාවය කෙබඳු වී දැයි වටහාගත හැකි වේ

බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේගේ ධර්මය දේව නියෝජිතයෙක් හෝ දිව්‍යමය පණිවිඩයක් නොවේ. දේවවාදි ආගම්වල දක්නට ලැබෙන කිසිවක් බුදුසමයෙහි දක්නට නොලැබේ. දිනක් උක්කට්ඨා හා සේතව්‍යා අතර මාර්ගයේ පා ගමනින් වඩින බුදුරදුන්ගේ පියවර සටහන් දුටු ලක්‍ෂණ ශාස්ත්‍රය ප්‍රගුණ කළ ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා පුදුමයට පත්ව බුදුරජාණන් වහන්සේ හමුවෙහි “භවත්නි ඔබ දෙවියෙක්ද? ගාන්ධර්වයෙක්ද? යක්‍ෂයෙක්ද? මනුෂ්‍යයෙක්ද?” යනුවෙන් විමසීය. එයට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ දෙවියෙකු හෝ ගාන්ධර්වයෙකු හෝ යක්‍ෂයෙකු හෝ මනුෂ්‍යයෙකු හෝ නොවන බවයි. හවත්නි එසේ නම් ඔබ කවරෙක්දැයි බමුණා පෙරළා ප්‍රශ්න කළේය. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හඳුන්වාදෙමින්

“යම් ආශ්‍රව කොටසක් ප්‍රහීණකර නොමැති නිසා දෙවියෙකු වේ නම් මම ඒ සියලුම ආශ්‍රව නැවත නූපදනා ලෙස ප්‍රහීණ කළෙමි. එසේම ගාන්ධර්ව, යක්‍ෂ, මනුෂ්‍ය යන තත්ත්ව හා සම්බන්ධ ආශ්‍රවද ප්‍රහීණ කළෙමි. යම් සේ උපුල්, නෙළුම්, සුදුනෙළුම් ආදි මලක් දියෙහි වැඩී දියෙන් පැන නැගී දියෙහි නොගැටී පවතින්නා සේ මම ලොවෙහි උපන්නෙමි, ලොවෙහි වැඩුනෙමි, ලෝකය අභිභවා ලෝකය හා නොඇලී වාසය කරමි. බමුණ මා බුද්ධ යැයි දැනගන්න (බුද්ධොති බ්‍රාහ්මණ මං ධාරෙහි)”

අංගුත්තර නිකායේ දැක්වෙන මෙම දෝණ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ කවරෙක්දැයි හඳුනාගත හැකිවේ. උන්වහන්සේ දේව දූතයෙකු නොවන අතරම සාමාන්‍ය මනුෂ්‍යයෙකු ද නොවේ. මනුෂ්‍යයෙකු නොවේය යනුවෙන් අදහස් කරන්නේ කෙලෙස්වලින් සමන්විත සාමාන්‍ය මිනිසා හා සමාන අයෙකු නොවන බවයි. බුදුරන් ප්‍රඥා හා කරුණා යන ආධ්‍යාත්මික ගුණ සමුදායේ ප්‍රතිමූර්තිය හෙයින් උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙකු නොවේ. මෙනිසා බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ හඳුන්වා දෙන්නේ බුද්ධ යන අභිධානයෙනි. මෙම සූත්‍රයෙහි ඇතුළත් නෙළුම් උපමාව බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ලෝකයාගෙන් වෙන්කොට හඳුනා ගැනීමට උපයෝගී වේ. මඩෙහි හටගන්නා නෙළුම ජලයෙන් උඩට පැමිණ ජලය හා නොගැටී තිබේ. එමෙන් මිනිස් ලොව ජනිත බුදුරජාණන් වහන්සේ සියලු මානසික දුර්වලතා මුලිනුපුටා දමා ලෝකය හා නො ඇලී ලෝකයට ඉහලින් වැඩ සිටිති.

