UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා පුරවරයක අඳුරට සිහින් ආලෝක කිරණයකි බැද්දගාන වෙහෙර වෙහෙරකන්ද

මහා පුරවරයක අඳුරට සිහින් ආලෝක කිරණයකි බැද්දගාන වෙහෙර වෙහෙරකන්ද

ස්තූප දෙකක නටබුන් දකින ඔබ මා මේ සිටින්නේ අග නගරයෙන් දුර බැහැර ඈත පෙදෙසකදැයි සැක හැර දැන ගැනීමට වට පිට පිරික්සනු නියත ය.

එහෙත් කලබල නොවී සිතන්න. ඔබ දැන් පය ගසා හිඳීන්නේ ලාංකේය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් සටහන් කළ දාහතරවන සියවස මැද දී අප මාතෘභූමියේ අග නගරය වූ කෝට්ටේ රාජධානියේ ඒ ජය බිම මත බව,

මේ කතා ප්‍රස්තුතය පැහැදිලි කර ගැනීමට කෝට්ටේ රාජධානි සමය පිළිබඳ දීර්ඝ ඉතිහාස කියවීමකට නොයමින් සැකවින් පවසතොත් එය මෙසේ ය.

තුන්වැනි වික්‍රමබාහු (ක්‍රි. ව. 1357 – 1374) රජතුමාගේ කාලයේ අලකේශ්වර ප්‍රභූ රාජයා විසින් කෝට්ටේ නැවත ප්‍රතිසංස්කරණය කර එහි බලකොටුවක් ද ඉදි කරවනු ලැබී ය.

කෝට්ටේ අග්‍ර නුවර කර ගනිමින් අඩ සියවසක පමණ කාලයක් රට පාලනය කළ ශ්‍රේෂ්ඨ නරපතියා වූයේ සවැනි පරාක්‍රමබාහු රජතුමා ය. (ක්‍රි. ව. 1412 – 1462) රට එක් සේසත් කළ සමස්ත රාජ්‍යයේම පාලන බලය සියතට ගැනීමට සමත් වූ අවසාන නරේන්ද්‍රයාණන් ද මෙතුමා ය. කෝට්ටේ යුගය ආලෝකවත් කළ මේ නරේන්ද්‍රයාණන්ගේ අභාවයත් සමඟ මෙම රාජධානිය අඳුරු වළාවෙන් වැසී ගියේ ය.

ඉන්පසුව කෝට්ටේ පාලකයා චක්‍රවර්තිරාජ යන නමින් පෙනී සිටියත් සිය අගනුවරට නුදුරු ප්‍රදේශයන් හි පාලන බලය හෙබ වූ වෙනත් සාමන්ත රජවරුන් අවනත කරවා ගැනීමට මෙතුමා අසමත් විය.

ඔහු කළේ ඒ රජවරුන් හීලෑ කර ගැනීමට පෘතුගීසීන්ගේ සහාය පැතීම ය.

දුර්වල පාලකයාගේ නියාලු ප්‍රතිපදාව දැන සිටි කපටි පෘතුගීසීහු අවසානයේ පාලන බලය තම දෝතට ගත් හ. පිවිතුරු බුදු දහමට ද නිගාකරමින් දොන් ජුවන් ධර්මපාල නමින් අවසානයේ භෞතීෂ්ම වූයේ මොහු ය.

තම මුතුන්මිත්තන්ගේ අභිමානවත් වූ පුරවරය මෙන්ම සිංහල සාහිත්‍යයේ ද පුනරුදයක් ඇති කළ සොඳුරු රාජ්‍යය නිවට නියාලු රජවරයකුගේ අතට පත්වීමේ ප්‍රතිඵලය වූවේ මාහැඟි ප්‍රසාද පන්තීන්ගෙන් සෝභමාන වූ සොබා සිරියෙන් අසිරිමත් වූ, ආගමික සංහිඳියාවෙන් ශාන්ත වූ, මෙපුර සාඩම්බර උදාරත්වය දිය වී බාල්දු වී යාමය.

එදා රජමාලිගාව පස්මහල් ප්‍රාසාදයක් වූ බවත් උත්තම දළදා වහන්සේ පූජනීයව වඩා හිඳුවීමට සරිලන සේ සුසැදි දළදා මන්දිරයක් විරාජමාන වූ බවත් තත්කාලීන සිංහල සාහිත්‍ය කෘතිවල මෙන්ම විශේෂයෙන් සන්දේශ කාව්‍යයන්හි සඳහන් ව තිබේ.

