UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රතිවේධ ශාසනය

පරියත්ති, පටිවෙධ හා පටිපත්ති වශයෙන් ශාසනය තෙවදෑරුම්ය. එයින් පටිවේද යන්නෙහි සාමාන්‍ය අර්ථය වන්නේ විනිවිද දක්නා නුවණ, තීක්‍ෂණ බුද්ධිය හා අවබෝධයයි. එහි ධර්මානුකූල අර්ථය වන්නේ සත්‍යාවබෝධයයි. නැතහොත් විදර්ශනා ප්‍රඥාව හෝ ඤාණය හෝ නිර්වාණයට පැමිණීමයි. එසේම ධර්මයන්ගේ ස්වභාවය අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම වශයෙන් ත්‍රිලක්‍ෂණානුකූලව වැඩීමෙන් උපදින විදර්ශනා ප්‍රඥාව ද ධර්මයන්ගේ යථා ස්වභාවය දැකීම ද ඒ ඇසුරෙන් සත්‍ය ප්‍රත්‍යක්‍ෂ කිරීම ද ප්‍රතිවේධ ඤාණය යන්නෙන් අදහස් වේ.

පරියත්ති, පටිවෙධ හා පටිපත්ති වශයෙන් ශාසනය තෙවදෑරුම්ය. එයින් පටිවේද යන්නෙහි සාමාන්‍ය අර්ථය වන්නේ විනිවිද දක්නා නුවණ, තීක්‍ෂණ බුද්ධිය හා අවබෝධයයි. එහි ධර්මානුකූල අර්ථය වන්නේ සත්‍යාවබෝධයයි. නැතහොත් විදර්ශනා ප්‍රඥාව හෝ ඤාණය හෝ නිර්වාණයට පැමිණීමයි. එසේම ධර්මයන්ගේ ස්වභාවය අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම වශයෙන් ත්‍රිලක්‍ෂණානුකූලව වැඩීමෙන් උපදින විදර්ශනා ප්‍රඥාව ද ධර්මයන්ගේ යථා ස්වභාවය දැකීම ද ඒ ඇසුරෙන් සත්‍ය ප්‍රත්‍යක්‍ෂ කිරීම ද ප්‍රතිවේධ ඤාණය යන්නෙන් අදහස් වේ.

බෞද්ධ දර්ශනයෙහි ඉගැන්වෙන මූලික ඉගැන්වීම් දෙකක් වශයෙන් පඤ්චස්ඛන්ධ විභාගය හා චතුරාර්ය සත්‍ය දේශනාව දැක්විය හැකිය. චතුරාර්ය සත්‍ය දේශනාව ඍජුවම නිර්වාණයට යොමුකරන මාර්ගයයි. ඒ නිසා ආර්ය ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය දේශනාව පුරුදු පුහුණු කළ යුතුය. පඤ්චස්කන්ධ විභාගය නිකාය ග්‍රන්ථවල එන ප්‍රමුඛතම ඉගැන්වීමකි. රූප,වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන පංච ධර්මයන් පිළිබඳ විග්‍රහය පඤ්චස්කන්ධ විභාගයයි. ස්කන්ධ යනු සමූහාර්ථ වාචී පදයකි. එම ස්කන්ධ පඤ්චකයෙහි පැවැත්ම පිළිබඳව හෝ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව ලබන අවබෝධය ප්‍රතිවේධ ඤාණය වශයෙන් දැක්වේ.

පඤ්චස්කන්‍ධ විභාගයෙහි අභිමතාර්ථය මිනිසාට ඇති ප්‍රධාන ගැටලුව වන අතෘප්ති කර, හිස්, අර්ථ ශූන්‍ය වූ සංසාරික පැවැත්මකට උරුමක්කාරය වීම බව පැහැදිලි කර ගැනීමයි. ඒ සඳහා චතුරාර්ය සත්‍ය දේශනාව අවබෝධ කළ යුතුය. එහෙයින් චතුරාර්ය සත්‍යයත් පඤ්චස්ඛන්ධ විභාගයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පවතියි. ඒ නිසා මෙම අංශ දෙකම අවබෝධ කිරීම බෞද්ධ ප්‍රතිපදාවේ අත්‍යවශ්‍ය කරුණක් වේ. එවිට ආර්ය ශ්‍රාවකයා තුළ ප්‍රතිවේධ ඤාණය උපදියි.

තවද ප්‍රතිවේධ ඤාණය යන්න ප්‍රධාන වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිළිබඳව පවත්නා ඤාණය වශයෙන් සූත්‍ර සාහිත්‍යයෙහි දැක්වේ. එම චතුරාර්ය සත්‍ය ඤාණය ,අනුබෝධ ඤාණය හා ප්‍රතිවේධ ඤාණය වශයෙන් දෙයාකාරය. එයින් අනුබෝධ ඤාණය ලෞකික වන අතර එය සිහි කිරීම් වශයෙන් නිරෝධ මාර්ගයෙහි පවතියි. ප්‍රතිවේධ ඤාණය වනාහි ලොකෝත්තරය. එය දුක්ඛ නිරෝධය අරමුණු කර ගෙන කෘත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරයි. එසේම චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ පටිවේධ ඤාණය අනුබෝධ ඤාණයෙන් තොරව නොපවතින අතර එය අන්‍යෝන්‍යව බැඳී ක්‍රියාත්මක වේ. එහෙයින් අනුබෝධ ඤාණයෙන් තොරව චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නොහැකිය.