බුදුරජාණන්වහන්සේ කරජ කායෙන් මිනිසෙකි. උන්වහන්සේ මිනිස් දෙමාපියන්ට දාව සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස මෙලොව උපත ලබා තිබේ. සාමාන්‍ය මිනිසා මුහුණ දෙන සියලුම ආකාරයේ ජරා, ව්‍යාධි, මරණ ආදි තත්ත්වයන්ට මුහුණ දුන් අයුරු මහාපරිනිබ්බාණ සූත්‍රයේ දැක්වේ. අවසන් දානය වන චුන්දකර්මාර පුත්‍රයාගේ සූකර මද්දවය වැළදීමෙන් අනතුරුව ඇති වූ උදරාබාධය හේතුවෙන් ක්ලාන්ත බවට පත් බුදුරජාණන් වහන්සේ, ආනන්ද හිමියන් අමතා කරන, “ආනන්ද ක්ලාන්ත ගතියයි. සගල සිවුර සිව් ගුණ කර නවා පනවන්න. හිද ගැනීමට අවශ්‍යයි” සහ “ආනන්ද මට පිපාසයි. පැන් ටිකක් ගෙන එන්න” යන ප්‍රකාශන මගින් උන්වහන්සේගේ මානුෂීය ස්වභාවය ප්‍රකට වේ.

බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසන් කාලය පිළිබඳ වාර්තා කෙරෙන මහාපරිබ්බාණ සූත්‍රයෙහි “ආනන්ද දැන් මම ජරාවට පැමිණියෙමි. වෘද්ධයෙමි වයස්ගත වූයෙමි. දිගු කලක් දිවි පැවැත් වූයෙමි. මගේ වයස දැන් අසූවකි. දිරූ ගැලක් උණ පතුරු ආදිය තබා බැඳ යන්තම් රඳවාගෙන යන්නාසේ තථාගත ශරීරය ද යන්තම් රඳවාගෙන සිටියි.” යන ප්‍රකාශය මගින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසන් භාගයේ උන්වහන්සේගේ ශරීරයේ ස්වභාවය කෙබදු වී දැයි වටහාගත හැකි වේ. මේ හා සමානම තවත් අවස්්ථාවක් සංයුත්ත නිකායේ ජරා සූත්‍රයෙහි ඇතුළත් වේ. පූර්වාරාමයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ එක් දිනක් සැදෑ හිරු එළියෙහි පිට තවමින් සිටින අවස්ථාවෙහි ආනන්ද හිමියන් එහි පැමිණ උන්වහන්සේගේ සිරුර පිරිමදිමින් මෙසේ ප්‍රකාශ කළේය.

“ස්වාමිනි ආශ්චර්ය. අද්භූතය. පෙර ඔබ වහන්සේගේ ඡවි වර්ණය බෙහෙවින් පිරිසුදු විය. පැහැපත් විය. ශරීරය මටසිලිටි විය. ඒ සියලු ශරීරය දැන් රැලි වලින් යුක්තය. ශරීරය ඉදිරියට නැමුණු ස්වභාවයෙන් යුක්තය. ඉන්ද්‍රියයන්ගේ වෙනස් බව පැහැදිලිව දිස්වේ. ඇස කන නාසය දිව ශරීරය සහ ඉන්ද්‍රියෝ වෙනස් බවට පැමිණ ඇත.” ආනන්ද හිමියන්ගේ ප්‍රකාශයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ එය අනුමත කරමින් “එය එසේමය ආනන්ද යොවුන් බව ජරාව ස්වභාව කොට ඇත. නිරෝගී බව ව්‍යාධිය ස්වභාවකොට ඇත. ජීවිතය මරණය ස්වභාව කොට ඇත.” යනුවෙන් ජීවිතයේ යථා ස්වභාවය පැහැදිලි කළහ. මෙම ප්‍රකාශන මගින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිසා මුහුණ දෙන ශාරීරික දුක්ඛ දායක තත්ත්වයට මුහුණ දුන් ආකාරයයි. ආධ්‍යාත්මික අතින් උන්වහන්සේ සියල්ල ජයගෙන තිබුණ ද මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගිය දිව්‍යමය නියෝජිතයෙකු නොවන බව පැහැදිලි ය. උන්වහන්සේ උත්තරීතර මනුෂ්‍යයෙක් බව පැහැදිලිය.

බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ ශාස්තෘවරයාය (සත්ථාදේවමනුස්සානං). බුදුරජාණන් වහන්සේ දෙවියන්ට දහම් දෙසීම පිණිස දෙව්ලොවට ගමන් කළ බව උන්වහන්සේම ප්‍රකාශ කළහ. ආනන්ද හිමියන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ “ආනන්ද මම ඍද්ධියෙන් මනෝමය කයින් බඹලොවට එළඹුණ බව දනිමි... චාතුම්මහභුතික කයින් ඍද්ධියෙන් බඹලොවට එළඹෙන්ට හැකි වෙමියි” දේශනා කළහ. එම අවස්ථාවෙහි ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ එය බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් ආශ්චර්යමත් අද්භූත වූවක් බවයි. බුදුරජාණන්වහන්සේගේ මෙම ආධ්‍යාත්මික සක්‍යතාව පදනම් කරගෙන උන්වහන්සේ ලෝකෝත්තර පුද්ගලයෙකු වශයෙන් දැක්වීමට විවිධ බෞද්ධ නිකායන් උත්සාහගෙන තිබෙන බව ශාසන ඉතිහාසය පිළිබඳ වාර්තාවලින් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර තත්ත්වයට පත්කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් සිදු කළේ මහාසංඝික සම්ප්‍රදායයි. මහායාන බුදුසමයේ ප්‍රභවයෙහිලා මෙම අදහස් බෙහෙවින් බලපා තිබේ.

බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳ ත්‍රිපිටකාගත සාධක මගින් පැහැදිලි වන්නේ උන්වහන්සේ මනුෂ්‍යත්වය උත්තරීතර බවට පත්කළ ශාස්තෘවරයාණන් වහන්සේ බවයි. එසේම මානුෂීය ලක්‍ෂණ ප්‍රකට කෙරෙන කරුණාවේ හා ප්‍රඥාවේ උපරිමයට ලඟා වුණු ආධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණත්වයට පත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ චරිත කථාවක් සූත්‍ර සාහිත්‍ය මගින් අනාවරණය කරගත හැකිවේ. එම සෑම පුවතකින්ම පෙන්වා දෙන්නේ බුදුරජාණන්වහන්සේගේ උත්තරීතර මානුෂිය ලක්‍ෂණයි. සියලු දෙව් මිනිසුන් තුළ පැවතී මානසික දුර්වලතා සියල්ල බැහැර කළ බුදුරජාණන් වහන්සේ ලොව මිනිසා විසින් මිනිස් බුද්ධිය උපයෝගීකරගෙන ලඟාවිය යුතු ප්‍රඥාවේ අග්‍රඵලය සාක්‍ෂාත් කළ සේක.

අනතුරුව එම උත්තරීතර මනුෂ්‍යත්වය වෙත ලගාවෙන සදාචාරාත්මක ප්‍රතිපදාව ලෝකයට ඉදිරිපත් කළහ. මිනිස් ඉතිහාසයේ පහළ වූ, කරුණාවේ හා ප්‍රඥාවේ අග්‍රඵලය වූ, ලොව අසම සම අනුත්තර උත්තමයාණන් වූ බුදුරජාණන් වහන්සේ ඓතිහාසික මිනිසෙකි. තම ශාස්තෘවරයාණන් වහන්සේ ඓතිහාසික මනුෂ්‍යයෙකු වීම බෞද්ධයෙකුට සතුටුවිය හැකි මෙන්ම ආඩම්බර විය හැකි වෙතත් කරුණක් නොමැත.

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 05 වැනිදා අපරභාග 01.06 ට ලබයි.06 වැනිදා සිකුරාදා අපරභාග 03.02 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජුනි මස 05 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

New Moonඅමාවක

ජූනි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]