මේ පොළව මත සෘජුව සිට ගැනීමට නො හැකි වූ කොන්දක් නැති දොන් ජුවන් ධර්මපාලට කෝට්ටේ හැර යාමට සිදු වූ පසුව රජවරයකු නොමැති කෝට්ටේ රාජධානිය අරාජික විය . එතැන් සිට ශත වර්ෂයකට අධික කාලයක් වල් බිහිව ගිය මෙපුරවරයේ බොහෝ ගොඩනැඟිලි පැමිණි අමිහිරි යුද වාතාවරණය තුළ විනාශ විය. විනාශ නොවූ දෑ වනය විසින් වසන් කර ගත්තේ ය. පෘතුගීසීන් නිසා සිරගත වු කෝට්ටේ පුරවරයේ වූ ඓතිහාසික අභිමානවත් උරුමය සටහන් කළ ගොඩනැඟිලි පොළවට සමතලා කරන ලදහ.

ඉන් පසුව මේ රට ආක්‍රමණය කළ ලන්දේසීන් ද කළේ මේ වින්නැහියම ය.

කෝට්ටේ රාජධානියක් නො තිබුණු තරමට එම පුරවරයේ පෞරාණික ස්මාරකයන් විනාශ වී ගිය ද 20 වැනි සියවසේ මුල් භාගය පමණ වන විටත් ඇතැම් පුරා විදු සාධක යම් පමණකටවත් ඉතිරි වී තිබුණු බව සඳහන් වෙයි.

කෝට්ටේ පුරවර ලන්දේසි සමයේ සිට නැවත ජනාකීර්ණ වීම වල්වැදී තිබීමට පිළියමක් නො වුණේ ඒ සමඟ මෙම රාජධානි යේ ඉතිරි වූ ඓතිහාසික සිහිවටන ටික ද ඇකී මැකී යාමය.

පරදේශක්කාරයින් මේ විනාශයට අත් පැන් වත්කර පිළිගත් ඇතැම් අපේ මිනිසුන් ද කළේ තම පෞද්ගලික න්‍යාය වෙනුවෙන් ඒ වින්නැහියට දායක වීම ය.

මෙයට හොඳම උදාහරණයක් කියා පෑ හැකිය.

1909 වසර වන විට එක්තරා ඉඩමක අයිතිය සතු වී තිබුණේ මුහන්දිරම් වරයකුට ය. පට්ටම සම්මානනීය වුව ද මොහු කවර මිනිසකුද බව හැඟෙන්නේ ඔහු කළ ක්‍රියාව හේතු කරගෙන ය.

කෝට්ටේ යුගයේ ප්‍රබල ඓතිහාසික වටිනා උරුමයක් වූ දළදා මන්දිරය ගොඩනංවා ඇත්තේ මේ මිනිසාට අයිති වූ ඉඩමේ බව ප්‍රදේශවාසීහු පැවසූහ. ඔහු එම ඉඩමේ තිබූ වටිනා කැටයම් ගල් මෙන්ම ඔප දැමූ ගල් ගොඩවල් ගසා කරත්තයක් රු.100කට කොළඹ කෞතුකාගාරයට විකිණීමට තරම් පෙරේත විය.

මෙසේ ඉතිහාසයේ රන් සලකුණු පෙරේත තටුවලට සින්න කළ ඇතැමෙක් අතීතය හා වර්තමානය එක්කරණ ශිෂ්ඨාචාරයේ ගමන් මග අඳුරු කිරීමට වින කළහ. එම වකවානුවේ එම පුරාවිද්‍යාත්මක ස්මාරකයන්හි වටිනාකම දැනගෙන නිසි බලධාරීන් කටයුතු කළේ නම් අපගේ මහා උරුමයක සැමරුම් ලකුණු දකින වාසනාව මතු පරපුරටත් උදාවනු නියතය.

පුරාණයේ සිට අසිරිමත් මාවතක ගමන් කළ සාඩම්බර උරුමයක පංගුකාරයන්සේ පෙනීසිටීම අපටද ආඩම්බරයක්වනු නියතය.