දස්සන අර්ථයෙන් ද ප්‍රතිවේධ ඤාණය උපදින බව කියවේ. එනම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ යථාස්වභාවය දැකීම් වශයෙන් ද එහෙයින් නිර්වාණය අවබෝධ කිරීම් වශයෙන් ද දස්සන අර්ථයෙන් ප්‍රතිවේධ ඤාණය ඉපදීම නම් වේ. ඒ ඒ ධර්මයන්ගේ නොවෙනස් වූ අවබෝධය ද ප්‍රතිවේධ වශයෙන් දැක්වේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම් වශයෙන් ප්‍රතිවේධ ඤාණය සතරාකරය. දුක පිළිබඳව පිරිසිඳ දැන ගැනීමෙන් පරිඤ්ඤා පටිවෙධ ඤාණය ලබයි. දුක්ඛ සමුදය දුරු කිරීම හා අත්හැරීම් වශයෙන් පහාන පටිවේධ ඤාණය උපදියි. නිරෝධ සත්‍යය පසක් කිරීම් වශයෙන් සච්ඡිකිරියා පටිවේධ ඤාණය ලබයි.

මාර්ග සත්‍ය වැඩීමෙන් (භාවනාවෙන්) භාවනා පටිවේධ ඤාණය උපදවා ගනියි. එසේම චතුරාර්ය සත්‍යයෙහි අංග පුරුදු කිරීම, විචාරීම, ඇසීම ,ධාරණය කිරීම හා විමසා බැලීම අනුව ප්‍රතිවේධ ඤාණය උපදින බව තවදුරටත් බුදු සමයෙහි දැක්වේ.

ප්‍රතිවේධ ඤාණය අනේකධාතු ප්‍රතිවේධ ඤාණය හා නානාධාතු ප්‍රතිවේධ ඤාණය වශයෙන් දෙයාකාරය. එයින් අටළොස් ධාතුන් පිළිබඳව බුදුන් වහන්සේ නමක් පහළ වූ කාලයකදීම අවබෝධ කිරීම අනේකධාතු ප්‍රතිවේධ ඤාණයයි. එම ධාතුන්ගේ විවිධත්වය විවිධ ස්වභාවයන් පිළිබඳව ලබන අවබෝධය නානාධාතු ප්‍රතිවේද ඤාණය යන්නෙන් අදහස් වේ.

මාර්ග හා ඵල යන්න ඒ ඒ සංදර්භයන්ට අනුව විවිධාකාරව යෙදේ. නිර්වාණගාමී ප්‍රතිපදාවේදී සෝවාන් ආදිය මාර්ග ඵල වශයෙන් යෙදේ. නමුත් ප්‍රතිවේද ඤාණය මාර්ග හා ඵල හා සම්බන්ධ වීමේදී එයින් හේතු හා ඵල යන්න සංදර්භය යටතේ යෙදී ඇත. ඒ අනුව චතුරාර්ය සත්‍යයට අයත් අංග අතර දුක්ඛ හා දුක්ඛ නිරෝධ ඵල වශයෙන් ද දුක්ඛ සමුදය හා දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව මාර්ග වශයෙන් ද දැක්වේ. එම මාර්ග හා ඵලයන් අවබෝධ කිරීම ප්‍රතිවේධ ඤාණයයි. එනම් මාර්ග හා ඵල ප්‍රඥාවෙන් සත්‍ය අවබෝධ කරන අවස්ථාවෙහි පිරිසිඳ දැන ගැනීම ද ප්‍රතිවේධ ඤාණය බව මෙයින් කියවේ.

ප්‍රතිවේධ ඤාණය හා අවිද්‍යාව අතර සම්බන්ධයක් ඇත. එනම් සියලු ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ නොකරන්නේ අවිද්‍යාවයි. එය ප්‍රතිවේධ ඤාණයට ප්‍රතිපක්‍ෂ බවයි. සියලු ධර්මයන්ගේ වෙනස්වීම මනාව අවබෝධ නොකිරීම අවිද්‍යාවයි. එනම් සියලු ධර්මයන්ගේ යථා ස්වභාවය නො වැටහීමයි. එම ධර්මයන්ගේ යථා ස්වභාවය ආවරණය කිරීම ද අවිද්‍යාවේ ලක්‍ෂණයයි. ඒ නිසා මනා අවබෝධය හෙවත් ප්‍රඥාව ප්‍රතිවේධ ඤාණයයි. (සම්පටිවෙධො) එයින් විරුද්ධ අංශය වන අවිද්‍යාවෙන් යුක්තව ධර්මයන් පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කිරීම අප්‍රතිවේධ ඤාණයයි. (අසම්පටිවෙධො) එබැවින් ප්‍රතිවේධ ඤාණය බෞද්ධ ප්‍රතිපදාවේ වැදගත්ම අංගයක් වශයෙන් දැක්විය හැකිය.

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]