ඉතිහාස පොතේ සටහන් වල පමණක් රැඳුණ සංදේශ රැගෙන ගිය කුරුළු කෙවිලන්ගේ පියාපත් සැලෙනවිට ඇසෙන අසිරිය දකින්නට අපට පින් මද විය. එහෙත් ලාංකේය බිමේ එක් ස්වර්ණමය යුගයක රාජධානියකට ගල් ඉණි පහර වදින විට විසිවී ගිය අභිමානයේ සැමරුම් එකක්, දෙකක් හෝ දකින්නට ලැබීම වුව මද හෝ සැනසීමකි’

එවන් දෑ අතර වූ තවත් එක් සළකුණක් කෝට්ටේ පුරාණ නගර සීමාවට දක්‍ෂිණ බැද්දගානේ දී ඔබට දැක ගැනීමට ලැබෙන්නේ අඳුරු අවකාශයකට සිහින් ආලෝක කිරණක් විහිදුවමින්. එය බැද්දගානේ වෙහෙර කන්ද නමින් හඳුන්වයි. බොහෝ වියතුන් අලකේශ්වර සොහොන ලෙස වරදවා වටහාගෙන තිබූ කුඩා ස්තූප දෙකක් සහිත මෙම බිම අක්කර 2 යි රූඩ් 2 ක් පමණ වපසරියක් පුරා පැතිරෙයි.

මෙය 1946 වසරේදී රජයට පවරාගෙන මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ අධීක්ෂණය යටතේ ගවේෂණයට බඳුන් විය. එය 1948 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරන ලදී.

මෙහි ඇත්තේ ඓතිහාසික විහාරයකට අයත් වූ භූමියකි. ස්තූප දෙකෙහි වඩා විශාල ස්තූපයේ පහළම විෂ්කම්භය අඩි 30 කි. එය අඩි 2 1/2 ක් උස සෘජු පේසාවන් මත පිහිටා ඇත. පේසාවේ කන්ඩි බැඳ තිබුණේ කබොක් ගලෙනි.

කුඩා ස්තූපයේ අඩියේ විෂ්කම්භය අඩි 21 කි. කොත් කැරැල්ල කපරාරුවෙන් ගැලවී ගොස් කැබලිවී වැළලී තිබී හමුවීමෙන් මෙය සොහොන් කොතක් නොවන බව තහවුරු විය.

පරදේශක්කාරයන්ට නොදෙවෙනි නිධන් හොරුන් – කාටත් වහන් වූ මෙයට පෙරේත බැල්ම හෙලා තිබුණි.

විහාරගෙයක උළු කැබැලි බෝ මළුවක නෂ්ටාවශේෂද මෙහිදී සොයා ගැනීමට හැකි විය.

බැද්දගානේ තිබී පාදාගත් නටබුන් අනුව විශේෂයෙන් එහි වූ ස්තූප අනුව බලන විට මෙය නිශ්චය වශයෙන්ම බෞද්ධ සිද්ධස්ථානයක් බව ප්‍රත්‍යක්‍ෂ වේ යනුවෙන් පුරාවිද්‍යා පර්යේෂණ ග්‍රන්ථයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. එතුමාගේ සටහනකින්ම මෙම ලිපිය අවසන් කිරීම උචිත යැයි සිතේ.

“පුරාවස්තු පිහිටි ඉඩ කඩම් රජයට පවරාගෙන ඒවා නිසි පරිදි ආරක්ෂා කිරීමට එදා සුදුසු පියවර ගත්තේ නම් ගෘහ නිර්මාණ, නෂ්ටාවශේෂ, දිවයිනේ නූතන අගනුවරට ආසන්න ප්‍රදේශයකින්ම දැක බලා ගැනීමට ස්වකීය දේශයේ පැරණි සංස්කෘතිය ගැන ඇල්මක් දක්වන කොළඹ නගරවාසීන්ටත් ලංකා ඉතිහාසය හදාරන්නන්ටත් ඉඩක් තිබුණේ ය. ඒ නෂ්ටාවශේෂ නිසි පරිදි ආරක්ෂා කර තිබුණේ නම් කොළඹට පැමිණෙන සංචාරකයන්ටත් ඒවා මනස්කාන්ත දර්ශනයක්වීමට ඉඩ තිබුණේ ය.” එසේ වුවත් වරක් අහිමි වී ගිය උරුමය නැවත කිසි සේත් හිමි කර ගත නො හැකි බව ද ඒ නිසා ඒ උරුමය ආරක්ෂා කර ගත යුතු බව ද වටහා ගැනීමට තරම් මහජන හැඟීමක් එදා බිහි වී තිබුණේ නැත.”

එදා ඔද තෙද වත් වූ මහා පුරවරයක පුංචිම ගොඩැල්ලක වූ වෙහෙරකන්ද මත සිට එසේ සිතීමට යමක් ඉතිරිකර ඇත.

අද අපේ භූමිකාව අප හඳුනා නොගත හොත් මතු පරපුර අප වෙනුවෙන් ලියනා හේතු පාඨය ද ඉහත ප්‍රකාශයටම සමාන වනු නියත ය.

 

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 14 වැනිදා බදාදා පූර්ව භාග 02.14 ට ලබයි. 15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.44 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මැයි 14 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මැයි 21 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]